වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය, සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය අංක 1 සහ 2 ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස් ජේ.ටී. ද සිල්වා, රුචිර දිලාන් මධුසංඛ

  👤  3036 readers have read this article !
2018-09-21

ඇමැති පෞද්ගලික කාර්ය මණ්ඩලවල සේවය කරන නිලධාරීන්ට ලබාදෙන වාහන ගැන

විවිධ ප්‍රශ්න පැන නැඟී තිබෙනවා-සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල

ඇමැති පෞද්ගලික කාර්ය මණ්ඩලවල සේවය කරන නිලධාරීන් වාහන භාවිත කළ යුතු ආකාරය සහ ඔවුන්ට වාහන ලබාදිය යුතු ක්‍රමවේදය පිළිබඳව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අදාළ නිලධාරීන්ට ලබාදෙන වාහන පිළිබඳ විවිධ ප්‍රශ්න පැන නැඟී ඇති බවද ඇමැතිවරයා කීවේය.

ඇමැති කාර්ය මණ්ඩලවල නිලධාරීන්ට වාහන වෙන් කිරීමේදී අදාළ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිටවත් නොමැති අධි සුඛෝපභෝගී වාහන ඔවුන්ට ලබාදෙන බවට ජවිපෙ මන්ත්‍රි බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කිරිඇල්ල ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

බොහෝ අමාත්‍යාංශවල ඇමැති පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා පවුල්වල ළඟම ඥාතීන් පත්කරගන්නා නරක සම්ප්‍රදායක් ඇති අතර ඔවුන් සඳහා වාහන ලබාදීමේදී මෙම ගැටලුව ඇතිවන බවද බිමල් රත්නායක මන්ත්‍රිවරයා කීවේය.

ඇතැම් අමාත්‍යාංශවල ඇමැති පෞද්ගලික ලේකම්වරයාට ලබාදී ඇති වාහනය එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයකුටවත් නොමැති අවස්ථා ඕනෑ තරම් තිබෙන බවද රත්නායක මන්ත්‍රිවරයා කීය.
එම කරුණුවල සත්‍යතාවක් ඇති බැවින් ඉදිරියේදී ඔවුන්ට ලබාදෙන වාහන පිළිබඳව ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව කිරිඇල්ල ඇමැතිවරයා සඳහන් කළේය.

පෞද්ගලික රෝහල්වලින්
ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ප්‍රමාණවත් පහසුකම් නෑ
"ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට ප්‍රමාණවත් පහසුකම් සැලසෙන්නේ නැහැ"යි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා පැවැසුවාය.

අවුරුදු තිහක යුද්ධයක් පැවැති ප්‍රදේශවල ජනතාවට පෞද්ගලික රෝහල්වලින් නිසි පහසුකම් ලැබෙනවාද කියා සොයා බැලිය යුතුයි. සෞඛ්‍ය සේවාව මේ රටේ ජීවත්වන ජනතාවට අවශ්‍ය පහසුකම්, සේවාවන් සැලසිය යුතුයි.

උතුර - නැඟෙනහිර පළාත්වල දේශපාලන රැඳවියන් අද උපවාසයක යෙදී සිටිනවා. දීර්ඝ කාලයක් රඳවාගෙන සිටීම නිසයි ඔවුන් එසේ උපවාසයක යෙදී සිටින්නේ.
මේ රැඳවියන් සම්බන්ධයෙන් විසඳුමක් ලබාදිය යුතුයි.

පාසල්, රජයේ කාර්යාල හා පොදු ස්ථාන අසල රා තැබෑරුම් පවත්වාගෙන යෑම ජනතාවට විශාල කරදරයක් වී තිබෙනවා. එම තැබෑරුම්වල රා අලෙවි කිරීමේ වේලාව දීර්ඝ කිරීම සම්බන්ධයෙනුත් විමසා බැලිය යුතුව තිබෙනවා.

උතුරු නැඟෙනහිර පළාත්වල නීතිය හා සාමය පවත්වාගෙන යෑමේදී පොලිසිය සිදු කරන ක්‍රියාවන් ගැන අවධානය යොමුවිය යුතුයි.

ඩොලරය විතරක් නොවෙයි
ආණ්ඩුවම මස්තබාල්දු වෙලා-සිසිර ජයකොඩි

ඩොලර් එක විතරක් නොවේ. ආණ්ඩුවම මස්තබාල්දු වෙලා. මේ පාර්ලිමේන්තුවේ අද වගකිව යුතු ඇමැතිවරු නෑ. සභාව පාළුවෙලා. අගමැතිතුමා විහිළු කරනවා. ජනාධිපතිතුමා රෑ 10ට නිදාගන්නවා. මුදල් ඇමැති සභාවේ නෑ. රටේ මිනිස්සු කන්න නැතුව මුරුංගා කොළ තම්බගෙන කනවා." මේකයි අද රටේ තත්ත්වය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි පැවැසීය.

"වෙන කාලවල්වල මේ වගේ නියඟයක් ආවම පිරිත් කියනවා. වෙනත් ආගමික නායකයෝ පූජා පවත්වනවා. නමුත් මේ සැරේ මෙච්චර නියඟයක් උතුරු මැදට ඇවිල්ලත් එහෙම ආගමික වැඩසටහන් නෑ. ඒ අයත් ඉන්නෙ මස්තබාල්දු ආණ්ඩුව මකබෑවෙලාම යන්න ඕනෙ කියල.

අද ඩොලරය බාල්දු වෙලා. අපට කියල කිසිම වැඩපිළිවෙළක් නෑ. දෙයියනේ මේක පාලනය කරන්න බැරි නම් ගෙදර යන එකයි ඇත්තෙ. ව්‍යාපාර කඩා වැටුණු කී දාහක් ඉන්නවද? ඒ අය ගැන බලන් නැතුව එන්ටප්‍රයිස් නෙමෙයි මොන ප්‍රයිසස් ගෙනාවත් වැඩක් නෑ.

ආයෝජන කරපු අයත්
ඒවා ආපසු රැගෙන යනවා-බන්දුල ගුණවර්ධන

හොඳටම පිස්සු නැති මිනිහෙක් මේ රට සමඟ ආයෝජනය කරන්නේ නැහැ. ආයෝජනය කරපු අයත් ඒ ආයෝජන ආපසු රැගෙන යනවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

අද රුපියලේ අගය අඩු වෙලා ඩොලරයේ අගය 170ක් වෙලා. එය 200 දක්වා නඟිනවා. ලෝක ඛනිජ තෙල් අර්බුදයත්, රට ඇතුළේ යුද්ධයත් පවතිද්දී රුපියලේ අගය 130ට පැවතුණා.

වත්මන් ආණ්ඩුවට ලෝකයේ කිසිම ආණ්ඩුවකට නොලැබුණු වාසි ලැබුණා. ඛනිජ තෙල් ආනයන වියදම අඩු වුණා. මේ නිසා දැවැන්ත සල්ලි තොගයක් මේ ආණ්ඩුවට ඉතිරි වුණා.

මේ දැවැන්ත ආර්ථික අර්බුදය ඇති වුණේ මහින්ද රාජපක්‍ෂ යුගයේ නෙවි. මහින්ද මේ රට භාර දෙද්දී, ඩොලරයට ගෙව්වේ රුපියල් 105යි. සියලු අර්බුද පවතිද්දී මහින්ද රුපියල ස්ථාවර පවත්වාගෙන ගියා. රුපියල බාල්දුවීමෙන් ණය බර බිලියන දහසකින් වැඩි වුණා. රටේ බදු දවස ගාණේ වැඩි කරනවා.

සනීපාරක්ෂක තුවා සඳහා වැඩි මුදලක්
වැය කිරීමට සිදුවීමෙන් මවුවරු තම දැරියන්
ඔසප් කාලයේදී පාසල් යවන්නේ නැහැ-එරාන් වික්‍රමරත්න

'සනීපාරක්ෂක තුවා සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීම නිසා සමහර මවුවරු ඔසප් කාලයේදී තම දැරියන් පාසල් යවන්නේ නැහැ' යි එරාන් වික්‍රමරත්න පැවැසීය.

'කාන්තා ජනගහනයෙන් සියයට 42ක් තුවා පාවිච්චි කරනවා. නමුත් සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන්නේ ලක්ෂ 30ක් පමණයි. මේ සනීපාරක්ෂක තුවා සඳහා විශාල මුදලක් වැය වෙනවා. කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා තිබෙන සෙස් බද්ද ඉවත්කරනවා. ලංකාවේ තුවායක් රුපියල් 11 ක් පිටරට එකක් රුපියල් 22ක්. ඒ අනුව රුපියල් පන්දහසක් කාන්තාවකට වියදම් කරන්න සිදු වෙනවා. වතුර බිල රුපියල් නවදහසක් පමණ වෙනවා. අපි සෙස් බද්ද ඉවත් කළත් තවත් බදු තිබෙනවා.' අනෙක් බදු ඉවත් කරන්න මුදල් අමාත්‍යාංශයට බැහැ. මොකද ඒ බදු පාර්ලිමේන්තුවෙන් ඇති කර තිබෙන්නේ.

රුපියල කඩා වැටීමට හේතුව ඇමෙරිකාව හා චීනය අතර වෙළෙඳ ගැටුමය-මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කඩා වැටීමට හේතුව ඇමෙරිකාව හා චීනය අතර ඇතිව තිබෙන වෙළෙඳ ඝට්ටනය බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කෙළේය.
ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 5.29%කින් අවප්‍රමාණය වී ඇති බව කී රාජ්‍ය ඇමැතිවරයා ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ දකුණු ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බවද කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. තවදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

ආර්ථික අර්බුදය පවතින්නේ ලංකාවේ පමණක් නෙවෙයි. ලෝකයේ සෑම මුදල් ඒකකයක් සමඟම සැසඳූ විට ඩොලරය ඉහළ ගිහින් තිබෙනවා. ඩොලරයේ අගය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා 5.29%කින් ඉහළ ගිහින් තිබෙනවා. ඉන්දියාවේ රුපියල ඩොලරයට සාපේක්ෂව 13.12%කින් ඉහළ ගිහින් තිබෙනවා. ලංකාවේ 5.29ට තිබුණු අගය 8 දක්වා වැඩි වෙලා තිබෙනවා. පාකිස්තානයේ 11.22%කිනුත්, ඉන්දුනීසියාවේ 9.61% කිනුත් ඩොලරයේ අගය වැඩි වෙලා තියෙනවා.

ආසියාවේ තායිලන්තයේ හා සිංගප්පූරුවේ හැරුණු විට ලංකාවේ රුපියල පාකිස්තානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ආදී මේ සියලු රටවලට වඩා විශාල ලෙස ශක්තිමත් කොහොම වුණත් අපේ රටේ රුපියල ශක්තිමත්. අපි රට භාර ගනිද්දී 7.7ට පැවැති අය - වැය හිඟය 5.5 දක්වා අඩු වෙලා තිබෙනවා. විදේශීය සංචිතය ඩොලර් බිලියන 9 වඩා වැඩියි. ආනයනය කරද්දී ගැටලුවක් පවතින නමුත් අපනයනයේදී මෙය වාසියක්. කොහොම වුණත් සාපේක්ෂව අපි තවමත් ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය තිබෙන රටක්.

මිනිසුන්ගේ
දුක් අ‍ෙ¼දා්නා ආණ්ඩුවට ඇහෙන්නේ නෑ

"අද මේ රටේ මිනිසුන්ගේ දුක් අ‍ෙ¼දා්නාව ආණ්ඩුවට ඇහෙන්නේ නැහැ"යි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත බේරුගොඩ පැවසීය.

"අද භාණ්ඩ මිල වැඩිවෙලා. රුපියලේ අගය අඩු වෙලා. මේ නිසා විදේශ රටවලින් ආනයනය කරන භාණ්ඩ මිල ඉහළ යනවා. අපනයන ආදායම සුළු වශයෙන් වැඩි වුණත් ආනයන වියදම ශීඝ්‍ර ඉහළ යෑමක් සිදුවී තිබෙනවා.
අද රටේ සැබෑ තත්ත්වයට මුහුණදෙන්න සිදුවී තිබෙන්නේ දහදිය හෙළා මහපොළොවත් සමඟ ගැටෙන අහිංසක ජනතාවටයි.
දුන්න පොරොන්දු ඉෂ්ට කරලා මේ රටේ සිදුවන නාස්තිය අඩුකරන්න කියල අපි ඉල්ලනවා.

මන්ත්‍රිවරුන්ට අලුතින් වාහන මිලදී ගැනීමට පරිපූරක ඇස්තමේන්තු මඟින් මුදල් ලබාගැනීම සිදු කරනවා. මේව තමයි නාස්තිය කියන්නේ. මුදල් අවභාවිතය කියන්නේ.

මේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා ජනතාව විශාල කලකිරීමකින් ජීවත්වෙන්නේ. ආණ්ඩුව ජනතාව පිට බදු පිට බදු ගහනවා. අද ආර්ථික දර්ශක යන්නේ අනෙක් පැත්තටයි.

අද මේ රටේ මිනිස්සු කන්න නැතිව මුරුංගා කොළත් තම්බගෙන කනවා-සුනිල් හඳුන්නෙත්ති

"අද මේ රටේ මිනිසුන්ට කන්න විදියක් නැහැ. මිනිස්සු මුරුංගා කොළත් තම්බගෙන කනවා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.

"මේ රට අද එක්වරම ලොකු ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබෙනවා. මේ පවතින ක්‍රියාවලිය ඇතුළේ වැඩිනොවන්නේ මොනවද..? ජනතාවගේ ආදායමේ වැඩිවීමක් සිදුවන්නේ නැහැ.

"මහ බැංකුව ඩොලර් සංචිත නිදහස් කරන්නෙ නැත්තේ ඇයි..? රුපියල කඩාවැටීමට එරෙහිව මහ බැංකුවේ ප්‍රතිකර්මය කියන්න ඕනෑ. අද මේ රටේ ආර්ථිකය පාලනය වන්නේ රියැදුරු නොමැති වාහනයක් වගේ"

"අද රටේ ආර්ථිකයෙන් සියයට 80ක මුදලක් ගෙවන්නේ ගත්ත ණය වාරික ගෙවන්නයි. මේවට උත්තර හොයන්න තමුන්නාන්සේලා මොනවහරි විකුණනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කියන්නේ අපේ නිධානයක්. දැන් ඒකත් විකුණන්න හදන්නේ."

"රටේ ජනතාව අද පාරට බහින එක වළක්වන්න බැහැ. බස් ගාස්තු වැඩි වෙනවා. පිටි මිල, ගෑස් මිල, වැඩිවෙනවා. ජනතාවට ජීවත්වෙන්න විදියක් නැහැ. ජනතාවගේ කොන්ද උඩට මේ බදු ගහන්නේ. බදු ගහනවා වෙනුවට බදු සහන දෙන්න. රුපියල ශක්තිමත් කරන්න.

ආණ්ඩුව ගහන බදු කැරකිලා ඇවිත් ජනතාවගේ ඔළුවටම වදිනවා-වාසුදේව නානායක්කාර

"ආණ්ඩුව ගහන බදු හෙමින් හෙමින් කැරකිලා ඇවිල්ලා ජනතාවගේ ඔළුව උඩටම වදිනවා" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පැවැසීය.

මේ ආණ්ඩු සමහර දේවල්වල මිල ගණන් නියත වශයෙන් වැඩි කිරීමට පුරුදු වී සිටිනවා. තෙල් මිල, ගෑස් මිල නියත වශයෙන් වැඩි කරනවා.

"තමුන්නාන්සේලා ටෙලිෆෝන් කුලුනුවලින් බදු ගහන්න යනවා. මේ බදු ජනතාවට බලපාන්නේ නැද්ද? තමුන්නාන්සේලා හාල්මැස්සන්ට මිල පාලනය කරනවා. පාලන මිලට තියෙන හාල්මැස්සෝ බාල වර්ගයේ ඒවා. හොඳ වර්ගයේ හාල්මැස්සන්ට මිල පාලනයක් නැහැ."

"අද රුපියලේ මිල බාල්දුවී තියෙන්නේ ඩොලර් එකේ ඉල්ලුම වැඩිවීම නිසා. ඇයි එහෙම වෙන්නේ? ඩොලර්වල ඉල්ලුම වැඩිවීමට හේතුවී තිබෙන්නේ මේ ආණ්ඩුවේ වැරැදි ආර්ථික ප්‍රතිපත්තිය. බංකරින්වලින් අපට කොයි තරම් ආදායමක් තිබුණද? බංකරින් කොම්පැනිකාරයන්ට දුන්නා. රක්‍ෂණ සංස්ථාව දුන්නා. මේ රටේ රාජ්‍ය ව්‍යවසායයන් ධනපතියන්ට විදේශිකයන්ට ලබාදීම තුළින් මේ රටට විශාල ශාපයක් වී තිබෙනවා."

පොලිස්පති ඉවත් කරන්න කියන කොට අගමැතිතුමා ඔහු රකිනවා. ඔය විදියටම
මහ බැංකුවේ හිටපු අධිපතිත් ආරක්ෂා කළා-ෂෙහාන් සේමසිංහ

"ආණ්ඩුව මිල සූත්‍රය ගැන කතාකරනවා. මේ ආණ්ඩුවේ එකම ඇමැතිවරයෙක්වත් මේ කියන මිල සූත්‍රය දැකලා නැහැ"යි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ පැවැසීය.
"මිල සූත්‍රය නිසා හැම මාසෙම දහ වැනිදට තෙල් මිල ඉහළ යන එක නම් අපි දන්නවා."

"අද වන විට රුපියල අවප්‍රමාණය වීම මේ ආණ්ඩුවට පාලනය කරගන්න බැරිවෙලා තියෙනවා. මේ නිසා තමයි හැම භාණ්ඩයකම මිල ඉහළ යන්නේ."
"අද වන විට ඩොලරය 168.6ට ගිහින් තියෙනවා. ආර්ථික වර්ධනය සියයට 1.5යි කොහොමද රට ඉස්සරහට යන්නේ?"

"රුපියල අවප්‍රමාණය වීම නිසා මේ වන විට මේ රටේ ණය බිලියන දහසකින් වැඩිවෙලා තියෙනවා. මේ විදියට ගියොත් ආණ්ඩුව කොහේ නවතීවිද කියල දන්නේ නැහැ."

"පොලිස්පති පූජිත් ජයසුන්දර තනතුරෙන් ඉවත් කරන්න කියන කොට අගමැතිතුමා ඔහු ආරක්‍ෂා කරනවා. ඔය විදියටම මහ බැංකුවේ හිටපු අධිපතිවරයාත් අගමැතිතුමා ආරක්ෂා කළා."
"තමන්ට අභියෝගයක් වන විරුද්ධවාදීන් දඩයම් කරල මේ ආර්ථිකය ගොඩගන්න බැහැ."

පුළුවන්නම් රාජපක්ෂ පාලනයට වඩා වැඩියෙන් ආර්ථික වර්ධනයක් පෙන්වන්න- කංචන විජේසේකර

දැන් මේ රට පාලනය කරන ආර්ථික ඔස්තාර්ලට අපි කියන්නේ පුළුවන්නම් මහින්ද රාජපක්‍ෂ පාලනයට වඩා වැඩියෙන් ආර්ථික වර්ධනයක් ලබලා පෙන්වන්න. කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටිලා. අවුරුදු තුන හමාරක් තිස්සේ මේ රටේ ආර්ථිකය විනාශ කරලා" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව වසර 9ටම අරගෙන තියෙන්නේ ණය රුපියල බිලියන 5000යි. මේ ආණ්ඩුව අරගෙන අවුරුදු තුන හමාරෙදි රුපියල් බිලියන 4000ක්. මම මේවා කියන්නේ මහ බැංකු වාර්තාව අනුව. මේ වගේ ප්‍රශ්නයක් තියෙනව නම් අපි නෙමෙයි වැරැදි. මහ බැංකුව. රවි කරුණානායක මන්ත්‍රිතුමා අද මහ බැංකුව විවේචනය කරනවා. ඒ නිසා මේ දත්තවල වැරැද්දක් තියෙනවා නම් ඒ අහන්න ඕනේ මහ බැංකුවෙන්.

අපි ආණ්ඩුව කළේ යුද්ධයක් එක්ක. ඒ සඳහා විශාල මුදලක් වැයකළා. හැබැයි අපි ඒ අතරේ ජනතාවට සහන දෙන්නත් අමතක කළේ නෑ.

බහුදින ධීවර යාත්‍රා හිමියන්ට
ඉන්ධන සහනාධාරයක් දීමට
කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා

ඇමැති විජිත් විජිතමුණි සොයිසා

බහුදින ධීවර යාත්‍රා හිමියන්ට ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එම කැබිනට් පත්‍රිකාව සම්මත වීමෙන් පසු ඔවුන්ට එම සහනාධාරය ලබාදිය හැකි බවද ඇමැතිවරයා කීවේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා ස්ථාවර නියෝග 27/2 යටතේ සිදුකළ විශේෂ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.
අනුර කුමාර දිසානායක මහතා
"ඇමැතිතුමා බහුදින ධීවර යාත්‍රා 4600ක් තියෙනවා. මේ අයට ඉන්ධන සහනාධාරය දෙන්නෙ නැතිව ඒවා නැංගුරම්ලා තියෙනවා."

"මුදල් ඇමැතිතුමා අපට අවසර දෙයි. මම කැබිනට් පත්‍රිකාව ලබන සතියේ දානවා" විජිතමුණි සොයිසා ඇමැතිවරයා කීවේය.
දිසානායක මහතා
"මුදල් ඇමැතිතුමා මොකද ඔබතුමා කියන්නෙ"
"කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළාම බලමු" මුදල් අමාත්‍ය මංගල සමරවීර කීවේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon