ගුරු දෙමවුපියන් පුද දී බෝසත් පාරමිතාවන් පිරූ හැටි

  👤  2776 readers have read this article !
2018-10-07

ගිලානෝපස්ථානය අතිශයින් ප්‍රිය කළ අප ගෞරවනීය ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ ගුරුදේව මා හිමිපාණන් වහන්සේ තම පියාණන් ඇතුළු බොහෝ දෙනකුට ගිලානෝපස්ථාන කිරීමෙන් තවත් බෝසත් පාරමිතාවක් පිරූ ආදර්ශවත් සංඝ පීතෘෘන් වහන්සේ නමකි.

උන්වහන්සේගේ එම බෝසත් ගුණය පූර්වාදර්ශ කොටගත් ගරුතර භික්ෂුන් වහන්සේ සිය දහස් ගණනක් ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් ආරණ්‍ය සේනාසනයන්හි වැඩ වාසය කරති.

නාඋයන ආරණ්‍ය සේනාසනවාසී පූජනීය නාපොකුණේ අරියසීල ස්වාමීන් වහන්සේද සිය ගුරුදේව මා හිමිපාණන් වහන්සේ ආදර්ශයට ගත්, අනුගමය කළ, අනුකරණය කළ ස්වාමීන් වහන්සේ නමකි.

අති පූජනීය නාඋයනේ අරියධම්ම අප මාහිමිපාණන් වහන්සේ ගිලන් වූ පසු උන්වහන්සේට උපස්ථාන කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවූයේ අප නාපොකුණේ අරියසීල ස්වාමීන් වහන්සේටය.

උන්වහන්සේ පැවිදිවීමට පෙර අවුරුදු එක හමාරක් පමණ කාලයක් ගිරිතලේ දියබෙදුම 3 කණුව ප්‍රදේශයේ මහ වනය මැද ගල් ලෙනක තාපස දිවියක් ගත කළේය. ඒ වන විට 23 හැවිරිදි වියේ පසුවූ උන්වහන්සේට නිවැරැදි මඟ පාදා දුන්නේ මින්නේරිය නාගලකන්ද මහසෙන් ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ පූජනීය එළිබිච්චියේ සීලවිමල ලොකු ස්වාමීන් වහන්සේය.

"මෙච්චර වටිනා බුද්ධ ශාසනයක් තියෙද්දී තාපසයෙක් විදියට ජීවත් වෙන්නේ මොකටද? සාසනයේ පැවිදි වෙලා ගුණ පිළිවෙත් පුරන්න පුළුවන්නේ....."
මේ අදහස හිස් මුදුනින් පිළිගත් නාපොකුණේ අරියසීල ස්වාමීන් වහන්සේ පැවිදි වන අදහසින් මහසෙන් ආරණ්‍යයට සැපත් විය.

1997 වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දින එම ආරණ්‍යයේ සිල් සමාදන් වූ පිරිස සමඟ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට උන්වහන්සේට වරම් ලැබිණි.

එම ධර්ම දේශනාව ගුවන් විදුලියෙන් විකාශනය වූ ධර්ම දේශනාවකි. දේශකයාණන් වහන්සේ අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේය. උන්වහන්සේගේ කටහඬ, දේශනා කළ ගැඹුරු එහෙත් සරල දහම් කරුණු උන්වහන්සේගේ සිතට මහත් සතුටක් සැනසිල්ලක් ගෙන ආවේය. අනේ තාමත් මේ වාගේ උතුම් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවානේ. උන්වහන්සේට එසේ සිතිණි.

එම ධර්ම දේශනය ශ්‍රවණය කළ දිනට පසුදින එනම් 1997 මැයි 22දා නාපොකුණේ අරියසීල නමින් තවත් පින්වන්ත ස්වාමීන්වහන්සේ නමක් ශ්‍රී සම්බුද්ධ ශාසනයට උරුම විය.

එතැන් සිට නාඋයනේ අරියධම්ම අපේ ලොකු ස්වාමීන් වහන්සේ වැනි සීලවන්ත ගුණවන්ත භික්ෂු ඇසුර ලබන්නට පෙරුම් පිරූ අරියසීල ස්වාමීන් වහන්සේ 2004 වර්ෂයේදී පූජනීය වේදෙණියේ නන්දසීල ස්වාමීන් වහන්සේ සමඟ නාඋයන ආරණ්‍ය සේනාසනයට වැඩම කළහ.

එහි වැඩ වසන සමයේ යම් යම් අවස්ථාවල නා උයනේ අරියධම්ම මා හිමිපාණන් වහන්සේට උපස්ථාන කිරීමේ වරම උන්වහන්සේට හිමිවිය.

"ලොකු ස්වාමීන් වහන්සේ සුනාමියට මුහුණ දීමෙන් තුවාල ලැබූ වේලාවේ ඒ අතේ තුවාලයට බෙහෙත් දැම්මේ මම. එක අවස්ථාවක උන්වහන්සේ දැඩිසේ ගිලන් වුණා. ඒ වෙලාවේ මමයි උපස්ථාන කළේ.

මා ඒ අවස්ථාවේ උපස්ථාන කරන හැටි දැකලා අපේ පූජනීය අරියනන්ද ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ හොඳට බලාගෙන උපස්ථාන කරන්න" ඒ විදියට පත් කිරීම එක්ක තමයි මා අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ නිත්‍ය උපස්ථානය සඳහා මට අවස්ථාව ලැබුණේ.

උන්වහන්සේගේ උපස්ථාන කටයුතු කරන අතරම ඉතා සමීපව උන්වහන්සේගෙන් ධර්මය හදාරන්නන් මට අවස්ථාව ලැබුණා.

අපේ ලොකු ස්වාමීන්වහන්සේ සතුව තිබු මහා සීලවන්ත, ගුණවන්ත බව මා ඉතා හොඳින් අත්දුටුවා. කිසිවකුට කියන්න බැහැ උන්වහන්සේ මෙන්න මේ සිල්පදය කඩ කළා කියලා.

උන්වහන්සේගේ සතිය, සිහිය ඉතා තියුණුයි. ගිලන්ව ඉතා අසාධ්‍ය වූ අවස්ථාවල පවා එම සතිය ඉතා තියුණුව තිබුණා.

අපේ ලොකු ස්වාමීන් වහන්සේ තුළ තිබූ පිළිවෙළ. ඒක අපට බොහෝ පූර්වාදර්ශ සැපයූවා. දහම් කරුණු, දහම් ගැටලු නිරාකරණය කරමින් හරි අපූරුවට කුඩා දරුවකුට වුවත් තේරුම් ගන්න පුළුවන් ආකාරයට තේරුම් කරලා දෙන හැටි දැක්කාම අපට ඉන් ලැබෙන ධර්මාවබෝධය දැනුණාම උන්වහන්සේගේ පිළිවෙළ, පිළිවෙත අපට අපේ ජීවිතවලට කොතරම් වටිනවාද කියලා දැනුණා.

උන්වහන්සේගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් වුණේ රාත්‍රි විදර්ශනා වඩලා මුළු ලෝක සත්ත්වයාටම මෙත් වැඩීම. තුන්වේල බුද්ධ වන්දනාව නොවරදවාම සිදු කළා. දැඩිව ගිලන්ව සිටියත් ඒ වත් පිළිවෙත් නතර කළේ නැහැ. ඇඳේ සැතපිලා හරි ඒවා හරියට ඉටු කළා.

"මේ සංසාර දුක අපි අවබෝධ කරගන්න ඕනෑ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ධර්මයන් අවබෝධ කරගන්න ඕනෑ." උන්වහන්සේ නිතර එසේ වදාළා.

දැඩි වේදනාවකදී පවා දෙඩවීමක්, කෑගැසීමක්, අතපය ගැසීමක් කරන්නේ නෑ. ඒ වාගේ වෙලාවට උන්වහන්සේ නිහඬවම යමක් සජ්ඣායනා කරන බවක් අපට දැනෙනවා.

උන්වහන්සේ නවගුණවැල අතට අරන් බුදුගුණ වැඩීම පුරුද්දක් හැටියට කරගෙන ගියා. සිහිය නැතිවෙලා ඉතා අසාධ්‍ය තත්ත්වයක ඉන්න අවස්ථාවල නවගුණවැල අතේ නැතත් නවගුණවැල අතේ තියෙනවා වගේ ඇඟිලි වැඩ කරනවා.

ඒ කියන්නේ ඒ මොහොතේදී පවා අපේ ලොකු ස්වාමීන්වහන්සේ බුදුගුණ වඩනවා. උන්වහන්සේ විදේශගත වන්න ගුවන් යානාවල වඩින අවස්ථාවලදී අසනීප වී තිබෙනවා. නැව් ගමන්වලදී අසනීප වී තිබෙනවා. ජල, ගුවන් හා ගොඩ ගමන්වලදී උන්වහන්සේට අසනීප වූ බොහෝ අවස්ථාවල මා උන්වහන්සේ ළඟ ඉඳලා තියෙනවා. ඒ හැම මොහොතකම දැඩි වේදනාව නොතකමින් බුදුගුණ වැඩීම උන්වහන්සේගේ පුරුද්දක්.

ස්වාමීන් වහන්සේ දැඩිව ගිලන් වෙලා "කතා කරන්නවත් එපා" කියලා වෛද්‍ය උපදෙස් ලැබුණු අවස්ථාවල පවා තමන් වහන්සේ බලන්න ආ අය සමඟ කතා බහ කරනවා. ධර්ම කාරණා විග්‍රහ කරනවා.

මේ වාගේ අවස්ථාවල මා මඳක් දැඩිව සිටිනවා. ඒ කා සමඟවත් අමනාපයකින් නෙවේ ලොකු ස්වාමීන් වහන්සේ සුජීවත්ව වැඩ ඉන්නවා කියන්නේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තව බොහෝ කල් පවතිනවා කියන එක. ඒ නිසායි ඒ වාගේ අවස්ථාවල ලොකු ස්වාමීන්වහන්සේ ලෝක සත්ත්වයා වෙනුවෙන් චිරාත් කාලයක් ආරක්ෂා කරගන්න ඒ විදියට කටයුතු කළේ.

නමුත් ජීවිතයේ අනිත්‍ය බව පසක් කරමින් ලක්ෂ සංඛ්‍යාත ගිහි පැවිදි පිරිසක් යහපත් මාර්ගයට ගන්නට නිවැරැදි ධර්මාවබෝධය ලබා දෙන්නට කැපවූ අති පූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේද එම අනිත්‍ය බව පසක් කරමින් තමන් වහන්සේගේ උතුම් ප්‍රාර්ථනා වූ බුද්ධ කාරක ධර්ම සියල්ල සම්පූර්ණ කොට අනාගතයෙහි මමද සම්මා සම්බුද්ධත්වයට පත්වෙමි" යන ප්‍රාර්ථනාව පතා අපවත් වී වදාළහ.
තවත් කොටසක් ලබන සතියේ..........

සටහන සුනිල් පොරමඬල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon