හිඟන්නාගේ පාත්තරය

  👤  3264 readers have read this article !
2018-09-23

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සිකුරාදා වාර්තා කර තිබුණේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7%කින් අවප්‍රමාණය වී ඇති බවය. ඒ අනුව මේ වනවිට ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 168.03කි.

එය ඉතිහාසයේ රුපියල වැඩියෙන්ම හෑල්ලු වූ අවස්ථාව ලෙස සැලකේ. රුපියලේ අගය අවප්‍රමාණය වීම කිසිසේත්ම ආර්ථිකය කඩා වැටීමක් නොවන බව පෙන්වා දෙන මුදල් ඇමැති මංගල සමරවීර එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඉන්දියානු රුපියල මේ වනවිට 11%කින්ද, ඉන්දුනීසියන් රුපියා 9%කින්ද, ඕස්ට්‍රේලියන් ඩොලරය 8.2%කින්ද, පිලිපීන පෙසෝව 7.7%කින්ද වැඩි වී තිබෙන බව පෙන්වා දෙයි. මුදල් ඇමැතිවරයා උත්සාහ කරන්නේ රුපියල අවප්‍රමාණය වීම ගණන් ගන්නට තරම් අලකලංචියක් නොවන බව පෙන්වන්නටය.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර තිබුණේ රුපියල 2011 _ 2012 කාලය තුළ 12%ට වඩා වැඩි ප්‍රමාණයකින් අවප්‍රමාණය වූ බැවින් මේ තත්ත්වය බරපතළ කාරණයක් නොවන බවය. කෙසේ වුවද රුපියලේ අගය තවත් පහත වැටෙනු ඇතැයිද සති අන්තයේ මුදල් ඇමැති සඳහන් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ රුපියල අවප්‍රමාණය වීම දේශීය ආර්ථිකයේ පසුබෑම නිසා සිදුවූවක් නොවන බවය.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ උච්චාවචනය සම්බන්ධව ආර්ථික විශ්ලේෂකයන් කරන විග්‍රහ ජනතාවට එතරම් වැදගත් වන්නේ නැත. ජනතාව මේ මොහොතේ ඉන්නේ නාමල් කුමාරගේ ජනපති ඝාතන කුමන්ත්‍රණ හෙළිදරව්ව නරඹමින්ය. මාකඳුරේ මධුෂ් සහ නියෝජ්‍ය පොලිස්පති නාලක වැඩේට පටලැවී ඇති බැවින් ජනතාවට ත්‍රාසය - භීතිය ඕනෑවටත් වඩා ලැබී තිබේ. අලි මදිවාට හරක් කීවා සේ පොලිස්පතිවරයා ඉදිරිපත් කරන කෝලං කෑලිද ජනතාව මහත් උදේ‍යාගයෙන් නරඹමින් සිටිති.

ජනප්‍රිය මාතෘකාවක් මාධ්‍ය සන්දර්ශන තුළින් උස්සා දුන් විට අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන කල දුටු විට වළ ඉහගන්නට අපේ රටේ ආණ්ඩු ඉතා දක්ෂය. පසුගිය සතියේ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල ආණ්ඩුව ඉහළ දැම්මේය. මැයි මාසයේ ඉහළ දැමූ බස් ගාස්තුවද නැවත 4%කින් ඉහළ දැමුවේය. ඒ ගැන ජනතාව කලබල නොවූයේ කතා කරන්න ඊට වඩා වැඩි කාරණා කරළියේ තිබෙන නිසාය. වැට් බද්ද, සෙස් බද්ද, රේගු බද්ද පමණක් නොව ජාතිය ගොඩනැඟීමේ බද්ද ආදී 101% බදු අය කරන ආණ්ඩුව පිටි කිලෝවේ මිල පමණක් රුපියල් 5ක් අඩු කරන්නට නියම කර තිබිණි.

තවත් එතරම් අවධානයට ලක් නොවූ කාරණාවක්ද තිබේ. මුදල් ඇමැතිවරයා විසින් කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා වූ සෙස් බද්ද 40%කින් අඩු කරනු ලැබ ඇත. එහි වාසිය ඉදිරියේදී පාරිභෝගිකයා වෙත ලැබෙනු ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ මෙරට දිළිඳු කාන්තාවන්ගෙන් සියයට කීයක් සඳහා මුදල් ඇමැතිගේ සහනය වලංගු වෙනවාද යන්නය.

මෙයින් පැහැදිලි වන්නේ අපේ රටේ සාමාන්‍ය ජනතාව සහ පාලකයන්ගේ සිතුම් පැතුම් අතර පවත්නා බරපතළ හිඩැස මිස අනෙකක් නොවේ. තවමත් නියඟයෙන් පීඩා විඳින උතුරු මැද, නැඟෙනහිර ජනතාව දවසේ එක් වේලක් හෝ දරුවන්ගේ කුසට ආහාර දී ගත නොහී යුද්ධයක නිරතව සිටියදී පාලකයෝ 2030 දක්වා පාලනය ගෙනයන අන්දම ගැන පුරසාරම් ඇදබාති. 2020 ජනාධිපතිවරණයට කැහැපොට ගසති. සුරංගනා කතාවලින් වැඩක් නැත. සෑම නිවෙසකම තුන් වේල බත ඉදෙන සංස්කෘතිය නැවත උදා කරන්නට බැරි නම් ඒ ආර්ථික කළමනාකරණයෙන්ද රටට වැඩක් නැත. හිඟන්නාගේ පාත්තරය අතගා බලන මේ දාදු කෙළිය දැන්වත් නතර කළ යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon