සුළඟේ පාවී රජ ගෙදරට ගිය සරුංගලය

  👤  3337 readers have read this article !
2018-10-28

වර්තමාන ජනාධිපති නිල නිවෙස හැඳින්වෙන්නේ 'ජනාධිපති මන්දිරය' නමිනි. එහෙත් එය ඉංග්‍රීසි යටත්විජිත යුගයේදී හැඳින්වූයේ 'රජ ගෙදර' නමිනි. එකල රජ ගෙදර ලංකාව පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවෙස විය.

ආණ්ඩුකාරවරුන්ගෙන් පසු ආග්‍රාණ්ඩුකාරවරුන්ගේත් අනතුරුව ජනාධිපතිවරුන්ගේත් නිල නිවෙස බවට පත්වුණු රජ ගෙදරට ඇත්තේ සියවස් දෙකක පමණ ඉතිහාසයකි. ජනපති මැඳුර පිහිටා ඇත්තේ අද ජනාධිපති මාවත ලෙස හඳුන්වන එදා ප්‍රධාන මාවතේ පිහිටි ගෝර්ඩන් උද්‍යානය තුළය. එම උයනේ අතීතය පෘතුගීසි යුගයටත් එහා දිව යයි.

කෝට්ටේ ධර්මපාල රජුගේ දේහය මිහිදන් කරන ලද්දේ මේ ගෝර්ඩන් උද්‍යානය තුළය. එදා පෘතුගීසීන්ගේ සුසාන භූමියක්ව තිබුණු මේ උයනේ ශා. ප්‍රැන්සිස් නමින් දෙව් මැඳුරක්ද ඉදිකර තිබිණි. නමුත් එහි නටබුන් පවා අද දක්නට නැත්තේ එය 1813දී කඩා බිඳ දමා ඇති හෙයිනි. ජනාධිපති මැඳුර ඉදිකර ඇත්තේ මේ අක්කර හතරක් වූ උද්‍යානයේ පසෙකය. මෙය ගෝර්ඩන් උයන ලෙස හඳුන්වා ඇත්තේ එංගලන්තයේ වික්ටෝරියා මහ රැජනගේ ජයන්ති උත්සවයෙන් පසුවය.

මීට සියවස් එකහමාරකට පමණ පෙර කොළඹ කොටුව ප්‍රදේශයේ වැඩි වශයෙන් නිවෙස් තනා ජීවත්ව සිට ඇත්තේ ලන්සි ජනතාවය.

ආණ්ඩුකාර ලුතිනන් ජනරාල් කොලින් කැම්බල් මේ රජ ගෙදරට පැමිණ ඇත්තේ 1841 අප්‍රේල් 15 වැනිදාය. ඔහු ඉංග්‍රීසි යටත් විජිත සමයේ ලංකාවේ 8 වැනි ආණ්ඩුකාරයාය. එකල කොළඹ විසූ ධනවත් ගැටවර ළමයින් කිහිප දෙනකු එකතු වී චෛත්‍ය පාර යනුවෙන් හඳුන්වන මුහුදට යාබද ස්ථානයකට වී සරුංගල් යවන්නට පුරුදුව සිටියේය.

මේ ගැටවරයන් අතර පසුකලෙක ලංකාව පුරා ප්‍රකට වූ උගත් පුරවැසියන් කිහිප දෙනකුද වූහ. පසු කලෙක රාජ නීතිඥයකු වූ ලුවී නෙල් ඉන් එක් අයෙකි. ප්‍රකට නීතිඥයකු වූ ජේ.බී. සීබල් ඒ අතරින් තවත් කෙනෙකි. මෙරට වසර 78ක් තිස්සේ නොකඩවා ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ නිල ලත් මන්ත්‍රිවරයකු වූ චාර්ල්ස් ලැම්බට් පර්ඩිනැන්ඩස්ද එදා එලෙස කොළඹ කොටුවේ සරුංගල් යැවූ ගැටවරයන් පිරිස අතර සිටියේය.

මේ අතරින් ජේ.බී. සීබල්ගේ සරුංගලය අන් අයගේ සරුංගල්වලට වඩා කැපී පෙනෙන්නක් විය. එය අන් සරුංගල්වලට වඩා විශාල එකක් මෙන්ම වෛවර්ණ කොළ අලවා සුන්දර කර තිබීම විශේෂත්වයක් විය. එහෙත් දිනක් ඔහුගේ විශාල සරුංගලය තද සුළඟට හසු වී කඩාගෙන ගියේය.

එය කඩා වැටෙන තැනදී අල්ලා ගන්නා අදහසින් ඒ පසුපස සීබල් ඇතුළු කොලු රංචුවද දිව ගියහ. අවාසනාවකට මෙන් කඩාගෙන ගිය සරුංගලය වැටුණේ රජ ගෙදර ගෝර්ඩන් උයනේ තිබූ විශාල ගසක් මතටය.

බියට පත් වූ කොලු රංචුව බලාපොරොත්තු කඩවුණු දෑසින් සිය නිවෙස් බලා ගියහ. ඒ රජ ගෙදර වටා සිටි ආරක්ෂක භටයන්ට හසුවීමෙන් ඔවුන්ට ලැබෙන දඬුවම් ගැන සිතමිනි. මෙනිසා දින කිහිපයක්ම කොලු රංචුව සරුංගල් යැවීම සඳහා කොටුවට ගියේ නැත. රජ ගෙදර ගහක රැඳුණු සීබල්ගේ සරුංගලය ඒ ගස මතම සුළඟට වැනෙමින් තිබිණි. එය අයිති ගැටවර සීබල්ට නින්ද නොගියේය. මහත් වෙහෙසක් දරා හැදූ සරුංගලය දෑසට පෙනි පෙනී ලබා ගන්නට නොහැකිවීම ඔහුගේ සිතට ගෙන දුන්නේ මහත් දුකකි.

ඔහු දින ගණනාවක් තිස්සේම එය ලබා ගැනීමට ක්‍රමයක් කල්පනා කළේය. අවසානයේ ඔහුට අදහසක් පහළ විය. ඒ ඉතා බැගෑපත්ව ආණ්ඩුකාරතුමාට ලිපියක් ලියා යැවීමය. එහෙත් ඊටද බියපත් වූ හෙතෙම අවසානයේ එය රජ ගෙදර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වෙත යවන්නට අදහස් කළේය.

සීබල්ගේ මාමා කෙනකුගේ සාප්පුවක් පිහිටා තිබුණේ කොළඹ රජ වීදියේ අංක 5 දරන ස්ථානයේය. එම සාප්පුවට රජ ගෙදර නිලධාරීන් යම් යම් දේ ලබා ගැනීමට පැමිණෙන බව දැක ඇති නිසා සීබල් කළේ එහි ලිපිනය යොදා ලිපියක් ලිවීමය. ඔහු ලියූ ලිපියේ පරිවර්තනය මෙසේය.
උතුම් වූ ආණ්ඩුකාරතුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි කපිතාන්තුමා වෙතටයි.

මහතාණෙනි,
මාගේ සරුංගලය සුළඟට කඩාගෙන විත් රජ ගෙදර පෝටිකෝව අසල ගසක රැඳී තිබේ. එබැවින් මට එය ලබා ගැනීමට අපහසුය. ආණ්ඩුකාර උතුමාණන්ට මේ බව දන්වා කරුණාකර මාගේ සරුංගලය ලබා දීමට කටයුතු කළහොත් අතිශයින් කෘතඥ වෙමි.

මෙයට
යටහත් විශ්වාසී
ජේ.බී. සීබල්
(එම සරුංගලය මාගේ මාමාගේ නිවෙස වන රජ වීදියේ අංක 5 ස්ථානයට ලැබෙන්නට සලස්වන මෙන්ද ඉල්ලමි.)

ඔහු ලිපිය යවා දින දෙක තුනකට පසු කොළඹ රජ ගෙදර සිට ආරක්ෂක භටයෙක් අංක 5 ස්ථානයට පැමිණ අවුල් වී ගිය නූල් බෝලයක්ද සමඟ ඔහුගේ සරුංගලය රැගෙන විත් දී තිබිණි. ඒ සමඟ ලිපියක්ද තිබුණු අතර එහි මෙසේ සඳහන් විය.

ජේ.බී. සීබල්,
ඔබගේ ලිපිය ලැබිණි. ආණ්ඩුකාර උතුමාණෝද ඔබේ ලිපිය කියවා බලා සතුටු වී ඔබේ සරුංගලය ලබා දීමට නියෝග කළ බැවින් එය මේ සමඟ ලැබෙන්නට සලස්වමි. එහෙත් මින් ඉදිරියට ඔබ සරුංගල් යවන විට එය මනා හැසිරීමකින් යුතුව ගමන් කරවන ලෙසද, එය රජ ගෙදර දෙසට එවීමෙන් වළකිනු ඇතැයිද උතුමාණන්ගේ බලාපොරොත්තුවයි.

මෙයට,
ප්‍රධාන ආරක්ෂක නිලධාරි.
රජ ගෙදරට යැවුණු සරුංගලය යළි ලැබුණු පසු සීබල්ගේ පියා එය යළි ලබාදීම පිළිබඳව ස්තුති කරමින් පිළිතුරු ලිපියක් රජ ගෙදරට යවා තිබේ.

එදා කොළඹ කොටුවේ සරුංගලය යැවූ අන් ගැටවරයන් මෙන්ම රජ ගෙදරට යැවුණු සරුංගලය ගෙන්වා ගැනීමට සමත් වූ ජේ.බී. සීබල්ද ඉන් වසර කිහිපයකට පසු ප්‍රකට නීතිඥවරයකු වූ බව ආර්.එල්. බේ‍රා්හියර් ලියූ පැරැණි ලිපියක සඳහන් වෙයි.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon