ජාතික ආර්ථික සභාව උණුසුම් වෙද්දී අගමැති නැගිට ගිය හැටි

  👤  4575 readers have read this article !
2018-10-07

පොලිස්පතිගේ පළු ඇරිය කැබිනට් හමුව

සතියේ කැබිනට් මණ්ඩල හමුව පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී විශේෂ අවධානය යොමු වූයේ පොලිසිය සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳවය. ඊට අමතරව තවත් විශේෂ කැබිනට් පත්‍රිකා කිහිපයකටම අදාළව උණුසුම් මතවාද ඇති විය. ඉරණවිල ප්‍රදේශයේ නව සංචාරක කලාපයක් පිහිටුවීමට යන බැවින් ඒ සඳහා ඉඩම් ලබාදීම සඳහා ඇමැති ජෝන් අමරතුංග කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. ඒ සඳහා අනුමැතිය ලබාදීම සඳහා ජනපති කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළේය.

\'එක් එක්කෙනාට ඕන විදියට ඉඩම් දෙන්න බෑ. මේවා දෙනවා නම් ටෙන්ඩර් කරලා නිසි ක්‍රමවේදයට දෙන්න. ඒ අයට නිශ්චිත කාල රාමුවක් දෙන්න. හරියට නොකෙරුවොත් අවලංගු කරල දාන්න යැයි මෛත්‍රි තදින් සිටියේය.

ඉන් අනතුරුව වැඩි දෙනකුගේ අවධානය යොමු වූයේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳවය.

\'මෙම වැඩපිළිවෙළ සඳහා බැංකු නිලධාරීන්ගෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නෑ. ඒ අය මේ වැඩේ මඟහරින්නයි හදන්නෙ. මම දන්නෙ නෑ කවුරු මේවා පිටුපස්සෙ ඉන්නවද කියලා\' විජිතමුනි සොයිසා කීවේය.

\'ඔව් ඒක ඇත්ත සමහර බැංකු කළමනාකරුවන් මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න හදනවා. එම නිසා මිනිස්සු ආණ්ඩුව ගැන කලකිරිලයි ඉන්නේ\' සජිත් කීවේය.

\'නෑ නෑ නිලධාරීන්ට එහෙම හිතුවක්කාර තීරණ ගන්න බෑ. අපි ඒ ගැන අවශ්‍ය පියවර ගන්නවා\' කිරිඇල්ල ඇමැතිවරයා ජනපති දෙස බලමින් කීවේය.

\'මේ වැඩපිළිවෙළ අපි අඛණ්ඩව අධීක්ෂණය කරනවා\' මංගල ද අදහස් දැක්වීය.

අනතුරුව මංගල සහ තලතා අතරද උණුසුම් මත ගැටුමක් ඇති විය.

\'මෙතුමා අපට සල්ලි වෙන් කරන්නෙ නෑ\' තලතා කීවාය.

\'ඔය දෙන්නා ඉතින් හොඳ යාළුවොනෙ. හොඳට හිටියනෙ. ඕවා විසඳගන්න කතා කරලා\' ජනපති මෛත්‍රි සිනාසෙමින් කීවේය. පාඨලී චම්පික රණවක ඇමැතිවරයාද මංගල සමරවීර ඇමැතිවරයා සමඟ අවස්ථා දෙකදීම වාද ඇති කර ගත්තේය.

\'මෙතුමා මගේ ව්‍යාපෘති ගැන අවතක්සේරුවෙන් හැම වෙලේම කතා කරනවා\' චම්පික කීවේය.

\'කරන්න බැරි නම් යෝජනා කරන්න එපා. ඒක අපරාධයක්\' මංගල ද තරමක් තදින් කීවේය.

අනතුරුව පොලිසියේ නිලධාරීන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය ජාතික මට්ටමේ විද්‍යාලයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් සාකච්ඡා කෙරිණි. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා පොලිසිය ගැන කතා කළේය.

\'පොලිසියේ වැඩ ගැන ඇත්තටම මම ඉන්නෙ බොහොම කනගාටුවෙන් සහ කලකිරීමකින්. ඒ තරමට ඒ ගැන කතා කරන එකත් මට එපා වෙලා. පොලිස්පතිවරයා විහිළුකාරයෙක් වෙලා. ඒක මොනතරම් ගරු කටයුතු ලෙස ඉන්න ඕනෑ රස්සාවක්ද? මීට පෙර හිටපු කිසිම පොලිස් නිලධාරියකු මෙහෙම හැසිරෙනවා මම දැකලා නෑ. පොලිසියක් තියෙනවාද කියලා දන්නෙ නෑ. මේ නිසා මමත් අගමැතිතුමත් බැනුම් අහනවා. ඒ නිසා මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. රට තුළ අපරාධ වැඩිවෙලා. පොලිස්පතිවරයාගේ හැසිරීම විහිළුකාරයෙක් වගේ, ලැජ්ජා සහගතයි. ඒ නිසා මේ ගැන දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ\' යැයි ජනාධිපතිවරයා කීවේය.

නෑ සර් මාධ්‍යයෙන් වාර්තා කරන්නේ අපරාධ වැඩිවෙලා කියලා. ඒක අමූලික බොරුවක්. දැන් අපරාධ ක්‍රමයෙන් අඩුවෙලා තියෙනවා.\' රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයා කීවේය. එහෙත් ජනාධිපතිවරයා ඇමැතිගේ් පිළිතුරකින් සෑහීමකට පත්වූයේ නැත.

ඉන්පසු අවධානය යොමු වූයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගැනය. එම සමාගමට ගුවන් යානා ඉන්ධන ලබා ගැනීම සඳහා කිරිඇල්ල ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.

\'මේක එමිරේට්ස් එකට තියෙන කාලේ ලාභ ලැබුවා. පසුගිය ආණ්ඩුව ගත්තු තීරණත් නිසා පාඩුවට යන්න ගත්තා. දැන් මේ සමාගම විශාල පාඩුවක් ලබනවා. ඒක ගොඩගන්න යෝජනා රැසක් ඉදිරිපත් වුණා. කටාර් ගුවන් සමාගමත් ඒ සඳහා මගේ ඉල්ලීම මත ඉදිරිපත් වුණා. නමුත් ඒවා වැඩක් වුණේ නෑ. ජනාධිපතිවරයා කීවේය.

\'ඒ විතරක් නෙවෙයි තවත් ගුවන් සේවා සමාගමක් මේ සඳහා යෝජනා ඉදිරිපත් වුණත් පසුව ඔවුන් එය අත ඇරලා දැම්මා\' කබීර් හෂීම් ඇමැතිවරයාද කීවේය.

\'කටාර් ගුවන් සේවය ශ්‍රී ලන්කන් එක ගන්න යෝජනාවක් ඉදිරිපත් කළා. එය සොයා බැලීමට මෙරටට පැමිණි කටාර් ගුවන් සේවයේ නිලධාරීන්ට ශ්‍රී ලන්කන් එකේ නිලධාරීන් ඉදිරිපත් කළ වාර්තාමය වැඩසටහනෙන් පෙන්නුවේ වැරැදි පැත්ත විතරයි. ඒ නිසා ඔවුන්ට එම උනන්දුව අඩු වුණා.\' යැයි ඇමැති රාජිත දීර්ඝ විස්තරයක් කෙළේය.
ෂාන්ට මෛත්‍රිගෙන් සහතිකයක්

මේ අතර ජනාධිපතිවරයා ලෝක ළමා දිනය යෙදී තිබුණු පසුගිය සඳුදා පෙරවරුවේ බළපිටිය රේවත ජාතික පාසලට ගියේ විදුහලේ අලුතින් ඉදිකරන ලද නව විද්‍යාගාර ගොඩනැඟිල්ල විවෘත කිරීම හා ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහායි.

ජනපති රැගත් හෙලිකොප්ටරය බළපිටිය බණ්ඩාරවත්ත ක්‍රීඩාංගණයට ගොඩබස්වන ලද අතර මහ ඇමැති ෂාන් සහ බළපිටිය සංවිධායක දයාරත්න ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා කල්වේලා ඇතිවම එම ස්ථානයට ගියහ.

උත්සව භූමියට ළඟාවූ මෛත්‍රි ඇතුළු පිරිස පිළිගැනීම සඳහා රාජ්‍ය ඇමැති පියසේන ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය නිෂාන්ත මුතුහෙට්ටිගම, අශෝක ධනවංශ, බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් සිල්වා කටයුතු කළහ.

අනතුරුව නව විද්‍යාගාර ගොඩනැඟිල්ල විවෘත කළ මෛත්‍රි කෙළින්ම ගියේ උත්සවය පැවැත්වෙන ශාලාව වෙතයි. උත්සව සභාව අමතා කතා කළ දකුණු පළාත් සභාවේ හිටපු එ.ජා.ප. මන්ත්‍රිවරයකු වන ලීලසේනද සොයිසා අධ්‍යාපන අමාත්‍යාංශය දැඩිසේ විවේචනයට ලක්කරමින් කතා කිරීම විශේෂත්වයක් විය. අනතුරුව කතා කළ සංවිධායක දයාරත්න හා අශෝක ධනවංශ යන අය විද්‍යාලයට පිහිනුම් තටාකයක් හා ක්‍රීඩාංගණයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

අනතුරුව උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා ලෝක ළමා දිනය මුල් කරගනිමින් දරුවන් පිළිබඳවත් මත්ද්‍රව්‍ය උවදුර හා නවකවධය පිළිබඳවත් දැක්වූ අදහස් බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වූහ. ජනපති මෛත්‍රි සිය කථාවේදී බළපිටිය රේවත විදුහල පිළිබඳව විශේෂ ඇගයීමට ලක්කළේ බළපිටිය ප්‍රදේශයේ සිංහල, මුස්ලිම් දරුවන් සමඟියෙන් සහෝදරත්වයෙන් ඉගෙනුම් කටයුතු සිදු කිරීමත්, සිංහල මාධ්‍ය තුළින් මුස්ලිම් දරුවන්ද අධ්‍යාපනය ලැබීම පිළිබඳවත්ය. ඊට අමතරව අනෙකුත් පාසල්වලට වඩා ගැහැනු දරුවන් අබිබවමින් පිරිමි දරුවන් වැඩි ප්‍රමාණයක් බළපිටිය රේවත විදුහල සතුවීම පිළිබඳව සතුටු වන බව පැවසූ ජනාධිපතිවරයා සිය කථාවේදී විදුහලට ඉතා කඩිනමින් පිහිනුම් තටාකයක් හා ක්‍රීඩාංගණයක් ලබාදීමට කටයුතු කරන බව පවසා සිටියේ සියලු දෙනාගේ දැඩි අත්පොළසන් මධ්‍යයේය.

වේදිකාවේ අසුන්ගෙන සිටින අතරතුර මෛත්‍රි මහ ඇමැති ෂාන්ගෙන් ගාල්ලේ දේශපාලනය ගැන විමසීය. "කොහොමද ෂාන් දේශපාලනය" මෛත්‍රි විමසීය. "වරදක් නෑ සර්. අපි වැඩ ටික හොඳින් කරගෙන යනවා. සර් පත්වීම් දීපු අලුත් සංවිධායකවරුන් සම්බන්ධ කරන් ලොකු වැඩක් කරන්න තමයි හිතන් ඉන්නේ" ෂාන් පැවැසීය.

"ෂාන් කවදද ඔයාගේ පළාත් සභාව ඉවර වෙන්නේ." සර් ලබන සිංහල අවුරුද්ද කාලෙම තමයි අපිට විසුරුවන්න වෙන්නේ" යැයි ෂාන් කියූ විට මෛත්‍රි කීවේ, හා හා, ඒක හොඳයි. ඔයා දක්ෂයා. අනික පරණ මිනිහා. මම දන්නවා කොහොමත් ගාල්ලයි, දකුණු පළාත් සභාවයි ඔයා හොඳට හැන්ඩ්ල් කරනවා කියලා" කියාය. ඉන් අනතුරුව තේ පානය සඳහා පිරිස පිටත්ව ගිය අතර එම ස්ථානයට පැමිණි බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් සිල්වා මහතා ජනාධිපතිවරයාට තමා හා ඇති ඥාති සම්බන්ධය පිළිබඳව දැනුවත් කළ අතර ජනපති මෛත්‍රිද එය අනුමත කරමින් කතා කළේය.

යූ.එන්. සමුළුවට ගිය රාජ්‍ය නායකයන්ට වුණු අකරතැබ්බ
මේ අතර යූ.එන්. සමුළුවට ගිය ජනපති මෛත්‍රි ඇතුළු රාජ්‍ය නායකයන් බොහෝ දෙනකුට අකරතැබ්බයකට මුහුණදීමට සිදුව තිබේ. සමුළුව ඇමැතීමෙන් පසු එම ශාලාවෙන් එළියට පැමිණි ජනාධිපති මෛත්‍රි ඇතුළු රාජ්‍ය නායකයන් බොහෝ දෙනකුට පැය දෙකකට ආසන්න කාලයක් සිය මෝටර් රථ එනතුරු බලා සිටීමට සිදුවිය. මේ ගැන විපරම් කිරීමේදී වාර්තා වී ඇත්තේ එම ස්ථානයෙන් ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ගමන් ගන්නා නිසා ඔහුගේ ආරක්‍ෂාව පතා මෙම ප්‍රමාදය සිදුවූ බවය. එහෙත් එදින එම ස්ථානයෙන් අදාළ කාලය තුළ උප ජනාධිපතිවරයා ගමන් කර නොමැති බවද හෙළි වී ඇත. බොහෝ රාජ්‍ය නායකයන් මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීමටද ඒ මොහොතේ තීරණය කරගෙන ඇත.

මේ අතර එම සමුළුව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් සහ ජනපති මෛත්‍රි සහභාගි වූ විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් නිව්යෝර්ක් නුවර පිහිටි හෝටලයකදී පැවැත්විණි. එහිදී මෛත්‍රි ඉතා සුහදව මාධ්‍යවේදීන් සමඟ කතාබහ කරමින් කාලය ගත කිරීමද විශේෂත්වයකි.

\'මම මාස 3ක් තිස්සේ කියනවා රාජ්‍ය බැංකුවල ඉන්න සභාපතිවරුයි අධ්‍යක්‍ෂ මණ්ඩලයයි මාරු කරන්න කියලා. ඒක මේ වෙනකන් කරලා නෑ. මම මේ අයව අයින් කරන්න කීවේ මේගොල්ලෝ ඒ අයගේ පක්‍ෂයේ හිතවාදී ව්‍යාපාරිකයන් ගත්තු ණය කුට්ටි පිටින් බොල් ණය විදියට කපාහරිනවා\' මෛත්‍රි කීවේය.

\'රටේ නායකයා හැටියට ඔබතුමා මාස 3ක් තිස්සේ කියපු එකවත් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කාටද මේවා කියන්නේ\' මාධ්‍යවේදියකු ප්‍රශ්න කළේය.
එවිට මද සිනහවක් පෑ ජනාධිපති මෛත්‍රි කීවේ \'ඒකනේ... ඒකනේ.. රටේ මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නෑනේ\' යැයි කීවේය.

අතාවුල්ලා ෆයිසර්ට

දෙහි කපයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පස්වරු 5.00ට මහඟමසේකර මාවත පිහිටි ජනපති නිල නිවෙසේදී පැවැත්විණි. මේ සඳහා සන්ධාන පක්‍ෂ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, අසංක නවරත්න, ඩී. කලන්සූරිය මෙන්ම විධායක කමිටු සාමාජිකයන් වන එස්.බී., සුසිල්, අනුර යාපා, ලක්‍ෂමන් යාපා, මහින්ද අමරවීර, නිමල් සිරිපාල, දුමින්ද, ෆයිසර්, ශාන්ත බණ්ඩාර, අතාවුල්ලා සහ ශ්‍රී ලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

විධායක සභාවට ජනාධිපතිවරයා පැමිණියේ මඳක් ප්‍රමාද වීය.

ජනාධිපතිවරයා පැමිණීමට පෙර ෆයිසර් සහ එස්.බී. අතර උණුසුම් මත ගැටුමක් ඇති විය. දිගින් දිගටම පැවැති එම ගැටුම තවදුරටත් දුරදිග යෑමට ප්‍රථම සමථයකට පත් කිරීමට කිහිප දෙනෙක්ම උත්සාහ දැරූහ. ක්‍රීඩා ගැටලුවක් ගැටුමට මුල්විය.

\'ඔබතුමා ඉතා ඕනෑකමින් කරපු නොහොබිනා වැඩක් ඒක. එහෙම කියන්න කොච්චර වුණත් වැඩක් නෑනේ\' ෆයිසර් කීවේය.

\'මම කිව්වේ ඇත්තනේ. ඒක ඔයා හොයලා බලන්න. මෙතැන මට කියවන්න එන්න එපා\' එස්.බී.ත් දැඩිව කීවේය. අනතුරුව ජනාධිපතිවරයා පැමිණීම නිසා විධායක සභා රැස්වීම ආරම්භ විය.

\'සන්ධානේ පක්‍ෂ කිහිපයක් ඉල්ලීමක් කරලා තියෙනවා විධායක සභාව රැස් කරන්න කියලා. හරි ඔබතුමාලාට තියෙන ගැටලු ටික කියන්න එහෙනම්\' ජනාධිපතිවරයා කීවේය. අනතුරුව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා අදහස් දැක්වීය.

පළාත් සභා මැතිවරණය එන්න එන්නම කල්දානවා. අගමැතිතුමා දැන් ඇති කමිටුවටත් මාස 2ක් කල් අරගෙන. මේ කරන්නේ කල්දාන වැඩේනේ. කාටවත් ඒක කරන්න වුවමනාවක් නෑ\' දිනේෂ් පැහැදිලි කළේය.
\'ඒක ෆයිසර්ගෙන් අහන්න ඕනේ\' ජනාධිපතිවරයා වටපිට බැලුවේය. ඒ මොහොතේ ෆයිසර් නැඟී සිටියේය.

\'දැන් අපට තියෙන්නේ කථානායකතුමා පත් කළ කමිටුවේ තීන්දුව ලබා ගන්න. ඊට පස්සේ ජනාධිපතිතුමාට පුළුවන් එය ගැසට් කරන්න. පනතට අනුවයි අපිට මේ වෙලාවේ වැඩ කරන්න වෙන්නේ\' ෆයිසර් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

\'අනේ.... ඇමැතිතුමා ඔහොම කියලා හරියන්නේ නෑ. මමත් පළාත් පාලන විෂයභාර ඇමැති විදියට හිටියා. හැබැයි මම අවශ්‍ය වැඩේ අවශ්‍ය වෙලාවට කළා. කයිවාරු ගහ ගහ හිටියේ නෑ. අද මුළු රටම බලාගෙන ඉන්නේ ඡන්දය තියෙනකම්. එහෙන් ජනාධිපතිතුමා මරන්න යනවා. රටම කඩාගෙන වැටිලා. මේක ඇතුළේ අපට ඕවා කියලා වැඩක් නෑ. නිකන් බොරුවට ‍ෙදාඩවන්න එපා\' අතාවුල්ලා හිටපු ඇමැතිවරයා ඉතා දැඩිව කියාගෙන කියාගෙන ගියේය.

\'සේරටම කලින් අපි බලන්න ඕනේ තවදුරටත් ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද කියලා\' සුසිල් කීවේය.

\'ඔව් ඒක ඇත්ත. රනිල් ඉන්නකම් නම් කිසිම දෙයක් කරන්න බෑ. එහෙම තියාගෙන තවත් අපි මේක ආණ්ඩුවේ ඉන්න එකේ තේරුමක් නෑ\' එස්.බී.ත් තරමක් කේන්තියෙන් කීවේය.

\'ඒක හරි... අපි සන්ධානයෙන් ඉතා ඉක්මනින්ම ඉවත් වෙන්න ඕනේ. එය යෝජනාවක් විදියට දැන් මම ඉදිරිපත් කරනවා\' ලක්‍ෂ්මන් යාපා එසේ කියද්දී සැවොම මහ හ¾ඩින් සිනාසෙන්නට වූහ. ලක්‍ෂ්මන්ට වැඩේ පටලැවුණු බව තේරුම් ගියේ පසුවය.

\'සන්ධානයෙන් නෙවෙයි අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්නයි ඕනේ\' මැති ඇමැතිවරුන් කිහිප දෙනකු කීවේ සිනාසෙමිනි.

\'ඔව්.. සමාවෙන්න. ආණ්ඩුවෙන් ඉවත් වෙන්නයි ඕනේ. මම ඒ යෝජනාව දැන් කරනවා.\' ලක්‍ෂ්මන් යාපා මන්ත්‍රිවරයා කීවේය. අනතුරුව සුසිල්, අනුර සහ එස්.බී. එම යෝජනාව ස්ථිර කළේය.

මෙම හමුවේදී 16 කණ්ඩායම නියෝජනය කළ මන්ත්‍රි පිරිසගේ දැඩි උනන්දුව වූයේ ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාව සම්මත කරගැනීම සඳහාය. යෝජනාව සම්මත වූ පසු නිමල් සිරිපාල ඇමැතිවරයා නැඟී සිටියේය.

\'අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා ආවට ගියාට අයින් වෙන්න බෑ. ජනාධිපතිතුමා හුදෙකලා කරන්න අපට බෑ. නිවැරැදි වැඩපිළිවෙළක් එක්කයි අපි එළියට බහිනවා නම් බහින්න ඕන\' නිමල් සිරිපාල ඇමැතිවරයා කීවේය.

\'ඔව්.. ඒක ඇත්ත. අපිට \'හූ\' අහන්න බෑ. පච වෙන්න බෑ. පස්සෙන් යන්නත් බෑ. අපි දැක්කනේ කලින් ගිය අයට වුණු වැඩේ. ආණ්ඩුවෙන් යනවා නම් අපට හෙට වුණත් යන්න පුළුවන්. හැබැයි ගිහින් මොනවද කරන්නේ කියලා අපට වැඩපිළිවෙළක් ඕනේ\' මහින්ද අමරවීර කීවේය.

\'අපි කියන්නේ නෑ හෙට උදේ එළියට බහින්න කියලා හැබැයි මේක වෙන්න ඕනේ.\' ඒකයි කියන්නේ සුසිල් කීවේය.

\'හරි, හරි ඒ ගැන කතාබහ කරලා සති දෙක තුනකින් මට බලලා කියන්න\' ජනාධිපතිවරයා කීවේය.

\'සතියකින් දෙකකින් කියලා හරි යන්නේ නෑ. ඒකට නිශ්චිත දිනයක් ඕනේ\' සුසිල් කීවේය.
\'කමිටුවක් පත් කරන්නත් ඕන\' එස්.බී ද කීවේය.

අනතුරුව මේ ගැන සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීම සඳහා කමිටුවක් පත්කළ අතර එය ඉදිරි සතියේදී රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.

රුපියල කඩාවැටීමට හේතුව සොයා ආණ්ඩුව යන ගමන
ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වී රුපියල කඩාවැටීම පිළිබඳව විපක්‍ෂය දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කළේය. එහෙත් පසුගියදා පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මහින්ද සමරසිංහ ඇමැතිවරයා කීවේ ආර්ථික අර්බුදය ජනාධිපතිවරයා නිරන්තරයෙන්ම මේ සඳහා පියවර ගන්නා ලෙස විෂය භාර මැති ඇමැතිවරුන්ට උපදෙස් දුන් බවය.

තත්ත්වය එසේ තිබියදී එක්සත් ජාතික පක්‍ෂය ප්‍රසිද්ධියේම මේ පිළිබඳව ජනාධිපතිවරයාට චෝදනා කරමින් සිටී. ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කළ ආර්ථික සභාව රුපියල කඩාවැටෙන තුරු කුමක් සිදුකළේ දැයි එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට යන බව තුෂාර ඉඳුනිල් මන්ත්‍රිවරයා පැවැසීය.

රුපියල කඩාවැටීමට එම හේතුව එ.ජා.පයේ ආර්ථික ප්‍රතිපත්ති යැයි ශ්‍රී ල.නි.ප.යේ මැති ඇමැතිවරු චෝදනා කරති. එහෙත් එ.ජා.ප.යේ මැති ඇමැතිවරු එම චෝදනාව ප්‍රතික්‍ෂේප කරන අතර ඔවුන් පවසන්නේ ආර්ථික සභාව මේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවය.

එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරුන් අගමැතිවරයා පැමිණෙන තුරු සිටින්නේ ජනාධිපතිවරයාගෙන් මේ ගැන ප්‍රශ්න කිරීමටය. දෙපාර්ශ්වයම චෝදනා කර ගැනීම නවතා ආර්ථික අවපාතයට මුහුණ දීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා කාලය එළැඹ තිබේ.

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජාතික ආර්ථික සභාව රැස්විය. මේ සඳහා පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්ට මෙන්ම රටේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ තීන්දු තීරණ ගැනීමට හැකි ව්‍යාපාරිකයන්, ආර්ථික විද්‍යාඥයන්, විද්වතුන් ඇතුළු පිරිසක් එක්වී සිටියහ. එහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව නියෝජ්‍ය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. මේ සඳහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධනටද ආරාධනා කර තිබූ අතර ඔහු ඊට සහභාගි නොවීමද විශේෂත්වයකි. එම දේශනයෙන් පසුව ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ගැටලු ගැන සාකච්ඡා කළේය.

එහිදී ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්‍ෂ කුලතුංග රාජපක්‍ෂ රටේ වත්මන් තත්ත්වය ගැන කතා කළේය.

"දේශීය කර්මාන්තකරුවා අද කඩාගෙන වැටිලා. ආනයනය කිරීම අසීමිතව වැඩි කළ නිසා තමයි මෙහෙම වුණේ. මෙහෙම යන්න බෑ ඉස්සරහට, කුලතුංග රාජපක්‍ෂ කීවේය.
\'ඔයත් නිකන් අර රාජපක්‍ෂවරු වගේනේ කතා කරන්නේ. එහෙම දේවල් වෙලා නෑ\' යැයි අගමැතිවරයා තරමක් කේන්තියෙන් අදහස් දක්වා ඉන් පිටවගොස් තිබේ. අනතුරුව එතෙක් සුහදව පැවැති හමුව මත ගැටුම් ඇති වෙන්නට පටන් ගැනීම නිසා එම හමුව අවසන් කිරීමට ජනාධිපතිවරයාට සිදුවිය.

අගමැතිගේ් නෝර්වේ ගමන
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පැවැති උත්සව ගණනාවකටම සහභාගි විය. පුත්තලම වනාතවිල්ලුව නව පොලිස් ස්ථානය විවෘත කිරීමද එහිදී සිදුවිය. රංජිත් මද්දුම බණ්ඩාර, පාලිත රංගේ බණ්ඩාර සහ නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර ඇතුළු පිරිසක්ද ඒ සඳහා එක්ව සිටියහ. ඊට අමතරව එම සතිය වන විට මහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ පොලිස්පති පූජිත් ජයසුන්දරද එහි පැමිණ සිටීම විශේෂත්වයකි.

දැන් පොලිස්පතිතුමා යන යන තැන්වල මාධ්‍යයෙන් පස්සෙන් යනවා නේද?\' එහි සිටි පළාත් සභා මන්ත්‍රිවරයකු විමසීය.

\'ඔව් ඔව් දැන් මෙතුමා මාධ්‍යය එනකොට ටිකක් පරිස්සමෙන් තමයි ඉන්නෙ\' නලීන් බණ්ඩාර කීවේ සිනා සෙමිනි.

නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් පසුව පැවැති උත්සවයේදී පොලිස්පතිවරයා අගමැති රනිල්ව වර්ණනා කිරීමද විශේෂත්වයක් විය. අගමැතිවරයාද වත්මන් පොලිසිය ගැන තරමක වර්ණනාවක් කළේය.
\'අද වන විට පොලිස් සේවයේ විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. එම දියුණුව නිසා අපරාධ පාලනය කිරීමට හැකිවෙලා. ඒවා මාධ්‍යයෙන් පළ වුණේ නැතත් ඇත්ත ඒකයි. ඒ වගේම අපරාධ විසඳීමේ ප්‍රවණතාවද වැඩිවෙලා. එය ඉතා හොඳ වාතාවරණයක්\' යැයි අගමැතිවරයා කීවේය.

\'අද පොලිසියට ස්වාධීනව වැඩකර ගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා\' යැයි පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අතර ලෝක ළමා දිනය වෙනුවෙන් අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ උස්වයක් පැවැත්විණි. එහිදී එක් එක් දක්ෂතා දැක්වූ කුඩා දුවා දරුවන්ට තෑගි ප්‍රදානයක්ද අගමැතිවරයා අතින් සිදුවිය.

අනතුරුව අගමැතිවරයා නෝර්වේ සහ බි්‍රතාන්‍යයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය. මේ සඳහා සිය බිරිය මෛත්‍රි වික්‍රමසිංහ, ඇමැති විජිතමුනි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කවින්ද ජයවර්ධන සහ හේෂා විතානගේද එක්ව සිටියහ.

අගමැතිවරයා ඇතුළු පිරිස මහත් හරසරින් යුතුව නෝර්වේ රාජ්‍යයේදී පිළිගත් අතර බ්‍රහස්පතින්දා ඔස්ලෝ නුවර එක්ස් එක්ස් වර්ල් ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ආයතනයක් නිරීක්ෂණය කළේය. බදාදා ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින ව්‍යාපාරිකයන් සහ ඇමැතිවරයා අතර සුහද හමුවක් පැවැත්විණි. එහිදී දෙරටේ ව්‍යාපාර ක්‍ෂේත්‍ර පුළුල් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමද සිදුවිය.

මෛත්‍රි ගැන මහින්ද එස්.බී.ට කිව්ව කතාව

වර්තමාන ආණ්ඩුවෙන් පීඩාවට පත්වූ අමාත්‍යාංශ ලේකම්වරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිස එක්ව පිහිටුවාගෙන තිබෙන යහපාලන වින්දිතයෝ සංවිධානයේ ප්‍රධාන පෙළේ කණ්ඩායමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණේ පසුගිය අඟහරුවාදාය.

එදින මහින්ද උදෑසන ආහාරය ගත්තේ මෙම පිරිස සමඟය. ආහාර ගන්නා අතරතුර පිරිස කතාබහ කළේ රටට උදාවී ඇති තත්ත්වය සම්බන්ධයෙනි. ආර්ථික අර්බුදය, දේශපාලන පළිගැනීම්, නීතිය නැවීම, පාතාලය හිස එසවීම, ජාතික ආරක්ෂාව යනාදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අතර ආණ්ඩුව පෙරළීමේ උත්සාහය සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය.

"සර් මොකක්ද මේ කතාවක් යන්නේ ඒකාබද්ධයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතු වෙලා ආණ්ඩුවක් හදන්න යනවා කියලා? එක් මාධ්‍ය ප්‍රධානියකු ඇසුවේය.

"මට එස්.බී. ඇවිත් ඔය ගැන කතා කළා. මම එස්.බී.ට කිව්වා මොනවා කිව්වත් දැන් ඉන්න කෙනා අපට විශ්වාස නැහැ. එයා උදේට කියන දේ නෙමෙයි දවල්ට කියන්නේ. දවල්ට කියන දේ නෙමෙයි හවසට කරන්නේ. ඒ හින්දා ඔයාලා කට්ටිය එක්ක කතා කරලා ආණ්ඩුව හදන්න ඕනේ දේවල් කරලා මාව හමුවෙන්න. එතකොට මම ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරන්නම් කියලයි" මහින්ද පැහැදිලි කළේය.
"ඒක නම් හොඳයි සර්. මොකද අපි කාටත් මතකයි පසුගිය මහ මැතිවරණයේදී කරපු දේවල්. රෑ වැටුණ වළේ දවලුත් වැටෙන්න ඕනේ නැහැනේ." මාධ්‍ය ප්‍රධානියා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවෙසේදී එදින සවස පැවැත්විණි. එහිදී විශේෂ අවධානය යොමු කෙරුණේ රටට බලපා තබන ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව අනුගමනය කරන දියාරු ප්‍රතිපත්තිය සම්බන්ධයෙනි. මේ ගැන බන්දුල ගුණවර්ධන පක්ෂ නායකයන්ට පැහැදිලි කළේය.

"අද වෙනකොට පේන්න තියෙන්නේ ආණ්ඩුවට කිසිම දැක්මක් නැතිකම නිසා මේ තත්ත්වය උදා වෙලා තියෙන බවයි. ලෝක ආර්ථිකයේ අර්බුද කල්තියා දැකලා ඒවාට මුහුණදෙන්න සූදානම් වෙන එක තමයි ආණ්ඩුවේ මූලිකම කාර්යභාරය වෙන්න ඕනේ. එහෙම කළා නම් අද මේ වගේ අමාරුවේ වැටෙන්න ඕනේ නැහැ" බන්දුල කීවේය.

"රටම ආර්ථික අර්බුදයකට වැටිල තියෙන වෙලාවේ මංගල ඒවා ගැන කතා නොකර කාදිනල්තුමා මානව හිමිකම් ගැන කිව්ව එකක් අල්ලගෙන නටනවා. මේ වගේ මුදල් ඇමැතිවරුන් ලෝකේ කොහෙවත් නැතුව ඇති" වෙල්ගම කීවේය.

මහින්දගේ නායකත්වයෙන් ඉදිරියේදී බිහිකෙරෙන ඒකාබද්ධ විපක්ෂය මූලික ආණ්ඩුවක් යටතේ මෙම ආර්ථික අර්බුදය හඳුනාගෙන එයට මුහුණ දීම සඳහා විශේෂිත සැලසුම් සැකසීමට විද්වත් කමිටුවක් පත් කෙරුණි. අනතුරුව අවධානය යොමු කෙරුණේ නිල කාලය අවසන් වූ මධ්‍යම පළාත් සභාව ගැනය.

මේ වන විට පළාත් සභා හතරක නිල කාලය අවසන් වී ඇති අතර තවත් සභා දෙකක නිල කාලය මෙම මාසය තුළ අවසන් වීමට නියමිතය. එහෙත් ආණ්ඩුව සීමා නිර්ණයට මුවා වී පළාත් සභා මැතිවරණය කල්දමමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ කතාබහට ලක්විය.

එහිදී තීරණය කෙරුණේ උතුරු මැද පළාතේ පැවැති ආකාරයට පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ජනහමු මාලාවක් මධ්‍යම පළාතේ ද පැවැත්වීමටය. එහි සංවිධාන කටයුතු කෙහෙළිය, මහින්දානන්ද, දිලුම් සහ ලොහාන් වෙත පැවරුණි.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම පසුගිය සති අන්තයේ උඩුගම්පොළ පිහිටි ප්‍රසන්නගේ නිවෙසට පැමිණ සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ප්‍රසන්න, සිසිර, ලාන්සා, ඩුලිප්, ඉන්දික, රණවීර යන මන්ත්‍රිවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

"මේ වෙනකොට අපේ රට අයාලේ යන රටක් වෙලා ඉවරයි. ආණ්ඩුව අවධානය යොමු කරලා තියෙන්නේ රට හමුවේ තියෙන ප්‍රශ්නවලට උත්තර සෙවීමට වඩා තමන්ගේ බලය රැකගන්නේ කොහොමද කියන එක ගැනයි. රටේ සංවර්ධනය සම්පූර්ණයෙන් අඩාල වෙලා. මිනිසුන්ට එදිනෙදා ජීවත්වෙන්න බැරි වාතාවරණයක් උදාවෙලා" ප්‍රසන්න පැවසීය.

"රට දැන් කප්පිත්තෙක් නැති නැවක් වගෙයි. ජනාධිපති පිරිවර අරගෙන එක රටකට යනකොට අගමැති තමන්ගේ පිරිවර අරගෙන තව රටකට යනවා. ඇමැතිවරුනුත් ඒ දෙන්නට දෙවැනි නැහැ. ආර්ථික අර්බුදය නිසා රට යන්න එපා කියලා මිනිස්සුන්ගෙන් ඉල්ලන ඇමැතිවරුන් පහුවදාම ප්ලේන් එකේ යන ගමන් සෙල්ෆි ගහනවා" සිසිර කීවේය.

"තවදුරටත් මේ ආණ්ඩුව ඉදිරියට ගියොත් අපට රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ආණ්ඩුව පෙරළන එක අපේ මූලිකම අරමුණ විය යුතුයි." රණවීර පැවසීය.

"ඔව්. අපි ආණ්ඩුව පෙරළන්න ඕනේ. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුවක් හදන්න ඕනේ. හැබැයි අපිට ඉන්නේ මන්ත්‍රිවරුන් 69යි. පාර්ලිමේන්තුවේ සරල බහුතරයට මන්ත්‍රිවරුන් 113ක් ඕනේ. එතැනදී අපි ප්‍රවේසම් වෙන්න ඕනේ අපේ ආණ්ඩුවකට කාවද එකතු කරගන්නේ කියලා" ප්‍රසන්න පැවැසීය.

"ඒ කතාව ඇත්ත. ආණ්ඩුව හදන්නන් වාලේ හදල වැඩක් නැහැ. එහෙම වුණොත් අපිටත් වෙන්නේ නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි එකතු වෙලා හදපු ඊනියා ජාතික ආණ්ඩුවට වෙච්ච දේමයි" ඩුලිප් පැවැසීය.
"2015 ඉ¼දලා මේ ආණ්ඩුවට එරෙහිව ගෙනගිය වැඩපිළිවෙළ හින්දා අපිට රටේ ගොඩනැඟුණු විශ්වාසයක් තියෙනවා. ඒ ජනතා විශ්වාසය ආරක්ෂා කරගැනීම තමයි අපි මූලිකවම කරන්න ඕනේ දේ. එහෙම නොවුණොත් අපිටත් වෙන්නේ ඊළඟ මැතිවරණයේදී ආයෙත් පරාජය වෙන්නයි" ඉන්දික කීවේය.

"ඒ විශ්වාසය රැක ගන්න නම් අපේ ආණ්ඩුවේ ඉන්න ඕනේ දෑත් පිරිසුදු අය විතරයි. පසුගිය අවුරුදු තුනේ හොරකම්වලට ගෑවිච්ච අය අපට වැඩක් නැහැ. ඒ අය අපේ පැත්තට කරණම ගහන්න හදන්නේ අපිටවත් ජනතාවටවත් ආදරයකට නෙමෙයි. එයාලට ඕනේ ඊළඟ ආණ්ඩුව මේ ආණ්ඩුවේ හොරකම් හොයන කොට ආරක්ෂා වෙන්නයි.

ඒවට ඉඩ තියන්න බැහැ. මේ අවුරුදු තුනේ ජනතා මුදල් කොල්ලකාපු කිසිම කෙනකුට සමාවක් දෙන්න හොඳ නැහැ. උදව්වක් විදියට නඩු ටික ඉක්මන් කරලා අවසන් කරලා හිරගෙට දක්කන්න නම් පුළුවන් වෙයි. එතකොට උසාවි ගානේ රස්තියාදු වෙනවට වඩා ඉක්මනින් හිරේ යන්න පුළුවන්" ප්‍රසන්න පෙන්වා දුන්නේය.

"අපිට කාගෙන්වත් පළිගන්න ඕනේ නැහැ. අපිට මේ අවුරුදු තුනේ වෙච්ච දේශපාලන පළිගැනීම් අපි කරන්නේ නැහැ. හැබැයි හොරුන්ට නම් බේරිල්ලක් නැහැ. ඒ හින්දා හොරු ගාව ගන්නේ නැතිව තමයි හදන ආණ්ඩුවක් හදන්න ඕනේ" රණවීර පැවැසීය.

"ඒ වගේම අපි මේවා කරන කොට අනෙක් පාර්ශ්වයේ ඇත්ත අරමුණ මොකක්ද කියලත් තේරුම් ගන්න ඕනේ. හිතේ එකක් තියාගෙන බොරුවට හිනා වෙලා එන අයගෙන් ප්‍රවේසම් වෙන්න ඕනේ. මම නම් එන හැමකෙනෙක් දිහාම බලන්නේ සැකෙන්. මොකද මට හොඳට මතකයි මේ අය 2015 අගෝස්තුවේ කරපු මහා පාවාදීම. ඒක නොකළා නම් දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක්" ප්‍රසන්න කීවේය.

බැසිල් ජී.එම්.ඕ.ඒ. අතර සාකඡ්චා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණ බ්‍රහස්පතින්දා උදේ නෙලුම් මාවතේදී බැසිල් රාජපක්ෂ හමු විය. පවිත්‍රා, මහාචාර්ය චන්න ජයසුමන, වෛද්‍ය නිහාල් ජයතිලක ඇතුළු පිරිසක්ද පොදුජන පෙරමුණ වෙනුවෙන් එම සාකච්ඡාවට එක්වූහ.

සර්... අපි මේ ආවේ සිංගප්පූරු ගිවිසුම ගැන පොදුජන පෙරමුණත් එක්ක කතා කරන්න. එසේ කියමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක සමන්ත ආනන්ද සාකච්ඡාවට මුලපුරද්දීම, \'ආ... ඒක බොහොම හොඳයි. මේ වගේ දේවල් ගැන සාකච්ඡා කරන්න ඕන. ඊළඟ ආණ්ඩුව භාර ගන්න පක්ෂය එක්ක තමයි\' යැයි බැසිල් කීවේ කාගේත් අත්පොළොසන් හඬ මධ්‍යයේය.

\'සිංගප්පූරු ගිවිසුමේ අන්තර්ගතයට වගේම මේ ගිවිසුම හදපු විදියටත් අපි විරුද්ධයි\' වෛද්‍ය සමන්ත ආනන්ද තවදුරටත් පැහැදිලි කරද්දී බැසිල් මුළු සිංගප්පූරු ගිවිසුමම ඇතුළත් විශාල පොතක් තමන්ගේ පොත් රාක්කෙන් එළියට ගත්තේය.

\'මේක වෘත්තිකයන්ට විතරක් අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. සිංගප්පූරු ගිවිසුම රටේ හැමෝටම ආදාළ බරපතළ ජාතික ප්‍රශ්නයක්\' යැයි හිටපු වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් කීවේය.

\'ඔබතුමන්ගේ මේ මැදිහත් වීම පොදුජන පෙරමුණ විදියට අපි අගය කරනවා. අනුන් ගහපු ගිවිසුම් නිසා ආණ්ඩු කරද්දි අපි බැටකාල තියෙනවා. 2002 රනිල් - ප්‍රභාකරන් සටන් විරාම ගිවිසුම අවසන් කරන්න අපිට ගොඩක් මහන්සි වෙන්න වුණා. සටන් විරාම ගිවිසුම සම්පූර්ණයෙන්ම අහෝසි වුණේ අපි කිලිනොච්චියත් අල්ල ගත්තට පස්සෙ. ඒ හින්දා අනුන් ගහන ගිවිසුම් ගැන අපි බොහොම පරිස්සම් වෙනවා. සිංගප්පූරු ගිවිසුම් ගැන ඔබතුමන්ලගෙයි අපේ පක්ෂයෙයි නියෝජිතයො ඉන්න ඒකාබද්ධ තාක්ෂණික කමිටුවක් පත් කරලා අපි ඉදිරි වැඩ සැලැසුම් කර ගම්මු.\'

බැසිල්ගේ යෝජනාවට වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණ එකඟ වුණා. සර්... අපේ බස් රථ කර්මාන්තය දැනට තියෙන්නේ ස්වයං රැකියාවක් විදියට. මේ ගිවිසුමෙන් ඒක බහුජාතික සමාගම් සතු ව්‍යාපාරයක් වෙනවා. ඒ අදහස බස් සංගම් නියෝජිතයකුගෙන් නැඟුණේය. \'අපේ කාලයෙත් ඔය යෝජනාව ආවා.\' බැසිල් කීවේය.

ඔව්.. ඔව්... ඔබතුමා මැදිහත් වෙලා ඒක නැවැත්තුවා මට මතකයි\' වෘත්තීයවේදියකු කීවේය.

\'නියත වශයෙන්ම ඊළඟ ආණ්ඩුව භාර ගන්න ඉන්න පක්ෂය විදියට අපි දැන් අධ්‍යයනය කරමින් ඉන්නේ මේ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඔබතුමන්ලා ඒ සඳහා අපිට උදවු කරන්න ඕනේ.\' බැසිල් කීවේ සැහැල්ලුවෙනි.

වැඩ නොකරන අයට සජිත්ගෙන් අමුතු පාඩමක්
රත්නපුර දිස්ත්‍රික්කයේ බළන්ගොඩ "ශ්‍රී නාරද නාහිමිගම" උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය වෙනුවෙන් ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට ඊට පෙර තවත් වැදගත් කාර්යයකට සහභාගි වීමට තිබිණි. එනම් චෛත්‍ය 25 වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බළන්ගොඩ, මැද්දෙකන්ද, ශ්‍රී පරමනන්දාරාමයේ චෛත්‍ය සඳහා ශෛල ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට සහභාගි වීමටය. තලතා අතුකෝරල අමාත්‍යවරිය මෙම අවස්ථා දෙකේදීම සජිත් සමඟ සිටියාය. "ශ්‍රී නාරද නාහිමිගම" සජිත්ගේ සිත් ඇදගත්තේ එහි නිමාව මෙන්ම උත්සවය ඉතා මැනවින් සංවිධානය කර තිබීම හේතුවෙනි. උත්සවය අවසානයේ සජිත් කතා කළේ ඉතා සොම්නස් සහගතවය. "තලතා රාජ්‍ය ආයතනවල වෙහෙස මහන්සියෙන්, උනන්දුවෙන් සේවය කරන නිලධාරීන්ටත්, සේවක පිරිසටත් ප්‍රතිලාභ ලබාදෙන අලුත් ක්‍රමයක් හැදෙන්න ඕනෑ. මට ඒ ගැන සැලසුමක් තිබෙනවා.

බලන්න මේ උදා ගම්මානය කොච්චර ලස්සනට හදලා තියෙනවාද කියලා" සජිත් කියද්දී තලතා කීවේ "ඒ ඉතින් ඒ මිනිස්සු ඔයාට බය නිසානේ" කියාය.

"නෑ එහෙම කියන්න එපා. රාජ්‍ය ආයතනවල ඉතාම උනන්දුවෙන් සේවය කරන අය ඕනෑ තරම් ඉන්නවා. සාම්ප්‍රදායිකව උසස්වීම්, පඩි වැඩිවීම්, අනෙක් පහසුකම් ලබාදීමට අනුගමනය කරන ක්‍රමවේදය වෙනුවට ඇමැතිවරයාගේ ඇස් දෙකෙන් දැකලා ප්‍රගතිය තහවුරු කරගෙන ඒ කාර්යය කරපු අයට උසස්වීම් ඇතුළු අනෙකුත් වරප්‍රසාද ලබා දෙන ක්‍රමයක් මම ඇති කරනවා. "ශ්‍රී නාරද නාහිමිගම" ලස්සනට කරපු හැමෝටම උසස්වීම් ලබා දෙනවා. දිස්ත්‍රික් කළමනාකාරවරයාටත් උසස්වීමක් ලබා දෙනවා.

එතකොට වැඩ නොකරන අය ඉබේම පසුබෑමට ලක්වෙනවා" සජිත් කීවේය. අනතුරුව සජිත් කීවේ "දිවංගත ගාමිණී අතුකෝරල මැතිතුමාගේ නංගි හැටියට ඔයාට මම අභියෝගයක් භාර දෙනවා. අලුත් උදා ගම්මාන 100ක් හදන්න පටන් ගන්න. මම අවශ්‍ය මුදල් සම්පාදනය කරලා දෙන්නම්" කියාය.

කොළඹ නගර සභාවේ අලකලංචිය
කොළඹ මහ නගර සභාවේ නාගරික තක්සේරු තනතුරේ කටයුතු කරමින් සිටින ප්‍රධාන නිලධාරිනිය වන ඒ.ඒ. ඩබ්ලිව්. එන්. අධිකාරි මහත්මිය විශ්‍රාම යන තෙක් එම දෙපාර්තමේන්තුවේම කටයුතු කරමින් අඩු සුදුසුකම් තිබෙන පන්තියක් නැති කුමාරයකු එම තනතුර ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනකු පිටුපසින් දුවමින් සිටී.

දැනට කටයුතු කරමින් සිටින අධිකාරි මහත්මියගේ සේවා කාලය තවදුරටත් දිගු කරන ලෙස ඉල්ලමින් නගරාධිපතිනි රෝසි සේනානායක බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කරමින් සිටී.


මේ අතර කොළඹ මහ නගර සභාවේ ඉහළ නිලධාරියකුගෙන් සභාවේ සේවයේ නියුතු නිලධාරිනියන්ට සිදුවන අතවර ගැන නාගරික මන්ත්‍රිනි ෂර්මිලා ගෝනවල කළ ප්‍රකාශය පිළිබඳව කරුණු සොයා බැලීමට පළාතේ ආණ්ඩුකාරවරයා කමිටුවක් පත්කර ඇත.

මෙයට අමතරව ෂර්මිලා ගෝනවල මන්ත්‍රිවරියගේ චෝදනාව සොයා බැලීමට නගරාධිපතිනිය විසින්ද කමිටුවක් පත්කර තිබේ.
ජවිපෙන් දැවැන්ත විරෝධතාවක්
මේ අතර ජවිපෙ නායකයන්ගේ අවධානය ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වෙත යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයන් සාකච්ඡාවක නිරත විය. "දවසින් දවස බඩු මිල ඉහළ යනවා.

බදු බර වැඩි වෙනවා. ආණ්ඩුව තෙල් සූත්‍රයක් ගෙනත් ඉන්ධන මිල වැඩි කරනවා. ඒකෙන් සියලුම භාණ්ඩ මිල විතරක් නෙවෙයි බස් ගාස්තු ත්‍රීවීල් ගාස්තු වැඩි වෙනවා. ජනතාව විශාල අසීරුතාවකින් තමයි ජීවත් වෙන්නේ. ජනතාවගේ විරෝධයක් ආණ්ඩුවට තියෙනවා. මේ ඇත්ත විරෝධය ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශයට පත් කරන්න ඕනෑ." ටිල්වින් සිල්වා කියා සිටියේය. "අපි වෘත්තීය සමිති විදියට දැනටමත් සටනක් ආරම්භ කරලා තියෙන්නේ ජීවන වියදමට සරිලන වැටුපක් ලබා දෙන්න කියලා. ඒ වගේම වතු සේවකයන්ට දිනක වැටුප වැඩි කරගන්න අරගලයක් ආරම්භ කළා. ගොවි ව්‍යාපාරයත් ධීවර ව්‍යාපාරයත් වෙනම සටන් ක්‍රියාමාර්ග යනවා. මේවා සියල්ල ඒකාබද්ධ කරලා කොළඹ ලොකු උද්ඝෝෂණයක් සංවිධානය කරමු" ලාල් කාන්ත යෝජනා කළේය. "රාජපක්ෂ කණ්ඩායම ජනතා විරෝධතා විහිළුවට ලක් කළා.

ඒකෙන් වුණේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය ඉස්මතු වුණු එක නෙවෙයි. විරෝධතාව විනෝදතාවක් වුණු එකයි. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා සැබෑ ජනතා විරෝධතාවක් කරලා ජනතාවගේ උද්ඝෝෂණය කිරීමේ අයිතියට වටිනාකමක් දෙන්න.

විනයගරුක සටන්කාමී සැබෑ ජනතා විරෝධතාවක් සංවිධානය කරන්න පුළුවන් ජවිපෙට කියලා ජනතාව දන්නවා" බිමල් රත්නායක කීවේය. ඒ අනුව බඩු මිලෙන්, බදු බරෙන් ජනතාව පෙළෙන ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය යන තේමාවෙන් උද්ඝෝෂණය සංවිධානය කිරීමට තීරණය විය. ඒ සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් ජවිපෙ බල මණ්ඩල දැනුවත් කිරීමටත් වෘත්තීය සමිති මට්ටමින් වැඩබිම් දැනුවත් කිරීම්ද ගොවි සහ ධීවර සමිති ව්‍යාපාර සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද තීරණය විය.

ජී.එල්. විජිත 20 ගැන
කතා කරයි
ජර්මන් ජාතික දින උත්සවය පසුගිය 3දා ජර්මන් තානාපති කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා දේශපාලනඥයන්ටද ආරාධනා ලැබී තිබුණු අතර ජවිපෙ නියෝජනය කරමින් එහි සහභාගි වූයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ය. උත්සවය අතරතුර එයට සහභාගි වීමට පැමිණ සිටි ජී.එල්. පීරිස්, විජිත හේරත් මන්ත්‍රිවරයා හමුවිය. "කොහොමද මන්ත්‍රිතුමා. විස්ස ගැන අලුත් තත්ත්වය මොකද්ද? ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය කථානායකතුමාට ලැබුණා කියලත් කියනවා නේද? මොකක් වෙයි කියලද හිතන්නේ." ජී.එල්. පීරිස් විජිතගෙන් විමසීය.

"ගොඩක් වෙලාවට ජනමත විචාරණයකට යන්න වෙයි කියලා හිතෙනවා" විජිත කීවේය. "ඔව්, මටත් එහෙම තමයි හිතෙන්නේ" ජී.එල්. පීරිස් කියා සිටියේය. "එහෙම වෙන එක හොඳයි. මොකද පාර්ලිමේන්තුවේ 2/3න් විතරක් සම්මත වුණොත් ආයේ වෙලාවක පාර්ලිමේන්තුවේ 2/3ක් අරගෙන විස්ස අහෝසි කරන්නත් පුළුවන්. නමුත් ජනමත විචාරණයකට ගිහින් ජනතාවගේ කැමැත්තෙන් සම්මත කරගත්තාම ආපහු හකුළන්න බැරිවෙනවා. අපි කියන්නේ මේක පාර්ලිමේන්තුවේ හිර කරන්නේ නැතිව ජනතාවට භාර දෙමු කියලා" විජිත හේරත් කියා සිටියේය.

දුම්රිය ගාස්තු 35%න් 50%න් වැඩිවෙලා
ආණ්ඩුව දුම්රිය ගාස්තු වැඩිවීම ප්‍රකාශයට පත්කළේ 15%ක් බවය. නමුත් පසුගිය 1දා දුම්රිය ගාස්තු වැඩිවීමෙන් පසුව ගාස්තු වැඩිවීම 15%කට වඩා අධික බව ජනතාව අතර කතාබහ වෙන්නට පටන් ගත්තේය. මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ජවිපෙ මන්ත්‍රිවරුන්ටද කියා සිටියේ කුමක් හෝ දෙයක් මේ සම්බන්ධයෙන් කරන ලෙසය. පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායකටද මේ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවන ලෙස කියා තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර දිසානායක වෘත්තීය සමිතිවලින් විමසුවේ ගාස්තු පිළිබඳව තොරතුරු දැන ගැනීමටය.

රඹුක්කනට තිබූ ගාස්තුව රු. 70 සිට රු. 105 දක්වා 50%න්ද නාවලපිටිය ගාස්තුව රු. 120 සිට රු. 160 දක්වා 33%න්ද නානුඔය ගාස්තුව රු. 160 සිට රු. 215 දක්වා 34%න්ද වැඩිවී තිබෙන බව වෘත්තීය සමිති උදාහරණ ලෙස පෙන්වා දුන්නේය. "ආණ්ඩුව කොයිතරම් බංකොලොත් වෙලාද? අඩුම තරමේ ගාස්තුවක් වැඩි කළාම ඒ ප්‍රතිශතය නිවැරැදිව ගණනය කරලා ජනතාව දැනුවත් කරන්නවත් මේ ආණ්ඩුවට බැහැ" අනුර දිසානායක කීවේය. මේ අතර මෙම ගාස්තු අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමටද ජවිපෙ නායකයා බලාපොරොත්තුවෙන් සිටී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon