පෝස්ටර් ගහන ඇන්.ඇම්

  👤  3213 readers have read this article !
2018-10-28

නානායක්කාර පතිරගේ මාර්ටින් පෙරේරා කීවොත් බොහෝදෙනා නොදනී. එහෙත් ඇන්.එම්. කී පමණින් රටම දනී. මේ ඡායාරූපයේ ඉන්නේ ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය. ඔහු පෝස්ටරයක් අලවන අතර පිරිසක් ඒ දෙස බලා සිටිති. ලංකාවේ වමේ ප්‍රථම දේශපාලන පක්ෂයේ නායකයා වූ ඇන්.ඇම්.ට පෝස්ටර් ගැසීම එතරම් අලුත් දෙයක් විය නොහැකිය.

වම්මු ලංකාවේ පමණක් නොව ලෝකයේම හොඳ පෝස්ටර්කාරයෝය. එහෙත් ලංකාවේ පෝස්ටර් කලාවේ දැවැන්ත විප්ලවයත් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ඔවුහු තාප්ප පිරෙන්නට අත් අකුරින් ලියූ අඩි 30×40 පෝස්ටර් මඟින් ජනතාවට සන්නිවේදනය කළේ මීට වසර 50කට පෙරය.

ලසසපය මුල් කාලේ අත් පත්‍රිකා බඳු පෝස්ටර් ගැසූ අතර සභාග ආණ්ඩුවලට එකතු වී ඇමැති ධුර ලැබී අතමිට සරුවූ කල තරමක් විශාල මුද්‍රිත පෝස්ටර් ප්‍රදර්ශනය කරන්නට විය. මෙහි ඇන්.ඇම්. අලවන්නේ කාටූන් සහිත මුද්‍රිත පෝස්ටරයකි.

එහි සඳහන් කරුණු කියවන්නට තරම් පැහැදිලිව නොපෙනේ. එහෙත් මම අත්කාචයක ආධාරයෙන් එය කියැවූ වෙමි. පෝස්ටරයේ ඉහළින්ම සඳහන්ව තිබෙන්නේ "පොලිස්පති තහනම් කළ පෝස්ටරය" යනුවෙනි. එසේ නම් ඇන්.ඇම්. මේ කරන්නේ වීර ක්‍රියාවකි. මන්ද පොලිසිය තහනම් කර තිබියදීත් ඇන්.ඇම්. මහ දවල් ප්‍රසිද්ධියේ පෝස්ටරය අලවයි. සමහර විට ඔහු පෝස්ටරය ගහන්නේ හිරේ විලංගුවේ වැටෙන්නට වුවත් බලාගෙන විය හැකිය. සත්තකින්ම රටකට අවශ්‍ය වෙන්නේ ජනතාවගේ පැත්තේ සිටින මෙවැනි එඩිතර නායකයන්ය.

එහෙත් මෙතැන පොඩි පරහක් තිබේ.1964 වාමාංශික එක්සත් පෙරමුණ යටතේත් 1970 සමඟි පෙරමුණ තුළත් අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමැතිවරයා වූයේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය. ඇන්.ඇම්. මුදල් ඇමැති වී එජාපයේ අගමැති ඩඩ්ලි දුන් නොමිලේ හාල් සේරුව කපන විට, වාමාංශික එක්සත් පෙරමුණේ ඉල්ලීම් 21 කුණු කූඩයට දමන විට ඊට එරෙහිව ජවිපෙ පෝස්ටර් ගැසූවේය. එදා සිරිමාගේ ආණ්ඩුව කළේ ජවිපෙ තරුණයන්අල්ලා පොලිස් කූඩුවේද නොදමා මරා ගංගාවලට විසි කිරීමයි. සමඟි පෙරමුණ තරුණයන් ඝාතනය කරන විට ඇන්.ඇම්. ඔවුන් සී.අයි.ඒ. කාරයන් යැයි හංවඩු ගැසුවේය.

සමඟි පෙරමුණ ආණ්ඩුවේ තුන්වැනි අවුරුද්ද සම්පූර්ණ වන විට 1973දී ඇන්.ඇම්. ලා කීවේ සමාජවාදයේ අරුණාලෝකය අෑතින් පෙනෙන බවය. එහෙත් 1975 වන විට අර්බුදය ඉහළ නඟින විට සමාජවාදී ගමනේ අම්බලම් නැතැයි ලසසපය කීවේය. අම්බලම් නැත්තේ මොකදැයි ප්‍රශ්න කරමින් සිරිමාගේ ආණ්ඩුව ඇන්.ඇම්.ලා ආණ්ඩුවෙන් එළියට දැම්මේය. 1976දී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද ආණ්ඩුවෙන් එළියට බැස්සේය. ඔවුන් සමඟි පෙරමුණු ආණ්ඩුවෙන් එළියේ සමාජවාදී සමඟි පෙරමුණ නමින් හවුලක් හදාගත්තේය.

ආචාර්ය ඇන්.ඇම්. මේ අලවන්නේ අන්න ඒ සමාජවාදී සමඟි පෙරමුණේ පෝස්ටරයකි. කොහොමත් ලංකාවේ වමේ පක්ෂ විපක්ෂයේ සිටින විට පොස්ටර් අලවන්නත් ආණ්ඩු පක්ෂයේ සිටින විට පෝස්ටර් අලවන්නන්ට තළන්නත් දක්ෂය. මෙහි ඇති පෝස්ටරයේ වම් කෙළවරේ ෆීලික්ස් ඩයස් ප්‍රමුඛ ආණ්ඩුවේ ඇමැතිවරු 'අපිත් දැන් සමාජවාදීන්' කියමින් බෙන්ස් රථයක ගමන් කරති. මැද අගමැතිනි සිරිමා "මේක තමයි මගේ සමාජවාදය" කියමින් පා පහරක් දෙන්නේ "වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයටය. දකුණු කෙළවර තීරුවේ "සමාජවාදී සමඟි පෙරමුණට" බැනරය යට ඇන්.ඇම්. ඉදිරියට ගමන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon