ළමයින්-වැඩිහිටියන් හා පොතපත කියැවීම

  👤  2278 readers have read this article !
2018-10-02

සාහිත්‍ය මාසය අවසන් වී කියැවීම් මාසය ඇරැඹුණේ ජගත් ළමා දින හා වැඩිහිටි දින සමරුවද සමඟිනි. සාහිත්‍ය හා කියැවීම අතර ඇති සහසම්බන්ධය ළමයින් හා වැඩිහිටියන් අතර ඇති සහසම්බන්ධයට සමානය.

සාහිත්‍ය පොත පත ලියා පළ කළ පමණින් ඉන් සමාජයට යහපතක් උදාවන්නේ නැත. මේ පොත්, ලිපි ලේඛන පාඨක සමාජයේ කියැවීමට බඳුන් විය යුතුය. එහෙත් ජීවන අරගලයට මැදිව සිටින බහුතරයකට කියැවීමට තරම් මානසික විවේකයක් අද නැති තරම්ය.

පොත පත මිලදී ගැනීමට ආර්ථිකය ශක්තිමත් නැත. පුස්තකාලයට ගොස් පොත පත කියැවීමට කාලය වෙන් කර ගැනීම විශේෂයෙන්ම මධ්‍ය පාන්තිකයන්ට දුෂ්කර වී තිබේ.

ඉකුත් සතියේ අවසන් වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට දහස් ගණනින් සෙනඟ එක්රොක් වූ බව ඇත්තය. එහෙත් ඒ අතරින් ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණි පිරිස වැඩිය. පොත් මිලදී ගත් පිරිස අඩුය. ඉකුත් වසරට වඩා මෙවර ප්‍රදර්ශනයට එක්වූ පිරිසේ අඩුවක් ඇතැයි බොහෝ ප්‍රකාශකයන්ගෙන් අසන්නට ලැබුණු මැසිවිල්ලකි. රටේ ආර්ථික අර්බුදය වසරින් වසර උත්සන්න වීම ඊට හේතුවය. පොතක් මිලදී ගන්නවාද පොල් ගෙඩියක් මිලදී ගන්නවාද යන 'ප්‍රශ්නය' දෙවරක් සිතීමට බොහෝ පාඨකයන්ට සිදුවී ඇත.

සියල්ලට
පළමුව කා බී ඇඳ පැලැඳිය යුතුය. දරුවන් නඩත්තු කළ යුතුය. දේපොළ නඩත්තු කළ යුතුය. එවිට පොත පතට ලැබෙන්නේ දෙවැනි තැනය.

පාඨකයා පොත පතින් අෑත්වන විට සාහිත්‍යයටද කණකොකා හඬයි. පාඨකයාගෙන් තොර සාහිත්‍යයකින් කවර ඵලයක්ද? එහෙත් වාසනාවට තවමත් අපේ රටේ සැලකිය යුතු පිරිසක් අමාරුවෙන් හෝ පොත පත මිලදී ගැනීමට මුදල් වියදම් කරති. වැඩිහිටියන් එලෙස පොත පත කියැවීමට තවමත් නැඹුරුවක් දැක්වුවද ළමයින් හා තරුණයෝ පොත පත කියැවීමෙන් ශීඝ්‍රයෙන් ඉවත් වෙමින් සිටිති.

නවීන තාක්ෂණයට වඩ වඩාත් යොමුවීම නිසා පොත පත තරුණ හා ළමා පරපුරෙන් අෑත් වී ඇත. ඔවුන් 'අවශ්‍ය' දෙයක් ඇත්තම් කියවන්නේද පරිගණකයෙනි. අවාසනාව වන්නේ බොහෝ දෙනා කියවන්නේ 'අනවශ්‍ය' දේවල් වීමය. දරුවන් හා තරුණයන් පොත පතට නැඹුරු කිරීමට වැඩිහිටියන්ට කළ හැක්කේ කුමක්ද? මෙතැනදී අපි වැඩිහිටියන් යැයි පවසන්නේ ජේ‍යෂ්ඨ පුරවැසියන් යන අර්ථයෙන්ම නොවේ. වයසින් යෞවනය පසුකර සිටින්නන්ටය. මවුපියන් ඇතුළු සෙස්සන්ටය.

ඇමෙරිකාව වැනි රටක පොත පත කියැවීමට දරුවන් නැඹුරු කිරීම භාරගෙන ඇත්තේ පාසලය. පෙරපාසලේ සිට පොත් කියැවීමට ඔවුහු දරුවන් පොලඹවති. නාන කාමරය ඇතුළු නිවෙසේ දරුවන්ට අතට හසුවන සෑම තැනකම පොත් පත් තබන්නැයි මවුපියන්ට උපදෙස් දී ඇත. බොහෝ දියුණු රටවල පොත පතට දරුවන් නැඹුරු කිරීමට විවිධ දෑ කරයි. අපේ රටේද එවැනි කටයුතු සිදුනොවන බව නොකියමු. එහෙත් මවුපියන් ඇතුළු වැඩිහිටියන් අතරින් සැලකිය යුතු පිරිසකට 'පොත පත' කියැවීම හා දරුවන් අතර සම්බන්ධය ගැන අවබෝධයක් නැත.

පහ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත්ව උපාධි, ඩිප්ලෝමා වැනි කුමන අධ්‍යාපනික සහතික ලබාගත්තද පිරිපුන් මිනිසකු නිර්මාණය වන්නේ නැත. ඒ සඳහා උසස් පරිකල්පන ශක්තියක් ඇති ඥානවිභාගයක් ඇති සොබාදහමට ආදරය කරන්නකු විය යුතුය. ඊට කලාව, සාහිත්‍ය පරිශීලනය අවශ්‍යය. අධ්‍යාපනික දැනුම, කලාව, සාහිත්‍ය රසය සම සමව ඇත්තකු පිරිපුන් මිනිසෙක් වේ. ඊනියා උගතුන්ගෙන් රටට ලෝකයට පලක් නැත.

ඔවුන් තුළ විචාර බුද්ධියක් හා තර්ක ඥානයක් රෝපණය වන්නේ නැත. 'රොබෝ' මිනිසුන්ගෙන් මානව සමාජයට කිසිවක් ලැබෙන්නේ නැත. ඒ යථාර්ථය අපේ සමාජය මේ වන විට අත්දකිමින් සිටී. වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, ගුරුවරුන් පමණක් නොව පැවිද්දන් පවා අපරාධකරුවන්, සමාජ විරෝධීන් ලෙස වරින් වර සමාජය හමුවට එති.

ළමා වයසේම සාහිත්‍ය, කලාව ජීවිතයට එන්නත් කළ යුතුය. වැඩිහිටියන් වූ පසු එය කිරීම අසීරුය. කළත් පලක් නැත. කලාකරුවන් යැයි කියාගන්නා පුද්ගලයන් අපරාධ කර හසුවන්නේ ඒ නිසාය. ඊනියා කලාකාමීන්, සාහිත්‍යලෝලීන් නොව සැබෑ කලාකාමීන් සාහිත්‍යලෝලීන් ලෙස ළමයින් හදාවඩා ගත යුතුය. මේ කියැවීම් මාසයේ වැඩිහිටි හා ළමා දින සැමරුම අර්ථවත් වන්නේ වැඩිහිටියන් ඒ කාර්යයට සිත යොදවා සබුද්ධිකව ඇප කැප වීමෙනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon