වැදි බණ දෙසන්නෝ

  👤  2615 readers have read this article !
2018-09-21

ගෞතම බුදුන් වහන්සේ සත්‍යගරුකය, විනයගරුකය. උන්වහන්සේ රහසින්වත් පව් නොකළ සේක. තමන් පරිනිවන් පෑ පසු ධර්මය ගුරුතැන්හිලා කටයුතු කරන්නැයි බුදුන් වහන්සේ දේශනා කළ බව සඳහන් වේ. එහෙත් බුදුන් දවස සිටි 'සුභද්‍ර' වැනි භික්ෂුන් මෙරට පැවිද්දන් අතර සිටිමින් 'බුද්ධ ධර්මය' පසෙකලා සිය අභිමතය පරිදි 'ධර්මය' දේශනා කරති. ඔවුන්ගේ අරමුණ ජනප්‍රිය වීමය. මිල මුදල් ඉපැයීමය.

කාලාන්තරයක් පුරා විකෘති වෙමින් පැවත ආ බුද්ධ දේශනාව වර්තමානයේදී ඉතා අයහපත් ආකාරයට විකෘති කර දේශනා කිරීමට ගිහි - පැවිදි පිරිස් කටයුතු කරමින් සිටිති. මෙරට බෞද්ධ සමාජය වඩාත් නැඹුරු වී සිටින්නේ 'ජනප්‍රිය බුද්ධාගම' ට වුවද ඒ තුළ ඉතා බරපතළ ලෙස බුද්ධ දේශනාව විකෘති කර ඇත. ඊට අනුබල දුන් තරුණ හිමිවරුන් සිවු නමක් මල්වතු විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ තිබ්බටුවාවේ සිරි සුමංගල මහ නාහිමි ප්‍රමුඛ ජේ‍යෂ්ඨ කාරක සංඝ සභාව හමුවට පැමිණ මින් ඉදිරියට ධර්මය විකෘති කර දේශනා නොපවත්වන බවටද අන්තර්ජාලයට මුදාහරින ලද සියලු වීඩියෝ පට මකාදමන බවටද පොරොන්දු වී ඇත.

මෙම නිකායේ මෙන්ම තවත් නිකායවල පැවිදි වී මෙලෙස ධර්ම විරෝධීව හැසිරෙන්නේ නම් ඊට මෙවැනි විනය පියවර ගත යුතුය. ඒ පිළිබඳව මල්වතු පාර්ශ්වය ලබාදුන් ආදර්ශය සුවිශේෂීය. තවදුරටත් බුද්ධ ධර්මය විකෘති වන අන්දමට දේශනා පැවැත්වුවහොත් හිමිවරුන් සිවුදෙනා භික්ෂුත්වයෙන් නෙරපා දමන බවට මල්වතු නාහිමි අනතුරු අඟවා තිබිණි.

මේ තරුණ හිමිවරුන්ට පමණක් නොව බුදුදහමට පටහැනිව කටයුතු කරන, චීවරයේ ගෞරවය කෙලෙසන සියලුදෙනාට මෙලෙස අවවාද කළ යුතුය. දෙවනුව භික්ෂුත්වයෙන් ඉවත් කළ යුතුය.
සංගායනාවකට කාලය එළැඹ ඇතැයි යතිවරුන් මත පළ කර ඇත්තේ සසුනේ පවතින මේ පිරිහීම නිසාය. ඊට පක්ෂ වනවා මිසක කිසිවකුට විරුද්ධ විය නොහැකිය. සසුන පිරිහෙන හේතු හඳුනාගෙන පිළියම් යෙදීම වෙනුවට පොතක නමක්, නාට්‍යයක වචනයක් අල්ලාගෙන දැඟලීම විහිළුවකි.

ආර්ථික අර්බුදයනට මුහුණ දී සිටින මේ සමාජයේ කලාව, අධ්‍යාපනය, මාධ්‍ය හා ආගම පිරිහී ඇත. මේ සතරාංග දියුණු කර නොගෙන මේ සමාජයට ඉදිරි ගමනක් නැත. මින් 'ආගම' වර්තමානයේ අවිනිශ්චිත වූවකි. එහෙත් 80 දශකයට පෙර පැවැති ආගම හා සමාජය අතර වූ සම්බන්ධය මේ වන විට බරපතළ ලෙස කඩා වැටී ඇත.

සබඳතා තර විය යුතු වුවද සිදුව ඇත්තේ එහි විලෝමයය. රටේ ඇත්තේ ඊනියා ආගමික ප්‍රබෝධයකි. එමගින් මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මය සුවපත් කරන්නේ නැත. ආර්ථික අර්බුදයෙන් පෞද්ගලික ගැලවුම් මාර්ගයක් සොයා ගැනීමට බොහෝ දෙනා ආගම පාවිච්චි කරති. විශේෂයෙන් ඇදහිලිවන්තකම හා ගලවාගැනීම ප්‍රතික්ෂේප කරන බුද්ධ ධර්මය තුළ නොඑසේ නම් බුද්ධාගම තුළ ඔවුන් සොයන්නේ ආර්ථික විමුක්තියය. අවසානයේ ගිහි - පැවිදි දෙපාර්ශ්වයම පඹගාලක පැටලී මංමුළා වෙමින් සිටිති. බුද්ධ ධර්මය විකෘති කළ බවට චෝදනා ලැබූ හිමිවරුන් සිවුදෙනා හා රටපුරා විසිරී සිටින සෙසු එවැනි හිමිවරුන් ඒ මංමුළා වූවන්ගේ ප්‍රකාශකයෝ වෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon