සුදු සැරයටි

  👤  2974 readers have read this article !
2018-10-18

ජාත්‍යන්තර සුදු සැරයටි දිනය ලෙස ඔක්තෝබර් 15 වැනිදා නම් කර ඇත්තේ දෘශ්‍යාබාධිත ජනතාව සෙස්සන්ගේ දැඩි සැලකිල්ලට ලක් කළ යුතු පිරිසක් නිසාය. එහෙත් ඇස් පෙනෙන්නන් පවා අන්ධයන් ලෙස හැසිරෙන සමාජයක දෘශ්‍යාබාධිත ජනතාවට ලැබෙන සැලකිල්ල ගැන වැඩි බලාපොරොත්තුවක් තැබිය නොහැකිය.

මේ සමාජයේ ජීවත්වන දෘශ්‍යාබාධිතයන්ට පමණක් නොව චලනාබාධිත, ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සෙස්සන් ශක්ති ප්‍රමාණයෙන් උදවු උපකාර කළ යුතුය. ප්‍රශ්නය වන්නේ කීයෙන් කීදෙනෙක් එසේ සිතනවාද යන්නය.

සතුටට කාරණයක් වන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ අවධානය යොමු කර තිබීමය. ඇත්ත වශයෙන්ම ගොඩනැඟිලි නිර්මාණයේදී, මාර්ග සැකසීමේදී, නගර ප්‍රතිස්ථාපනය කිරීමේදී දෘශ්‍යාබාධිතයන් ඇතුළු විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වීම ශිෂ්ට සමාජයක ප්‍රතිපත්තියකි.

අන්ධ ජනසේවා මණ්ඩලය මෙරට දෘශ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් කැපවී සිටින ආයතනයකි. නිවාස ආධාර, ශිෂ්‍යාධාර, සුදු සැරයටි, බේ්‍රල් අධ්‍යාපන උපකරණ, ස්වයං රැකියා ආධාර, ගුවන් විදුලි යන්ත්‍ර, කථන අත්ඔරලෝසු, ශිෂ්‍යත්ව ප්‍රදාන වැනි සහන රැසක් මේ ආයතනය දෘශ්‍යාබාධිත ජනතාවට ලබා දෙයි. දෘශ්‍යාබාධිතයන් එක හා සමාන වරප්‍රසාද භුක්ති විඳින ජනතාවක් බව අමතක කිරීම වැරැදියි.

මාර්ගයේ ගමන් කරන දෘශ්‍යාබාධිතයකුට සහාය වීම වැනි සුළු උපකාරයකින් පවා ඒ අයිතිය තමන්ට ඇති බව ඔවුන්ට හැඟී යා හැකිය. දෘශ්‍යාබාධිතයන් පොදු ප්‍රවාහන සේවාවල, මහමඟ 'සිඟමන්' යදිනු දක්නට ලැබෙන සුලබ දසුනකි. ඇතැම් පිරිස් මහමඟ ආධාර පත්‍ර අලෙවි කරන අවස්ථාද තිබේ.

දෘශ්‍යාබාධිත හෝ අංගවිකලවීම සිඟමනට වැටීමට හේතුවක් වීම ඛේදවාචකයක් බව නොකිවමනාය. මින් ගැලවීමද ලෙහෙසි නැහැ. ඇස් පෙනෙන හෝ කායික දෝෂයක් නැති කෙතරම් පිරිසක් මහමඟ සිඟමන් යදිනවාද? තත්ත්වය එබඳු නම් දෘශ්‍යාබාධිත හෝ අංගවිකල පුද්ගලයන් ගැන කතා කර පලක් නැත.

සමාජ සේවා අමාත්‍යාංශය විශේෂයෙන් පළාත් අමාත්‍යාංශවලට හා පළාත් පාලන ආයතනවලට දෘශ්‍යාබාධිත ඇතුළු විශේෂ අවස්ථා සහිත ජනතාවට කළ හැකි වැඩකොටසක් ඇත.
කොළඹ මහ නගර සභාව ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබේ. සෙසු පළාත් පාලන ආයතනද කොළඹ මහ නගර සභාව ආදර්ශයට ගන්නේ නම් එය දෘශ්‍යාබාධිතයන් ඇතුළු විශේෂ අවශ්‍යතා සහිත ජනතාවට අස්වැසිල්ලක් වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon