ලෝකය සමඟ ගනුදෙනුව

  👤  2355 readers have read this article !
2018-09-26

එක්සත් ජාතීන්ගේ 73 වැනි මහ මණ්ඩල සැසිවාරයට සහභාගි වීමට ගොස් ජනාධිපතිවරයා මේ දිනවල සිටින්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරය. ඉකුත් 24 වැනිදා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව ඇමැතීමේ අවස්ථාවද එතුමාට හිමි වී තිබිණි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මැන්ඩෙලාගේ විශිෂ්ට චරිතය හා ගමන්මඟ පිළිබඳව සියලු ලෝක නායකයන් අධ්‍යයනය කළ යුතු බවය. ඔහුගේ චරිතය හා ගමන්මඟ සිහිපත් කිරීමට සිදුව ඇත්තේ ලෝකය අද ගමන් ගන්නේ එවැනි මඟක නොවන නිසා බවද එතුමා අවධාරණය කර තිබිණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ කතාව සහතික ඇත්තය. බලය අත්හැරීම සහ බලය සීමා කිරීම පිළිබඳ නෙල්සන් මැන්ඩෙලා චරිතය ලෝකයේ නායකයන්ට කදිම ආදර්ශයක් සපයයි. කාහට නැතිවුණත් අපේ රටේ දේශපාලනඥයන්ට 'මැන්ඩෙලාගේ දේශපාලනය' පාඩම් පොතකි. එහෙත් අපේ දේශපාලනඥයන් පාඩම් ඉගෙන ගැනීමට අකැමැතිය. ඔවුන් 70 වසරක් පුරා කළේ මේ රටේ ජනතාවට 'පාඩම්' ඉගැන්වීමය. අවාසනාව වන්නේ ජනතාවද ඔවුන් ඉගැන්වූ පාඩම් කල් නොයවා අමතක කර දැමීමය.

1948න් පසු සන්නද්ධ අරගල තුනකටත්, තිස් අවුරුදු යුද්ධයකටත් මැදිවූයේ පාලකයන්ගේ වැරැදි දේශපාලන කළමනාකරණය නිසාය. අද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයට හේතු වී ඇත්තේ මේ පාලකයන්ගේ වැරැදි ආර්ථික
කළමනාකරණය මිස අනෙකක් නොවන බව පැහැදිලිය. කවුරුන් කුමක් පැවසුවද මේ ආර්ථික අර්බුදය එක් පිරිසකගේ ප්‍රශ්නයක් නොව කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ආ ප්‍රතිපත්ති විරහිත පාලනයේ නියත ප්‍රතිඵලයකි.

ජනවාර්ගික ප්‍රශ්නය විනාශකාරී යුද්ධයක් දක්වා පැතිර යනතුරු පිල් බෙදී කෙස් පැළෙන වාද විවාද කළා සේ ආර්ථික ප්‍රශ්න බරපතළ අර්බුදයක් වනතුරුත් මේ පාලකයන් කළේ වාද විවාද කිරීම පමණි. වර්තමානයේ ද එහි විශාල වෙනසක් සිදුවී නැත.

ඉදිරි වසර රටට වඩාත් අභියෝගාත්මකය. ණය බර තවත් වැඩි වී ඇත්තේ රුපියල අවප්‍රමාණය වීම නිසාය. තෙල් මිල ඉහළ යෑම ආර්ථික පීඩනය දෙගුණ කරනු ඇත. එහෙත් දේශපාලන ස්ථාවරභාවයක් රටේ නොමැති වීම නිසා මේ අභියෝගවලට මුහුණ දීම එතරම් පහසු වේ යැයි සිතිය නොහැකිය. දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමත්, ජාත්‍යන්තර සහාය ලබා ගැනීමත් එකම කාසියේ දෙපැත්තකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලෝකයේ අවධානය දිනා ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කල්පනා කරනවා විය යුතුය.

එය වඩා පරිස්සමින් කළ යුතුය. මානව හිමිකම් කොමිසම ලංකාව දෙස ඇස් දල්වා බලා සිටියි. රැවුලයි කැඳයි දෙකම ලංකාවට අවශ්‍යය. එනිසා ලෝකයේ සිත් නොතැළෙන ලෙස කටයුතු කරමින් රොන් ගැනීමට ලංකාවට හැකිවනු ඇත. නොඑසේ නම් රුපියල අවප්‍රමාණය වීම හරහා රටේ අනාගතය මස්තබාල්දු වීමට ඉඩ තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon