සිසුවාගේ රොකට්ටුව

  👤  3095 readers have read this article !
2018-10-17

'සිරිලක දේ සිරි සැපදේ' කියා එකල කියමනක් තිබුණද මෙකල බොහෝ දෙනකුට වටින්නේ පිටරට දේය. රට, ජාතිය, ආගම, ගැන මූණිච්චාවට කතා කළද සැලකිය යුතු පිරිසකට ඒ කිසිවක් ගැන වගේ වගක් නැත. කන්න තියෙනවා නම් බොන්න තියෙනවා නම් කොයි ලෝකෙන් 'බඩු' ආවත් ඔවුන්ට ගැටලුවක් පැන නොනඟී. මෑතකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ අපේ රටට පිටරටින් සරුංගල් පවා ගෙන්වන බවය. සරුංගල් පමණක් නොව කංකුං පවා කාලයක සිට මෙරටට පිටරටින් ගෙන්වයි.

80 දශකයේ ආර්ථිකය විවෘත කිරීමෙන් පසු පාලකයන් පවත්වාගෙන ආ මේ අඥාන පිළිවෙත වෙනස් කිරීමට කිසිදු ආණ්ඩුවක් ක්‍රියා කළේ නැත. ආනයන අඩු කර අපනයන වැඩි කළ යුතු බව මැති-ඇමැතිවරුන්ට මතක් වී ඇත්තේ රුපියල අවප්‍රමාණය වී ආර්ථික අර්බුදය උත්සන්න වෙද්දීය.

කාරණය අනෙකකි.

දේශීය නිෂ්පාදන නැංවිය යුතු බව නිතර දෙවේලේ පැවසුවද කිසිදු ආණ්ඩුවකට ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් නොවීය.

අපේ රටේ දක්‍ෂයෝ ඕනෑ තරම් සිටිති. එවැනි දක්‍ෂයෝ වරින්වර විවිධ නව නිර්මාණ කරති. එහෙත් දේශීය නිෂ්පාදනයක් නම්, නව නිර්මාණයක් නම් ඒවා අගය කිරීමට අපේ ආයතන ඉදිරිපත් වන්නේ නැත. දියුණු රටවල නම් එවැන්නන්ට සලකන්නේ මහ ඉහළිනි. අපේ රටවල නිර්මාණකරුවන් පවා ඔවුහු මිලදී ගනිති. මෙරට බුද්ධිමය ශ්‍රමය පිටරටවල ඕනෑ තරම් විකිණෙයි.

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සියවස් සමරු උළෙලට ගිය ජනාධිපතිවරයාට එහි උසස් පෙළ සිසුවකු වන ගිහාන් හෙට්ටිආරච්චි නිෂ්පාදනය කළ රොකට්ටුවක් දැකගත හැකි විය.

'නිර්මාණය' දැක සතුට පළ කළ ජනාධිපතිවරයා ඉදිරි කටයුතු සඳහා උදවු කිරීමට පොරොන්දු විය. කනගාටුවට කරුණ වන්නේ ජනාධිපතිවරයාගේ ඇස ගැටෙන තුරු අපේ බලධාරීන්ගේ ඇස රොකට්ටුවේ නොගැටීමය. ගිහාන් සිසුවාගේ මේ නිර්මාණයට අදාළ බලධාරීන්ගෙන් බාධා කිරීම් මිස උපකාර ලැබී නැත. ලෝකයේ දියුණු රටවල් මෙවැනි නිර්මාණකරුවන්, පර්යේෂකයන් වෙනුවෙන් වෙනම ආයතන පිහිටුවා ඔවුන්ට උදවු උපකාර උපදෙස් ලබාදෙයි. එහෙත් මෙරට අදාළ ආයතන පවා උපකාර වෙනුවට කරන්නේ අවහිරතාය.

මෙරට පාසල් ඉතිහාසයේ රොකට්ටුවක් නිර්මාණය කළ පළමුවැනියා වන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයේ පද්මජීව ගනේපොළ සිසුවාය. ඒ 1959 වසරේය. ඔහු අද ඇමෙරිකාවේ මහාචාර්යවරයෙකි.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගිහාන් සිසුවාගේ රොකට්ටුව ගුවන්ගත කළ හැකි වනු ඇත. ඔහුගේ අනාගතයට ඉන් ප්‍රයෝජනයක් ලැබේ නම් එය සතුටකි. දක්‍ෂයකු බිහිවේ නම් එය රටට ආඩම්බරයක් බව නොකිවමනාය. ගිහාන් වැනි දක්‍ෂයෝ මේ රටේ ඕනෑතරම් සිටිති. අවශ්‍ය වන්නේ ඒ සියලුදෙනාට අතහිත දීමකි. ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ අවධානය යොමුවිය යුත්තේ ඒ සඳහාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon