පිළියන්දල බීර සාදය

  👤  2846 readers have read this article !
2018-09-20

සාදයක් පැවැත්වීම නීති විරෝධී නැත. සාදයට මත්පැන් එකතු කර ගැනීමටද නිදහස ඇත. එහෙත් පසුගිය මාසයේ වාද්දුවේ පැවැති 'සාදය' වැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරන සාදවලට නම් ඉඩදිය යුතු නැත.

ප්‍රශ්නය වන්නේ, වර්තමාන තරුණ පරපුරේ මත්පැන් භාවිතය වැඩිවීමය. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් දුම්පානය නොකළද, වැඩි වශයෙන් මත්පැන් පානය කරති. පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවෙසකට එකතු වී පාසල් සිසුන් හා පාසල් හැරයන වයසේ සිසුන් කිහිපදෙනකු පැවැත්වූ 'බීර සාදයක්' ගැන මාධ්‍ය වාර්තා පළ වූයේ ඊයේ පෙරේදාය.

තරුණයන් පිරිසක් එකතු වී බීර බීම, ගී ගැයීම, නැටීම වරදක් නොවේ. අසල්වැසියන්ටද ඉන් කරදරයක් නොවන්නේ නම් ප්‍රශ්නයක් නැත. එහෙත් මේ බීර සාදයට සහභාගි වී සිටි බව කියන හත්දෙනාගෙන් පස් දෙනකුම තරුණ පාසල් දරුවන්ය. කොළඹ උසස් පාසල් කිහිපයක සිසුන් වන මේ පස්දෙනා ඇතුළු හත්දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ මවුපියන් ගෙන්වා අවවාද කර නිදහස් කර තිබිණි. මින් පස්දෙනෙක්ම ලබන වසරේ සාමාන්‍ය පෙළට පෙනී සිටින්නෝ වෙති.

බීර බී, දුම්වැටි පානය කර අඩනිරුවත් ඡායාරූප බලමින් සිත් සේ විනෝදවීම අද යෞවනයේ ළාමක විලාසිතාවකි.
අධ්‍යාපනයෙන් ඔවුන්ට ලබාදී ඇති 'බර' දරාගත නොහැකි වීමත්, ඇතැම් මවුපියන්ගේ තරගය දරුවන්ට ඔරොත්තු නොදීමත් නිසා දරුවන් තාවකාලික සතුට වෙනුවෙන් මෙවැනි සාදවලට නැඹුරුවීම පුදුමයක් නොවේ.

සිය දරුවන් කරන්නේ මොනවාද, කතා කරන්නේ මොනවාද, හැසිරීම කෙබදුද යන්න ගැන මවුපියන් අවදියෙන් සිටිය යුතුය. පහේ ශිෂ්‍යත්වය තෙක් දරුවාව අතින් අල්ලා රැගෙන යන මවුපියන් සැලකිය යුතු පිරිසක් සිටියත් ඉන්පසුව දරුවන්ගේ අත ඔවුහු අතහරිති. මවුපියන්ගේ ආරක්ෂාව, රැකවරණය හා ආදරය අවශ්‍ය කාලයේ මවුපියන් දරුවෝ අතහැර දමති. එවැනි දරුවන් මෙවැනි බීර සාද පැවැත්වීම අරුමයක් නොවේ.

දරුවාගේ බලවත් ඉල්ලීම පිට මවුපියන් ජංගම දුරකථන මිලදීගෙන දෙයි. නොඑසේ නම් සිය දුරකථනය ඔවුන්ට සෙල්ලම් කිරීමට ලබාදෙයි. මේ කුමකින් වුවද සිදුවන්නේ අවැඩකි. විශේෂයෙන් තරුණ දරුවකුට දුරකථනය ලබාදීමේදී එහි පාලනය මවුපියන් අත තබාගත යුතුය. එය අසීරුය. එහෙත් කළ යුතුය. ගුරුවරුන්ට පමණක් දරුවන් 'හැදීම' භාරදී මවුපියන්ට අත පිසදා ගත නොහැකිය. දරුවා දවසේ පැය විසිහතරෙන් වැඩි කාලයක් ගත කරන්නේ නිවෙසේ මවුපියන් සමඟය.

බීර සාදය පැවැත්වූ දරුවන්ගේ මවුපියන් පොලිසියට ගෙන්වා දෙපාර්ශ්වයටම කරුණු පැහැදිලි කර අවවාද කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණද මේ සිද්ධිය යළි යළිත් අවධාරණය කරන්නේ යෞවනයේ සිටින දරුවන් ගැන මවුපියන් ප්‍රමුඛ වැඩිහිටි සමාජය ඇස් ගසාගෙන සිටිය යුතු බවය. ෆේස්බුක් සාදවලට යොමු වූයේ මීට වඩා වැඩිමහල් තරුණ තරුණියන්ය. ඒ 'සාද' ආදර්ශයට ගෙන මේ පාසල් වයසේ දරුවන් බීර සාදය පැවැත්වූවා විය හැකිය.

මේ සමාජය වේගයෙන් පරිහානිය කරා ඇදී යමින් තිබෙන බව පැහැදිලිය. සොබාදහම නොහඳුනන තරුණ හා ළමා පරපුරක් නිර්මාණය වෙමින් පවතින බවද සත්‍යයකි. ආර්ථික, දේශපාලන අර්බුදය උග්‍ර වන තරමට මේ සමාජ අර්බුදයද ගැඹුරු වේ. පාසල් සිසුන්ගේ 'බීර සාදය' ගැඹුරු වන සමාජ අර්බුදයේ පිළිබිඹුවකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon