ආණ්ඩුව අපට යහපතක් කරාවිය යන අන්ධ විශ්වාසය දුරු කළ යුතුය

  👤  3089 readers have read this article !
2018-10-28

මීට ඉහත කී දේවල් සහ අප මේ තත්ත්වයට ගෙන ඒම ගැන අපේ ආණ්ඩුවට අපි ‍ෙදාස් නොකියමු. ඊට හේතුව විදේශීයයන්ට යටත්වන මොනම ජාතියකටවත් ජාතියක් වශයෙන් නැඟිටීමට විදේශීය ආණ්ඩුවක් ඉඩ දෙනු නොලැබීමයි. මේ බව සර් ඩැනියෙල් හැමිල්ටොන් මහතා විසින් ඉන්දියාව සම්බන්ධ මෙසේ ලියා ඇත.

If Britain has to leave india, as suddenly as Rome had to leave Britain, then England shall leave behind a country minus education minus sanitation and minus money.

රෝමයට එංගලන්තය හදිස්සියෙන් හැර යෑමට සිදු වූවාක් මෙන්, යම් ආකාරයකින් ඉංග්‍රීසීන්ට ඉන්දියාව හදිස්සියෙන් අතහැර යෑමට සිදු වුණහොත් ඔවුන් ඉන්දියාව, ඉගෙනීම රහිත, සනීපාරක්ෂාව රහිත, මුදල් රහිත, රටක් කර යනවා ඇත. මෙය කියා තිබෙන්නේ ඉන්දියාවේ සිටින ප්‍රසිද්ධ ඉංග්‍රීසි මහතකු විසින්ය.

අන්‍ය ජාතියකට යටත්ව සිටින තුරු ආණ්ඩු කරන ජාතිය වහල් ජාතියට දිව්‍ය සැප දුන්නත් ඒ ගැන ප්‍රීති නොවිය යුතුයි. නිදහස ලැබීමට නම් දුක් විඳිය යුතු වේ. දුක් නැතිව සැපක් ඇති නොවේ. සිංහලයා සැපට ගිජු වී සිටි නිසා අද මේ තත්ත්වයට බැස සිටියි. අදත් අන්ධයා මෙන් ඒ පාරේම ගමන් කළහොත් සිංහලයාට තව ටික දවසකින් වෙන දේ ගැන අප අද නොලීවත් නොබෝ දවසකින්ම අවබෝධ වෙනවා ඇත.

සිංහල ජාතියේ පිරිහීමට එක අතකින් ඉංග්‍රීසි ආණ්ඩුව ආධාර කරන්නාක් මෙන්ම තව අතකින් තම තමන් විසින්ම ආධාර කරගනු ලැබේ.

එනම් කුලභේදය සහ අලසකමයි. උසස් හෝ මධ්‍යම පන්තියේ ආණ්ඩුවේ රක්ෂාවක් හෝ වෙනයම් වෙළෙ¼දාමක් කරන කෙනකු සිංහල ජාතියේ එක ලේ පරම්පරාවෙන් පැවත එන පහත් කුලයේ යැයි කියා අඥාන මිනිසුන් විසින් වෙන් කරනු ලැබ ඒ සහෝදරයන්ගේ විනාශයට කටයුතු කරනු ලැබේ. එහෙත් ඒ උසස් කුලයේ කියා බොරු අහංකාර තැනැත්තේ විදේශීය දෙමළ මරක්කල ආදී සිංහල ජාතිය විනාශ කිරීමට පැමිණ සිටින ජාතීන්ට ආධාර කරයි.

කුලභේදය දඹදිව සහ සිංහල ජාතියේ විනාශයට ප්‍රධාන හේතුව වුණු බව ඇත්තකි. එසේම ලෝකය විසින් පිළිගනු ලබන ප්‍රකට රහසකි. ඒ එසේ නමුත් තවම අපේ ජන ප්‍රධානයන් කියන හණමිටිකාරයන්ට වත්, නායකවරුන්ය කියන බුඩ්ඪ පබ්බජිතයන්ටවත් තේරෙන බවක් නොපෙනේ. ඉංග්‍රීසීහු කුලය අතට ගත් පහත් කුලකාරයාත්, උසස් කුලකාරයාය කියා පුහු නම්බුවක් කරට ගෙන දඟලන ජාති ද්‍රෝහියාත් යන දෙදෙනා එකිනෙකා කොටවති. එක්තරා ඉංග්‍රීසිකාර මහතෙක් ආණ්ඩුවේ රක්ෂාවක් කරන උසස් කුලයේ කියා නිකරුණේ පුම්බන එක්තරා සිංහල බෞද්ධ මහතකුට ආමන්ත්‍රණය කොට 'උඹලාගේ ජාතික සංගමයේ ප්‍රධානයන් වැඩි දෙනකු පහත් කුල අය නිසා උන් සමඟ කටයුතු කිරීම උඹලාට නින්දා නොවේ' දැයි අසා තිබේ.

මේ වචන ඇසූ සිංහල හිඟන කුලවතාද ඉංග්‍රීසිකාරයාගේ ප්‍රයෝගය නමැති ඇමට අසු වී ජාතික සංගමය කෙරෙහි තමාගේ ඇති අවිශ්වාසය ප්‍රකාශ කර තිබේ.

ආණ්ඩුවේ මේ අධ්‍යාපන ක්‍රමය අද අපේ භික්ෂුන් වහන්සේගේ හිස්වලටද ආරූඪ වී තිබේ. මේ නිසාම අද අපේ භික්ෂුන් වහන්සේද මහජනයාගේ අප්‍රසාදයට සහ අගෞරවයට භාජන වී සිටිති. භික්ෂුන් වහන්සේද පරාර්ථභාවය මතක නැති කොට දමා ස්වාර්ථයම මුල් කරගෙන කටයුතු කරන්නට පටන ගෙන තිබේ. කුලභේදය නමැති පාසය ගිහියන්ටත් වඩා පැවිදි වුණු උතුමන් වහන්සේගේ හිස්වලට නැඟ තිබේ.

ලංකාවේ තුන් නිකායට අයත් භික්ෂුන් වහන්සේ 10101ක් දෙනකු ඇතත් උන්වහන්සේගේ සංඛ්‍යාවේ හැටියට රටටවත්, ජාතියටවත් උතුම් මෙහෙයක් උන්වහන්සේගෙන් සිදු වන බවක් නොපෙනේ.

අද ලෝකයේ කොයි ආගමේත් පූජක පක්ෂය ධනවතුන්ට එකතු වී අසරණ දුප්පතාට අපායත්, දිව්‍යලෝකයත් පෙන්වමින් තම තමන්ගේ ප්‍රයෝජනයට කටයුතු කර ගන්නා බව පෙනේ. එහෙත් මේ අඥානකම බෞද්ධ භික්ෂුන් වහන්සේටත් අනුව ගියහොත් සිංහලයන්ද 'ආගම් විරෝධී' සමිතියක් ආරම්භ කරනවාට සැක නැත්තේය.

අද මෙරට භික්ෂුන් වහන්සේටත්, ධනවතුනුත්, සිංහල ජාතියත්, බුද්ධාගමත්, අනෙක් ආගමුත් ආරක්ෂා කර ගැනීමට කල්පනා කරනු ලබන්නේ නම් විදේශිකයන්ගෙන්වත්, විදේශීය ආණ්ඩුවෙන්වත් යමක් බලාපොරොත්තු නොවී ආගම් භේද, නිකාය භේද, කුල භේද මතක නැති කොට දමා හුදෙක් සිංහලජාතියේත්, මාතෘ භූමියේත් නිදහසට සහ දියුණුවට සමඟියෙන් කටයුතු කිරීමට හිත්වලට ගත යුතුය.

තවද ගම්බද සාමාන්‍ය නුමුත් වෙළෙ¼දාම ගම්බද ජනයා අතට ගත යුතුයි. ගම්වාසී සිල්ලර වෙළෙන්දාට ගම්වාසීන් හැකි තරම් ආධාර කළ යුතුයි. ඉන්දියාවෙන් මුදල් සැපයීමට පැමිණ සිටින හම්බ, මරක්කල, දෙමළ ආදීන්ට නොරැවටිය යුතුයි. ගෙදරක් පාසා එළවළු කොටු, අල කොටු ආදිය වවා ගත යුතුයි. ආණ්ඩුවවත්, මන්ත්‍රි සභාවවත් අපට යහපතක් කරාවිය යන අන්ධ විශ්වාසය දුරු කළ යුතුයි.

ආණ්ඩුව අපට වුවමනා දේවල් අපේ ගෙදරවලට පැමිණ නොදෙන්නේය. අපට වුවමනා දේ ආණ්ඩුවෙන් බලෙන් ලබා ගත යුතුව තිබේ. එසේම ආණ්ඩුවෙන් ගැනීමට මන්ත්‍රණ සභාවට යන අපේ ජනප්‍රධානයන් ගැන පරීක්ෂාකරී විය යුතුයි. නිර්භීත, ත්‍යාගශීලී, නිහතමානී නම්බුනාමයක්, පෞද්ගලික ගෞරවයක් බලාපොරොත්තු නොවන මහතුන් කුලය ගැනවත්, ආගම ගැනවත්, ධනය ගැනවත් නොසලකා මන්ත්‍රණ සභාවට යැවිය යුතුයි. එසේ නැතිව අසවලා ධනවතාය, කුලවතාය, බුද්ධාගම්කාරයාය.

ක්‍රිස්තියානිකාරයාය කියා යමෙක් ජාති හිතෛෂී භාවයක් නැති, පරාර්ථකාමීභාවයක් නැති, තමා අදහන ආගම ගැනත් තමාගේ ආගමේ මිනිසුන් ගැනත් පමණක් කරනවාය කියන ආත්මාර්ථකාමීන් මන්ත්‍රණ සභාවට යැවීම මොන ආගමේ කෙනකු වුවත් රටට කරන විනාශයකි. මන්ත්‍රණ සභාව විහාරයක් හෝ පල්ලියක් හෝ නොව යුද්ධ භූමියක් බව මන්ත්‍රින් තෝරන්නන් කල්පනා කළ යුතුයි. එහි යන පුද්ගලයා ශක්තිවන්තයකු විය යුතුයි. එසේම රටවාසීන්ට යමක් ආණ්ඩුවෙන් ලබාදෙන්න පුළුවන් කෙනකු විය යුතුයි. එසේම මුළු ජාතියේම වැඩකාරයකු බව ඒ මන්ත්‍රණ සභාවට යන තැනැත්තා විසින්ද කල්පනා කළ යුතුයි.'

මෙසේ නොකොට යමෙක් මුදලට, කුලයට ආගමට සහ වෙනත් පෞද්ගලික ලාභ අපේක්ෂාවලට පුහු නූගත් මිනිසුන් මන්ත්‍රණ සභාවට යවන්නේ නම් මතු කාලයේ එවැනි මිනිහාගේ පාපයෙන් මුළු ජාතියටම දුක් විඳීමට සිදු වෙනවා ඇත.

මන්ත්‍රණ සභාවට යන ජන ප්‍රධානයා විසින්ද සැලකිය යුතු කාරණා රාශියක් තිබේ. ඔහුද මන්ත්‍රණ සභාව මඟින් රටේ නැතිවී ගෙන යන ශිල්ප කර්මාන්තවලට, ගොවි කර්මාන්තවලට වුවමනා ජලය ලබා ගැනීම, ගමක් පාසා රෙදි විවීමට ආණ්ඩුව ලවා පේෂ කර්මාන්තශාලා ඇති කරවීම, ලංකාවේ දැනට සාදා ගෙන යනු ලබන සුළු සුළු කර්මාන්ත ගැන සොයා බලා ඒ කර්මාන්ත දියුණු කරවීම, ඒවායේ සාදන භාණ්ඩ මුදල් දී ගැනීමට මහජනයා පෙලඹවීම ආදිය කළ යුතුයි. විදේශීය බඩුවලට වඩා ස්වදේශීය ද්‍රව්‍ය භාවිත කිරීම, සිංහල චාරිත්‍ර ගරු කිරීම, සිංහල චාරිත්‍ර අනුව ස්වකීය දූ දරුවන්ගේ ආවාහ විවාහයන් සිදු කරවීම, සිංහල පිළිවෙළට ඇඳුම් ඇඳ මහජනයා ඒ ආකාරයට ඇඳීමට පෙලඹවීමාදිය මහජනයා මන්ත්‍රින්ගෙන් බලාපොරොත්තු විය යුතුයි.

සිංහලයා ජාතියක් වීමට නම් ඉහත පේන දේවල් සම්බන්ධ ටිකක්වත් ගරු කරන ජාති හිතෛෂී පරාර්ථකාමී නිර්භීත මිනිසුන්ම මන්ත්‍රණ සභාවට යැවීමට සිතට ගත යුතුයි.
මෙසේ නොකළහොත් තව ටික කාලයකින් සිංහලයා පිරිහී විනාශ වී යනවා ඇත. කලක් සිංහලයා සියලු සම්පත්වලින් උසස්ව සිටියේ වී නමුත් අද සිංහලයා හිඟන්නෙකි. අද ලංකාවේ විදේශීය හෙට්ටියාට ණය නැති සිංහල ධනවත් කී දෙනෙක් ඇද්ද? කොළඹ ලංකාවේ අගනුවර නමුත් ධනවත් සිංහල වෙළෙන්දෝ එහි කී දෙනෙක් සිටිත්ද?

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon