උතුරේ නිදහස

  👤  3186 readers have read this article !
2018-10-19

මීට සති කිහිපයකට පෙර යාපනයේ අන්තර්ජාතික සිනමා උළෙලක් පැවැත්විණි. උළෙලේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන සිටි චිත්‍රපටයකට එල්ල වූ විරෝධය නිසා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණේ නැත.

2017 වසරේ කෑන්ස් චිත්‍රපට උළෙලේදී විශේෂ ඇගැයීමකට ලක්වූ 'ච්ඥථධදඵ ඪද ර්ථීචපචඤඪඵඥ' (පාරාදීසයේ යක්ෂයෝ) මෙලෙස තහනමට ලක්වූ චිත්‍රපටය විය. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර තිබුණේ තරුණ සිනමාකරුවකු වූ ජූඩ් රත්නම් විසිනි. දෙමළ ජාතික මේ සිනමාකරුවා මේ චිත්‍රපටය තුළින් උත්සාහ කර ඇත්තේ උතුරේ තරුණයන්ගේ අරගලය දෙස ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් බැලීමටය. එහෙත් චිත්‍රපටයට එරෙහි වූවන්ට එය එල්.ටී.ටී.ඊ. විරෝධී නිර්මාණයක් විය.

එල්.ටී.ටී.ඊ.ය නායකත්වය දුන් දෙමළ ජනතාවගේ අරගලය ගැන විවෘත සංවාදයකට මුල පිරීමක් ලෙස ගත හැකිව තිබූ අවස්ථාවක් ඊනියා විරෝධය නිසා අවාසනාවන්ත ලෙස මඟ හැරී ගියේය.

දකුණේද මෙවැනි අවස්ථා මතුවී ඇත. 'සාගරයක් මැද', 'පුරහඳ කළුවර' චිත්‍රපටවලට එල්ලවූ විරෝධය ඉන් ප්‍රධානය. එහෙත් ඒ විරෝධය එල්ල වූයේ පක්‍ෂ, විපක්‍ෂ දේශපාලනඥයන්ගෙන් සහ ඔවුන්ගේ ආවතේවකරුවන්ගෙනි. දකුණේ ජවිපෙ කළ අරගල දෙක අළලා චිත්‍රපට නිර්මාණය වී තිබුණද ජවිපෙ වෙතින් ඊට විරෝධය එල්ල කෙරුණේ නැත. එවැනි පසුබිමක එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ ඊනියා විරෝධය කිසිසේත් අනුමත කළ නොහැකිය. අනෙක, 'චිත්‍රපටය' යනු ප්‍රබන්ධයකි. වාර්තා චිත්‍රපටයකට නම් විරෝධය දැක්වීම සාධාරණ විය හැකිය. මෙවැනි විරෝධතා නිසා උතුරේ ප්‍රකාශන නිදහස පිළිබඳ සැක සංකා මතුවීම වැළැක්විය නොහැකිය.

දකුණේ සබුද්ධික පිරිස් දෙමළ නිර්මාණකරුවන්ගේ 'නිදහස' වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිට ඇත. දෙමළ ජාතිකයකුට ඕනෑම නිර්මාණයක් දකුණේ ප්‍රදර්ශනය කිරීමට බාධා එල්ල වන්නේ නැත. එහෙත් උතුරේදී දෙමළ ජාතිකයකුටවත් ඒ නිදහස නොලැබේ නම් සිංහලයකුට කෙසේවත් ඉඩ නොලැබෙනු ඇත. එය බරපතළ කාරණයකි. ජනතාවගේ ප්‍රකාශන නිදහසට වැට බැඳීමට උතුරේ වේවා දකුණේ වේවා කිසිවකුට අයිතියක් නැත. එල්.ටී.ටී.ඊ.ය වැනි ෆැසිස්ට් පන්නයේ අන්ත ජාතිවාදී සංවිධානයන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ පවා 'නිදහස' මෙලෙස 'වාරණය' කෙරේ නම් එය ගැඹුරින් සලකා බැලිය යුත්තකි.

උතුරේ සරසවි සිසුන් ඇතුළු පිරිසක් ඉකුත් සතියේ අනුරාධපුර බන්ධනාගාරයේ සිටින දෙමළ ජාතික දේශපාලන සිරකරුවන් බැලීමට පා ගමනින් පැමිණි අවස්ථාවේ බන්ධනාගාර අධිකාරි එස්. රෝහණ, ඔවුන්ව 'ආයුබෝවන්' කියා සුහදව පිළිගෙන ඉන් කිහිපදෙනකුට සිරකරුවන් හමුවී සාකච්ඡා කිරීමේ අවස්ථාවද ලබාදී තිබිණි.

අනතුරුව බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පවත්වා පිරිස යළි උතුර බලා ගිය බවට මාධ්‍ය වාර්තා පළ විය.

බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 'දේශපාලන' සිරකරුවන් ලෙස හැඳින්විය හැකිද නැද්ද යන්න ප්‍රශ්නයක් වුවද ඔවුන් බැලීමට උතුරේ සිට දකුණට පැමිණීමට සරසවි සිසුන් ඇතුළු පිරිසට අවස්ථාව ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස දෙමළ සිරකරුවන් පවත්වාගෙන ගිය උපවාසයද නතර කර දැමීමට තීරණය කෙරිණි.

වැදගත් කාරණය වන්නේ මේ 'දේශපාලන නිදහස' මේ 'ප්‍රකාශන නිදහස' උතුරේදී සිංහලයන්ට නොව, දෙමළ ජාතිකයන්ටවත් නොලැබෙන තත්ත්වයක් උද්ගත වී තිබීමය. මේ පිළිබඳව උතුරේ මෙන්ම දකුණේ සිටින සියලු දෙමළ දේශපාලනඥයන් ගැඹුරින් සිතා බැලීමට අත්‍යවශ්‍යය. අපි කුමන දේශපාලන මතයක සිටියද ඒ 'මති මතාන්තර' දැරීමේ නිදහස නැත්නම් ඉන් පලක් නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon