සියලු සත්ත්වයෝ ජීවත් වෙත්වා!

  👤  2895 readers have read this article !
2018-09-30

ශ්‍රී ලංකාවට ජාතික ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට විශේෂඥ සහාය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයෙන් ඉල්ලා තිබේ. එය ඉතාමත් ඥානාන්විත මෙන්ම කාලෝචිත පියවරකි.

ලංකාවේ ආහාර නිෂ්පාදනය සහ වන සතුන් ඉන් කොටසක් පරිභෝජනයට ගැනීම සම්බන්ධවද අලුත් කතිකාවක් මේ දිනවල කරළියට පැමිණ තිබේ. එය මතුව තිබෙන්නේ ජනතාවගේ පැත්තෙන් නොව රාජ්‍ය ආයතන මාර්ගයෙනි.

කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වූයේ ජාතික බෝග නිෂ්පාදනයෙන් 35%ක් වඳුරන් හා රිළවුන් විසින් විනාශ කරන බවය. එම විනාශය දළ වශයෙන් කෝටි 1800ක් පමණ වන බවට ඔවුන් ගණන් හිලව් දක්වා තිබිණි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංගණනයකට අනුව ලංකාවේ වඳුරන් ලක්ෂ 15ක් සිටින අතර කුරුම්බා ගෙඩි ලක්ෂ 05 සිට 8 දක්වා වසරකදී එම සතුන් විනාශ කර දමන බවද සඳහන් වේ. මෙයට අමතරව වන අලි, වල් උෟරන්, දඬුලේනුන් හා මොනරුන් බෝගවලට හානි කරන සතුන් ලෙස ආණ්ඩුව නම්කර තිබේ.

වල් උෟරු මස් අලෙවිය සහ ප්‍රවාහනය තහනම් කරමින් දැනට තිබෙන නීති ඉවත් කරන බවද අනෙක් සතුන් විනාශ කිරීම සඳහා වායු රයිෆල් ලබාදිය හැකි බවද ආණ්ඩුවේ වගකිවයුත්තන් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබිණි. ඒවා යථෝක්ත ප්‍රශ්නයෙහිලා සාධනීය පියවරයන් ලෙස කිසිසේත් අගය කළ නොහැකිය. මන්ද වසර දහස් ගණනක් මෙම සත්ත්ව වර්ගයා සමඟ සංහිඳියාවෙන් ජීවත් වූ සංස්කෘතියකට ලාංකේය සමාජය උරුමකම් කියන නිසාය. මිහිඳු මාහිමියන් ඉදිරියේ දේවානම් පියතිස්ස රජු දුන්න බිම දැමුවේ වායු රයිෆල් අතට ගන්නට නොවේ.

වී කුරුල්ලෝ වී ඇටයක් කෑවාට ගොවියෝ උරණ වූයේ නැත. වඩු කුරුල්ලෝ කපා ගත් ගොයම් කරලට හිලව් වන්නට අතු අග අලංකාර කූඩු තැනූහ. මාල ගිරව් මී අඹවල පැණි බීවාට හිලව් වෙන්නට ගී ගැයූහ. ගමේ දරුවෝ සකලයන් හඹන්නට කෑ කෝ ගැසුවා මිස සකලයන් මරන්නට සිතුවේ නැත. ගොයම කපා පාගා බැත ගෙට ගත්තේ කුරුලු පාළුව කුඹුරේ ඉතිරි කොටය. ඒ වනාහි අප අනුදත් සොබාදහම හා බැඳුණු මහා සංස්කෘතියයි.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ෂින්ජින් ෆන් (ඉඩඥදඨඨඥද ජ්චද) මහතා හමුවේ ලංකාව මුහුණ දෙන බෝග විනාශය පිළිබඳ ගැටලුව ඉදිරිපත් කර තිබේ. සතුන්ද රැක ගනිමින් මේ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාගැනීමට අවශ්‍ය බව ජනාධිපතිවරයා පවසා ඇත.
සතුන්ද ආරක්ෂා කර ගනිමින් ප්‍රශ්නය විස¼දා ගන්නට රටේ පාලකයා තීරණය කිරීම සොබාදහමට, පරිසරයට ආදරය කරන සියලු පුරවැසියන්ගේ සන්තුෂ්ටියට හේතුවනු ඇත.

රටවල් ගණනාවක් මුහුණ දී සිටි සත්ත්ව ගහනය නිසා බෝග විනාශ වීමේ ගැටලුවට ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනය විසඳුම් ලබාදී ඇති බවත් එම අත්දැකීම්ද උපයෝගී කර ගනිමින් ලංකාව මුහුණ දෙන ප්‍රශ්නයට විසඳුම් දෙන්නට හැකි බවත් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රතිඥා දී තිබේ. එය මේ සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තු තැබිය හැකි අවස්ථාවකි.

වඳුරන්, මොනරුන්, වල් උෟරන් ඝාතනය කරන දඩයම් ප්‍රතිපත්තියට එළැඹෙන්නේ නැතිව දියුණු ලෝකය අනුගමනය කරන සත්ත්ව ගහනය වැඩිවීම වළක්වන තාක්ෂණික ක්‍රමවලට යොමුවීම මිහිතලය සියලු සත්ත්වයන් සඳහාය යන උතුම් බුදු වදනටද අනුකූල වේ.

සියලු සත්ත්වයෝ ජීවත් වේවා!

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon