මවුබිමට ණය ඊනියා උගත්තු

  👤  2834 readers have read this article !
2018-10-22

ඉකුත් ජනාධිපතිවරණය සමයේ ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ පිටරටවල සිටින අපේ උගතුන්ගෙන් ඉල්ලා සිටියේ දිවයිනට පෙරළා පැමිණ රටට සේවය කරන ලෙසය. ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද මේ ඉල්ලීම කළේය. ජනාධිපතිවරුන්ගේ මේ ඉල්ලීම සලකා බලා පිටරටවල සිටි උගතුන්ගෙන් පිරිසක් හෝ පෙරළා මෙරටට පැමිණියා දැයි කියන්න දන්නේ නැත. එහෙත් විදෙස් ශිෂ්‍යත්ව ලබා අධ්‍යයන කටයුතු සඳහා පිටරට යන උගතුන් සැලකිය යුතු පිරිසක් මෙරටට නොපැමිණ සිටින බව නම් බොහෝ දෙනා දන්නා කාරණයකි.

කාරණය අනෙකකි.

දිවයිනේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබූ උපාධිධාරීන් පශ්චාත් උපාධි, විදේශ ශිෂ්‍යත්ව සඳහා ලබාගත් ණය මුදල් ආපසු නොගෙවා පැහැර හැර ඇති බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් එක්වී මේ වන විට මාධ්‍ය හරහා අනාවරණය කර ඇත.

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් නොඑසේ නම් ජනතාවගේ බදු මුදල්වල දායකත්වයෙන් උගතුන් වූ මේ සියලු දෙනාට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ලබාදුන් ජනතාවගේ මුදල් මෙසේ ගෙවීම පැහැර හැරීම ඇත්ත වශයෙන් කනගාටුදායකය. බැඳුම්කර කොන්දේසි උල්ලංඝනය කරමින් රජයට ගෙවීම පැහැර ඇති මුදල රුපියල් මිලියන 813කට අධිකය.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ ණයකරුවන්ගෙන් හා ඇපකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා ඇත්තේ උපන් බිමට සහ මවුබිමේ ජනතාවට ද්‍රෝහී නොවී නියමිත මුදල් සහ ඒ මත පොලී මුදල් වහාම ගෙවා ණයෙන් නිදහස් වන ලෙසය. රජයේ පාසල්වලින් නොමිලේ ඉගෙන ගෙන, විශ්වවිද්‍යාලයේදී නොමිලේ අධ්‍යාපනය ලබා මහපොළ ශිෂ්‍යාධාරයද රැගෙන අවසානයේ 'ශිෂ්‍යත්ව' සඳහා ලබාගත් ණය මුදල්වලට පොලු තැබීම 'උගත්කමට තරම් වන්නේ නැත.'

දේශපාලනඥයන් හා උන්ගේ හෙංචයියන් රාජ්‍ය බැංකුවලට තබා ඇති 'පොලු' ඕනෑ තරම්ය. පාලකයන් බොහෝ විට කරන්නේ පොලු තබා ඇති ණය බොල් ණය ලෙස නම් කිරීමය. ප්‍රශ්නය වන්නේ ඊනියා දේශපාලනය විවේචනය කරන, ඒ පිළිබඳ ගැඹුරින් කතා කරන විශ්වවිද්‍යාල උගතුන් අතර සිටින පිරිසක් ජනතාවගේ මුදල්වලට පොලු තැබීමය. දේශපාලනඥයන් නම් හැමදාම කළේ ජනතාවගෙන් 'බලය' ඉල්ලාගෙන ජනතාව සූරාකෑමය. මහ දවල් ජනතා දේපොළ කොල්ලකෑමය.

ශිෂ්‍යත්ව ලබා පිටරටකට ගොස් එහි රැඳීම ගැන උගතුන්ට එකවරම දොස් පැවැරිය නොහැකිය. මේ රටේ තිබෙන 'මජර ක්‍රමය' තුළ ඔවුහු සිය උගත්කමට ගැළපෙන ජීවිතයක් ගත කිරීමට ඒ ඒ රටවල් තෝරා ගනිති. එය එකහෙළා අනුමත නොකළද මවුබිමට ගෙවීමට ඇති 'මුදල' ගෙවීමේ කිසිදු අපහසුවක් මේ උගතුන්ට නොමැත. තමන් මෙන්ම ඉගෙනගෙන සුවපහසු ජීවිතයක් ගත කිරීමේ වරම අනාගත පරපුරටද හිමිවිය යුතුය යන සිතුවිල්ල හෝ සිත් තුළ ඇති නොවන්නේ නම්, ඔවුන් නරුමයන් ලෙස මිස අන් අයුරකින් හැඳින්විය නොහැකිය. මෙවැන්නන් පිටරටවල සිට 'දේශප්‍රේමීන්' ලෙස පෙනී සිටින අවස්ථා තිබේ. එය 'දේශප්‍රේමය' යන වචනයටද නින්දාවකි.

පොදු ජනතාවගේ බදු මුදල්වලින් ඉගෙන ගෙන උපාධි ලබා, ඉතාම අයහපත් කොන්දේසි මත මෙරට ජීවත්වෙමින් සිය දැනුම බෙදාදෙන උගතුන් ඕනෑ තරම් සිටියි. ඒ වගේම පිටරටවල ජීවත්වුවද ලබාගත් ණය නියමාකාරයෙන් ගෙවූ හා ගෙවන උගතුන්ද ඕනෑ තරම් සිටිනා බව නොරහසකි.

මවුබිමේ ද්‍රෝහීන් වන්නේ නොඑසේ නම් ජනතාවගේ සතුරන් වන්නේ; ඒ පිරිස නොව, ණය නොගෙවා පැහැර හැර පිටරටවලට වී සුව පහසුව ජීවත් වන ඊනියා උගතුන් පිරිසය. අවුරුදු 70ක් පුරා දේශප්‍රේමීන් ලෙස පෙනී සිටිමින් රට පතුල නොපෙනෙන අගාධයක් කරා රැගෙන යමින් සිටින පාලකයන්ට නොඑසේ නම්, ඊනියා දේශපාලනඥයන්ගේ ගණයට නොවැටෙන්නැයි මේ උගත් පිරිසගෙන් උදක්ම ඉල්ලීමක් කළ යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon