මහ පාරේ වාහන තදබදය

  👤  3108 readers have read this article !
2018-10-12

ඉකුත් දිනෙක අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ට සිදු වූ අකරතැබ්බ ගැන මේ වන විට රටම දනී. රාජගිරිය ප්‍රදේශයේ වාහන තදබදය නිසා පාර්ලිමේන්තු රැස්වීමට යමින් සිටි ඇමැතිවරයාට වාහන තදබදයට හසුව පැයක් පමණ නිල රථයේ රැඳී සිටීමට සිදු වී ඇති අතර අවසානයේ පාර්ලිමේන්තුවට ගොස් ඇත්තේ යතුරුපැදියක නැඟීය.

මේ අකරතැබ්බයට මේ රටේ මගී ජනතාව නිරතුරුවම මුහුණ දෙයි. දිවයිනේ ප්‍රධාන නගරවල ඕනෑම පාරක ඕනෑම වේලාවකදී වාහන තදබදයකට මුහුණදීමට සිදුවිය හැකිය. ඇමැතිවරයාට පාර්ලිමේන්තු යෑමට ප්‍රමාද වූයේ පැයකි. ඒ පැයට රතු ඉර ඔහුට වදින්නේ නැත. වැටුප් කැපෙන්නේද නැත. එහෙත් රජයේ සේවකයන්ට වේවා, පෞද්ගලික අංශයේ සේවකයන්ට වේවා ඒ දෙකම සිදුවිය හැකිය.

පොදු ප්‍රවාහන සේවයේ වේවා පෞද්ගලික වාහනයක වේවා ගමන් කරන්නකුට වාහන තදබදයට මුහුණදීමට සිදුවීම අද සාමාන්‍ය සිද්ධියකි. ඔවුහු ඉන් මානසික මෙන්ම ආර්ථික පීඩා විඳිති. සාමාන්‍ය ජනතාව විඳින දුක - පීඩාව ඇමැතිවරයා අහම්බෙන් උදා වූ පැයේදී අත්වින්දාට සැක නැත.

වාහන තදබදයට හසුවෙනවාට අමතරව පොදු ප්‍රවාහනයේ යන මගී ජනතාව බස්රියේ හෝ දුම්රියේ හෝ යන්නේ සිරවී තෙරපීය. ඔවුන් ඉන් විඳින කායික, මානසික පීඩාව අතිමහත්ය. ඊට වාහන තදබදයද එකතු වූ විට රාජකාරි ස්ථානයට ගොස් නිරවුල් මනසකින් වැඩ කිරීමට ශක්තියක් බොහෝ දෙනකුට නැත. වටිනා මිනිස් පැය මේ නිසා අපතේ යයි. කලට වේලාවට 'වැඩ' පටන් ගැනීමට නොහැකි වීමෙන් සිදුවන සමාජයීය හා ආර්ථික හානිය කොපමණද?

අධිවේගී මාර්ගවලින් පැමිණියද ගමනේ ඉතිරිය සාමාන්‍ය මාර්ගයෙන් යෑමට එතෙක් පැමිණි කාලයම ගතවන අවස්ථා තිබේ. වටරවුම් මාර්ග සම්පූර්ණ කිරීමෙන් යම් සහනයක් ඉදිරියේදී ලැබේ යැයි සිතිය හැකිය. විශාල වියදමක් දරා රාජගිරියේ ගුවන් පාලමක් ඉදිකළේද වාහන තදබදය අවම කිරීමටය. ඇතැමුන් පෙන්වා දෙන්නේ පාලම විවෘත කළද රාජගිරිය ප්‍රදේශයේ වාහන තදබදයේ සැලකිය යුතු වෙනසක් සිදු වී නැති බවය. ඒ පිළිබඳ නිශ්චිතව කිව නොහැකි වුවත් ගුවන් පාලම් ඉදිකළ ප්‍රදේශවල අපේක්ෂා කළ තරම් වාහන තදබදය අඩු වූ බවක් නම් පෙනෙන්නට නැත.

මේ වාහන තදබදය උග්‍රවන්නේ නිතර නිතර නගරවල පැවැත්වෙන උද්ඝෝෂණ, විරෝධතා පා ගමන් නිසාය. ඇමැතිවරයා අමාරුවේ වැටුණේ පාර්ලිමේන්තුවට යන මඟ අවහිර කරමින් විශ්‍රාමිකයන්ගේ උද්ඝෝෂකයක් පැවැතීම නිසාය. පොදු ජනතාව ඒ අත්දැකීමට නිතරම මුහුණ දෙති.

මේ ප්‍රශ්නයට විසඳුම උද්ඝෝෂකයන් එළවා දැමීම හෝ ඔවුන්ට විරුද්ධව අධිකරණයෙන් තහනම් නියෝග ලබා ගැනීම හෝ නොවේ. නැතිනම් සිය ආරක්ෂකයන් හා පොලිසිය ලවා මාර්ග හෙළිපෙහෙළි කරගෙන විදුලි වේගයෙන් ගමන් කිරීම නොවේ. මේ වාහන තදබදයට පිළියම් සෙවීමය. ආණ්ඩුවක් පත්කර ඇත්තේද ඇමැතිවරුන්ට අදාළ විෂයයන් භාරදී ඇත්තේද ඒ සඳහාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon