විප්ලවවාදී පක්‍ෂය ගොඩ නගන්න හොඳම වෙළාව මේක

  👤  3442 readers have read this article !
2018-10-28

මම කොළඹ සිට ගෙනා ටෙන්ට් රෙද්දට දිග පොලු දෙකක් දමා දෙදෙනකුට ඔසවාගෙන යාහැකි අපූරු ස්ටේචරයක් ආරි සකස් කර තිබිණි. එය කිසියම් හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගත හැකි වනු ඇත. විජේවීර එද්දී කැලයට රැගෙන පැමිණි පොත් සියල්ලම පාහේ ඔහු ඒ වනවිට කියවා හමාර කර තිබිණි. ඊළඟට එන කෙනෙක් අත එවිය යුතු පොත් කිහිපයක නම් විජේවීර මට ලියා දුන්නේය. ඉන් ඇතැම් ඒවා කොළඹ රුසියානු මධ්‍යස්ථානයෙන් මිලට ගතයුතු ඒවා වූ අතර තවත් සමහරක් කුමාරන් රත්නම් පාරේ මහජන පොත්හලින් ගතයුතු විය. ඊට අමතරව තවත් දැන්විය යුතු පණිවුඩ රාශියකි.

තංගල්ල මැදකැටියේ නිවෙසේ අම්මා සහ නැඟණිය සමඟ විජේවීරගේ බිරිය සහ දරුවන් දෙදෙනා ඒ දිනවල සිටියේය. ඔවුන් ගැන බලා කියා ගැනීම පැවැරී තිබුණේ විජේවීරගේ මල්ලී ආනන්දටය. දරුවන්ට අවශ්‍ය කිරිපිටි ආදිය සඳහා දීමට විජේවීර අත මුදලක් තිබුණේ නැත. ගෙදර සිදුවිය හැකි අඩුපාඩු ගැන ඔහු දැන සිටියේය.

විජේවීර ඔවුන් එහි ඇරලවීමෙන් පසු කොහි ගියා දැයි බිරිය දැන සිටියේ නැත. අම්මා හා නංගීද කිසිවක් නොදනී. කතරගම සිටින බව මල්ලී ආනන්ද දැන සිටියේය. එහෙත් ඉන්න ඉසව්ව ආනන්දද දැන සිටියේ නැත. රහස් පොලිසිය මේ වනවිට අවස්ථා ගණනාවක්ම තංගල්ලේ නිවෙසට පැමිණ සෝදිසි කොටගොස් තිබූ නමුත් විජේවීර ගිය අතක් පිළිබඳව හෝඩුවාවක් ලැබී තිබුණේ නැත. මා පිටව යෑමට මත්තෙන් විජේවීර මට මෙසේ පැවැසීය.

'මල්ලී දැන් ඔහේ යද්දී තංගල්ලෙන් බහින්න. සමරෙගෙ කඩේට ගිහින් කියන්න. ආනන්ද ගෙන්න ගෙන ගෙදරට අවශ්‍ය කිරිපිටි වගේ අත්‍යවශ්‍ය බඩු ටික දෙන්න. මම ඉක්මනින් වියදම ගැන පිළිවෙළක් යොදනවා කියන්න' විජේවීර එසේ කීමෙන් පසු වෙනදා මෙන්ම නැවතත් මෙසේ කීවේය.

'හරිනෙ මල්ලී ඔහේට තේරුණැයි. තේරුම් ගියාද මං කියාපු දේ. කොහොමද කියන්නෙ. හරිනෙ එහෙනම්' කියමින් එය නැවතත් මා ලවා කියවා ගත්තේය. එවර මා තුළ කතා කරගත නොහැකි තරම් සංවේගයක් උපන්නේය.

"මල්ලී දැන් කොළඹ ගිහින් මොකද කරන්නෙ"

විජේවීර ඇසුවේය.
"පියදාස සහෝදරයා හමුවෙලා විස්තර දන්වලා ගෙදර යනවා." මම කීවෙමි.

"ගෙදර යන එක නොවෙයි මම කීවෙ පක්ෂෙ වැඩ කරන්න ඕන. තේරුණැයි දැන් අපිත් නැති එකේ ඔහෙල දෙගුණයක් වැඩ කරන්න ඕන. එක අතකට පක්ෂෙ තහනම් කරලා නිසා ප්‍රචාරක වැඩ කරන්නෙ නැහැනෙ. ඒ වැඩවලට කාලය නාස්ති වෙන්නෙත් නෑ. අපට අධ්‍යාපන වැඩ, සංවිධාන වැඩ කරගෙන යන්න කාලය ඉතුරු වෙනවා. අපි ඒ කාලය උපරිමයෙන් යොදාගෙන පක්ෂය ගොඩනඟන්න ඕන. මර්දනය නිසා අනෙක් පක්ෂ වැටිල. අපි ඒක ප්‍රයෝජනයට අරන් ඉස්සරහට යන්න ඕන. විප්ලවවාදී පක්ෂයකට වේගයෙන් ගොඩනැඟෙන්න මේ වගෙ වාතාවරණයක් තමා වඩා ගැළපෙන්නෙ. සහෝදරය වෘත්තිය අංශෙ ජාතික කමිටුවට උපදෙස් දෙන්න මේ තත්ත්වය ආශීර්වාදයක් කරගෙන වේගෙන් වැඩ කරන්න. කම්කරු පන්තිය සංවිධානය කරන්න කියලා. හරිනෙ එහෙනම් කම්මැළිකමට එහෙම ඉන්නෙ නෑ. තේරුන් ගියැයි. තේරුණැයි ඔහෙට"

විජේවීර කීවේය.
මම හූමිටි තියමින් සිටියෙමි. ඔවුන් අතැර යෑමේ සංවේගය නිසා මා සිටියේකතා කරගත නොහැකි තත්ත්වයකය. උගුරේ ඊයම්බරු දෙකක් සිරවී තිබූ අතර ඇස තෙත්වන කඳුළු ඔවුන් දකීවි යැයි බියෙන් සඟවා ගන්නට වෑයම් කළෙමි.

කිසියම් අවස්ථාවක හමුදා කණ්ඩායමක් කැලය වටලා විජේවීර ඇතුළු සියල්ලන්ට වෙඩි තබනු ඇතැයි බියක් යටි සිතෙහි නැඟ ඒම දුකට හේතුවය. මම කැලේ ගැන හොඳින් දන්නා නෙත්තිකුමාරගෙන් සමුගන්නට යද්දී මෙසේ ඇසුවෙමි.

"නෙත්ති බය නැද්ද මෙහෙම ඉන්න. අවදානම් නැද්ද මේ ඉඳිල්ල. හමුදාවට ඔත්තුවක් ගිහින් කැලේ පීරුවොත්."

"ඒවා කියන්න බෑ ඉතින් නඟුලෙන් හාන කොට නඟුලෙ දැති අතරට අහුවෙන මුල් ගැලවෙන්නෙ නැහැනෙ. හමුදාව දාලා පීරුවත් දෙපැත්තෙන් යයි. අපි එහෙම තැන්වලනෙ ඉන්නෙ. ඔහෙලා බය වෙන්න එපා. මම කීයටවත් ලොක්කට අනතුරක් වෙන්න ඉඩ තියන්නෙ නැහැ. එයාතුයි ගමේල වුණත් දන්නවා අපි ගැන. අපිට ගෙදර පිළිකන්න වගේ මේ කැලේ හුරුයි. මෙතැනින් ගිහින් ඔකඳින් පානමින් මතුවෙන්නත් පුළුවන්. කිරින්ද පට්ටනංගල්ල පැත්තට ගිහින් බෝට්ටුවක ඉන්දියාවට යන්න වුණත් පුළුවන්. ගණන් ගන්න එපා සහෝදරයා" නෙත්ති සිනාසෙමින් කීවේය.

අපි රාලහාමි සහෝදරයා යැයි කියන ආරියසේන ඊශ්වරගේ හැම මොහොතකම සිනාවෙන් මුව සරසාගෙන සිටින ළෙන්ගතු චරිතයකි. ආරි නෙත්තිගේත් මගේත් කතාවට සවන් දී සිටියේය. "ඒක නොවෙයි මට බය උදේට ගෝනි අකුළන කොට දවස් දෙකක්ම පොළොංගු හිටියා. අපේ උණුසුමට යටට රිංගලා. ඔහේ කියන්න සුමිත්ලට වෙනින් වැඩ පිළිවෙළක් හදන්න කියලා. ඔහේ දන්නවනෙ විජේවීර සහෝදරයාගෙ හැටි. එයැයි කැමැති කට්ටිය එක්ක දිගටම කැලේ ඉන්න" ආරි කීවේය. ආරි අද ජීවතුන් අතර නැත. ඔහු 1989දී බදුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මරා දමා තිබිණි. කලක් පොලිස් නිලධාරියකු වශයෙන් සේවය කළ ඔහු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.පසුකාලයක පූර්ණකාලීන විප්ලවවාදියකු ලෙස පක්ෂයට එක්විය. සිනායන කතා කියන්නට රුසියකු වූ ඔහු කට්ටිය සමඟ තලේ වැටුණු විට නොයෙකුත් කතා කියන්නේය.

"මම මරදාන පොලිසියෙ වැඩ කරද්දී දවසක් මාත් එක්ක අනුරාධපුර පැත්තෙ පිටිසර ගමක හාදයෙක් ඩියුටි වැටුණා. අපි දෙන්න පෙට්රල් යද්දි එයා මගෙන් අහනව "මොකෝ මේ හැම තැනම නෝ පකින්, නෝ පකින් කියලා කුණු හරුප ගහල තියෙන්නෙ. එහෙම එකක් නැත්තම් බෝඩ් ගහන්න ඕනද" කියලා.

මට හිනාව කාල ඉන්න බැරි වුණා. මම කිව්වා ව්ධ ර්ථීඒඅම්ධ්ව්ට් කියලා ගහල තියෙන්නෙ වාහන පාර්ක් කරන්න එපා කියන එක කියලා. ඕක වෙලා තිබුණෙ 1960 ගණන්වල. ආරි නිතරම ඒ වගේ මතක්වෙන කතා කියයි. ඒ සමඟම විජේවීරත් තවත් එවැනිම කතාවක් කියයි. විජේවීරගේ අප දුටු සුවිශේෂ ජාන ලක්ෂණය වූයේ හුදෙකලාව සිටීමට ඔහු තුළ වූ අසීමිත අකැමැත්තය. ඇමේසන් වනාන්තරයේ වේවා පක්ෂයේ සහෝදරවරුන් සමඟ රංචු වැටී ප්‍රිය සමාගමයේ සිටීමට ඔහු මහත් කැමැත්තෙන් සිටියේය. කොළඹ ආමර් වීදියේ පක්ෂ කාර්යාලයේ සිටියදී වරක් ලයනල් බෝපගේ විජේවීරට විවේචනයක් ගෙනාවේ,

"එයා නිදාගන්නෙත් නෑ, අනෙක් අයට නිදාගන්න දෙන්නෙත් නෑ එළිවෙන ජාමෙ වෙනකන් කතාව" කියාය. ඒ චෝදනාවට මාවත් අසුවූයේ අපි දින පතාම විජේවීර සමඟ කාර්යාලයේදී කතාවට වැටුණු නිසාය. ඒ අනුව වනගත ජීවිතය නම් එවැනි ප්‍රිය සමාගමය සඳහා දෙවියන් දුන් තෑග්ගකි. පක්ෂය වටා බොහෝ පිරිස් එක් වන්නට විජේවීරගේ සරල මානුෂික ඇවතුම් පැවතුම්ද ඉවහල් වූ බව නොරහසකි.

පක්ෂයේ සහෝදරයකුගේ නිවෙසකට ගොඩවැදුණු ගමන් විජේවීර කෙළින්ම කඩා බිඳගෙන ගියේ කුස්සියටය.

"අම්මේ මොනවද උයලා තියෙන්නේ අසාගෙන මුළුතැන් ගෙටම යන ඔහු ළිප් ගල් තුන උඩ ඉදෙමින් තිබෙන වෑංජනය අඩි වළඳ උස්සා බලයි.

"කිරි කොස් මාළුවක් හැදුවා. තව ඉදිලත් නෑ. ඒ අම්මා විලියෙන් සිනාසෙයි. විජේවීර ඇය කිසිදිනෙක දැක නැත. එහෙත් එය ඔහුට කාරණයක් නොවේ.

"අම්මේ හොඳටම බඩගිනියි කිරිකොස් කාල තමයි යන්නෙ" විජේවීර කියයි.

"අනේ මහත්තයො එහෙම පුළුවනෑ කවදාවත් නැතිව අපේ ගෙට ගොඩවෙලා මම මේ කරවල බැදුමක් හදන්න හැදුවෙ පැය භාගයක් ඉන්නකො ඉවර කරලා දෙන්න. අම්මා පින්සෙණ්ඩු වෙයි.

විජේවීර ඒ වනවිටත් අටුවෙන් මැටි කෝප්පයක් ගෙන බත් බෙදාගෙන ළිප උඩ නටන කිරි කොස් මාළුවෙන් දුම් දමන හැඳි දෙකක්ද බෙදාගෙන හමාරය. ඔහු කෑම මැටි කෝප්පයත් රැගෙන සාලෙට විත් අසුන් ගන්නේ රටක් රාජ්‍යයක් ලද්දකු පරිද්දෙනි.

පක්ෂයේ සහෝදරයාගේ නැඟණියන් සහ අක්කලා කාමරවල උළුවස්ස අසල පොකුරු ගැසී සිනාසෙමින් බලා සිටිති.

"කෝ අම්ම. අම්මේ මොකෝ ඔහේ මේ කෙල්ලො රංචුවක් ගෙයි තියාගෙන කරන්නෙ. මෙයින් දෙතුන් දෙනෙක් පක්ෂෙට දෙන්නකො" සහෝදරියො දැන් ඉස්කෝලෙ යන්නෙත් නෑ වැඩකට යන්නෙත් නෑනෙ. අපරාදෙ කාලෙ නාස්ති වෙනවනෙ. අපි පක්ෂෙ වැඩ කරමුකො. විජේවීර කියයි.

"කෝ ඉතින් පක්ෂෙ වැඩට ගිය ඉලන්දාරිය දැන් ගෙදර එන්නෙත් නෑ. කාලෙකින් දැක්කෙත් නෑ. අයියා ගියාට නංගිල සතුටුත් නෑ" අම්මා චෝදනා මුඛයෙන් කියයි.

"අපිත් එහෙම තමයි අම්මේ. මාස ගාණකින් අපේ අම්මව දැකල නැහැ. අපි මේ පක්ෂෙ හදන්නෙ අම්මල හැම කෙනාම වෙනුවෙන් කවුරුත් සතුටින් ඉන්න කාටත් යහපතක් වෙන සමාජයක් හදන්නනෙ. විජේවීර කතා කරන දෙස නිවෙසේ සියල්ලන්ම බලා සිටිති. ඔවුන් සියල්ලන්ගේම මුහුණුවල ඇත්තේ ළෙන්ගතු ඉරියව්ය.

එදින දවල් කෑමෙන් පසු මම කතරගම වන රුප්පාවෙන් එළියට එන්නට පිටත් වීමි. මා සමඟ සමන් පියසිරි ප්‍රනාන්දුද කොළඹ යෑමට පැමිණියේය. පියසිරි ජ'පුර සරසවියේ ශිෂ්‍යයෙකි. පක්ෂය තහනම් කරන්නට පෙර කෙටි කලකට ඉහත මධ්‍යම කමිටුවට ඇතුළත් කරගත් කිහිපදෙනාගෙන් කෙනෙකි. අප දෙදෙනා නිතර හමුවී නැත.

ඔහු මුලින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකයකු විය. මට නම් නැවත එළිමහනට යන පාර පිළිබඳ කිසිම අදහසක් නැත. කැලේ කොයි පැත්තට යනවාදැයි හාංකවිසියක මතකයක් නැත. වන බූටෑවේ එළිමහන් තැනකට පැමිණි විට එතැනට ආවේ කොතැනින්ද යා යුත්තේ කොයි පැත්තටද යන්න මොහොතින් අමතක වේ. එසේ වූ විට කියන්නේ මංමුළා වෙලා කියාය. එවිට ඉදිරියට යන්නට යන්නට තව තවත් අවුලේ වැටේ.

"පාර හරිද ඔයාට මතකද?"

මම කිහිපවිටකම සමන් පියසිරිගෙන් ඇසුවෙමි. එහෙත් ඔහු එය එතරම් ගණනකට නොගත් බව පෙන්වමින් ගමන් කරයි. සමන් පියසිරි වැඩි කතාබහක් නැති අයෙකි.
"හේ වචන මසුරෙකි. බිනීමෙහි ලොබය" කියා ජී.බී. සේනානායක ලියුවේ සමන් පියසිරි ප්‍රනාන්දුවැනි චරිත ගැන විය යුතුය. සමන් පියසිරි ඒ වන විට පක්ෂයට සිටි ඉතාම විශ්වාසවන්ත සගයන්ගෙන් අයෙකි.

"අපි මෙහෙම ගිහින් වැටෙන්නේ බුත්තල සෙල්ල කතරගම පාරට. ඊට පස්සේ සෙල්ලට යන්න පුළුවන්. කොහොමත් සෙල්ල කතරගමට යන කොට රෑ වෙයි" සමන් පියසිරි කීවේය. අපි දැන් යමින් සිටින්නේ කොහේද? දින කිහිපයකට පෙර පැමිණියේ කොහෙන්ද යන කරුණු පිළිබඳ කිසිම අදහසක් මා තුළ නොවීය. කලින් දින රාත්‍රියේ වැසි වැටීම නිසා බොහෝ තන්හි දිය කදුරු සක්‍රිය වී තිබිණි. එපිට අෑතින් පෙනෙන්නේ බුත්තල පැත්තේ සිට විහිදෙන කඳු පන්තියයි. අප ගමන් කළේ මැණික් ගඟේ වම් ඉවුරට කිලෝමීටරයක් පමණ ඉහතින් නිසා අපිට ගංගාව තරණය කරන්නට සිදුවූයේ නැත. එහෙත් සරොම් ඉණ වටක් ඔසවා ගෙන එගොඩ විය යුතු ආරවල් කීපයක්ම අපේ ගමන් මාර්ගයේ තිබිණි. සෑම තැනම ඇසුණේ හැන්දෑවේ ලගින්නට තුරු මුදුන් කරා ඉගිළෙන මොනරුන්ගේ ඝෝෂාවයි. මොනර විලාපය වනාන්තරයේ සෑම පැත්තකින්ම ඇසිණි.

සැක සහිත කිසිවක් අතේ නොවූ නිසා හිතේ චකිතයක්ද තිබුණේ නැත. අප දෙදෙනා දුටු අයකුට නිසැක ලෙසම හේන් ගොවියන් ලෙස පෙනෙණු ඇත. මීමිනි මංකඩ අලි පාරකටත්, අලි පාර ට්‍රැක්ටර් පාරකටත් ට්‍රැක්ටර් පාර කරත්ත පාරකටත් කරත්ත පාර සාමාන්‍ය ගුරු පාරකටත් පරිවර්තනය වනතුරු අපි ගමන් කළෙමු. අලින් ගමන් කළ වංගෙඩි වළවල්වල මඩ වතුර පිරී තිබුණත් අලින් හමුවූයේ නැත. සෙල්ලට ළංවන විටත් තවත් යන එන හේන් ගොවියන් හමුවූහ. ඔවුන් සමඟ භජනයට නොවැටෙන ඉරියව් මුහුණේ රඳවා ගනිමින් අප දෙදෙනා කතරගම පාරට වැටුණේ සෙල්ල කතරගම කඩ මණ්ඩියට කිලෝමීටරයක් තරම් ආසන්නයෙනි. උඩ අමුණා ගත් සරොම් ගැට ලිහා පාත දැමුවේ සෙල්ල කතරගම ආසන්නයට පැමිණීමෙන් පසුවය. අප කඩමණ්ඩියට පැමිණෙන විට ගොම්මන් අඳුර පරිසරය ගිලගෙන තිබිණි.

කතරගම පෙරහර සමය නිමාවී තිබූ නිසා වන්දනා නඩ එතරම් දක්නට නොවීය. අපි සෙල්ල කතරගම දේවාලය අසලට ගියෙමු. ගඟ අයිනේ බොහෝ පිරිස් දිය නාමින් සිටිනු පෙනිණි. තන්හි තන්හි වූ විදුලි පහන්වල වූයේ මලානික එළියකි.

"නාන්න තියනවානම් හොඳයි එත් ඉතින් දියට අඳින ඒවා ගෙනාවේ නෑනේ" මම පියසිරිට කීවෙමි.

"අපි ඉවුර දිගේ උඩහට යමු" සමන් කීවේය. අපි තරමක් අෑතට ගිය විට තිත්ත කරුවල මිස වෙනත් යමක් නොවීය.

ඇඳ සිටි සරොම් උනා කුඹුක් දෙබලක තැබූ අපි උපන්ගෙයි ඇඳුමෙන් මැණික් නදියට බැස සිත් සේ නා ගතිමු. පැය ගණනක ගමන් වෙහෙස නිසා ඇතිවූ තෙහෙට්ටුව එතැනින් නිමා විය.
මැණික් ගංගාවේ සිහිල් ජලය අනෙක් බැතිමතුන්ට මෙන්ම අප දෙදෙනාටද මහත් ප්‍රබෝධයක් ගෙන දුන්නේය. අපි කුඹුක් දෙබලේ සැඟවූ ඇඳුම් ඇඳගෙන පිටත් වන විට යකෙක් කන්නට තරම් හිතෙන කුසගින්නක් දැනිණි. එහෙත් අප දෙදෙනා සතුවම තිබුණේ යන්තමින් කොළඹට යා ගන්නට සෑහෙන සුළු මුදලකි.
"අපි දේවාලේ පැත්තට යමුද" මම යෝජනා කළෙමි.
දේවාලයෙන් බඩ පුරා පලතුරු අනුභව කරන පුරුද්දක් මට තිබිණි. ඒ සෙල්ලේ දේවාලයෙන් නොව කතරගම දේවාලයෙනි. මම මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු කරද්දී නිතර කතරගම පැමිණෙන්නෙමි. එසේ පැමිණි අවස්ථාවල අපි නෙත්ති කුමාරලා සමඟ රාත්‍රි පූජාව පැවැත්වෙන වේලේ දේවාලයට යන්නෙමු. ඊට ඇතුළු වන්නේ ඉදිරිපස ‍ෙදාරටුවෙන් නොව පසුපස වූ කුඩා ‍ෙදාරටුවකිනි. කපු මහත්වරු නෙත්තිලා හඳුනන අතර ඇතැම් ගෝලයෝ ජවිපෙ හිතවතුන්ය. දෙවියන්ගේ ප්‍රතිමාව අයිනෙන් පූජා වට්ටිය රැගෙන ඇතුළට එන කපු මහතා පිවිසෙන්නේ අප සිටින ගබඩා කාමරයටය. එහිවූ මේසයක් මත පූජා වට්ටිය තැබූ විට තේවාව කරන ගෝලයන් කරන්නේ මුදල් ඉවතට ගෙන පළතුරුවලින් කොටසක් අසල ඇති විශාල පෙට්ටිවලට දමා පූජා වට්ටි එළියට යැවීමය. අප කරන්නේ ගබඩා කාමරයේ වාඩිවී ඇති තරම් පලතුරු අනුභව කිරීමය.
එහෙත් සෙල්ල කතරගම දේවාලයේ අපට එවැනි සම්බන්ධයක් නැත. තිබුණත් අපව හඳුනා ගන්නා නිසා මේ අවස්ථාවේ එහි යන්නේ නැත. අපි දේවාලය ආසන්නයේ සිටින විට භාර ඔප්පු කළ බැතිමතුන් කොතෙකුත් පූජා වට්ටි එළියට ගෙනැවිත් අසල වූ මල් ආසන මත තබති. අපි ඔවුන් සමඟ එකතුව කෙසෙල්, අඹ, ඇපල්, පැපොල්, පේර ආදී නොයෙක් පලතුරුවලින් කුස පුරවා ගතිමු. අනතුරුව කුඩා වෑන් රථයක නැඟී කතරගමට පැමිණ රාත්‍රි කොළඹ බසයේ වාඩි වුණේ සමන් කොළඹ යන්නටත් මම තිස්සමහාරාමයේ බසින්නටත්ය. සමන් බසයේ ඉදිරිපසත් මම පසුපස අසුනකත් වාඩි ගත්තේ ප්‍රශ්නයක් ඇති වුවහොත් දෙදෙනාගේ කිසිදු සම්බන්ධයක් නැති බව හැඟෙන්නටය. ඒ සමන් පියසිරි ප්‍රනාන්දු මට හමුවූ අවසන් වතාවය. එකම වරක් රාගම රේල් ගේට්ටුව අසලදී ඔහු බසයක ගමන් කරනු මම දුටුවෙමි. 1989 මැද හරියේදී අත්අඩංගුවට පත් ඔහුවද දරුණු වධයට ලක්කොට මරා දමා තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon