ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත හා ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ පැවැති විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරුන් දැක්වූ අදහස්.

  👤  3326 readers have read this article !
2018-09-19

ජේ.ටී. ද සිල්වා, රුචිර ඩිලාන් මධුශංඛ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන කළ ප්‍රකාශයකින් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවීම නිසා පැයකට අධික කාලයක් සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තේය.

මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය ගැන දැඩි විවේචන එල්ල වූ අතර ආණ්ඩු පක්‍ෂයේ රාජ්‍ය ඇමැතිවරියක වන ශි්‍රයානි විජේවික්‍රම පොලිස්පතිවරයා වහාම තනතුරෙන් ඉවත් කර වෙනත් පොලිස්පතිවරයකු පත්කර මෙම පරීක්‍ෂණ කටයුතු සිදුකළ යුතු බව තරයේ කියා සිටියාය.

එදා මෛත්‍රිපාල ජනපති අපේක්‍ෂකයා වූ පසු
ආරක්ෂාව ඉවත් කරන විට ඒකාබද්ධයේ මන්ත්‍රිවරු හිටියේ කොහෙද?-අගමැති ප්‍රශ්න කරයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ආරක්‍ෂාව ගැන අද දැඩි උනන්දුවකින් කතා කරන ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන් එදා ඔහු ජනාධිපති අපේක්‍ෂකයා වීමෙන් පසු ආරක්‍ෂාව ඉවත් කරන විට කොහේ සිටියා දැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (18දා) පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් ප්‍රශ්න කළේය.
"එදා නොතිබුණු කැක්කුමක් අද ඔවුන්ට ඇතිවීම ගැන සතුටු වෙනවා.

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්‍ෂකයා වුණාට පස්සේ ආරක්‍ෂාව ඉවත් කෙළේ අපිද? එදා කිසි කෙනකුට අද මේ තියෙන කැක්කුම තිබුණේ නෑ. කට වහගෙන හිටියා. අද කෑ ගහනවා. කොහොම වුණත් මම සතුටු වෙනවා. ඒ උනන්දුව ගැන.

කෙසේ වෙතත් මම ලංකාවට ආවට පස්සේ මම නියෝග කළා වහාම මේ ගැන පරීක්‍ෂණයක් කරන්න කියලා. ජනාධිපතිතුමත් මේ පරීක්‍ෂණ සී.අයි. ඩියට භාර දීලා තියෙනවා.
පොලිස්පතිතුමත් වෙනම වාර්තාවක් කැඳවලා තියෙනවා.

දැන් මෙතැන හුඟක් දෙනෙක් පොලිස්පතිතුමාගේ ක්‍රියාවන් ගැන කතා කළා. පරීක්‍ෂණ කරගෙන යනකොට එතුමගෙ අඩුවක් තියෙනව නම් ඒකත් හෙළිවෙයි. දැන් ගෝඨාභය රාජපක්‍ෂ ගැනත් කතා කරනවා. එතුමට දැන් තියෙන්නේ පවුලෙ අවුලක් වෙලා. හරි කමක් නෑ අපි එතුමට ආරක්‍ෂාව දෙන්නත් ලෑස්තියි.

එතුමගේ ආරක්‍ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් එතුමා අපෙන් ඉල්ලීමක් කළොත් අපි ඒක දෙන්න ලෑස්තියි. අපි ඒ ගැන පරීක්‍ෂණයක් කරනවා. මේකෙන් දේශපාලන වශයෙන් වාසි ගන්න දඟලන්න එපා."

ඝාතන කුමන්ත්‍රණය
හෙළි කළ නාමල් විදේශයකට පිටමං කිරීමේ උත්සාහයක් තිබෙනවා -මහින්දානන්ද අලුත්ගමගේ

"ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු අනාවරණය කළ නාමල් කුමාර විදේශ රටකට පිටමං කිරීමේ උත්සාහයක් පවතිනවා" යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

"මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කලින් පොලිස්පතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී නාමල් කුමාර සතුව තිබෙන හඬ පටය සැක සහිත යැයි ඔහු ප්‍රකාශ කළා.

ඊයේ පැය දහයක් රහස් පොලිසිය නාමල් කුමාරගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ පුද්ගලයා විදේශ රටකට යැවීම සඳහා සියලු සැලසුම් සකස් කර තිබෙන බව දැනගන්නට තිබෙනවා.

මොහු රටින් පිට කළහොත් මේ පරීක්ෂණය කරගෙන යන්න නොහැකි වනවා. පොලිසිය භාර ඇමැතිතුමා මේ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්න. ඔහුට ආරක්ෂාව සපයන්න.
නීතිය හා සාමය පිළිබඳ ඇමැති - ඔහු ආරක්ෂාවක් ඉල්ලා නැහැ. ඉල්ලුවොත් දෙන්න පුළුවන්.

මේක අපරාධ චෝදනාවක්0- ශි්‍රයානි විජේවික්‍රම

රටේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කර ඔහු අත්අඩංගුවට ගෙන පොලිස්පතිවරයා වහාම ඉවත් කර වෙනත් පොලිස්පතිවරයකු පත්කර පරීක්‍ෂණ සිදු කරන්නැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැතිනි නීතිඥ ශි්‍රයානි විජේවික්‍රම පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියාය.

අපේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා සැලසුම් කර ඇති කුමන්ත්‍රණය බරපතළ කාරණයක්. පොලිස්පතිවරයාගේ කාර්යභාරය ගැන ආණ්ඩුවේම ඉන්න අය හැටියට අපිට අනුමත කරන්න බැහැ.

නීතිඥවරයෙක් හැටියට සඳහන් කරන්නේ මේක අපරාධ චෝදනාවක්. මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කරන්න ඕන.

ගණපූරණය පවත්වා ගැනීම සියලු මන්ත්‍රිවරුන්ගේ ව්‍යවස්ථාදායක වගකීමක්

පාර්ලිමේන්තුව තුළ ගණපූරණය පවත්වා ගැනීම ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විරුද්ධ පක්‍ෂයේ සියලුම ගරු මන්ත්‍රිවරුන්ගේ ව්‍යවස්ථාදායක වගකීමක් බව කථානායක කරු ජයසූරිය අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේ ගණපූරණය නොමැතිවීම හේතුවෙන් අදාළ දිනයන්ට නියමිතව තිබූ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පවත්වාගෙන යෑමට නොහැකිව පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවූ මෑතකාලීන අවස්ථා කිහිපයක් සම්බන්ධයෙන් සියලුම ගරු මන්ත්‍රිවරුන්ගේ දැඩි අවධානය යොමු කරවීමට කැමැතියි.

පාර්ලිමේන්තුවේ දෛනික ප්‍රධාන වැඩකටයුතු අතර රජයේ අමාත්‍යාංශයන්හි විවිධ කාරණයන්ට අදාළව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පත්, නොයෙක් අණ පනත් යටතේ වූ නියෝග නියමයන්, රෙගුලාසි, ගිවිසුම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා සම්මතයන් වැනි වැදගත් සහ නිශ්චිත කාල රාමුවක් තුළ දී පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන ව්‍යවස්ථාදායක කටයුතු ඇතුළත් වන බවත් එසේම එවැනි ව්‍යවස්ථාදායක කාර්යයන් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් දෛනිකව විශාල මහජන මුදල් ප්‍රමාණයක් වැය කරනු ලබන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ලෙස ඔබ සෑම ඉතා හොඳින් දන්නා කරුණක්.

එබැවින් මෙලෙස ඉතා විශාල මහජන මුදලක් දෛනිකව වැය කරමින් රටේ අයවැය හා මූල්‍ය ප්‍රතිපත්තිය සහ රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමෙහිලා අත්‍යවශ්‍ය වන්නා වූ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ ගණපූරණය නොමැතිවීම නිසා අක්‍රිය වීමට ඉඩදීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බව සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අවධානය යොමු කිරීමට කැමැතියි.
ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණ එවැනි කනගාටුදායක තත්ත්වයන් මතු නොවන ආකාරයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

බරපතළ චෝදනාවක් ඇති නි.පොලිස්පති නාලක
ස්ථාන මාරු කර තියෙන්නේ තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසයට- ශෙහාන් සේමසිංහ

බරපතළ චෝදනාවක් එල්ලවෙලා තියෙන නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ස්ථාන මාරු කරලා තියෙන්නේ තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසයට. සිදුකරන පරීක්‍ෂණවලට මෙම කොට්ඨාසය ඉතා වැදගත් එකක්. එතකොට කොහොමද මෙතුමා ඉන්නකොට ඒ පරීක්‍ෂණ කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ ප්‍රශ්න කළේය.

චෝදනා ලැබ සිටින අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කර පරීක්‍ෂණ කටයුතු කළ යුතුයි.

මේක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. මේ ඝාතන කුමන්ත්‍රණය ගැන සිදුකරන පරීක්‍ෂණවලට වැදගත් කොට්ඨාසයක් තමයි මේ තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසය. එතුමා යටතේ ඒ කොට්ඨාසය තියෙද්දී කොහොමද මේ පරීක්‍ෂණ කටයුතු කරන්නේ. වහාම ඔහුව එම තනතුරින් ඉවත් කළ යුතුයි. එහෙම නැතිව මේ පරීක්‍ෂණ සාධාරණව කරන්න පුළුවන්කමක් නෑ.

පලාලි ගුවන්තොට වෙනත් රටකට දීමට තීරණයක් ගෙන නෑ-නිමල් සිරිපාල ද සිල්වා

"පලාලි ගුවන්තොටුපොළ ඉන්දියාවට හෝ වෙනත් රටකට ලබාදීමට අපි තීරණයක් ගෙන නැති බව වගකීමෙන් ප්‍රකාශ කරනවා" යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අපි අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි කිරීම සඳහා ත්‍රිකුණාමලය, හිඟුරක්ගොඩ, කොග්ගල, රත්මලාන වැනි ගුවන්තොටුපොළවල් වැඩිදියුණු කිරීමට කටයුතු කරනවා.

සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා පලාලි ගුවන් තොටුපොළ නවීකරණය කිරීමට අපි කටයුතු කරනවා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෝකයේ ඉහළම ගුවන් තොටුපොළවල තත්ත්වයට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හොඳම ආරක්ෂිත ගුවන් තොටුපොළක් බවට පත් කර තිබෙනවා.

විජයකලාට නඩු පවරන බව නීතිපතිවරයා දන්වා තිබෙනවා-කථානායක

එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව අදහස් පළ කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් නඩු පවරන බව තමා වෙත දන්වා ඇතැයි කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ රීති ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් "ගරු කථානායකතුමනි, විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කළ ප්‍රකාශය ගැන ඔබතුමා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බව ප්‍රකාශ කළා. දැන් මාස කිහිපයක් ගත වුණා. ඒ ගැන ඔබතුමා ගනු ලබන පියවර කුමක්ද?"
කථානායක
නීතිපතිතුමා ඒ සම්බන්ධයෙන් නඩු පවරන බව දැනුම් දී තිබෙනවා. එතුමා නඩු පවරයි.
විමල් වීරවංශ

නීතිපතිවරයා නඩු පවරලා ඒ නඩුව කවදා අවසන් වේවිද? දිගින් දිගට ඇඳි ඇදී යාවි.
කථානායක

නීතිපතිතුමා නඩු පවරන බව දැනුම් දීලා තියෙනවා.
විමල් වීරවංශ

අපි මේ සභාවේ දිවුරුමක් දීලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන බවට. ඔබතුමා මේ ගැන ගන්න පියවර කුමක්ද?
කථානායක

මම නීතිපතිවරයාට දැනුම් දුන්නා. එතුමා නඩු පවරන බව දන්වා තිබෙනවා. මට වෙනත් දෙයක් කරන්න බැහැ.

කුමන්ත්‍රණය ගැන දැනගත් වහාම මම පොලිස්පතිවරයාට
කතා කළා -කථානායක කරු ජයසූරිය

"ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය ගැන දැනගත් වහාම එහි බරපතළකම තේරුම් ගෙන මම පොලිස්පතිවරයාට කතා කර මේ සම්බන්ධයෙන් ක්‍රියා කළා. මේ ගැන පියවර ගැනීම මගෙත් වගකීමක්" යැයි කතානායක කරු ජයසූරිය පැවැසීය.

මම පොලිස්පතිවරයා මගේ කාර්යාලයට කැඳවා ඊයේත් පැයකට වැඩිය මේ සිද්ධිය පිළිබඳ කතා කළා.

ජනාධිපතිතුමාත් හිටපු ආරක්ෂක ලේකම්තුමා හෝ වෙනත් අයෙක් සම්බන්ධයෙන් මෙවැනි සිද්ධියක් ඇති වූ අවස්ථාවක අවශ්‍ය පියවර ගැනීම මගේ යුතුකමක්. ඒ නිසා තමයි මම පොලිස්පති කැඳවල පැයක් පමණ කතා කළේ.
මම මේ ගැන සුළුකොට තකන බවට චෝදනා කිරීම අසාධාරණයි. මේකෙ බරපතළකම තේරුම්ගත් නිසා තමයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමාට ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රකාශයක් කරන්න ඉඩ දුන්නේ. එතුමා මට දුන්නෙ තනි කඩදාසියක්. මම ඒක කියවන්න ඉඩදුන්නා. නමුත් එතුමා ඊට පිටින් අදහස් ප්‍රකාශ කළා.

මේ ප්‍රශ්නය ගැන කතා කිරීමට ඉදිරිපත් වූ මන්ත්‍රිවරු සියලුදෙනාටම කතා කරන්න ඉඩ දුන්නා.

ජනාධිපතිට ජරා කජු දුන්නා කියලා ලෝකය පුරා
මාධ්‍යවල පළ වුණා-බිමල් රත්නායක

"ජනාධිපතිට ජරා කජු දුන්නා කියලා ලෝකය පුරා මාධ්‍යවල ගියා. වැදගත් මනුස්සයෙක් කෑමක අඩුවක් මෙහෙම කතා කරන්නේ නැහැ"යි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ගුවන් මගීන්ට ගුවන් තොටුපොළේදී අද හැමදේටම පෝලිමේ ඉන්න සිද්ධ වෙලා ඉන්න වෙන කාලය වැඩියි. ඇතැම් ආගමන විගමන නිලධාරීන් වෙහෙසකර කටයුත්තක් කරනවා. නමුත් සමහර කවුළුවල නිලධාරීන් නැහැ.
නිමල් සිරිපාල ද සිල්වා

ඒ ප්‍රමාදය නැති කරන්න, ඊගේට් සිස්ටම් එක අපි හඳුන්වා දෙනවා. ඉන් ඒ ප්‍රමාදය නැති වෙනවා.

නීතිය හා සාමය බිඳ වැටී රට අස්ථාවර වීමට ඉඩ තිබෙනවා - දිනේෂ් ගුණවර්ධන

ශ්‍රී ලංකා පොලිසිය හා පාතාලය එක්ව රටේ ප්‍රභූ ඝාතන සිදුකිරීමට සැලසුම් කිරීම පිළිබඳව රට විස්මිත වී බලා සිටිනවා යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය.
එම නිසා රට තුළ නීතිය හා සාමය බිඳ වැටී රට අස්ථාවර වීමට ඉඩ තිබෙනවා.
ස්ථාවර නියෝග 27/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.
මේක බලපොරයක්ද කියලා අපට හිතෙනවා. රට තුළ නීතිය හා සාමය බිඳවැටී රට අස්ථාවර විය හැකියි. මේක බරපතළ කාරණයක්. රටේ ප්‍රභූ ඝාතනයක් ගැනයි මේ පරීක්‍ෂණ කරන්නේ. හැබැයි මේ ගැන පරීක්‍ෂණ කරන්නේ පුංචි ළමයි ක්‍රියාකරනවා වගේ. ඒ තරම් මන්දගාමීවයි මේ පරීක්‍ෂණ කරන්නේ. රටේ ආරක්‍ෂාව අරාජික වෙලා. අද වෙනකන් මේ පරීක්‍ෂණවල කිසිදු ප්‍රගතියක් ඇති වෙලා කියලා අපට පේන්න නෑ. මේ හදන්නේ පැමිණිලිකරු උස්සන්නද කියලා අපිට බරපතළ සැකයක් තියෙනවා.
කථානායක කරු ජයසූරිය
මන්ත්‍රිතුමා ඔබතුමා වැඩිපුරත් කාලය ගත්තා. දැන් නවත්වන්න.
දිනේෂ් ගුණවර්ධන
ලංකාවේ බරපතළම කාරණයක් ගැන මේ කියන්නේ. කතානායකට මේ ගැන තේරෙන්නේ නැද්ද? මේකේ බරපතළ කම තේරෙන්නේ නැති නිසයි අපිට බාධා කරන්නේ. 1962 මැතිනියගේ කාලයේ මේ ප්‍රශ්නයක් ආපු වේලාවේ හිටපු කථානායකවරයා ඒ ගැන පාර්ලිමේන්තුවේ කතාකරන්න ඕන තරම් වේලාව දුන්නා. අද වගේ අපට මතකයි. මේ හදන්නේ මොකක් කරන්නද. මේකේ බරපතළකම ලංකාවේ කථානායකට තේරෙන්නේ නැත්නම් මොකද කරන්නේ.

කරු ජයසූරිය

මම වැඩියෙනුත් වෙලාව දුන්නේ මේකේ බරපතළකම දන්න නිසා තමයි. ඔබතුමා හැම වෙලාවේම නැට්ට පාගාගෙන දඟලනවා.

පාර්ලිමේන්තුව අද (19දා)
පස්වරු 1ට යළි රැස්වෙයි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon