පිදුරංගල සහ නිරුවත

  👤  3362 readers have read this article !
2018-10-01

පිදුරංගල සහ නිරුවත

කාශ්‍යප රජතුමා විසින් ආරණ්‍ය සේනාසනයක් කෙරුණු පිදුරංගල, රහතන් වහන්සේ වැඩ සිටි බව අපේ ඉතිහාසයේ සඳහන් වේ. මේ පිදුරංගල ඓතිහාසික කඳු මුදුනට නැඟි තරුණයන් පිරිසක් අඩනිරුවතින් හෙවත් සිය පශ්චාත් භාගය ප්‍රදර්ශනය කරමින් ඡායාරූප ගෙන ඒ ඡායාරූප සමාජ වෙබ් අඩවි වෙත මුදාහැරීම ආන්දෝලනයට තුඩු දී ඇත.

ප්‍රශ්නය වන්නේ තම අඩනිරුවත අන්තර්ජාලයට මුදාහැරීම නොව මේ ඡායාරූපවලට පසුබිම් වී ඇත්තේ පිදුරංගල පූජා භූමිය වීමය. ඓතිහාසික වේවා නොවේවා ආගමික සබඳතාවක් ඇති භූමියක හෝ ස්ථානයක මෙලෙස හැසිරීම ආගමික බැතිමතුන්ගේ සිත් රිදවීමකි. ආගමික අර්ථයෙන් පූජාභූමිය හෝ පූජනීය ස්ථානය කෙලසීමක් ඉන් සිදුවේ. ඒ නිසා මෙවැනි හැසිරීමකට පෙර තරුණයන්ට ඒ පිළිබඳව දෙවරක් සිතීමට තිබිණි.

අනෙක අදාළ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමෙන් ඔවුන් කර ඇත්තේ වරදකි. ඇත්ත වශයෙන්ම මේ සිද්ධිය ලෝකයම දැනගත්තේ ඒ නිසාය. මේ තරුණ පිරිස පමණක් නොව වෙනත් තරුණ පිරිස්ද පිදුරංගලදී පමණක් නොව තවත් මෙවැනි ස්ථානවල මෙලෙස හැසිරෙන බව පැහැදිලිය. එවැනි නොහික්මුණු අසංවර වැඩ කවුරුත් කළත් කිසිසේත් ඒවා අනුමත කළ නොහැකිය.

කඳු මුදුනකට නැඟ හෝ නොනැඟ අඩ නිරුවතින් නොව නිරුවතින් හෝ ඡායාරූප රැගෙන අන්තර්ජාලයට මුදාහැරීමට 'නිදහස' තරුණ තරුණියන්ට නොව ඕනෑම කෙනකුට ඇත. සිය නිරුවත හෝ අඩනිරුවත ලෝකයට ප්‍රදර්ශනය කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය ඔවුනොවුන් සතුය. ප්‍රශ්නය වන්නේ පිදුරංගල සිද්ධිය වැනි දේ කිරීමය.

අනෙක බටහිරින් මෑතකදී පැමිණි රැල්ලක් වූ ප්‍රසිද්ධ ස්ථානවල හෝ ජනප්‍රිය ස්ථානවලදී අඩනිරුවත විශේෂයෙන් පශ්චාත් භාගය ප්‍රදර්ශනය කිරීම හා ඒ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීම අපේ තරුණයන්ද ආදර්ශයට ගෙන ඇති බව පෙනේ. බටහිරින් එන ජීවිතයට වටිනා දේට වඩා මෙවැනි නොවටිනා දේ එකතු කර ගැනීමට කොහොමත් අපේ රටේ උදවිය දක්‍ෂය.

පිදුරංගල සිද්ධියට සම්බන්ධ යැයි පවසමින් මේ වන විට 19 හැවිරිදි තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බෞද්ධ හිමිනමක් පොලිසියට කළ පැමිණිල්ලකට අනුවය. පුරාවිද්‍යා ස්මාරකවලට හානි කළ බවට පොලිසිය නඩුව ගොනු කිරීම නිසා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති මහෙස්ත්‍රාත්වරයා ලබන 3 වැනිදා දක්වා ඔවුන්ව රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

එහෙත් පිදුරංගල රජමහා විහාරයට සම්බන්ධ බෞද්ධ හිමිනමක් ඕඕඛ් ගුවන්විදුලියට ප්‍රකාශ කර තිබුණේ නොදැනුවත්කම නිසා ළාබාල තරුණයන් කළ ක්‍රියාවට දඬුවම් නොකර අවවාද කර මුදා හැරීම ප්‍රමාණවත් බවය. 19 හැවිරිදි පාසල් වයසේ පසුවන මේ තරුණයන්ගේ ක්‍රියාව ගැන පොලිසියට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද වෙනම පරීක්ෂණයක් සිදුකරන බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. තරුණ පිරිසක් කඳු මුදුනට නැඟ පශ්චාත්භාගය පෙන්වූ පමණින් හානි වූ දේවල් මොනවාද යන්න ප්‍රශ්නයකි.

එසේ නම් පුරාවිද්‍යාවට සොයා බැලීමට කොතරම් දේවල් මේ රටේ තිබෙනවාද?

හිරිමල් යෞවනයේ පසුවන පාසල් සිසුන් පිරිසකගේ අඩනිරුවත ගැන ඇතැමුන් වධ වෙද්දී අත්දැකීම් බහුල වැඩිහිටියන්ගේ හැසිරීම ගැන බොහෝ දෙනකු එතරම් උනන්දු වන්නේ නැත.

70 වසරක් පුරා වැඩිහිටියන්, නොඑසේ නම් පාලකයන් හා ඔවුන්ව පත්කර ගන්නවුන් මේ රට අද ලෝකය හමුවේ නිරුවත් කර තිබේ රටට දරාගත නොහැකි ණය කන්දකි. රුපියල මස්තබාල්දු වී ඇත. රජයේ දේපොළ පිටරටට බදුදීමට සිදුව තිබේ. සුළු පිරිසක් අශිෂ්ට

ලෙස අතිශය ධනවත්තු වී සිටිති. ඇති නැති පරතරය බරපතළ ලෙස වර්ධනය වී ඇත. රාජ්‍ය ආයතන පද්ධතිය දූෂණයෙන්, අක්‍රමිකතාවලින් හා අකාර්යක්ෂමතාවයෙන් ඉහළය. පාර්ලිමේන්තුව ඇතුළු මහජන නියෝජිත ආයතන බරපතළ ලෙස පිරිහී තිබේ. අපරාධ, මත්කුඩු ඇතුළු සමාජ විරෝධී දේ පිළිකාවක් මෙන් සමාජ දේහය පුරා පැතිරී අවසන්ය.

මහජන දේපොළ හොරාකෑම හා ඒ හොරුන්ට දඬුවම් දීම යන දෙකම හාස්‍යජනක විහිළු බවට පත්ව ඇත.

මහ බැංකුව මහ දවල් කොල්ලකෑමට දේශපාලනඥයන් සමඟ එක්ව ව්‍යාපාරිකයන් බිය නොවන්නේ ඒ නිසාය.

නිෂ්පාදන ආර්ථිකයක් රටේ නැත. මෙරටට එන ආයෝජකයන්ගෙන් 'පගාව' ඉල්ලීම නිසා ඔවුන් පැදුරටත් නොකියා පලා යන බව නොරහසකි. කොමිස් කුට්ටි හා ටෙන්ඩර් මගඩි නිසා සංවර්ධන වැඩ අඩාළය. මින් කියැවෙන්නේ කුමක්ද? පිදුරංගල ගිය තරුණයන් මෙන් අඩනිරුවතින් නොව පාලක පන්තිය නොඑසේ නම් වැඩිහිටියන් සිටින්නේ අමු නිරුවතින් බවය.

මේ වන විට මෙරට ආර්ථිකය, දේශපාලනය පමණක් නොව සමාජයද කුණු වී ඕජස් ගලමින් තිබේ.

රටේ නිරුවත ලෝකය හමුවේ ඕනෑවටත් වඩා ප්‍රදර්ශනය වෙමින් තිබේ. විළි වසා ගත හැක්කේ සබුද්ධිකව නිම වන ප්‍රතිසංස්කරණ වස්ත්‍රයකින් පමණි. දේශපාලනඥයන් නොඑසේ නම් වැඩිහිටියන් පළමුව තේරුම් ගත යුත්තේ තමන් සිටින්නේද නිරුවතින් බවය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon