1815දී අපේ රාජවංශය අවසාන නොවූ බව සිතූ එකම මිනිසා ජේ.ආර්.

  👤  3023 readers have read this article !
2018-10-07

තමන් ලංකාවේ 204 වැනි රජතුමා යැයි ජේ.ආර්. ජයවර්ධන වරෙක ප්‍රකාශ කළවිට එය බලයෙන් ඉදිමී කරන තප්පුලෑමක් ලෙස ගෙන බැන වැදීමට මිස ඔහුගේ තර්කය වටහා ගැනීමට කිසිවකු උත්සාහ කළේ නැත.

යුරෝපයේදී රජකම ගෞරවනීය පදවියකට වඩා රටේ සිටි ලොකුම මංකොල්ලකරුවාගේ අයිතිවාසිකමක් විය. යුරෝපා රටක රජු යනු ඒ රටේ සිටි ලොකුම වහල් හිමියා හෝ දාස හිමියා වීම ඊට හේතුවයි. හමුදා යනු එක් එක් මංකොල්ලකරුවා සතු මැරවර කණ්ඩායම් මිස රජයේ සේවයක් වූයේ කලාතුරකිනි. (කොලොම්බස් අද ජීවත් වූයේ නම් ජාත්‍යන්තර ත්‍රස්වාදියකු ලෙස සැලකෙනු ඇතැයි ජේ.ආර්. 1985දී බහමාස්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී සඳහන් කළේය.)

රජකම අහිමි වුවද ඔහුගේ දේපළ සඳහා ඔහුට අයිතියක් තිබිණි. ලංකාවේ රජවරුන් දේපළ රැස් නොකළ අතර රජකමින් නෙරැපුණු විට ඔවුන් ගියේ පන්සලකට, ගල් ගුහාවකට හෝ හිතවත් අධිපතියකුගේ ගෙදරටයි. තත්කාලීන ලෝකයේ විශාලතම ගොඩනැඟිලි දහස් ගණනින් අනුරාධපුරයේ හැදූ අපේ රජවරු තමාට ඉන්නට හරිහමන් ගෙයක් ‍ෙදාරක් හදා ගත්තේ නැත. සුද්දා අපිට කළ විශාලම විනාශය වන්නේ මේ පූජනීය රාජාවලිය අහෝසි කිරීමයි.

තමන් ලංකාවේ 204 වැනි රජතුමා යැයි කීමෙන් ජේ.ආර්. අදහස් කළේ අපේ රජ පරපුරද බටහිර රජුන් වැනි දුෂ්ට මංකොල්ලකරුවන්ය යන බටහිර මතවාදය පිටුදැකීමයි.

1815දී අපේ රාජවංශය අහෝසි නොවූ බව සිතූ එකම මිනිසාද ඔහු විය හැක. ඔහුගේ තර්කය වන්නේ 1815දී අප ගිවිසුමක් මඟින් ඉංග්‍රීසි රජුට අපේ රාජ්‍යය භාරදුන් නිසා එතැන් සිට තුන් වැනි ජෝර්ජ් අපේද රජු වූ බැවින් 1972 දක්වාම අපේ රාජවංශය පැවැති බවය. ඔහුගේ තර්කයට අනුව අපිට 1972දී නව රජකු පත් කර ගත හැකිව තිබිණි. අප කැමැති නම් අපේ ඊළඟ රජතුමා වූයේ විලියම් ගොපල්ලව යැයි කීමටද හැකිය.

අනෙක් අතට රජ කෙනකු මඟින් සංකේතවත් වන්නේ යම් රටක ස්වෛරී භාවයයි. එංගලන්තය හා අනෙකුත් ඇතැම් යුරෝපීය රටවල් රජ තනතුර රැකගෙන සිටින්නේත්, අපේ රජවරුන් පන්නා දමන ලෙස අපිට උපදෙස් දෙන්නේත් රජ තනතුරේ ඇති දේශපාලන ගුරුත්වය ඔවුන් දන්නා නිසාය. සෙංකෝලයට වැඳුම් පිදුම් කිරීමට සුද්දා අපිට උපදෙස් දුන්නේද එය ඔවුන්ගේ රාජාවලිය සංකේතවත් කළ නිසාය. අප තවමත් සෙංකෝලයට වැඳුම් පිදුම් කරන්නේ මන්දැයි පැහැදිලි නැතත්, ඒ කැකිල්ලේ රජතුමාට කරන ගෞරවයක් වශයෙන් බව අනුමාන කළ හැකිය.

පින්තූරයක් එල්ලා අධිරාජ්‍ය විරෝධියකු ලෙස බෞතීස්ම ලැබූ මිනිහෙක් වේ නම් ඒ ජේ.ආර්. ජයවර්ධනය.

1930දී ජේ.ආර්. නීති විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදී මහත්මා ගාන්ධිගේ පින්තූරයක් විද්‍යාලය තුළ තැන්පත් කිරීමට ගොස් ඇති වූ අවුලට කෙතරම් ප්‍රසිද්ධියෙන් ලැබුණේද යත් එකල පත්තරවල ඒ ගැන කතුවැකි පවා පළ වූයේය. සුද්දාගේ ආදර්ශවත් යටත් විජිතය වූ ලංකාවට අධිරාජ්‍ය විරෝධී අදහස් ඒ තරම්ම අරුමයක් විය. ඒ වනවිට ඉන්දියාවේ හිර බත්කමින් සිටි මහත්මා ගාන්ධි, භයානක කැරලිකරුවකු හා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයේ ප්‍රධාන සතුරා ලෙස මිස වීරයකු ලෙස ලෝකය විසින් සලකනු ලැබුවේ නැත. නීති විද්‍යාලය පාලනය කළ ඉංග්‍රීසි නිලධාරීන් මෙය අධිරාජ්‍යයට විරෝධය පෑමක් ලෙස සලකා විවෘත කිරීමේ උත්සවය තහනම් කිරීමට මුලදී තීරණය කළ නමුත් පුළුල් මහජන සහයෝගය නිසා එය වැළකිණි. ඒ අවලස්සන පින්තූරය තවමත් එහි තිබෙයි.

ජේ.ආර්. ජයවර්ධන සියලු අධිරාජ්‍ය විරෝධීන්ගේ සපථ කළ සතුරා බවට පත් කළ තීරණාත්මක සිදුවීමක් වූයේ ජපාන සාම ගිවිසුමට අදාළව 1951 සැප්තැම්බර් 06 වැනිදා කළ ඔහුගේ සැන්ෆ්‍රැන්සිස්කෝ දේශනයයි.
ජපානය හිට්ලර්ට ආධාර කළේ නැත. යුරෝපය තුළදී ඉංග්‍රීසි, ප්‍රංශ ආදී අධිරාජ්‍යවාදී හමුදාවන් ජර්මනියට පරාජය වන විට ආසියාවද නිරායාසයෙන් ජර්මානුවන්ට යටත් වීමේ අවදානමක් මතු වූයේ ආසියාව සම්පූර්ණයෙන්ම පාහේ යුරෝපීය යටත් විජිතවලින් සැදී තිබුණු නිසාය. මෙම අවස්ථාවේදී ජර්මනිය සමඟ ගිවිසුම් ගත වූ ජපානය ආසියාවෙන් බටහිර හමුදා පන්නා දමා ආසියාවේ බලවතා වීමට උත්සාහ කළේය. සියලුම ආසියාතික රටවල ජපන් හිතවාදී දේශපාලන කඳවුරු ඉබේම නිර්මාණය වූයේ වෘත්තීය මංකොල්ලකරුවන් වූ සුදු වර්ගවාදීන්ට වඩා, ගෞරවනීය ඉතිහාසයක් සහිත ජපනුත් සමඟ සාධාරණ ගනුදෙනුවක් කිරීමට තමන්ට හැකි වේ යැයි ආසියානුවන් සිතූ බැවිනි.

ස්ටාලින්ගේ සෝවියට් යුද යන්ත්‍රය විසින් යුරෝපයේ ජර්මන් හමුදා වනසා දමන ලද නමුදු රුසියාව ආසියාවේ යුද්ධයට සහභාගි නොවූ බැවින් ජපාන යුද හමුදාව පැරදවීමට සුද්දෝ අසමත් වූහ. අවසානයේදී න්‍යෂ්ටික බෝම්බ දෙකක් හෙළා තව තවත් න්‍යෂ්ටික බෝම්බ හෙළන බවට තර්ජනය කොට ජපානය යටත් වීමට පොලඹවා ගන්නා ලදී.

1945දී ජපානය යටත් වීමෙන් පසු එහි ගොඩ බට ඇමෙරිකානු හමුදාව, ජපන් අගමැති ප්‍රාණ ඇපකරුවකු ලෙස තබාගෙන ඇමෙරිකානු නිලධාරීන්ගේ අණසක යටතේ, අවුරුදු පහක් එරට පාලනය කළේය. ජපාන සාම ගිවිසුමේ අරමුණ වූයේ මෙම හමුදා පාලනය අවසන් කිරීමයි.

මෙරට වාමාංශිකයා, කිරි දරුවකු සේ නිර්මල, ආත්ම පරිත්‍යාගශීලී, උජුපටිපන්න උතුම් මනුෂ්‍යයෙකි. ඔහු කෙතරම් අවංකද යත් දේශපාලනයට ඔහු කිසිසේත්ම සුදුසු නැත. සූදු කෙළින්නට නොදන්නා එකා සූදු පිටියේ හිඳගෙන කරන්නේ තක්කඩියන් පොහොසත් කිරීම පමණි.

1951දී ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී ජපාන සාම ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකාව හා රුසියාව අතර පැවැති බල පොරයේදී අපේ වාමාංශිකයෝ සියලුම දෙනා එක හ¾ඩින් රුසියාවේ පැත්ත ගත්තෝය. ලංකාව හා පාකිස්තානය අතර ක්‍රිකට් තරගයකදී පාකිස්තානයේ පැත්තට අත්පුඩි ගසන ලංකාවේ මුස්ලිම් ආගමිකයන්ගේ අවංකභාවයට මෙය සමාන කළ හැකිය. එහෙත් උපායශීලී දේශපාලනඥයන් වූ ජේ.ආර්. ලා, ඩී.එස්. ලාගේ අවධානයට යොමු වූ කරුණු ඊට වෙනස්ය.

ධ්. අපිට අවශ්‍ය ශක්තිමත් ජපානයකි. සුද්දන්ට දඩබිම විවර වන්නේ ආසියානු රටවල් දුර්වල වූ තරමටය.

ධ්ධ්. පෙරදිග බෞද්ධ ශිෂ්ටාචාරයක් සහිත ජපානය අපේ දෙටු සොයුරාය.

ධ්ධ්ධ්. යුද්ධයේ භ්‍රමණ කේන්ද්‍රය වූ ජර්මනිය, න්‍යෂ්ටික පරීක්ෂණය සඳහා තෝරා නොගැනීමට ඇමෙරිකානුවන් පරෙස්සම් වූයේ එය සුදු ජාතික ජනාවාසයක් වූ බැවිනි. ජපානය ඊට බිලි වූයේ ආසියානු බෞද්ධ රටක් වූ බැවිනි. ජපානය ආරක්ෂා කිරීමට අපිට වගකීමක් තිබේ.

ධ්ඍ. මේ මොහොතේදී ඇමෙරිකාව රුසියානු උගුලේ සිර වී සිටියි. මේ අවස්ථාව මඟහැරුණු හොත් පින් සලකා ජපානයෙන් පිටවීමට ඇමෙරිකාව කැමැති වන්නේ නැත.

ඍ. රුසියාව ඉල්ලා සිටින පරිදි කුරිලේස් දූපත් රුසියාවට පවරා දී තව අලුත් චණ්ඩියකු ආසියාවට රිංගවා ගැනීම මෝඩකමකි.

ඍධ්. එජා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ලංකාව ඉදිරිපත් කර ඇති අයදුම්පත සම්මත වීම වළක්වාගෙන සිටින්නේ රුසියාවයි. ඊට විරෝධය දැක්වීමට ලත් අවස්ථාව අපතේ නොහළ යුතුයි.

සදිනක් පුරා ජපානයේ ඇවිද තොරතුරු රැස් කරගෙන, දැඩි පූර්ව සූදානමකින් යුක්තව මෙම සමුළුවේදී ජේ.ආර්. කළ සංවේදී දේශනයට තරම් ප්‍රචාරයක් ලෝක නායකයන්ගේ දේශනවලටවත් නොලැබිණි. 'ආසියාවේ හඬ' ලෙස නම් කෙරුණු එම කතාවේ යටි පෙළ තේමාව වූයේ 'ආසියානුවෝ එකිනෙකා ආරක්ෂා කළ යුත්තෝය' යන්නයි. ඔහු මෙසේ කීයේය.

...මට අයිතිය ඇත්තේ මගේ රට වෙනුවෙන් කතා කිරීමට පමණක් වුවද, මා ප්‍රකාශ කරන්නේ, ජපානයේ අනාගතය සම්බන්ධයෙන් මුළු මහත් ආසියාවේම පොදු මතය බව මම කියා සිටිමි. .... සර්වප්‍රකාරයෙන්ම නිදහස් වූ ජපානයක් පිළිබඳ යෝජනාව මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ 1950දී කොළඹ පවත්වන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමැතිවරුන්ගේ සමුළුව විසින් බව මතක් කිරීමට මට ඉඩ දෙන්න. ..... ජපන් ගුවන් ප්‍රහාර නිසා සිදු වූ හානිත්, යුද්ධය සඳහා රබර් වගාව අත්‍යන්ත ලෙස සූරා කෑමෙන් සිදු වූ හානිත් වෙනුවෙන් අපිට ජපානයෙන් වන්දි ඉල්ලා සිටීමට අයිතියක් තිබේ.

අපි එසේ නොකරමු. මන්ද යත් අපගේ ශේ‍ර්ෂ්ඨ ගුරුවරයා විසින් උගන්වන ලද 'වෛරයෙන් වෛරය නොසන්සිඳේ, අවෛරයෙන්ම වෛරය සන්සිඳේ' යන වදන් අප විශ්වාස කරන බැවිනි. බුරුමය, ලාඕසය, කාම්බෝජය, සියම, ඉන්දුනීසියාව, ලංකාව, ටිබෙටය හා චීනය පසුකර ගෙන ජපානයට පැමිණි මෙම වදන් විසින් බිහි කරන ලද එක් පොදු ශිෂ්ටාචාරයකින් ශත වර්ෂ ගණනාවක් තිස්සේ අපගේ රටවල් යාවී ඇති බැවිනි.... .... ජපානයට බාධක පැනවිය යුතුය යන රුසියානු මතයට මට එකඟ විය නොහැක්කේ එබැවිනි...... යුද වන්දි ලබාගත යුතු බවට මට එකඟ විය නොහැක්කේ එබැවිනි.

ගිවිසුම අස්සන් තැබිණි. එහෙත් 'ප්‍රගතිශීලී හොඳ රටක්' වූ රුසියාව පරාජය කිරීමට අධිරාජ්‍යවාදී ඇමෙරිකාවට දෙන ලද මේ සහාය නිසා යැංකි ඩිකීට නම් වම්මු කවදාවත්ම සමාව දුන්නේ නැත.


[email protected]

ඩබ්ලිව්. ඩී. යාපා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon