තෙබුවන පොලිස් සැරයන්

  👤  2961 readers have read this article !
2018-10-10

පොලිස් ලොක්කන්ගේ වැඩ ගැන මිස පොලිස් පොඩ්ඩන්ගේ වැඩ ගැන 'මාධ්‍ය' ලොකුවට කතා කරන්නේ නැත. එහෙත් පොලිස් පොඩ්ඩකු කළ වැඩක් ගැන කියන්නට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය පසුගිය දිනවල ලොකු ඉඩක් වෙන් කළේය. සති අග පුවත්පත්වල විශේෂ ලිපි පළ විය.

මතුගම තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මුළු රටේම මාතෘකාවක් බවට පත්වූයේ ජාතික දේපොළ කොල්ලකා නොවේ. කෝටි ගණනක අල්ලසක් අරගෙනද නොවේ. කාන්තාවක හෝ දරුවකු දූෂණය කිරීමේ චෝදනාවක් තිබුණේද නැත. ඔහු මිනීමැරුමක චූදිතයකු ලෙස නම් කර නොතිබිණි.

මේ සැරයන්වරයා සිය රාජකාරි ගිනි අවියද ගෙන තෙබුවන නගරය මධ්‍යයේ විරෝධතාවක නිරත වීමේ වරදට අත්අඩංගුවට ගැනිණි. ඊයේ හෙතෙම ඇප මත නිදහස් කරනු ලැබීය.

ඉකුත් මාසයේ 29 වැනිදා අලුයම් කාලයේ මාර්ග පරීක්‍ෂාවේ නිරතව සිටියදී නීති කැඩීම නිසා තමන් අත්අඩංගුවට ගත් වැලි ලොරියක් තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මුදාහරිනු ලැබීම නිසා සැරයන් සනත් ගුණවර්ධන මෙලෙස විරෝධතාවක නිරත වී ඇත.

ඉකුත් 3 වැනිදා සිය රාජකාරි ගිනි අවිය සමඟ තෙබුවන නගරය මධ්‍යයේ ඔහු සිය ඒක පුද්ගල විරෝධතාව ආරම්භ කළේය. සාධාරණය ඉටු නොවන්නේ නම් ගිනි අවියෙන් වෙඩි තබා ගන්නා බවට හෙතෙම තර්ජනය කළේය. උසස් පොලිස් නිලධාරීන්ට අවනත නොවූ ඔහු අවධාරණය කළේ නීතිගරුක නිලධාරියෙක් වන තමන් 'සාධාරණය' අපේක්‍ෂා කරන බවය.

සිය දියණියගේ ඉල්ලීමට හෝ කළුතර ප්‍රදේශය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඉල්ලීමට හෝ සැරයන්වරයා අවනත වූයේ නැත. අවසානයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ (ඉඊජ්) නිලධාරීහු සැරයන් ගුණවර්ධනව මෙල්ල කර ගත්හ. සිය රාජකාරි ගිනි අවිය රැගෙන නගර මධ්‍යයේ නොසන්සුන් ලෙස හැසිරෙමින් ජනතාව බියවැද්දීමේ හේතුව මත සැරයන්වරයාගේ සේවය අත්හිටුවා අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනගාර ගත කෙරිණි. ඔහුට ඇප ලබාදීමට අධිකරණය ඊයේ තීරණය කළේය.
එය හොඳ තීරණයකි.

සැරයන් සනත් ගුණවර්ධන මීට පෙර වසර හතරක් එල්.ටී.ටී.ඊ.යේ අත්අඩංගුවට පත්ව සිට ඇත. යළිත් වරක් ඔහුට රාජකාරි කිරීමට යෑමේදී ඇති වූ සිද්ධියක් මත රක්‍ෂිත බන්ධනාගාර ගත වීමට සිදුවී තිබේ. මෙවර ඔහු බන්ධනාගාර ගත වන්නේ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට ගොසිනි. නොඑසේ නම් රාජකාරිය දේව කාරියක් ලෙස සැලකීම නිසාය.

රාජකාරි ගිනි අවිය රැගෙන නිල ඇඳුමෙන් නගර මධ්‍යයේ විරෝධතාවක නිරත වීම පොලිසියේ විනය අනුව වරදකි. නරක පූර්වාදර්ශයකි. එහෙත් ඒ 'වරදට' සැරයන්වරයා දැන දැනම පෙලඹෙන්නේ ඔහු තුළ පැවැති දැඩි පීඩනයක් නිසාය. පොලිසිය පවසන පරිදි 'වැලි ලොරිය' නීති විරෝධීව කටයුතු කර නැත.

එසේ නම් වරද කර ඇත්තේ පොලිස් පොඩ්ඩාය. තෙබුවන පොලිසියේ ලොක්කා නිවැරැදිය. එහෙත් මේ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් කළ යුතුය. පොලිස් පොඩ්ඩා 'පිස්සෙක්' කීම ලෙහෙසිය. එහෙත් පොලිස් ලොක්කන්ගේ පිස්සු කෙළීම ගැන සෙවීම අසීරුය. අපි එසේ කියන්නේ පොලිසියේ ඇතැම් ලොක්කන් ඇදේට යමින් පොඩ්ඩන්ට කෙළින් යන ලෙස නියෝග කරන බව ප්‍රසිද්ධ රහසක් වන නිසාය.

තෙබුවන සිද්ධියේ සැබෑ වැරැදිකරුවන් සොයා ඔවුන්ට අනිවාර්යයෙන් දඬුවම් කළ යුතුය. පොලිස් කොමිසම ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුත්තේ මේ රටේ බොහෝ විට යුක්තියට වඩා අයුක්තියට වැඩි ඉඩක් ඇති බව බොහෝ දෙනකු දන්නා බැවිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon