ජංගම දුරකථනයෙන් පරිස්සම් වෙමු

  👤  3144 readers have read this article !
2018-10-09

ජංගම දුරකථනය අද මේ රටේ බොහෝ දෙනකුට නැතිවම බැරි දෙයක් වී ඇත. මෙරට ජනගහනයෙන් වැඩි දුරකථන සංඛ්‍යාවක් තරුණ, බාල, මහලු, ගිහි-පැවිදි පිරිසක් අත තිබේ. 'විනෝදය' අහිමි වර්තමාන සමාජයේ ජංගම දුරකථනය විලාසිතාවක් බවට පත්වීම පුදුමයක් නොවේ. එය ඇතැමුන්, කුඩ්ඩන් මත්පැන් ලෝලීන් මෙන් ඊට ඇබ්බැහිවී ඇත.

වාහනයක ගමනක් යද්දීත්, රිය පදවද්දීත්, නිදි ඇඳේදීත් සැලකිය යුතු පිරිසක් ජංගම දුරකථනය පරිහරණය කරති. රිය පැදවීමේදී ජංගම දුරකථන භාවිතය තහනම් වුවද බොහෝ රියැදුරන්ට ඒ බව අමතක වෙයි. නොඑසේ නම් අමතක කර දමයි. 'ජංගම දුරකථනය' සිය ජීවිතයටත් වඩා ඔවුන්ට වටින්නේ යැයි සිතෙන තරම්ය.

ජංගම දුරකථනය රාත්‍රි කාලයේ දිගු වේලාවක් කාමරය තුළ තබා ගැනීම මෙන්ම නිදන කාමරය තුළදී ජංගම දුරකථන භාවිත කිරීම දැඩි සෞඛ්‍ය අවදානමකට හේතුවක් බව ඊයේ දිනපතා 'මව්බිම'ට ප්‍රකාශ කර තිබුණේ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩනයි. විශේෂයෙන් නිදන කාමරය තුළ ජංගම දුරකථන තබා ගැනීම මොළයට සහ ස්නායු පද්ධතියට හානිකර විය හැකි බව වෛද්‍යවරියගේ නිගමනයයි.

ජංගම දුරකථන සහ පරිගණක ආශි්‍රත උපාංග මඟින් ඇති කරන විද්‍යුත් චුම්බක තරංගවලට නිරන්තරයෙන් නිරාවරණය වීම නිසා මේ තත්ත්වය ඇති වේ. රාත්‍රි නින්දට යෑමට පෙර සිය නිදන කාමරයෙන් ජංගම දුරකථන වැනි විද්‍යුත් තාක්‍ෂණික උපාංග ඉවත් කර තැබීමට හෝ ක්‍රියා විරහිත කර තැබීමට කටයුතු කිරීම වැදගත් බව වෛද්‍යවරිය අවධාරණය කර තිබිණි.

ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී වෛද්‍යවරිය කළ මේ පැහැදිලි කිරීම අතිශය වැදගත් වන්නේ විශේෂයෙන් තරුණ තරුණියන්ටය. ඔවුන් බොහෝ විට නිදන කාමරයේ සිට රාත්‍රියේ ජංගම දුරකථනය පාවිච්චි කරන බව නොරහසකි. මෙමගින් කායික සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍යද බිඳ වැටෙන බව පැහැදිලිය. ජංගම දුරකථනයට ඇබ්බැහිවීමෙන් මානසික සෞඛ්‍යය පිරිහී ඇත්තේ තරුණ තරුණියන්ටත් වඩා පාසල් වයසේ පසුවන්නන්ගේය. ඊයේ 'මව්බිම' පත්‍රයේ මුල් පුවත ඊට කදිම නිදසුනකි.

මුහුණු පොතෙන් හඳුනා ගත් 16 හැවිරිදි පෙම්වතියගේ අනුදැනුම ඇතිව ඇගේ මවගේ රන් බඩු රැගෙන යෑමට නිවෙසට පැමිණි පෙම්වතාගේ මිත්‍රයන් දෙදෙනා පෙම්වතිය බිය ගන්වා මව දූෂණය කර ඒ සිද්ධිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ඡායාරූපගත කිරීම ඒ සිද්ධියය. මේ වන විට 21 හැවිරිදි පෙම්වතා සහ දූෂකයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙවැනි සිද්ධින් කිහිපයක් පසුගිය කාලයේ මාධ්‍ය හරහා වාර්තා විය.

එහෙත් පාඩම් ඉගෙන ගන්නා බවක් පෙනෙන්නට නැත. ඊට හේතුව බොහෝ දෙනකු මේ ප්‍රවෘත්ති නොදන්නාකමයි. ඔවුන් ජංගම දුරකථනය ඔස්සේ දකින්නේ එවැනි වැදගත් ප්‍රවෘත්ති තොරතුරු නොවීම ඛේදවාචකයකි.


සිය මානසික සෞඛ්‍යය විනාශ කරගන්නා මේ ජංගම දුරකථනලෝලීන් සිය කායික සෞඛ්‍යයද විනාශ මුඛයට යෑමට ඉඩ දෙමින් සිටින බව පැහැදිලිය. මින් දැනුවත්ව මිදුණේ නැත්නම් මානසික - කායික රෝගීන් පිරිසක් විශේෂයෙන් තරුණ පරපුර අතරින් බිහිවීම නොවැළැක්විය හැකි වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon