ශ්‍රාවස්තියේ සල්ලාල මන්ත්‍රිවරු

  👤  3460 readers have read this article !
2018-10-07

අද බස්නාහිර පළාත් සභා කාර්යාලය පිහිටුවා ඇත්තේ කොළඹ 07, කුරුඳුවත්ත ප්‍රදේශයේය. එම ගොඩනැඟිල්ල හැඳින්වෙන්නේ ශ්‍රාවස්ති මන්දිරය නමිනි. එය ඉදිකෙරුණේ මීට වසර 105කට පෙර 1913දීය. ශ්‍රාවස්ති මැඳුර හිමිකරු වූයේ එදවස විසූ ලාංකික ධනවතකු මෙන්ම දානපතියකු වූ වෛද්‍ය ඩබ්ලිව්. ආතර් ද සිල්වාය.

පසු කලෙක ඒ මහතා තමන් සතු මේ සුවිසල් මන්දිරයේ හිමිකාරත්වය ලංකාණ්ඩුවට පවරා දුන්නේය.

මෙරටට නිදහස ලැබීමෙන් පසු පවත්වනු ලැබූ මැතිවරණවලින් ජයගත් මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා කොළඹ අවට නතරවීමට සිදුවිය. එබැවින් කොළඹින් අෑත පළාත්වලින් පැමිණෙන මන්ත්‍රිවරුන්ගේ ගමන් හා නේවාසික පහසුව සඳහා ආතර් ද සිල්වා මහතාගේ ශ්‍රාවස්ති මන්දිරය ප්‍රයෝජනයට ගැනුණේ ඉන් පසුවය.

දුර බැහැරින් පැමිණියද ශ්‍රාවස්තියේ නේවාසික පහසුකම් ලැබුණේ ඔවුන්ගේ මන්ත්‍රි ධුරය තිබෙන තාක් කල් පමණි. මැතිවරණයෙන් පරාජය වූ විට එවැනි මන්ත්‍රිවරුන්ට එය හැරදා යෑමට සිදුවිය.

ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා කොළඹ ජාවත්තේ, කැප්පෙටිපොළ මාවතේ සහ කෝට්ටේ, මාදිවෙලින් නිල නිවාස ලබාදෙන තුරුම ශ්‍රාවස්ති මන්දිරය මන්ත්‍රිවරුන්ගේ නිල නේවාසිකාගාරය වශයෙන් පැවතිණි.

ශ්‍රාවස්ති මන්ත්‍රි නිල නිවස්නයේ දක්නට ලැබුණු සුවිශේෂත්වයක් වූයේ පාර්ලිමේන්තුවේදී පිල් බෙදී අතපය දික්කර ගනිමින් කා කොටා ගන්නා මන්ත්‍රිවරුන් මෙහිදී එකම මේසයේ වාඩි වී විනෝදයෙන් මිතුරන් සේ ආහාර ගැනීමය.

එකල විවිධ පක්‍ෂවලට අයත් මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේදී විවිධ විවාදවලට සහභාගි වෙමින් තර්ක විතර්ක කළද ශ්‍රාවස්තියට පැමිණි පසු සමහර මන්ත්‍රිවරුන් එකට එක් වී වොලිබෝල් සෙල්ලමේ නිරත වන අයුරුද දැක ගන්නට තිබිණි.

එහෙත් ඇතැම් මන්ත්‍රිවරු ඔවුන්ගේ ගෞරවයට හා තත්ත්වයට නොගැළපෙන ක්‍රියාවන්හි නිරත වූ බවද අසන්නට ලැබේ. මේ බව එකල පළ කෙරුණු ප්‍රතිවිරුද්ධ දේශපාලන පුවත්පත් මඟින් හෙළිකර තිබිණි.

1970 ගණන්වල සමඟි පෙරමුණ ආණ්ඩුව කාලයේ දකුණු පළාතේ ඡන්ද කොට්ඨාසයක් ජයගෙන කොළඹ පැමිණ ශ්‍රාවස්තියේ නතරව සිටි එක් මැදිවියේ මන්ත්‍රිවරයෙක් තම කාමරයට විවිධ කාන්තාවන් ගෙන්වා ගත් බව එවැනි එක් ප්‍රකට රහසකි. එසේ කතුන් ගෙන්වා ගෙන ඇත්තේ ඔවුනට රජයේ රැකියා ලබාදෙන මුවාවෙනි.

මෙම මන්ත්‍රිවරයාගේ කාමරයට යාබද කාමරයේ නේවාසිකව සිට ඇත්තේ තරුණ දෙමළ මන්ත්‍රිවරයෙකි. දකුණු පළාතේ මන්ත්‍රිවරයා තම කාමරයට ගෙන්වා ගත් කාන්තාවක්, යාබද කාමරයේ දෙමළ මන්ත්‍රිවරයා සමඟත් මිත්‍රකමක් පවත්වන්නේ යැයි කියමින් දිනක් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් කෙළවර වූයේ දකුණේ මන්ත්‍රිවරයා තම කාමරයේ තිබූ ‍ෙදාර පොල්ල ඔසවාගෙන දෙමළ මන්ත්‍රිවරයාට පහර දෙන්නට ඔහු පසුපස එළවීමෙනි.

දෙමළ මන්ත්‍රිවරයා ඔහුගේ ‍ෙදාර පොලු ප්‍රහාරයෙන් ගැලවුණේ තම කාමරයට දුව ගොස් ‍ෙදාර වසා ගැනීමෙනි. 'එළියට ආවොත් මරනවා' යැයි තර්ජනය කරමින් දකුණේ මන්ත්‍රිවරයා ‍ෙදාර පොල්ල සමඟ පිටත රැඳී සිටි බැවින් දෙමළ මන්ත්‍රිවරයාට පිටතට පැමිණීමට නොහැකිව කාමර අඩස්සියේ සිටීමට සිදුවිය. අවසානයේදී පැය දෙකකට පමණ පසු අනෙක් මන්ත්‍රිවරුන් එකතු වී ඔහු කාමරයෙන් පිටතට රැගෙන ඇත්තේ පසුපස ජනේලයකිනි. මේ සිද්ධිය හෙළි කර තිබුණේ එවකට උඩරට පළාතින් කොළඹ පැමිණ ශ්‍රාවස්තියේ නතරව සිටි තරුණ මන්ත්‍රිවරයෙකි.

තවත් මැදිවියේ මන්ත්‍රිවරයෙක් ශ්‍රාවස්ති නිල නිවස්නයේ නේවාසිකව සිටියේ බිම් මහලේ කාමරයකය. ඔහුද නිතර නිතර තරුණ කාන්තාවන් ඔහුගේ කාමරයට ගෙන්වා ගන්නා බව එකල එහි සිටි අනෙක් මන්ත්‍රිවරුන්ට රහසක් නොවීය.
හිතවත් මන්ත්‍රිවරුන් 'ඒ කවුරුන්දැයි?' ඔහුගෙන් ඇසූ විට ඔහු පවසන්නේ 'ඒ මගේ ඥාති දියණියක්' බවය. එහෙත් ඇත්ත එය නොවීය.

දිනක් මේ මන්ත්‍රිවරයා තරුණියක සමඟ ශ්‍රාවස්තියට විත් කාමරයට වැදී ‍ෙදාර වසා ගත්තේය. මෙය අනෙකුත් මන්ත්‍රිවරුන්ගේ නාමයටද කැළලක් බැවින් ඒ ගැන කතාබහ කිරීමට උඩරටින් ආ මන්ත්‍රිවරයෙක් සමඟ තවත් තරුණ මන්ත්‍රිවරුන් දෙතුන් දෙනෙක් එකතු වී එම මන්ත්‍රිවරයා සිටි කාමරයේ ‍ෙදාරට තට්ටු කළේය. කිහිප වරක්ම ‍ෙදාරට තට්ටු කළද ‍ෙදාර නෑරිණි.

'අපි දන්නවා ඔබතුමා ඇතුළේ ඉන්න බව. ‍ෙදාර අරිනවාද? නැත්නම් අපි ‍ෙදාර කඩන්නද?' එක් මන්ත්‍රිවරයෙක් ඇසුවේය. එහෙත් ‍ෙදාර විවර වූයේ නැත. සිදුවූයේ කාමරය තුළ සිටි සල්ලාල මන්ත්‍රිවරයා තම පෞද්ගලික පරිහරණය සඳහා ලබාදී තිබූ පිස්තෝලය ‍ෙදාර දෙසට එල්ල කර වෙඩිල්ලක් තැබීමය. වෙඩිල්ලෙන් විශාල ශබ්දයක් ඇසුණත් පිටත සිටි මන්ත්‍රිවරුන්ට ඉන් හානියක් සිදු නොවීය. එහෙත් ‍ෙදාරේ කොටසක් කඩාගෙන වෙඩි උණ්ඩය ඉදිරි බිත්තියේ වැදී තිබිණි.

වෙඩි ශබ්දය ඇසුණු ශ්‍රාවස්තියේ සේවක පිරිසත්, පොලිස් රාලහාමිලාත් එතැනට පැමිණි විට එම මන්ත්‍රිවරයා පවසා ඇත්තේ වැරැදීමකින් එය පත්තු වූ බවය.

ඔහු එදා එම සිද්ධියෙන් ගැලවී ගියත් අගමැතිනි සිරිමාවෝ මැතිනියගේ කනට මේ ආරංචිය ගොස් තිබිණි. එබැවින් අගමැති කාර්යාලයට කැඳවනු ලැබූ එම මන්ත්‍රිවරයාට අගමැතිනිය දැඩි ලෙස අවවාද කර තිබිණි.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon