හඬ නැත්නම් හැඩ කුමටද?

  👤  3870 readers have read this article !
2018-10-18

තමන්ගේ ඉන්දීය නිල සංචාරයෙන් පසුව කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම ගැන තීරණයක් ගන්නා ලෙස පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී රනිල් මෛත්‍රිගෙන් ඉල්ලීමක් කළේ ය.

"හම්බන්තොට වරාය බදු දුන්නට අත් වුණු සෙතක් නෑ. මේ විදියට වරායවල් බදු දෙන්න ගියොත් නැවක් නතර කරන්නවත් තැනක් ශ්‍රී ලංකාවට නැති වේවි. කුරුණෑගලින් අක්කර 400ක් කර්මාන්ත ශාලාවකට කියල ගත්තා. කරපු දෙයක් නෑ. හොරණ ආයෝජන කලාපයකට රබර් වගා බිමක් ගත්තා. කළේ ගස් කැපීම විතරයි."

ඉවසීමේ රතු කට්ට පැන්න මෛත්‍රි රනිල්ට උත්තර දුන්නේ එහෙම ය. මෛත්‍රිගේ ප්‍රතිචාරයෙන් රනිල් තක්කු මුක්කු වුණේ ය. රනිල් මීට කලින් කළ ඉන්දීය සංචාරයේදී කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරන බවට මෝඩිට වූ පොරොන්දුව සිහි වී රනිල්ගේ දෙලෝ රත් වන්නට ඇත.

ඒත් යහපාලන ආණ්ඩුව පටන් ගෙන වැඩි කල් යන්නට මත්තෙන් රනිල්ලා මේ රටේ සම්පත් වෙන්දේසි කරන්න පටන් ගත්තේ ය. තමන්ගේ ආණ්ඩුව යටතේ වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ලංකාවට ගෙන්වා, රැකියා 2000ක් ඇති කරනවා කියලා පාරම් බෑ රනිල් අන්තිමට පාර්ලිමේන්තුවේදී මෙසේ කීවේ ය "දැනට වොක්ස්වැගන් සමාගමේ අලුත් සභාපතිවරයා මේ මොකක්ද වෙන්නේ කියලා ආදායම් වියදම් ආයෝජන හැම එකක්ම පරීක්ෂා කරන නිසා ඒක ටිකක් ප්‍රමාද වෙයි.

ඒත් මූලික ආයෝජනය සෙනොක් සමාගමෙන් දාන්න ඊට පස්සේ ඒ අය එනවා කිව්වා" මේ හතර බීරි කතාවෙන් පස්සේ සෙනොක් සමාගම කුරුණෑගල අක්කර 400 ඉඩමේ කර්මාන්ත ශාලාවකට මුල් ගල තැබු අතර වොක්ස්වැගන් සමාගමේ සන්නිවේදන අංශයේ කැතරින් හොක්මන් විසින් තහවුරු කළේ වොක්ස්වැගන් සන්නාමය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බවය.

ඊළඟට හම්බන්තොට වරායට අත තැබුවේ ය. මොන විරෝධතා ආවත් ජනතාව, සේවකයෝ පාරට බැස්සත් නොසැලුණු රනිල් වරාය චීනෙට දෙන තෙක් පස්ස බැලුවේ නැත. ඊළඟට හැරුණේ මත්තලට ය. "හම්බන්තොට චීනයට දී මත්තල ඉන්දියාවට දී රාජ්‍යතාන්ත්‍රිකව බැලන්ස් කළා" කැබිනට් ප්‍රකාශක කීවේ එහෙම ය. ඊළඟට ටයර් කර්මාන්ත ශාලාවකට කියා හොරණින් අක්කර 100ක් ගත්තේ ය. කාටද දෙන්නේ කියලා හෙළි වුණාම කට්ටිය කීවේ මුල්ගල තබන දවසේ උදේ වෙනකන් රනිල් ඒ බවක් දැන සිටියේ නෑ කියලා ය. රුපියල් කෝටි 6ක වාර්ෂික බද්දකට දියු යුතු ඉඩමට ගිවිසුම් ගසා තිබුණේ රුපියල් 10,000කට ය. අක්කරයට බද්ද රුපියල් 100කි. ඉඩම දුන්නේ මහින්දගේ කළු සල්ලි දමා හෝටල් හැදුවා කියා යූඑන්පිය චෝදනා කළ නන්දන ලොකුවිතානටම ය. කෙසේ වෙතත් රැකියා 1000ක් දෙනවා, සියයයට 60ක් අපයනය කරනවා කියා පටන් ගත් ඒ වැඩෙත් කොට උඩ ය. ඊළඟට හැරුණේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සහ කොළඹ වරාය පැත්තට ය. මේ කාරණා දෙක ගැන 2016 අගෝස්තු 29 වැනිදා ජේවීපී මන්ත්‍රි බිමල් කළ මේ හෙළිදරව්වෙන්් වැඩේ පැහැදිලි ය. "මේ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැඟෙනහිර පර්යන්තය විකුණා දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

කොළඹ වරාය අවුරුදු දහස් ගණනක් පැරැණි ඉතාම සාර්ථක, විශාල වැදගත්කමකින් යුතු වරායක්. එදා මෙදාතුර සුවිශේෂී නාවික වැදගත්කමකින් යුතු ස්ථානයක්. අඩි 20 කන්ටේනර් හැසිරවීම වැනි පහසුකම අනුව ලෝක ශේ‍ර්ණිගත කිරීම් තුළ 24 වැනි ස්ථානයේදී රැඳී ඉන්නවා. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතිකරණයන්වලදී වාර්ෂිකව කරනු ලබන සංගණනයන්ට අනුව ලෝකයේ ජාත්‍යන්තර වරායන් අතර ඉහළම ස්ථානයක රැඳී සිටීමට කොළඹ වරායට හැකි වී තිබෙනවා.

කොළඹ වරායේ නැඟෙනහිර කන්ටේනර් පර්යන්තය විකුණා දැමීම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය මඟින් පසුගියදා දැන්වීමක් පළ කර තිබුණා. ඒ අනුව නැඟෙනහිර පර්යන්තය සඳහා ලංසු කැඳවා තිබෙනවා.

'කොළඹ වරායේ නැඟෙනහිර කන්ටේනර් පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ලංසු කැඳවීම පිණිස පූර්ව සුදුසුකම් සඳහා අභිලාෂය ප්‍රකාශ කිරීම', යනුවෙන් එම දැන්වීමේ සඳහන් වෙනවා. සංවර්ධනය කිරීමට යන බව පවසමින් විකුණා දැමීමේ ක්‍රියාවලියක් තමයි ආණ්ඩුව සැලැසුම් කරමින් තිබෙන්නේ. ඒ වගේම එම දැන්වීමේ සඳහන් වෙනවා 'මෙම නැඟෙනහිර පර්යන්තය දැනට පවත්නා ආකාරය අනුව මීටර් 440ක් දිග, මීටර් 18ක් ගැඹුර ජැටි බැම්මක්, හෙක්ටයාර් 20ක ප්‍රදේශයක් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංවර්ධිත අදාළ පහසුකම්වලින් යුක්ත වේ' යනුවෙන්. ඒ අනුව දැනටමත් කන්ටේනර් 18,000ක් මට්ටමේ විශාල නැව් හැසිරවීමේ හැකියාවක් නැඟෙනහිර පර්යන්තයට තිබෙනවා.

දැනට අඩුපාඩුවක්ව තිබෙන්නේ කන්ටේනර් හැසිරවීමට අවශ්‍ය ‍ෙදාඹකර සහ අදාළ උපකරණ නොමැති වීමයි. රාජපක්ෂ පාලන සමයේ ඊට අවශ්‍ය ‍ෙදාඹකර මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබුණා. ඒ කාලයේ විශාල අක්‍රමිකතා තිබියදීත් ‍ෙදාඹකර මිලදී ගැනීම සඳහා 95%ක වැඩකටයුතු අවසන් කර තිබුණා. විදෙස් සමාගමක් සමඟ ගිවිසුම් අස්සන් කර තිබූ අතර ඩොලර් මිලියන 67ක ‍ෙදාඹකර මිලදී ගැනීමට කටයුතු සූදානම් කර තිබුණා. ආණ්ඩුව මාරුවීමත් එවකට වැඩි මිල ගණන් ගෙවීමට සිදුව තිබීමත් නිසා 2015 වර්ෂයේදී ගනුදෙනුවට අදාළ ගිවිසුම අවලංගු කළා. ලංකා ආණ්ඩුව මුදල් නොගෙවීම නිසා එම මිලදී ගැනීම් නතර වුණා.

ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙන් ප්‍රශ්න කරන්නේ එම විකිණීමේ ක්‍රියාවලිය අනුමැතිය ලැබුණේ කොහෙන්ද කියලයි. මෙම විකිණීම සිදුකරනු ලබන්නේ වසර 35කට අදාළවයි. වසර 35ක් දක්වා අපේ රටේ ආර්ථික සම්පත උකසට තියන්නයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ වගේම මේ ආණ්ඩුව අපේ රටේ ආර්ථික ස්වෛරීභාවය උල්ලංඝනය කරනවා.

එක්සත් ජාතික පක්ෂය 1987 රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය ආරම්භ කළා. ඒ සමඟම එදාසිටම සිදු වූ ව්‍යාපෘතිවලින් කොමිස් ගැනීමට එහා ගිය මහා පරිමාණ දූෂණ, වංචා පටන් ගත්තා. ඒ.එම්.ඩබ්ලිව්. ආයතනය පෞද්ගලීකරණයෙන් ආරම්භ කරපු මෙම පෞද්ගලීකරණයෙන් මහා පරිමාණ හොරාකෑම් සිදු වුණා. ජනවසමේ ඉඩම් රුපියලට දෙකට වික්කා. වානේ සංස්ථාව විකිණීමේදී එහි සම්පත්වලට තක්සේරු කළ වටිනාකම කොපමණ අඩු අගයක්ද කියනවා නම් සේවකයන් ප්‍රවාහනය සඳහා තිබුණු ‍ෙදාර දෙකේ ටාටා බස් රථයේ වටිනාකම වූයේ රුපියලක් පමණයි.

මෙම වරාය ගනුදෙනුව අත යට සිදුවන ගනුදෙනුවක්. ඒ නිසා තමයි, කැඳවපු ටෙන්ඩරයේ කාලසීමාව දික් කරන්නෙ. තෙල් ටැංකි විකිණීම සම්බන්ධයෙන් කෝප් කමිටුව මීට මාස 3කට කලින් ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රශ්න කළා. එහිදී ඔවුන් කිව්වේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 105ක් තිබෙන අතර ඉන් 15ක් අයි.ඕ.සී. එක සතුව තිබෙන බවත් අනෙක් සියල්ල ඛනිජ තෙල් සංස්ථාව සතු වන බවත් ය. අනතුරුව කෝප් කමිටුව නිර්දේශ කළා එම තෙල් ටැංකි පිළිබඳව වාර්තාවක් ලබා දෙන්න කියලා.

ඉන්ජිනේරුවන් විසින් වාර්තාවක් සකස් කළා. එම වාර්තාවට අනුව ආණ්ඩුව සතු තෙල් ටැංකිවලින් 17ක පමණක් සුළු අලුත්වැඩියාවක් කළ යුතු බවත් අනෙක් තෙල් ටැංකි හොඳ මට්ටමේ පවතින බවත් පෙන්වා දුන්නා. වෘත්තීය සමිති සහ නිලධාරීන්ගේ ඕනකම නිසා මෙම තෙල් ටැංකි අලුත්වැඩියාවට කැබිනට් පත්‍රිකාවක් දැම්මා. නමුත් අගමැතිවරයා මැදිහත් වෙලා එම තෙල් ටැංකි 17 අලුත්වැඩියාවට ඉන්දියාව සමඟ ඒකාබද්ධව සිදුකිරීමට කැබිනට් පත්‍රිකාවක් දැම්මා. අගමැතිවරයා ඉන්දියාවේ ඒජන්තයෙක් විදියට මේ රටේ ආර්ථිකය පාවා දෙන්න කටයුතු කරනවා. මේ රටේ ආර්ථික තීරණ ගන්න විශේෂ කමිටුවක් තිබෙනවා. එය තමයි ආර්ථික කළමනාකරණ කමිටුව.

ඒකෙ සභාපතිවරයා පාස්කරලිංගම්. එක්සත් ජාතික පක්ෂයේ ඇත්ත මුදල් ඇමැතිවරයා ඔහුයි. රාජපක්ෂලා හප කරපු ආයතන කුණු කොල්ලයට විකුණා දැමීම තමයි පාස්කරලිංගම්ලාගේ කාර්යභාරය වෙලා තිබෙන්නේ. අපේ රටේ බොහෝ ඇමැතිවරුන්ට තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඒක කරන්නේ ආර්ථික කළමනාකරණ කමිටුවේ කිහිප දෙනෙක්. තෙල් ටැංකි විකිණීම පිළිබඳව ප්‍රශ්නෙත් ඇතිවෙලා තිබෙන්නේ ඒ අනුවයි."

කෙසේ හෝ පසුගිය කාල වකවානුවේ සහ දැන් මෛත්‍රි හැසිරුණු සහ හැසිරෙන විදියෙන් පැහැදිලි වන ඇත්තක් ඇත. ඒ මෛත්‍රිට ඇත්ත තේරී ඇති බව ය. නමුත් ප්‍රශ්නයක් ඇත. මෛත්‍රි මේ ඇත්තට මුහුණ දෙන්නේ කොහොමද යන්න යි. මෛත්‍රි මේ සද්ද දැම්මේ පළමුවැනි වතාවට නොවේ ය. පසුගිය කාල වකවානුවේ අවස්ථා කීපයකදීම ඔහු මේ විදියට සද්ද දැම්මේ ය. වැඩක් වුණේ නැත. එක්කෝ ඒ සද්ද කට්ටියට ඇහෙන්නේ නැත. එක්කෝ ඒ සද්දවලට කට්ටිය බය නැත. මුලින් මෛත්‍රිගේ හඬ මුළු රටටම ඇසුණේ ය. කට්ටියම වටවෙලා මේ හඬට හැඩ දැම්මේ ය. අන්තිමට මෙයාලා මෛත්‍රිට කළෙත් කකුළු අඬු බෙරයට කළ දේ මය.

දිනක් මුහුදු වෙරළට ඉතා විශාල කකුළු අඬුවක් පාවිය. එහි දිග පළල තුන් තුන් වියත්ය. මිනිස්සු නොයෙක් දෙසින් රැස්ව බලා සිටියෝය. "අඬුව මෙපමණ විශාල නම් සතා කොපමණ විශාල විය යුතුද?" යනු බොහෝ දෙනා ඇසූ ප්‍රශ්නයයි.

අන්තිමේ්දී මිනිස්සු ඒ කකුළු අඬුව ගෙන, රජ වාසලට ගියෝය. රජද අමාත්‍යයන් හා සමඟ අවුත්, එය බලා පුදුමයට පැමිණියේය. "මෙය බෙරයක් බඳින්නට හොඳය"යි අමාත්‍යයෝ කීහ. රජුගේ නියමයෙන් ඒ කකුළු අඬුවෙන් බෙරයක් බඳනා ලද්දේය. බෙරය ගැසූ කල, හඬ මුළු රටටම ඇසෙයි. එහෙයින් රජු එම බෙරය ඉතා අගය කොට සැලකුවේය.

"මුළු රටටම ඇසෙන හඬ ඇති මේ බෙරය මෙසේ තබාගෙන හිඳීම යුතු නොවේ. මැණික් ඔබ්බවා මෙය අලංකාර කළ යුතුය"යි දිනක් රජුට සිතුණේය. එදිනම රන්කරුවන් ගෙන්වා, බෙරයෙහි වටිනා මැණික් ඔබ්බවන්නට නියම කරන ලදී. රන්කරුවෝ බෙර කඳ සිදුරු කොට මැණික් මහත් ගණනක් එබ්බවූහ. ඉන්පසු බෙරය රජු ඉදිරියට ගෙනෙන ලදුව රජ එය ගසන්නට නියම කෙළේය.

එක් මිනිසෙක් බෙරය ගෙන ගැසීය. මැණික් ඔබ්බවන්නට කලින් මුළු රටටම ඇසෙන හඬ වෙනුවට, දැන් බෙරයෙහි ඇති වූයේ "බුස් බුස්" යන හඬ පමණෙකි.
රජ ඒ අසා ඉතා කනගාටුවට පැමිණ "හඬ නැත්තම් හැඩ කුමටද...."යි කීයේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon