කැබිනට් තොරතුරු හින්දු පත්තරයට දුන්නෙ කවුද කියල මම දන්නවා -ජනපති

  👤  4590 readers have read this article !
2018-10-21

'රෝ' නිසා ඇවිළුණුු

දේශපාලන කරළිය

සතියේ දේශපාලනය වඩාත් උණුසුම් වූයේ ඉන්දියානු රහස් ඔත්තු සේවය තමා ඝාතනය කිරීමට සැලසුම් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් හමුවේ ප්‍රකාශ කළ බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කිරීමත් සමඟය. එම පුවත්පතේ මෙම ප්‍රවෘත්තියට ඉහළ ප්‍රචාරයක්දී වාර්තා කර තිබූ අතර එය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සහ මෙරට මාධ්‍යයද එම පුවත් වාර්තා කිරීම නිසා මෙරට ආණ්ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂයේ දේශපාලන බලවේගද කලබලයට පත්වී එක් එක් ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගත්තේය. අනතුරුව ජනපති මෛත්‍රිටද දෙස් විදෙස් දුරකථන ඇමතුම් ගලා එන්නට පටන් ගත්තේ එම ප්‍රකාශය දැඩි ප්‍රකාශයක් බවට එත්තු ගන්වමිනි. තමන් එවැන්නක් කැබිනට් හමුවේදී ප්‍රකාශ නොකළ බව මෛත්‍රි ඔහුගෙන් ඒ ගැන විමසූ සැවොටම සපථ කළේය. එහෙත් එවැන්නක් හින්දු පුවත් පතෙහි පළවීම සැමටම දැඩි කුතුහලයක් දනවන කාරණයක් විය. අනතුරුව වහාම මෙම පුවත නිවැරැදි කිරීමට කටයුතු කරන ලෙස කැබිනට් ලේකම්වරයාට මෛත්‍රි නියෝග කළේය.

විදේශ කටයුතු අමාත්‍යංශයද බදාදා පස්වරුව වන විට නිවේදනයක් නිකුත් කරමින් එවැනි ප්‍රකාශයක් ජනාධිපතිවරයා කැබිනට් හමුවේදී සිදු නොකළ බව නිවේදනය කළේය. ජනාධිපති මාධ්‍ය අංශයද එම පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව නිවේදනය කළේය. එපමණක්ද නොව බදාදා පෙරවරුවේ මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා වන තරංජිත් සිං සින්දු මහගමසේකර මාවත පිහිටි ජනපති නිල නිවසට පැමිණියේය.

"බොහොම හොඳයි ඔබතුමා ආපු එක. මේ නිවේදනය නිසා අපේ යාළුකම නැති වෙන්න පුළුවන්. කවුරු හරි ඒකට තමයි මේ උත්සාහ කරන්නේ. මෙය සම්පූර්ණ වැරැදි ප්‍රකාශයක්." මෛත්‍රි මහකොමසාරිස්වරයාට කීවේය.


"එක තමයි... මට අගමැතිතුමා කිව්වා මේ ගැන ඔබතුමාගෙන් අහන්න කියලා." මහ කොමසාරිස්වරයා කීවේය.

"ඔබතුමා අගමැතිතුමාට කියන්න. ඕනෙනම් මමත් අගමැතිතුමාට කතා කරන්නම්. මම නොකිව්ව ප්‍රකාශයක් මේ පළවෙලා තියෙන්නේ කියලා." මෛත්‍රි කීවේය. මිනිත්තු කිහිපයක් පැවැති මේ හමුව නිමා කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා සිය කාර්යාලයට ගොස් මේ ගැන ඉන්දීය අගමැතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළේය.

අනතුරුව එදින පස්වරුවේ ඉන්දීය අගමැතිවරයා මෛත්‍රිට කතා කළේය. මෛත්‍රි මෙම සිදුවීම නිවැරැදි නොවන බව ඉන්දීය අගමැතිවරයාට තේරුම් කර දීමට කටයුතු කළේය.

"මට ඔබතුමා කියන දේ තේරනවා. මේක ව්‍යාජ තොරතුරක් කියලා පැහැදිලියි. එදා වගේම ඔබතුමාට අවශ්‍ය ඕනෑම උපකරයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා." ඉන්දීය අගමැතිවරයා එසේ කියමින් දුරකථනය විසන්ධි කළේය. එම කතා බහ ඉතා සුහදශිලීව පැවැත්වුණු අතර මෛත්‍රි ඉන්දීය අගමැතිවරයාට පැහැදිලි කර දුන්නේ කවුරුන් හෝ හිතා මතාම තමන් සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් නිර්මාණය කර දීමට උත්සාහ දරන බවය.

හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනිය සඳහන් කරන ආකාරයට මෙම පුවත ඇයට ලබාදී ඇත්තේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනෙකි. ඇය තවත් දෙදෙනකුගෙන් එම තොරතුර තහවුරු කරගෙන තිබේ. එම සියලු දෙනාම එකම දේශපාලන පක්‍ෂයක වීමද විශේෂත්වයකි.

දේශපාලන විශ්ලේෂකයන් පවසන ආකාරයට මෙය මෛත්‍රි සහ යූ.එන්.පී.ය අතර තිබෙන ගැටුමකි. සීතල යුද්ධයක් පැවැති මෙම ගැටුම දැන් එළියට පැමිණ තිබේ. එක්සත් ජාතික පක්‍ෂයේ ආර්ථික වැඩපිළිවෙළට මෛත්‍රි කැමැති නැත. ඒ නිසා ඔහු මුලින්ම කළේ අගමැතිවරයා යටතේ පැවැති ආර්ථික කමිටුව වහාම අහෝසි කර ඔහුගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආර්ථික සභාව පිහිටුවීමටය. එතෙක් එක්සත් ජාතික පක්‍ෂයේ ඍජු ආර්ථික තීන්දු ගැනීම මේ මඟින් සම්පූර්ණයෙන්ම නතර විය. ජනපතිගේ ආර්ථික සභාවට එජාප මැති ඇමැතිවරුන් කිසිසේත් කැමැති වූයේ නැත. ගැටුම එළියට යන නිසා ඒගැන කිසිදු සඳහනක් කළේද නැත. එහෙත් ඩොලරය ඉහළ ගොස් රුපියලේ අගය අවප්‍රමාණ වීමට එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති බලපෑ බව මෛත්‍රි ප්‍රමුඛ ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන් කියන්නට පටන් ගත්තේය.

අනතුරුව එජාපයද ඍජුවම ජනපතිගේ ආර්ථික සභාවට චෝදනා කරන්නට පටන් ගත්තේය. රුපියල බාල්දු වන තෙක් ආර්ථික සභාව කුමක් කළේ දැයි එජාප මැති ඇමැතිවරුන් ප්‍රසිද්ධියේම අහන්නට පටන් ගත්තේය.


තත්ත්වය එසේ තිබියදී මහින්ද සමරසිංහ ඇමැතිවරයා විසින් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. එම පත්‍රිකාවේ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ පසුගිය අඟහරුවාදා ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු සතියේ කැබිනට් හමුවට පැමිණ තිබුණේය. එහි සඳහන් වී තිබුණේ දැනටමත් නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවේ සහ ජපානයේ ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුමක් යටතේ ලබාදීමට අදාළ ආයතන සමඟ සාකච්ඡාකර ඇති බවය. මෙය දුටු විගස ජනාධිපතිවරයාට හොඳටම කේන්ති ගියේය.

"නෑ, නෑ, මේක කිසිසේත්ම පිටරටකට දෙන්න බෑ. එහෙම වුණොත් අපට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපිට තියෙන්නේ මෙච්චරයි. එහෙම කොහොමද ඒක පිටරට සමාගම්වලට දෙන්නේ. කරුණාකරලා මේ වැඩේ නතර කරන්න." මෛත්‍රි දැඩිව කීවේය.

මේ අවස්ථාවේ අගමැතිවරයා එකවරම මංගල සහ මලික් දෙස බැලුවේය.

"දැන් අපි මේ ගැන අදාළ සමාගම් එක්ක කතාකරලා ඉවරයි. දැන් මේක නතර කළොත් අපේ හොඳ හිත නැති වෙන්න පුළුවන් ඒ රටවල් එක්ක තියෙන." අගමැති රනිල් කීවේ තරමක් නොසන්සුන් ගතියකිනි.


නෑ, නෑ, එහෙම ප්‍රශ්නයක් ආවොත් මම ඒක බලාගන්නම්. එහෙම ගැටලුවක් ආවොත් මම ඒ අයට මේ ගැන කියන්නම්. මම ඒක විසඳලා දෙන්නම්. මම ඒ අගමැතිවරු එක්ක හරි කතා කරලා මේ වැඩේ නතර කරලා දෙන්නම්." මෛත්‍රි කීවේය.

"මේක දැන් නතර කරන්න ගියොත් ඒ රටවල් දෙක අතර තියෙන හොඳ හිත නැතිවෙයි." මලික් කීවේය.

"අපිට මේක සංවර්ධනය කරන්න පුළුවන්. වරාය අධිකාරියට ඒ වැඩේ කරන්න පුළුවන් කියලා එයාලා කියනවනේ. මේ විදියට පිටරටවලට අපේ සම්පත් දෙන්න බෑ. ඕනේ නම් ඒ අයට බටහිර එක දෙමු. කොහොමත් ඒක සංවර්ධනය කරන්න ලොකු ගාණක් යනවනෙ. ඒ අයට කියමු අවශ්‍ය නම් අපිට බටහිර පර්යන්තය සංවර්ධනය කරන්න උදවු කරන්න කියලා." මෛත්‍රි කියාගෙන ගියේය.

"අපිට මේ ගැන ඒ සමාගම් එක්ක කතා කරන්න ඕන. මම කොහොමත් ඉන්දියාවට යනවනේ. එහෙනම් සති 2ක් මේ යෝජනාවට කල්දෙන්න රනිල් කීවේය.

"සති දෙකක් දෙන්න බෑ. දැනටමත් වරාය අධිකාරියට මේ වැඩේ පරක්කුයි. සතියකින් මේ ප්‍රශ්නය විසඳලා තීන්දුවක් ගන්න ඕන" මෛත්‍රි කීවේය. ඒ අනුව සතියකින් මෙය විස¼දා ගැනීමට කැබිනට් හමුවේ අවධානය යොමු විය.

අගමැතිවරයා ඉන්දියාවට යෑමට පෙර මේ ගැන තීන්දුවක් ගැනීමට තිබූ අවකාශය මෛත්‍රිගේ විරෝධය හමුවේ ඇනහිටියේය. අනතුරුව සිදුවූයේ ඊට පසු දින රනිල්ගේ යෝජනාවට මෛත්‍රිගේ විරෝධය බවට පුවත් පළවනවාත් සමඟම ඉන්දියාවේ "රෝ" ඔත්තුකරුවා ගැනද මාධ්‍යයෙන් ප්‍රචාරය වීමය. හින්දු පුවත්පතට තොරතුරු දුන් ඇමැතිවරු හිතාමතාම මෙම ගැටුම දුරදිග යෑමට එවැනි ප්‍රකාශයක් මවා පාන්නට ඇත්දැයි දැන් සැකයක් පැන නැඟී ඇත.

නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දීමට අකමැතිවීම "රෝ" සංවිධානය මෛත්‍රිව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම වැනි කරුණු එළියට දමා මෛත්‍රී ඉන්දීය විරෝධියෙක් ලෙස හංවඩුගසනා ආණ්ඩුව කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම සඳහා දුන් පොරොන්දුවෙන් ගැලවීමට උත්සාහ දරා ඇති බව පැහැදිලිව පෙනී තිබේ. ඉන් ආණ්ඩුවේ දෙපාර්ශ්වයේ ගැටුම් එළිපිට උඩුදුවන බවද නොරහසකි.

එපමණක්ද නොවේ අඟහරුවාදා කැබිනට් හමුවේදී හලාවත වැවිලි සමාගමට අයත් "රුක්අත්තන" වත්තෙහි කර්මාන්ත පුරයක් ඇති කිරීම සඳහා මලික් ගෙනා කැබිනට් පත්‍රිකාවද ප්‍රතික්‍ෂේප විය. විෂයභාර ඇමැති රංජිත් සොයිසා ඊට දැඩි විරෝධය දැක්වීය.

"කිසිසේත්ම ඒ ඉඩම දෙන්න පුළුවන් කමක් නෑ." සොයිසා කීවේය. මෛත්‍රිද ඒ දෙස අවධානයෙන් බලා හිඳිමින් කීවේ අපූරු කතාවකි.

"දැන් කර්මාන්තපුර නම් කීයක් තමුන්නාන්සේලා හැදුවද? කෝ ඒවා? හදපු එක් කර්මාන්ත ශාලාවක්වත් නෑ. කෝ කොහෙද ඕවා හදල තියෙන්නේ."මෛත්‍රි එසේ කියමින් එම කැබිනට් පත්‍රිකාව ප්‍රතික්‍ෂේප කළේය.

තායිලන්ත තානාපති කාර්යාලයේ පැවැත්වෙන උත්සවයක් සඳහා ආණ්ඩුව නියෝජනය කරමින් ඇමැතිවරු පත්කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබිණි. ජනපති වටපිට බැලුවේය.

"ආ මේ ඉන්නේ..." මෛත්‍රි ජෝන් අමරතුංග ඇමැතිවරයා දෙස බලමින් කීවේය. ජෝන් සිනාසී බිම බලා ගත්තේය.

"ඕකට අපේ ජෝන් අමරතුංගව දාන්න." මෛත්‍රි කීවේ සිනහසෙමිනි.

අනතුරුව ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා කැබිනට් හමුවට අඳෝනාවක් ඉදිරිපත් කළේ. ඔහුට දැන් ඇත්තේ බුද්ධ ශාසන විෂය පමණි.

"අනේ - ඉතින් දැන් අපට කුඩම්මාගෙ සැලකිලි. අපිට වැඩ කරන්න සල්ලි දෙන්නේ නෑ. මේ ගැන පොඩ්ඩක් උනන්දුවෙන් බලන්න." යැයි ජයවික්‍රම පෙරේරා ඇමැතිවරයා ඉල්ලීමක් කළේය.

තලතා ඇමැතිවරියද එවැනිම චෝදනාවක් කළේ සිය අමාත්‍යංශයට මුදල් නොලැබෙන බව පවසමිනි.

"මොකද මංගල ඔයා කරන්නේ තලතා ඉල්ලන දේ දෙන්නකෝ." මෛත්‍රි සිනාසෙමින් ඇඟට පතට නොදැනී කීවේය.

සරත් ෆොන්සේකා ඇමැතිවරයාද කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබූ අතර එම පත්‍රිකා දෙකටම ශ්‍රී ලනිප ඇමැතිවරුන් දැඩි විරෝධය දැක්වීය.

ඉන් එක් පත්‍රිකාවක තිබුණේ සිය අමාත්‍යාංශය හරහා වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමිනි.

"ඕවා කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වාරිමාර්ග අමාත්‍යංශයෙන්. ඔබතුමාට ඒවා දෙන්න පුළුවන් කමක් නෑ." අමරවීර සහ දුමින්ද ඊට දැඩි විරෝධය දැක්වීය.

අනතුරුව ග්‍රාමීය පාලම් ඉදිකිරීම සඳහාද ෆොන්සේකා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.

"ඒක අයිති මට, ඔබතුමා කරුණාකරලා ඒවට මැදිහත් වෙන්න එපා." ෆයිසර් ඇමැතිවරයාද ඊට විරෝධය දැක්වීම හේතුවෙන් ෆොන්සේකා ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකා ඉවත දැමුවේය.

නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා සජිත් ප්‍රේමදාසටද මුදල් ලැබීමේ ප්‍රමාදයක් ඇතැයි කැබිනට් හමුවේදී සඳහන් විය. ඊට මැදිහත් වන ලෙස මෛත්‍රි මංගලට කීවේය.

විමල් සහ වාසු කුමන්ත්‍රණය ගැන මෛත්‍රිගෙන් අසයි


ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රිවරුන් බොහෝ දෙනෙක්ද එක්ව සිටියහ.

ජනාධිපතිතුමනි, ඔබතුමාව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරපු සිදුවීම ගැන සුළුකොට තකන්න බෑ. ඒකේ පරීක්ෂණ යන විදිය ගැන අපිට නම් හිතාගන්න බෑ. විමල් වීරවංශ මනත්‍රිවරයා ප්‍රශ්න කළේය.

'නෑ, නෑ, මම කිසිසේත් එය සුළුකොට තකන්නේ නෑ. මම මුල ඉඳලාම කිව්වේ පරීක්ෂණ හරියට කරන්න කියලා. මට සී.අයි.ඩී.ය ගැන විශ්වාසයි. ඒ පරීක්ෂණ කෙරෙනවා" මෛත්‍රි කීවේය.

"ඉන්දියානු ජාතිකයෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. ඒ පරීක්ෂණ ගැන මොකද වෙන්නෙ කියල තවම තොරතුරක් නෑ." විමල් කීවේය.

"එයා පිස්සෙක් කියලා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියලා තිබුණා" රන්ජන් රාමනායක කීවේය.

"ජනාධිපතිතුමනි මම ඔබතුමාගෙන් අහන්නේ මේ ඉන්දියානු ජාතිකයො ඔක්කොම ගැන මහ කොමසාරිස් කාර්යාලයේ විස්තර ගන්න පුළුවන් දත්ත ගබඩාවක් තියෙනවාද? බොරුවක් කිව්වොත් එයා පිස්සෙක් විදිහට කියන්න" විමල් කීවේය.
එහිදී ජනාධිපතිවරයා කීවේ මේ ගැන පරීක්ෂණ යට ගැසීමට කිසිසේත් ඉඩ නොතබන බවය.

"ජනාධිපතිතුමනි... මේක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්. මේ පරීක්ෂණ යන විදිය හරිම මන්දගාමීයි. ඒකයි අපට හිතාගන්න බැරි එකම කරුණ" වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා මෙහිදී කීවේය.
"නෑ මම ඒක බලනවා. මම අවශ්‍ය කටයුතු කරනවා." මෛත්‍රි කීවේය.

"අපේ නායකතුමාටත් ජීවිත තර්ජන තියෙනවා" මයන්ත දිසානායක මන්ත්‍රිවරයා මෙහිදී කීවේය. එහෙත් ඒ සඳහා කිසිවකු ඇහුම්කන් නොදීමද විශේෂත්වයකි.
රණවිරුවන්ට දඬුවම් කිරීම ගැනද විමල් කතා කළේය.

"රට බේරගත්ත රණවිරුවො අද හිරගෙවල්වල. ඔවුන්ට කිසිම සරණක් නෑ. මේ අය යුද්ධයක් කළේ අපේ රට බේරගන්න. හැබැයි අද ඔවුන්ට අත්වෙලා තියෙන ඉරණම හරිම ශෝචනීයයි. එෆ්.සී.අයි.ඩී.යෙ නිශාන්තද සිල්වාට ඩයස්පෝරාවෙන් සල්ලි දෙනවා. මේවා ගැන ඇයි හොයා ගන්නෙ නැත්තේ" විමල් කීවේය.

"රණවිරුවන්ට අපි සලකන්න ඕනේ. හැබැයි ඔවුන් වැරදි කරලා තියෙනවානම් දඬුවම් දෙන්න ඕනේ" රන්ජන් රාමනායක කීවේය.

උපදේශක කාරක සභාව අවසන් වී මෛත්‍රි නැඟිට යන විට ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුද ඊට පිටුපසින් ගියහ. රන්ජන්ද ජනාධිපතිවරයා අසලටම ගියේය.

"විමල් කියපු දේ හරියටම හරි. ඒ මිනිසුන්ට විතරයි රට ගැන ඇල්මක් තියෙන්නෙ. ඕගොල්ලන්ගේ නායකයන්ටත් මේවා කියලා දෙන්න ඒ විතරක් නෙමෙයි කැබිනට් තොරතුරු හින්දු පත්තරේට දුන්නෙ කව්ද කියල මම දන්නවා ඒ අය හැදුවෙ මාවයි ඉන්දියාවයි අමනාප කරන්න ඒකත් ඔයාගෙ නායකයට කියන්න" මෛත්‍රි ඇඟට පතට නොදැනී කීවේය.

විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද කාරක සභාව අවසන් වී ආගිය තොරතුරු කතාබහ කරමින් කමිටු ශාලාවෙන් එළියට පැමිණියේය.

"උඹ මාර කතාවක්නෙ කිව්වේ. රන්ජන්ටත් පිස්සා කිව්වා නේද?" දායසිරි විමල්ට කීවේ සිනා සෙමිනි.

'ආ ඔව් නේද? ඒක පොරටත් වැදුණනෙ" විමල්ද සිනා සෙමින් කීවේය. මඳ වේලාවක් යන විට ඉහළම හමුදා ප්‍රධානියකුගෙන් විමල්ට දුරකථන ඇමතුමක් ලැබිණි.

"ඔබතුමා බොහොම හොඳයි. අද අපේ රණවිරුවන් ගැන කතාකරන්න කවුරුත් අපට නෑ" හමුදා ප්‍රධානියා කීවේය.

කෙසේ වෙතත් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන මේ වන විට පරීක්ෂණ ආරම්භ වී තිබේ. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරමින් සිටී. ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා පිළිබඳව දේශපාලන කරළියේ මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබේ. එම නීතිඥවරයා ආසන සංවිධායක ධුරයක් දැරීම ඊට හේතුවයි. නීතිඥ අජිත් පතිරණ නාලක ද සිල්වා වෙනුවෙන් පෙනී සිටී. ඔහු එක්සත් ජාතික පක්ෂයේ බොරැල්ල ආසනයේ සම සංවිධායක තනතුරේද කටයුතු කරනු ලබයි.

බීම සමාගම් සහ මංගල

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලංකා ජාතික ආර්ථික සභාව පසුගිය අඟහරුවාදා දහවල් පැවැත්විණි. මෙහිදී පලතුරු බීම ස¼දහා නිෂ්පාදන බද්දක් පැනවීම නිසා පලතුරු බීම සහ පලතුරු නිෂ්පාදකයන් මුහුණදෙන ගැටලු පිළිබඳ සාකච්ඡාවට ගැනිණ. මෙම රැස්වීමට ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ නියෝජිතයන් සහ දිවයිනේ ප්‍රධාන පෙළේ පලතුරු බීම නිෂ්පාදන සමාගම් 03ක නිලධාරීන් සහභාගිව සිටියහ. ඔවුන් ප්‍රකාශ කළේ පලතුරු බීම සඳහා බදු පැනවීම තුළින් වෙළෙ¼දාමට ගැටලුවක් වී ඇති බවයි. "පලතුරු බීමවල අඩංගු ග්‍රෑම් 6ක් ඉක්මවන සෑම ග්‍රෑම් 1ක් සඳහාම සත 50 බැගින් හෝ ලීටර් 1ක්මත රුපියල් 12ක් වූ නිෂ්පාදන බදු නියමකර තිබෙනවා. එමඟින් දේශීය ආයතන විසින් නිෂ්පාදනය කරනු ලබන පලතුරු බීම බෝතලයක මිල සියයට 30කින් පමණ වැඩි වෙනවා." නිෂ්පාදන සමාගම්වල නියෝජිතයන් තම ගැටලුව ඉදිරිපත් කළේය. එවිට භාණ්ඩාගාර නිලධාරීන් කීවේ "ඔබලාට ඇති තරම් සහන ලබාදී තිබෙනවා. කියාය. ඒ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද වගකීමෙන් කරුණු ඉදිරිපත් කරමින් සහතික කළේය.

"බෝ නොවන රෝගවලින් සියයට 70ක් මියයෑම අභියෝගයක්. දියවැඩියාව වැනි රෝග වැලඳෙන්නේ අධික සීනි භාවිතය නිසයි. සමාගම් පලතුරු බීම විකුණලා ජනතාව ලෙඩ කරවලා මුදල් සොයා ගන්නවා. රජය රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා ඊට වඩා වැඩි මුදලක් වියදම් කරනවා" රාජිත කීවේය. එහිදී නැඟී සිටි සමාගමක නියෝජිතයකු ප්‍රකාශ කළේ බෝ නොවන රෝග තුරන් කිරීම සඳහා ඔවුන්ද සහාය දක්වන බවය. "බදු පැනවීම නිසා අපට පමණක් නොවෙයි නිෂ්පාදකයන්ටද ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. වසරකට දේශීය පලතුරු කිලෝ මිලියන 12ක් අපි මිලදී ගන්නවා" යැයි එම සමාගම් නියෝජිතයන් කීවේය. "බදු පැනවූවා කියලා බීම නිෂ්පාදන සමාගම් වැසිලා නැහැ. පලතුරු නිෂ්පාදකයන්ටද පාඩුවක් වෙලා නැහැ. ඔබලා පලතුරු මිලදී ගන්නේ නැත්නම් මිල අඩු වෙන්න ඕන. නමුත් දේශීය වෙළෙඳපොළේ පලතුරු මිල අඩුවෙලා නැහැ. මෙමඟින් වගාකරුවන්ට ප්‍රශ්නයක් වෙලා නැහැ." සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය. මේ පිළිබඳව පසුව කතාකරමු මෛත්‍රිද කීවේය.

ජාතික ආර්ථික සභාවේදී ඉන් පසු සාකච්ඡාවට බඳුන් වූයේ ආහාර, ඔෟෂධ හා අත්‍යවශ්‍ය භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ ආනයනය සීමා කිරීම පිළිබඳවයි. මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා නීති රීති සකස් කර මීළඟ ජාතික ආර්ථික සභාවට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කළේය.

සීනි ආනයනය කිරීම මත සැප්තැම්බර් මස 17 වැනි දින සිට අයකරනු ලබන තීරු බදු ඉහළ දැමීම නිසා සීනි ආනයනකරුවන් මුහුණපා ඇති ගැටලු පිළිබඳ මීළඟට සාකච්ඡාවට බඳුන් විය. එහිදී සෞඛ්‍ය අමාත්‍යවයා ප්‍රකාශ කළේ "අධික සීනි භාවිතය නිසා සෞඛ්‍ය ගැටලුද රැසක් ඇතිවන බවය. දියවැඩියාව ඉන් ප්‍රධාන වෙනවා." රාජිත කීවේය." ලෝක වෙළෙඳපොළේ සීනි මිල අඩුවෙලා තිබෙනවා. එම නිසා බදු පැනවීම තුළින් පාඩුවක් වෙන්නේ නැහැ." මංගල කීවේය.

කළුගං මිටියාවතේ ගංවතුර තත්ත්වය අවම කිරීමේ ව්‍යාපෘතියක් ගැනද කතා කළේය. ඒ සඳහා ආධාර ලබාදීමට චීන සමාගමක් ඉදිරිපත් වී තිබිණි. එම සාකච්ඡාවට වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීහුද එක්ව සිටියහ. ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේ "කළු ගඟේ ජලය උතුරට හැරවීමේ වැඩපිළිවෙළක් තිබුණා නේද කියායි. ඊට පිළිතුරු ලබාදීමට එක් වූයේ සෞඛ්‍ය අමාත්‍යවරයායි. අපි මේ ප්‍රශ්නය දිගින් දිගටම කතා කරලා තිබෙනවා. වසර 1930දීත් කතා කළා. ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළා. ‍ෙදාස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජලය එකතු කරලා ඇඹිලිපිටියේ ජලාශයක් ඉදිකර දකුණට ජලය බෙදාහැරීමට යෝජනා කළා. 2013 වසරේදී නවීන තාක්‍ෂණය අනුව ජලය දකුණට ගෙනයෑමට යෝජනාවක් ඉදිරිපත් වුණා. දීර්ඝ කාලයක් මේ පිළිබඳ යෝජනා ඉදිරිපත් වුණත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. කළු ගඟට කරදිය මුසුවීම පාලනය කිරීම සඳහාත් ව්‍යාපෘතියක් දියත් කර තිබෙනවා. එවිට ජනතාවට සුදුසු පානීය ජලය ලබාදෙන්න පුළුවන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී කීවේය.

මෛත්‍රිට බන්දුල හමුවෙයි

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීයන්ට සම්මාන ප්‍රදානය කිරීමේ ප්‍රදීප සම්මාන උත්සවය ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් බදාදා රාත්‍රියේ බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේදී පැවැත්විණි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආරම්භ කර වසර 60ක් පමණ වන අතර විදේ‍යාදය පිරිවෙනේ කාලයද ඇතුළත්ව එය ආරම්භකර වසර 140කි. මේ මුළු කාලය පුරාවටම එම විශ්වවිද්‍යාලයට ශ්‍රවණාගාරයක් නොතිබිණි. එතෙක් අඩුපාඩුවක්ව පැවැති එම ශ්‍රවණාගාරය ලබන වසරේදී ලබාදෙන බව ජනාධිපතිවරයා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංගට කීවේය. මඳක් අසනීප තත්වයෙන් සිටි නිසා ජනාධිපතිවරයා එම උත්සවයේ කථාවක් කළේ නැත. උපකුලපතිවරයා සිය කතාවේදී ආදී විද්‍යාර්ථීයන්ටද මේ ගැන කීවේය.

මෙහිදී ජනාධිපතිවරයාට එම විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙක් වන හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හමුවිය. රටේ ආර්ථික තොරතුරු ගැන මෙන්ම එදින විසුරුවා හරින ලද රාජ්‍ය බැංකුවල සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලවල තත්ත්වය පිළිබඳවද දෙදෙනා කතාබහ කළහ.

අගමැතිට උඩින් ඉන්න ඔත්තුකරුවන් ගැන
විජේදාස ගෙන් ඉඟියක්

අගමැති රනිල් වික්‍රමසිංහ මාස කිහිපයකට පෙර සිට ඉන්දියාවේ නිල සංචාරයක් සැලසුම් කොට තිබුණේද මේ සති අන්තයේදී වීම අදාළ සිද්ධීන් වඩාත් තීරණාත්මක බවක් ගත්තේය. ඉන්දියාවට යෑමට පෙර රාජකාරි කිහිපයක් සම්පූර්ණ කිරීමට අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේ අරලියගහ මැදුරට ආවේ එහි ගිනියම් පසුබිම මැදය. ඔහු සුපුරුදු පරිදි පැමිණ සිටි මැති ඇමැතිවරු සමඟද එකී උණුසුම් පසුබිම ගැන අදහස් හුවමාරු අදහස් කර ගත්තේය.

'2015දී ජනපති මෛත්‍රි දිනෙව්වේ මම පරාද කළේ 'රෝ' එකෙන් කියලයි මහින්ද රාජපක්‍ෂ එදා කිව්වේ' සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල අතීතය සිහිපත් කරමින් කතාවට මුලපිරීය.

'ජනාධිපතිතුමා මට උදේ කතා කළා. මෝදිට කතා කළා. මහ කොමසාරිස්ට කරුණු පැහැදිලි කළා. දැන් ප්‍රශ්නයක් නෑ කිව්වා. ප්‍රශ්න දුරදිග යන්නේ නැතිව ඔයින් ගියා ඇති' අගමැති කීය.

'කොළඹ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාව එක්ක එකතුව දියුණු කරන්න ඇමැති මහින්ද සමරසිංහ මැයි 15 කැබිනට් පේපර් එකක් දාලා සැප්තැම්බර් 18දා ඒක අවලංගු කරන්න යෝජනා කළාම ඒ ගැන අධ්‍යයනය කරන්න මංගල හා මලික්ට භාරදී තියෙනවා. ඒ නිරීක්‍ෂණය ගිය අඟහරුවාදා කැබිනට් එකට ඇවිත් තියෙන්නේ. ජනාධිපතිතුමාත් මේ පර්යන්තය ගැන මීට කලින් මෝදි එක්කත් කතා කරලා තියෙනවා. පසුව ජපානයට ගිහින් ජපාන අගමැති එක්කත් කරුණු කතා කරලා තියෙනවා. නිමල් සිරිපාලලත් එතැන හිටියා. මොකද බටහිර පර්යන්තය ජපානය මෙහෙයවන්න සූදානම් නිසා ඒ පැහැදිලි කිරීම් කරලා තියෙන්නේ' මලික් සමරවික්‍රම කීවේය.

'නැඟෙනහිර පර්යන්තයේ 80%ක් ප්‍රති අපනයන කටයුතු කරන නිසා ඉන්දියාව එක්ක එකතු වෙලා වැඩ නොකළොත් ඒකේ කටයුතු 20% බහිනවා කියන්නේ ඇත්තද? අඟහරුවාදා සියල්ල ගැන එකඟතා ඇති නොවුණත් තීන්දුවට සතියක් කල් යෑම විතරද සිදුවුණේ' චමින්ද විජේසිරි විමසීය. එවිට ඇමැති මලික් කීවේ 'ඔව්' කියාය.

'මම ඉන්දියාවේ යන නිසා ගිහින් ඇවිත් ලංකාවට වඩාත් වාසි හා සුදුසු තීන්දුවක් ගැන බලන්න පුළුවන් වේවි' අගමැති කීය.

'නැඟෙනහිර පර්යන්තයේ හදලා තියෙන්නේ භාගයයි. ඉතිරි ටික හදන්න ඕනෑලු. බටහිර පර්යන්තේ දිග නිසා එතැන බිස්නස් වැඩිලු. ජපානය එක්ක එකතු වුණොත් එයාල බටහිර එක සංවර්ධනය කරනවාලු. ඒත් කේ‍ර්න් හා අනෙක් උපකරණ ගන්න අපේ කට්ටිය දඟලනවා. ඒ කොමිස් අරමුණෙන් බව වෘත්තීය සමිති කියනවා. උපකරණ හයර් එක දෙන්නම් කියලා ජපානේ කිව්වාම අපේ කට්ටිය ඒකටත් අකැමැතිලු. හම්බ කිරීම මිසක් දේශප්‍රේමයක් මෙතැන නෑ වගෙයි' චමින්ද විජේසිරි කීවේ වෘත්තීය සමිතිවල තොරතුරු මතය.

'දැන් ඉන්දියාවේ ගියාම මෝදියි එහේ ජනමාධ්‍යයයි 'රෝ' හා නැඟෙනහිර වරාය ගැන අගමැතිතුමාගෙන් අහවි නේද?' ලක්‍ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාමැදය.

'මට මුකුත් කියන්න දෙයක් නෑ. ජනමාධ්‍යය නොයෙක් ඒවා කිව්වනේ. වැරැදි ප්‍රවෘත්ති නිවැරැදි කරන එක විතරයි මට තියෙන්නේ අගමැති කීවේය.

'ලංකාවේ හා ඉන්දියාවේ මාධ්‍යත් මේක අවුළුවන්න දඟලන නිසා ජනමාධ්‍ය මඟඅරින එක මේ වෙලාවේ හොඳම උපක්‍රමයයි' දයා ගමගේ අවවාදයක ස්වරූපයෙන් කී විට අගමැතිවරයා සිනාසුණා මිසක කිසිවක් කීවේ නැත.

'නැඟෙනහිර වරාය කැබිනට් පත්‍රිකාව වරාය ඇමැතිගේ. ජනාධිපතිතුමා ඉන්දියාව එක්ක කතා කරලා ප්‍රශ්න බේර ගත්තා. අන්තිමට ඇමැතිගේ පිටින් ඔක්කොම කුණු කන්දල් යාවිද දන්නේ නෑ' වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.

'අගමැතිතුමාගේ දකුණෙන් ඉන්දියානු ඔත්තු සේවය වමෙන් චීන ඔත්තුකරුවෝ යටින් රුසියානු ඔත්තුකරුවෝ උඩින් සී.අයි.ඒ. කාරයෝ ඉන්නවාද දන්නේ නෑ බලාගෙන' විජයදාස රාජපක්‍ෂ කීවේ කාගේත් සිනාමැදය.
'මම ඔය පැති හතරම බලලායි ගෙදර ඉන්නෙයි වාහනයට නඟින්නෙයි. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ' අගමැති කීවේද උස් සිනා හඩක් සමඟිනි.

'ඉන්දියාවත් එක්ක මීට පෙර අස්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව අතපසු වූ වැඩ ගැන එහේ අගමැති විදේශ වෙළෙඳ හා ප්‍රවාහන ඇමැතිවරු එක්ක මේ සංචාරයේදී කතා කරනවා. උතුරේ ගෙවල් හා යටිතල දියුණුව ගැනත් කතා කරනවා. සෝනියා ඇතුළු විපක්‍ෂයේ නියෝජිතයොත් හමුවෙනවා' අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.

'මේ රටේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන ගැන අවධානයක් කිරීම අත්‍යවශ්‍යයි. අසරණ අයට සහන සලසන්න තියෙන මුදල් ගසාකන හා වසර 20 - 30 මේවා අල්ලගෙන ඉන්න කෝටිපති එන්.ජී.ඕ. කාරයොත් ඉන්නවා. සමහර ආයතනවල මුදල් රට අවුල් කරන දේවල්වලටත් යොදවන බව ආරංචියි' දයා ගමගේ කීය.

'එන්.ජී.ඕ. ගැන හොයන්න ශ්‍රී ලංකා රතුකුරුසේ ගැන විශේෂයෙන් හොයන්න කියලා දයාට ඉල්ලීම් ආපු ඒවායේ පිටපත් මටත් ලැබිලා තියෙනවා' අගමැති කීය.

'දැන් ඇමැතිවරු 15කින් යුක්ත භාරකාර රජය පිහිටුවලා ඉවරද' කිරිඇල්ල ඇසීය.

'භාරකාර එකේ 'බාරේ' ගැටගහන්න සාටකයෙන් රෙදිකෑල්ල දුන්නේ නෑ කියලායි ආරංචිය' චමින්ද විජේසිරි කීවේ සිනාමැදය. 'සමහරු අලුත් ආණ්ඩු ගැන රෙද්ද උස්සාගෙන දැඟලුවාට අන්තිමට රෙද්ද අස්සේ මොකුත් නෑ කියලා රටම දැක්කා' චමින්ද වැඩිදුරටත් කීවේය.

'ඒකාබද්දේ ඇතුළේ කචල් එක එන්න එන්නම ගිනියම් වෙනවා. වෙල්ගමලා, දිනේෂ්ලා, වාසුලාට ගෝඨාගේ ටීම් එක ගහනවා. එයාලා රිටර්න් දෙනවා. එදා කොබ්බෑකඩුවට දුන්නා වගේ දැන් රාජපක්‍ෂලාගෙන් පිට කෙනකුට ජනපති අපේක්‍ෂකත්වය ඕන බවයි එතැන හුඟ දෙනෙක් කියන්නේ. මහින්ද පැරදුණු නිසා පවුලේ හයිය ගියා. ඒ නිසා පවුලටම මේක සීමා කරන්න බැරි තත්ත්වයක් ඇවිත්. විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ මිලිටරි ආණ්ඩුවකට ඒකාබද්ධෙ අය වගේම ජනතාවත් බහුතරයක් කැමැති නෑ' විජයදාස රාජපක්‍ෂ කළේ එවැනි විග්‍රහයකි.

'හානිපූර්ණත්ව පනතෙන් කොටින්ට සල්ලි ගෙවන්න යන බවට ඒකාබද්ධය කියනවා. එදා කකුලක් නැති කොටි නායකයාට රාජපක්‍ෂලා කෝටි කීයක් දුන්නද කියලා ඒකාබද්ධෙට දැන් අමතකයි. අනෙක ජොන්ස්ටන්ගේ නඩු තීන්දුව දේශපාලනිකව ආණ්ඩුවට අවාසි බව මිනිස්සු කියනවා' චමින්ද විජේසිරි කීය.

'දැන් අධිකරණය ස්වාධීනයි කියලා ඔප්පු වුණා. ජනතාව ඒක තේරුම් ගනිවී. ඒ කාලේ වගේ දුරකථන ඇමැතුම්වලට දැන් නඩු තීන්දු ලියන්නේ හෝ අග්‍රවිනිශ්චයකාරවරුන්ගේ ගෙවල් ඉස්සරහට පාතාලේ අය දාලා කුණුහරුප කියවලා අටපාස් අය දාලා නඩු අහලා අග්‍රවිනිශ්චයකාරවරු දැන් පන්නන්නෙත් නෑ. මිනිස්සු මේවා හිතට ගනීවි' ලක්‍ෂ්මන් කිරිඇල්ල කීදේ අගමැති ඇතුළු සියලුදෙනා අනුමත කළහ.

අගමැතිගේ් ඉන්දීය ගමන

මේ අතර අගමැති රනිල් තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රහස්පතින්දා පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය. පස්වරු 2යි 15ට පමණ අග්‍රාමාත්‍යවරයා සහ දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය අතර මෙම සංචාරය සඳහා මලික් සමරවික්‍රම, අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍යවරයා සිය සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇති අතර එදින පස්වරුවේ නවදිල්ලි ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං විසින් අගමැති ඇතුළු දූත පිරිස පිළිගනු ලැබීය.

වෙල්ගමට මහින්ද අවවාද කරයි

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුව මහින්දගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා පැවැත්වුණේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවෙසේදීය. වෙල්ගම කලින් සතියේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහින්දානන්ද ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් මහනුවරදී තරමක් තදින් ප්‍රතිචාර දැක්වීමත් සමඟින් ඒකාබද්ධ විපක්ෂයේ ආරවුලක් ඇති බවට මේ වන විට ආණ්ඩුව විසින් මාධ්‍ය ප්‍රචාරයක් දියත් කර තිබිණි. මහින්ද හමුවට ආවේ "කෝ වෙල්ගම, මහින්දානන්ද ඉන්නවා දැයි" අසාගෙනය.

"මම කලිනුත් කිව්වා අපි මාධ්‍ය ඉස්සරහට ගිහින් එකිනෙකා විවේචනය කරගන්න ඕනේ නැහැ කියලා. මේවා දැන් දුරදිග ගියා හොඳටම ඇති. මම කලින් කිව්වා වගේම කියන්නේ තවදුරටත් මේ වගේ දේවල් කරන්න එපා" මහින්ද කීවේ තදිනි.

"නෑ සර්, මට එක අවස්ථාවක් දෙන්න. මෙයාලා මට මහනුවර දී කිව්ව දේවල්වලට උත්තර දෙන්න විතරක් මට ඉඩ දෙන්න. ඊට පස්සේ මමත් මේ ගැන මොනවත් කතා කරන්නේ නැහැ" වෙල්ගම පැවැසීය.


"එතැනින් එහාට මේක ගෙනියන්න එපා. ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක අපි පස්සේ තීන්දු කරමු. වෙලාව ආවම ඒ අවස්ථාවේ තියෙන තත්ත්වයත් එක්කයි අපි ඒ තීන්දුව ගන්න ඕනේ. ආණ්ඩුව හදන්නේ ජනතාවට රටේ තියෙන ප්‍රශ්න අමතක කරවන්න මේ වගේ දේවල් යොදාගන්නයි. ඒවට ඉඩ තියන්න එපා" මහින්ද අවවාද කළේය.

අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ අවධානය යොමු වූයේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙනි. මේ ගැන සොයා බැලීමට අජිත් නිවාඩ් කබ්රාල්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමටත් මෙහිදී තීන්දු කෙරිණි.

පොහොට්ටුවට ඉන්ජිනේරු පෙරමුණක්

පොහොට්ටුවේ ඉන්ජිනේරු පෙරමුණ පිහිටුවීම පසුගියදා මහින්දගේ ප්‍රධානත්වයෙන් කොළඹ තරු පහේ හෝටලයකදී පැවැත්විණි. දේශපාලන පක්‍ෂයක් පිහිටුවා එතරම් කෙටි කලකදී වෘත්තීය පෙරමුණක් පිහිටු වූ පළමු අවස්ථාව එය වීමද විශේෂත්වයකි.

මේ සඳහා බැසිල්, ජී.එල්, වාසු, සුසිල්, අනුර යාපා, කනක ඇතුළු ආරාධිතයන් සහ ඉන්ජිනේරුවන් දහසකට ආසන්න පිරිසක් එක්ව සිටියහ. උත්සවය ආරම්භ වී මඳ වේලාවක් යනවිට මහින්ද පැමිණියේය.


'සර්ටත් අපි පොඩි කතාවක් වෙන් කළා...'

සංගමයේ සභාපති ඉන්ජිනේරුවරයා මහින්දට කීවේය

'ආ......එහෙමද, මම හිතුවේ නෑ මේක මේ තරම් ලොකු ඉවෙන්ට් එකක් කියලා......'

මහින්ද කීවේය.

ඉන්ජිනේරු සංගමයේ සභාපතිවරයාගේ ඉල්ලීමට එකඟ වූ මහින්ද තමන්ගේ කතාව සඳහා වේදිකාවට ගොඩවෙන්න පුටුවෙන් නැඟිටිනකොටම යාබද පේළියේ අසුන්ගෙන සිටි බැසිල් ඇතුළු පිරිස ඉදිරියට පැමිණියහ.
'මේ වැඩේ හරිම ෂෝක්'

මහින්ද එහෙම කිව්වේ දකුණු අතේ මහපට ඇඟිල්ලද ඔසවමිනි.

'කට්ටිය හැමෝම ගොඩක් මහන්සි වුණා.'

ලැබුණු ස්තුතිය බැසිල් එවෙලේම මහන්සි වෙච්ච හැමෝටම බෙදා දීමට අමතක කළේ නැත. සභාවේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ මහින්ද වේදිකාවට ගොඩ විය.

'අපේ පක්‍ෂයට අද ඉඳලා ඉන්ජිනේරු පෙරමුණකුත් තියෙනවා. මේ රටේ වෙන කිසිම දේශපාලන පක්‍ෂයකට මේ විදියේ ඉන්ජිනේරු කඳවුරක් නැහැ. මේක අලුත් තත්ත්වයක්. ඒ වගේම ඉතාම යහපත් ප්‍රවේශයක්. ඔබේ නිර්මාණශීලී නැවුම් අදහස් සියල්ලම මම අහගෙන හිටියා. ඒවා ඉතාම වටිනා ප්‍රායෝගික සංකල්ප. ඉතා ඉක්මනින් මේ රට නැවත ගොඩනඟන්න ඔබේ වෘත්තීය දැනුම සහ කැපවීම අපි බොහෝම ගෞරවයෙන් අපේක්‍ෂා කරනවා.

මහින්ද සභාව අමතමින් කීවේය.

බැසිල්ගෙන් ජොනීට පලතුරු

පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ සිටි ප්‍රසන්න මෙරටට ආවේ සෙනසුරාදා අලුයමය. සිය නිවෙසේ නිදාගෙන සිටි ප්‍රසන්න එදින උදෑසන 8ට පමණ අවදි වූයේ දුරකථනය නාද වනු ඇසීමෙනි. දුරකථන ඇමැතුම ආවේ බැසිල්ගෙනි.

'මම ප්‍රසන්නට වාහනයක් එව්වා. මං එක්ක ගමනක් යමු' බැසිල් ආරාධනා කළේය.

ප්‍රසන්න ද කැටුව බැසිල් ගියේ කෑගල්ල බන්ධනාගාරයටය. ඒ බන්ධනාගාර ගතව සිටින ජොන්ස්ටන්ගේ සුවදුක් විමසීමටය. පලතුරු වට්ටි දෙකක්ද රැගෙන ජොන්ස්ටන් බලන්නට ගිය බැසිල් සහ ප්‍රසන්නට අතරමඟදී කනකද එකතු විය. සිවුදෙනා කතාබහ කරමින් සිටියේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ දේශපාලන පළිගැනීම් සම්බන්ධවය.

'මේක මාව හිරේ දාන්න පටලවපු බොරු නඩුවක්. මම මහින්ද මහත්තයා එක්ක ඉන්න නිසායි මගෙන් මේ විදියට පළිගන්නේ' ජොනී කීවේය.

'අපි දන්නවා ඒක. මොනවා වුණත් අධිකරණය ගැන අපේ විශ්වාසයක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ජොනීට සාධාරණය ඉෂ්ට වෙයි කියලා. වරදක් නොකරපු කෙනකුට දඬුවම් කරන්න ස්වභාව ධර්මය ඉඩ දෙන්නේ නැහැ' බැසිල් පැවැසීය.

මේ අතර ජොන්ස්ටන් තමන්ට බන්ධනාගාරයේදී මුහුණපාන්නට සිදුව ඇති හිරිහැර ගැන පැවැසීය. කලින් දින පාර්ලිමේන්තු ගොස් පැමිණෙන විට ඇඳුම් පැලඳුම් ගලවා පරීක්‍ෂා කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ බව ජොන්ස්ටන් පැවැසීය. එසේම කොළඹ සිට විශේෂ කණ්ඩායමක් කෑගල්ල බන්ධනාගාරයට එවා ඇත්තේ තමන් ගැන සොයා බැලීමට බවත් ජොන්ස්ටන් බැසිල්ට පැවැසීය.

'මාව තමයි ටාගට් කරලා තියෙන්නේ. මම ඉන්න වාට්ටුව සම්පූර්ණයෙන්ම චෙක් කළා. මොයාලා බැලුවේ සල්ලි හරි දුරකථන හරි තියෙනවද කියලා. ඒවා තිබුණොත් තව කාලයක් මාව බන්ධනාගාරයේම තියාගන්න පුළුවන්නේ. ඒක තමයි දැන් ඕනේ වෙලා තියෙන්නේ. මෙතැන ඉන්න නිලධාරීන්ටත් කරකියා ගන්න දෙයක් නෑ. ඒ අයත් අසරණයි. මට උදවු කරන්න එපා කියලා මෙතැන ඉන්න රැඳවියන්ටත් තර්ජනය කරලා තියෙනවා' ජොන්ස්ටන් හෙළි කළේය.

'ඕවා ඔහොම තමයි. මේ ආණ්ඩුවේ එකම අරමුණ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමයි. රටට හෙණ ගැහුවත් කමක් නැහැ. තමන්ගේ වැඩේ කෙරෙනවා නම් කියලයි ආණ්ඩුව හිතන්නේ. මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නැහැ' ප්‍රසන්න පැවැසීය.

'අපි ජොන්ස්ටන්ට සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා තමුන්නාන්සේට සාධාරණයක් වෙයි කියලා' කී බැසිල් එළියට ආවේ නඩුව සම්බන්ධයෙන් නීතිඥන් සමඟද කතාබහ කරන බව කියමිනි.

නිදහස් වූ ජොනී ආයෙත් සිරගෙදරට ගිය ගමන

මේ අතර යන්තම්පලාව සතොස ශාඛාවෙන් රුපියල් ලක්‍ෂ 38ක භාණ්ඩ ලබාගෙන සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටි ජොන්ස්ටන් ඇතුළු තිදෙනා නි‍ෙදාස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කළේ පසුගිය බදාදාය. විත්තියේ සාක්‍ෂි විමසීමකින් තොරවම ජොන්ස්ටන්ලා නිදහස් කිරීමට තීන්දු කිරීම සුවිශේෂී කරුණක් විය.

ගෝඨා සහ ෂෙහාන් ජොනී බැලීම සඳහා එදින පෙරවරුවේ බන්ධනාගාරයට පැමිණියහ. එදින නාමල්, කාංචන, ෂෙහාන්, ඩී.වී. ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් කුරුණෑගල මහාධිකරණ භූමිය වෙත ගොස් සිටියහ. නිදහස ලබා පැමිණි ජොන්ස්ටන් මන්ත්‍රිවරුන් හා ආධාරකරුවන් විසින් උණුසුම් අයුරින් පිළිගැනිණි. අනතුරුව නාමල් පැද වූ රියක නැඟී ජොන්ස්ටන් නිවෙස බලා ආවේ චානක සහ කංචන සමඟිනි.

ජොනී රිමාන්ඩ් එකේදී වින්ද දුක මන්ත්‍රිවරුන්ට කීවේය. මැක්කන්ගෙන් විඳින්නට සිදු වූ කරදර මෙන්ම අනෙක් සිරකරුවන්ටත් වඩා පහත් අන්දමින් තමන්ට සැලකූ ආකාරයත් ජොනී මෙහිදී සිහිපත් කළේය. තමන්ට එසේ සලකන විට බන්ධනාගාර නිලධාරීන්ද අපහසුතාවට පත් වූ බවත් ජොනී කීවේය. ඉහළින් ආ උපදෙස්වලට කටයුතු කරනු මිස විකල්පයක් ඔවුන්ට නොතිබුණු බවත් පැවැසීය.

ජොන්ස්ටන් නිවෙසට පැමිණ මඳ වේලාවකින් මහින්ද එහි ආවේය. මහින්ද ජොන්ස්ටන් පිළිගත්තේ සිප වැලඳ ගනිමිනි. 'මම දැනන් හිටියා ජොනීට කරදරයක් නොවන බව' මහින්ද හැඟුම්බරව කීවේය.

'ආණ්ඩුවට ඕනෑ වුණේ මට රිද්දන්න. මට රිද්දලා මහින්ද මහත්තයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයටම රිද්දන්න තමයි ආණ්ඩුවට ඕනෑ වෙලා තිබුණේ. බොරු චෝදනා දාලා අපිව හිරකළාට මේ සටන නතර වෙන්නේ නැහැ කියලා ආණ්ඩුව දැන්වත් තේරුම් ගන්න ඕනේ' ජොන්ස්ටන් පැවැසීය.

'ආණ්ඩුව අපිට දාලා තියෙන චෝදනා සේරම ඔය වගේ තමයි. මොනවා වුණත් මේක ආණ්ඩුවේ ලොකු පරාජයක්. දැන් මුළු ලෝකෙටම පැහැදිලියි ආණ්ඩුව බොරු නඩු පටවලා අපිව හිරේ දාන්න හදන බව' නාමල් පැවැසීය.

'මේවට නිකන් ඉන්න එපා. ඔයා මුලින්ම රිමාන්ඩ් එකේදී වෙච්ච කරදරවලට බන්ධනාගාරයට විරුද්ධව නඩු දාන්න. ඊළඟට බොරු චෝදනා දාලා දවස් 44ක් රිමාන්ඩ් කරවපු එෆ්.සී.අයි.ඩී. එකට විරුද්ධව නඩු දාන්න. අනෙක් අයටත් මේවා හොඳ පාඩමක් වෙන්න ඕනේ' මහින්ද උපදෙස් දුන්නේය.

'එෆ්.සී.අයි.ඩී. කියන නීති විරෝධී ආයතනය හැදුවේම මේ වගේ පළිගැනීම්වලට යොදා ගන්නයි. ඒකෙන්ම පේනවා ආණ්ඩුවේ යහපාලනය' නාමල් පැවැසීය.

ජොනීගේ නිවෙසින් සමුගත් චානක සහ කංචන හුනුපිටියට පැමිණියේ ප්‍රසන්න රණවීරගේ අභාවප්‍රාප්ත නැන්දණියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය.

මේ අතර ජොනී නිදහස් වූ දින පස්වරුවේම යළිත් කෑගල්ල බන්ධනාගාරයට ගියේය. ඒ කදමලු බැඳගෙනය. බන්ධනාගාර නිලධාරීන් වහාම කලබලයට පත් වූයේ ජොනී යළි පැමිණීම ගැනය.

'නෑ නෑ කලබල වෙන්න එපා. මම ආවේ ඔයාලාට ස්තුති කරලා යන්න. ඒ වගේම මාත් එක්ක හිටපු සිරකරුවන් බලලා යන්න' ජොනී කීවේය.

'මොනවා කරන්නද හරි.........අපිත් එක්ක තරහා වෙන්න එපා. අපිට ඉහළින් ආපු නියෝග තමයි අපි ක්‍රියාත්මක කළෙ' උසස් නිලධාරීන් ජොනීට කීවේය.

'නෑ නෑ මම කවදාවත් ඔයාලා එක්ක තරහා නෑ. මම ඒවා දන්නවා. කොහොම වුණත් ඒ අභියෝග මැද ඔයාලා මම වෙනුවෙන් කටයුතු කිරීම ගැන බොහොම ස්තුතියි' ජොනී හැඟීම්බරව කීවේය.

අනතුරුව ජොනී රැගෙන ගිය පලතුරු සහ රසකැවිලි තමන් සමඟ සිටි සිරකරුවන්ට ලබාදෙන ලෙස නිලධාරීන්ට කීවේය. අනතුරුව ජොනී කෑගල්ලේ සිට කොළඹ බලා පිටත්ව ගියේය.

රාජ්‍ය බැංකු අධ්‍යක්ෂවරු
විසිවෙති

ආයෝජන මණ්ඩලයේ සහ රාජ්‍ය බැංකු කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල වහාම විසුරුවා හැරීමට ජනපති මෛත්‍රි කටයුතු කළේය. ඒ ගැන සැලවීමත් සමඟ ඇමැති කිරිඇල්ල සහ තවත් ඇමැතිවරුන් දෙදෙනකු ජනපති මෛත්‍රි හමුවීමට ජනපති කාර්යාලයට ගියහ. එහිදී මෛත්‍රි මෙම ආයතනවල සිදුවන අක්‍රමවත් ක්‍රියා ගැන ඇමැතිවරුන්ට ‍ෙදාස් නැඟුවේය. මේ ගැන "මව්බිම" ඇමැති කිරිඇල්ලගෙන් විමසීමක් කළේය.

"ලබන සතියේ අපි මේ ආයතන ප්‍රතිසංවිධාන කරන්න කටයුතු කරනවා. විෂය භාර ඇමැති හැටියට බැංකු ගැන, අධ්‍යක්ෂවරු ගැන කටයුතු කරන්න බලය තියෙන්නේ මට. ඒ නිසා ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ඉදිරි සතියේදී මේ ගැන කටයුතු කරනවා" කිරිඇල්ල ඇමැතිවරයා කීවේය.

සජිත්ගේ තැන ගන්න වැඩකාරයෝ කවුද?

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මේ සතියේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් කැඳවා සාකච්ඡා කළේ 2019 දෙසැම්බර් මස 31 වැනිදා වන විට ඉලක්ක කොට ඇති නිවාස සංග්‍රාමයේ 1 වැනි පියවරේ උදා ගම්මාන 2,500ක වැඩ ඇරැඹීමට ඇති හැකියාව පිළිබඳවය. එහිදී අනාවරණය වූයේ ඉලක්කයෙන් දැනටමත් ගම්මාන 1426ක වැඩ අරඹා ඇති බවයි.

ඒ අනුව තවත් ගම්මාන 1074 ක වැඩ ඇරඹිය යුතුයි. "ඒ කියන්නේ දවසකට නව ගම්මාන 3ක වැඩ ආරම්භ කළ යුතුයි." සජිත් අවධාරණය කළේය. මෙතෙක් පැවැති කාර්ය සාධනය අනුව සජිත් දිවයින පුරා ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියලු දිස්ත්‍රික් කාර්යාල ශේ‍ර්ණිගත කළේ මෙම ඉලක්කය සපුරා ගැනීමේ උපක්‍රමයක් වශයෙනි. "උනන්දු වෙන, මහන්සි වෙන අයට උසස් වීම්, ඩබල් ප්‍රමෝෂන් ලබා දීමයි මගේ ක්‍රමය. ඉලක්ක හොඳින් සපුරනවා නම් ඕනෑම නිලයක ඉන්න කෙනකුට ඉහළ යන්න පුළුවන්. නීති රීති රාමුවලට, යල් පැන ගිය සැලසුම්වලට, මතවාදවලට කොටු නොවී ජනතාව වෙනුවෙන් ගම්මාන, ගෙවල් හදන්න ඒ අය කොපමණ දායක වෙලා තිබෙනවාද, දුප්පත් පවුල්වලට කොපමණ උපකාර කර තිබෙනවාද වගේ කරුණු තමයි මම සොයා බලන්නේ. ජේ‍යෂ්ඨත්වය මත පමණක් උසස්වීම් ලබා දීම වෙනුවට කාර්යශූරත්වයට හා කැපවීමට නිසි ඇගයීමක් ලබාදිය යුතුයි. මම තැන දෙන්නේ ඇස් දෙකට පේන, ප්‍රතිලාභ පෙන්වන නියම වැඩකාරයන්ටයි. ජේ‍යෂ්ඨත්වයට වඩා ශේ‍ර්ෂ්ඨත්වයටයි මගේ සැලකීම" සජිත් පැහැදිලි කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එන්නේ මර්දනයටයි.......

වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගන්ති කිසිවක් වෙනස් කොට නව පනතක් ලෙස නැවත වටයකින් ගෙන ඒමට යෝජනා කර තිබේ. මේ වන විට එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේද අවධානය යොමු විය. "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුලින්ම ඉදිරිපත් වෙන්නේ 1978දී. ඒ වෙලාවෙත් ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ පනතට විරුද්ධත්වය ප්‍රකාශ කළා. මොකද ඒ වෙලාවෙත් මේක ගේන්නේ ආණ්ඩුවට එරෙහිව එන ජනතා විරෝධය මර්දනය කරන්න උපායක් විදියට. අපි විතරක් නොවෙයි ඒ වෙලාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේ පනතට විරුද්ධව පාරට බැස්සා. අදත් ආණ්ඩුව මේ පනත ගේන්නේ හොඳ අරමුණකින් නොවන බව විශ්වාස" යැයි ටිල්වින් සිල්වා කියා සිටියේය.

"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුළුවට ආණ්ඩුව පොරොන්දුවක් වුණා මේක අහෝසි කරනවා කියලා. විශේෂයෙන් 2015 මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ පොරොන්දුවක් විදියට මේක තිබුණා. එක්සත් ජාතීන්ගේ බලපෑමට දැන් ආණ්ඩුව කරන්න යන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ මුල් පනතේ වගන්ති ටිකක් එහෙ මෙහෙ කරලා ඒ පනතම වෙන විදියකට ගේන්න." විජිත හේරත් කියා සිටියේය. "එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම කියනකල් ඉන්න ඕනද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. මේ ආණ්ඩුව 2015 ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවශ්‍ය කරන පනත් එකක්වත් ගේන්න කටයුතු කළේ නැහැ. ඒවා මඟහැරියා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් උතුරේත් මර්දනය ගෙනාවා, දකුණේත් මර්දනය ගෙනාවා. ඒ නිසා මේ පනත අහෝසි කරන්න ඕනෑ එකක්. අපි මේකට විරුද්ධව පාර්ලිමේන්තුවේ ඡන්දය දෙන්න ඕනෑ. සමහරු මේක ත්‍රස්තවාදී අර්ථයෙන් විග්‍රහ කරනවා. නමුත් ඇත්ත කතාව නම් මේක මර්දන පනතක් කියන එකයි." සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

අපහාස කළැයි මෛත්‍රීට එරෙහිව නලින්දගෙන් නඩුවක්

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුකරුවන්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මුදල් ලබගත්තා යැයි ආන්දෝලාත්මක ප්‍රවෘත්තියක් පසුගිය කාලයේ මාධ්‍යවල නිතර ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් වී තිබිණි. ඒ මොහොතේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ නම් ලැයිස්තුවක් ඇති බවත් ප්‍රකාශ විය. නමුත් එම නම් ලැයිස්තුව කිසිම මොහොතක ප්‍රසිද්ධියට පත් නොවිණි. එම මොහොතේ නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් ජ.වි.පෙ. මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගත්තා යැයි මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශයත් සමඟ ජවිපෙ නීතිඥයන් මාර්ගයෙන් මෛත්‍රී ගුණරත්නට එරෙහිව එන්තරවාසියක් යවන ලදී. එමෙන්ම එම චෝදනාව සාක්ෂි සහිතව ඔප්පු කරන්නැයි ජවිපෙ විසින් ඔහුට අභියෝග කරන ලදී. නමුත් මේ වනතෙක් මෛත්‍රී ගුණරත්න විසින් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කොට නොමැත .

කෙසේ වෙතත් එම මොහොතෙත් ජවිපෙ නායකයන් කියා සිටියේ හඬ මේ මෛත්‍රීගේ වුවද අත අනෙක් මෛත්‍රීගේ කියාය. මන්ද මෛත්‍රී ගුණරත්න මේ වන විට සේවය කරන්නේ කාටදැයි මුළු රටම දන්නා කරුණක් නිසාය. මේ හේතුව නිසා තමන්ට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් අධිකරණයේදී රුපියල් මිලියන 5,00ක් ඉල්ලා නඩුවක් ගොනු කිරීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස තීරණය කර තිබේ. එය නඩුකර දෙකක් වශයෙන් ලබන සඳුදා දිනයේදී උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජොන්ස්ටන් බේරුණේ ආණ්ඩුවේ සහායෙන්..

සතොස මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කෙරිණි.

මේ සම්බන්ධයෙන් නීතිඥයන් අතර කතාබහක් ඇතිව තිබේ. මේ කතාබහ ඇතිවූ අවස්ථාවේ නීතිඥ සුනිල් වටගල මන්ත්‍රිවරයාද එම ස්ථානයේ සිටියේය. "ජොන්ස්ටන් නිදහස් වුණා තමයි. නමුත් හොරකම් කළේ නැහැ කියලා කාට හරි කියන්න පුළුවන්ද? නිකන්ම නිකන් මිනිහෙකුට විරුද්ධව නඩු දාන්නේ නැහැනේ. නඩුව දාන විදියේ දුර්වල කමක් නිසා නිදහස් වෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

මිනී මරපු අයත් නිදහස් වෙනවා සාක්ෂි පරස්පර වුණාම. එහෙම වුණා කියලා මිනී මැරුම සිදුවෙලා නැහැ කියලා කාට හරි කියන්න පුළුවන්ද?" නීතිඥයන් විවිධ කතා කියමින් සිදුවීම ගැන විග්‍රහ කිරීමට ඉදිරිපත් විය.

"මෙතැන බරපතළ ප්‍රශ්නයක් තියෙනවා පැමිණිල්ල පැත්තෙන්. විත්තියේ සාක්ෂි විමසන්නේ නැතුවම චූදිතයා නිදහස් කරනවා කියන්නේ පැමිණිල්ලේ සාක්ෂි ප්‍රබල නැති නිසා. ආණ්ඩුවේ නීතිපතිවරයා පෙනී ඉන්න නඩුවක් මේක. ආණ්ඩුව පැත්තෙන් හරියට පැමිණිල්ල ගොනු කරන්නේ නැහැ කියන්නේ එතැන මොකක් හරි ඩීල් එකක් තියෙනවා කියන එක. එහෙම නැතුව නිකන් මේ නඩුවලින් හොරු නිදහස් වෙන්නේ කොහොමද? දැන් ජොන්ස්ටන් විතරක් නෙවෙයි. අනෙක් අයත් කියනවා එයාලට එරෙහිව තියෙන්නේ බොරු නඩු කියලා. ඒ කියන්නේ මේ රටේ හොරකම් වෙලා නැහැ කියලද?" සුනිල් වටගල කියා සිටියේය. "කොහොම වුණත් දැන් උසාවිවලින් දෙන නඩු තීන්දු ගැන ජනතාව හොඳ අවබෝධයකින් ඉන්නේ. ජනතාව දන්නවා දැන් නඩුවලට මොකද වෙන්නේ කියලා." තවත් නීතිඥයෙක් කතාවට එක්වෙමින් කීවේය.

රුචිර දිලාන් මධුසංඛ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon