බස් එකේ ටයර් ගලවපු හොරුන්ට කාලි මෑණියන්ගෙන් දිගටම දඬුවම්

  👤  3029 readers have read this article !
2018-10-07

විශ්වයේ මහා බලසම්පන්න ශක්තියකින් යුතු මාතාව ලෙස කාලි මෑණියන් සැලකේ. කාලි මාතාවගේ උග්‍ර වේශය ලෙස සැලකෙන ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් ක්‍ෂණිකව ක්‍රියාකරන මහ බලවේගක් බව පුරාණ දේව ග්‍රන්ථවල සඳහන්ව ඇත.

පුරාණ විවිධ දේව ග්‍රන්ථවල මෙන්ම විවිධ පළාත්වල ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවිය පිළිබඳව විවිධ කතා ගොඩනැඟී තිබේ. ඇතැම් විස්තරවලට අනුව ප්‍රත්‍යාන්ගිරා දේවිය නීල වර්ණයෙන් යුතුය. තවත් විස්තරයකට අනුව ඇය කාල වර්ණයෙන් යුතුය. මේ සෑම කතාවකටම අනුව ඇය චිත්‍රණය කොට ඇත්තේ භයංකර උග්‍ර වේශයකිනි.

සිංහ මුහුණකින්ද, රක්ත වර්ණ වූ නෙත්වලින්ද සිතුවම් වී ඇති ඇය සිංහයකුගේ පිට මත අසුන් ගෙන සිටී. ඇතැම් සිතුවම්වල ඇය දක්වා ඇත්තේ මුළුමනින්ම නිරුවත්වය. ඇතැම් ඒවායේ දක්වා ඇත්තේ කාලවර්ණ සළුපිළියෙන් සැරසී ගෙනය. මිනී හිස්කබල් මාලයකින් ඇයගේ ගෙල සැරසී ඇත.

ඇතැම් සිතුවම්වල සිත්තම් වී ඇත්තේ සිංහයන් හතර දෙනකු විසින් අදිනු ලබන රථයක් මත නැඟී මහේශාක්‍ය ලීලාවෙන් ඇය ගමනේ යෙදී සිටින අයුරුය. එකී සිංහයන් හතර දෙනාගෙන් චතුර්වේදය පිළිබිඹු කරන බව පුරාණ ලියවිලිවල සඳහන්ය. මෙම දේව රථයේ යට නෙලුම් මල් පෙති 8ක් දක්වා ඇත.

එම නෙලුම් මල් පෙති අටෙන් ඉපදීමෙන් තොරව මෝක්ෂයට මාර්ගය හෙළි කරන අරි අට මඟ හුවා දක්වන බව සඳහන් වේ.

ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් දේවිය සිතුවම් වී ඇති බොහෝ චිත්‍රවල සිංහ මුහුණකින්ද, සිංහ මුහුණැති හිස් දහසකින්ද, අත් දෙදහසකින්ද, ආයුධ දහස් ගණනකින්ද යුතුව දක්වා ඇත. මේ සියල්ලෙන්ම පිළිබිඹු වන්නේ ඇය යක්‍ෂයා පරාජය කර දෙවියන් සුරකින බවය. නරක විනාශ කර හොඳ සුරකින බවය. අයහපත දුරුකර යහපත ළඟකරන බවය. අසුරයන් පරදවා සුරයන්ට ජය ගෙනෙන බවය.

මේ අනුව බැතිමත්හු තමන්ට අනර්ථයක්, අකටයුත්තක්, කරදරයක්, අසාධාරණයක්, විපතක් සිදුවූ විටදී ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා මාතාව සොයා ගෙන එති. එසේ පැමිණ බාරහාර වෙති. කන්නලව් කරති. මෑණියෝද ඔවුනට පිහිට වෙති.


'මිනිසුන්ට වන අසාධාරණ, අකටයුතුකම්වලට මෑණියන් අනිවාර්යයෙන්ම පිහිට වෙනවා. සොරකම්වලට, වංචාවලට දඬුවම් දෙන්න ඇය කිසිසේත්ම පැකිළෙන්නේ නෑ' හලාවත, මුන්නේශ්වරම, අයියනායක දේවාල පාරේ පිහිටි ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පැවැසීය.

'මේ කියන පුද්ගලයා කෝවිලට ආවේ ගම්පහ පැත්තේ ඉඳලයි. එයා පෞද්ගලික බස් සේවාවක රියැදුරු ලෙස සේවය කළ අයෙක්. ධාර්මිකව නීතියට අනුව කටයුතු කළ මේ රියැදුරු මහතා නිතරම මගී ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියා කළ අයෙක්. තමන්ට ලැබෙන වැටුප අරපිරිමැස්මෙන් පරිහරණය කළ මොහුට අවුරුදු කිහිපයක් යන විට සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගන්න පුළුවන් වුණා. පසුව තමන් ඉතිරි කරගත් මුදල යොදා මූල්‍යායතනයක් හරහා මාසික වාරිකයක් ගෙවීමේ පදනම යටතේ මේ පුද්ගලයා බස් රියක් මිලදී ගත්තා.

කලින් තමන් සේවය කළ මාර්ගයේම මෙම බස් රිය ධාවනය කළා. එයා සේවය කැපවීමෙන් කළ නිසා හොඳ ආදායමක් ලැබුවා. කලට වෙලාවට බස් රියේ මාසික මුදල් වාරිකයත් ගෙව්වා. සේවය අවසන් වුණාම මෙයා බස් එක නවතා තබන්නේ නිවෙස ළඟ පාර අයිනේ. ගෙමිදුලේ බසය නවත්වන්න ඉඩකඩ මදි නිසයි එහෙම කරන්නේ. දවසක් උදේ බස් එක ළඟට එන කොට ඒකේ ඉස්සරහ ටයර් දෙකක් හොරෙන් ගලවලා.

බස් එක ඇතුළේ තිබුණු රේඩියෝ යන්ත්‍රයත් ගලවලා. මේක කවුරු කළා දැයි හිතා ගන්න බැහැ. එයාට හිතාගන්න බැහැ මොකද වුණේ කියලා. එයාට එක්වරම මතක් වුණේ කාලි මෑණියන්. මෑණියන් ගැන මෙයාට විශ්වාසයක් තියෙනවා.
ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලට ඇවිත් මාව මුණගැහිලා මෙයා විස්තරය කිව්වා. මම මෑණියන්ට පූජාවක් තියලා කන්නලව්වක් කළා. දෙහි මතුරලා අව්අත්තන කපා ඔහුගේ අතේ කහ නූල් බැන්දා.

සතියකින් එයා කෝවිලට ආවා බාරහාර ඔප්පු කරන්න.

මේ හොරකම කරලා තියෙන්නේ මේ මනුස්සයා දන්නම කියන කෙනෙක්. එයත් මේ මාර්ගයේම බස් එකක් දුවවන කෙනෙක්. එයා තවත් කෙනෙක් එක්ක එකතු වෙලයි මේ වැඩේ කරලා තියෙන්නේ. එයාගේ බස් එක ඇක්සිඩන්ට් වෙලා එයාටත් බරපතළ තුවාලයි. මේකට සම්බන්ධ අනෙක් පුද්ගලයාටත් නොයෙකුත් කරදර.

එයත් හිටි හැටියේම ලෙඩ වෙලා ඔත්පළ වෙන තත්ත්වයට වැටිලා. ගලව ගත්ත ටයර් දෙකයි. රේඩියෝවයි විකුණලා තියෙන්නේ ටයර් කඩයකට. එතැනින් තමයි මේ ආරංචිය මේ රියැදුරාට ලැබිලා තියෙන්නේ.

මේ ළඟදී මේ රියැදුරා මට කෝල් කළා. අර හොරකමට සම්බන්ධ වුණු පුද්ගලයන්ට තවමත් කරදරලු. ඒ අයගේ බස් එකත් විකුණන්න දාලලු. ඒත් ඒක ගන්නවත් හරි ගැනුම්කාරයෙක් තවමත් නෑලු.

ඉතින් ඔහොම තමයි නිකරුණේ කාටත් කරදරයක් නැති අහිංසකයන්ට එරෙහි වැරැදි කළාම එවා පල දෙනවා. ඒවා සොබාධර්මයේ නියමයේ හැටි. යහපත් පුද්ගලයන්ට ඔය වගේ දේවල් වෙන්නේ නෑ. මහේන්ද්‍රසාමි කීවේ මෑණියන්ගේ පිළිරුවට නමස්කාර කරමිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon