විදේශ බලපෑම්, තර්ජන එපා

  👤  2863 readers have read this article !
2018-09-27

එක්සත් ජාතීන්ගේ 73 වැනි සමුළු වාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ දේශනය ලොව බොහෝ රාජ්‍ය නායකයන්ගේ අවධානයට ලක්වනු නිසැකය. ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට විදේශ බලපෑම් හෝ විදේශ තර්ජන අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජාතික සමඟිය හා මානව හිමිකම් ශක්තිමත් වූ රටක හෙට දවස වෙනුවෙන් ශ්‍රී ලංකාව දෙස නව මානයකින් බලන ලෙස හෙතෙම රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. අපට අපේ ප්‍රශ්න විස¼දාගෙන ඉදිරියට යන්න ඉඩදෙන්නැයිද ජනාධිපතිවරයා විවෘත ආයාචනයක් කළේය.

ජනාධිපතිවරයාගේ කතාව ඉතා සංවේදී වෙනවාක් මෙන්ම එය ඉතාමත් යථාර්ථවාදී ප්‍රකාශයක්ද වන්නේය. ඔහු සෘජුවම ඉල්ලා සිටියේ අලුත් අදහස් ඇතිව නව සිතිවිලි සමඟ අපට සහයෝගය ලබාදෙන ලෙසය. සමස්ත කතාවේම අන්තර්ගතය තුළ වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික සංහිඳියාව උදෙසා විශිෂ්ට යුග මෙහෙවරක තම රට නිරත බැවින් ඊට ලොව සියලු රාජ්‍ය නායකයන්ගේ සහාය ලැබිය යුතු බවය. එය ඉතාමත් කාලෝචිත ඉල්ලීමක් බව බැලූ බැල්මට පෙනේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතනු ලැබූ සිවු වැනි වාරය මෙයයි. වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලෝක රාජ්‍ය නායකයන් ආමන්ත්‍රණය කළ සෑම අවස්ථාවකම සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අදහස් බොහෝදුරට මෙවර ඉදිරිපත් කළ අදහස්වලට සමාන වූ බව මෙහිදී සඳහන් කළ යුතුය. එසේම ඒ සඳහා රාජ්‍ය නායකයන්ගේ යහපත් ප්‍රතිචාරද හිමිව තිබිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට ඇතැම් කරුණු සම්බන්ධව අවධාරණය කිරීම් සිදුකළ බවද සත්‍යයකි. ඒවා නිශ්චිත ලෙසම ඉදිරිපත් වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පැත්තෙනි. පසුගිය පාලන සමයේ ලංකාණ්ඩුව සහ මානව හිමිකම් කමිටුව අතර හටගත් ප්‍රතිවිරෝධතා කෙතරම් දුරදිග ගියේදයත් මෙරට කැබිනට් ඇමැතිවරයකු එවකට සිටි මානව හිමිකම් කොමසාරිස්වරිය වූ නවනීදම් පිල්ලේ උපහාසයට ලක්කරමින් විවාහ යෝජනාවක්ද කළේය.

පසුගිය යුද සමයේ මෙරට සිදුවූ මානව හිමිකම් කඩවීම් පිළිබඳව විමර්ශන සිදුනොකිරීම සම්බන්ධව එම ගැටලු පැනනැඟුණු බව පැහැදිලිය. ජනාධිපතිවරයා සඳහන් කරන ප්‍රජාතන්ත්‍රවාදය ගෞරවනීය ලෙස ශක්තිමත් වන්නේ එවැනි නිසි විමර්ශනයන් මත පදනම් වීමෙන් බවද පිළිගත යුතුය. විදේශ තර්ජන, අතපෙවීම්, මැදිහත්වීම් සිදුවන්නේ අප අපගේ පාර්ශ්වයෙන් ඉටු විය යුතු යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු නොකරන විටය. විදේශීය විනිසුරුවරුන් සහිත අධිකරණයක් යුද අපරාධ සම්බන්ධයෙන් පැනවිය යුතු බවට ඔවුන් යෝජනා කළේ දේශීය යාන්ත්‍රණයක් සහිත අධිකරණයක් පිළිබඳව ලංකාව ඉදිරිපත් කළ අදහස මේ දක්වාම යථාර්ථයක් නොවූ නිසාය.

ප්‍රස්තුත කාරණා පිළිබඳ මාතෘකාව දැනුවත්වම මඟහැර අපට අපේ පාඩුවේ ඉන්නට ඉඩ දෙන්නැයි කීමද ඥානාන්විත නොවේ. අතුරුදන්වූවන් පිළිබඳ ලේකම් කාර්යාලය පිහිටුවූවා සේම මානව හිමිකම් සහතික කිරීම සම්බන්ධ අනෙකුත් පියවරයන් ඉටුවන විට කිසිදු රාජ්‍යයකට අපට බලපෑම් කරන්නට අවකාශ නොලැබෙන බවද සහතිකය.එවිට ජාතික සමඟිය සහ මානව හිමිකම් ශක්තිමත් වූ රටක හෙට දවස වෙනුවෙන් ශ්‍රී ලංකාව දෙස නව මානයකින් බලන්නට ලෝක නායකයන් පෙලඹෙනු ඇත.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් වශයෙන් එහි තිබෙන්නා වූ එකඟතාවන් හා ප්‍රඥප්තීන් සුරකින රටක් ලෙස හිමිවිය යුතු කීර්තියද එවිට නොඅඩුව හිමිවනු ඇත.

ශ්‍රී ලංකාව පලස්තීන ජනතාවගේ විමුක්ති සටනට සෑම විටම සහයෝගය දුන් රාජ්‍යයක් බව මතක් කර දුන් ජනාධිපතිවරයා වර්තමානයේ පලස්තීන ජනතාවට එරෙහිව සිදුවන අමානුෂික ක්‍රියාවන් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ප්‍රබල මැදිහත්වීමක් අවශ්‍ය බව එඩිතරව ප්‍රකාශ කිරීමද අගය කළ යුතුය. ලෝක බලවතුන් හමුවේ නොබැඳි රාජ්‍යයන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමුවීමටද එය හේතුවනු නිසැකය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon