ඉන්දියානු සිපොයි හමුදාවේ කැරැල්ල

  👤  2906 readers have read this article !
2018-11-04

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු යටත් විජිත නතුකර ගැනීමෙන් අනතුරුව, සිය හමුදා තරකර ගැනීමට එම රටවල වැසියන්ද සේනාංකවලට බඳවා ගත්හ. ඉන්දියාවේදී මෙම හමුදා සේනාංක විවිධ ආගමික, ජාතික නියෝජනයක් සහිත විය. ඔවුහු තම සාම්ප්‍රදායික ආගමික සංකල්පවලට මහත් සේ ගරු කළහ. ඉන්දීය නිදහස් අරගලවලට මුල්වූයේද මෙවැනි ජාතික, ආගමික බැඳීම් මත ගොඩනැඟුණු භටයන්ගෙන් සමන්විත 'සිපොයි' වරුන්ගේ හමුදා කැරැල්ලකි. මෙය 1857 වර්ෂයේ ජනවාරි මස ඇරඹිණි.

ඉන්දීය මුස්ලිම් හා හින්දුවරුන්ගෙන් සැදුම්ලත් මෙම හමුදා ඛණ්ඩයට නිකුත් කළ රයිෆල් විශේෂයක් සඳහා පාවිච්චි කරන උණ්ඩවල ආවරණය තම දත්වලින් ගලවා ඉවත්කර රයිෆලයට යෙදීමට නියම කර තිබිණි. එම කොපු කටින් ගලවා ඉවත් කිරීම 'සිපොයි' භටයෝ ප්‍රතික්‍ෂේප කළහ. එම උණ්ඩ සඳහා යොදා ඇති ආවරණය හරක් හා උෟරු තෙල් මිශ්‍රණයකින් නිපදවා තිබුණු බව ප්‍රචාරය වී තිබීම ඊට හේතුවයි. හරක් තෙල් හින්දුන්ටද, උෟරු තෙල් මුස්ලිම්වරුන්ටද අකැප බව ඔවුන්ගේ විශ්වාසයයි.

බි්‍රතාන්‍ය පාලකයන් සිය ජාතික හා ආගමික සම්ප්‍රදායන්ට පටහැණිව ක්‍රියාකර ඇතැයි 'සිපොයි' භටයන්ගේ අදහස විය. මෙයින් උරණ වූ භටයෝ එම උණ්ඩ පාවිච්චි කිරීම දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කළහ. දී ඇති උපදෙස් අනුව එම උණ්ඩම පාවිච්චි කරන ලෙස අණ කළ බි්‍රතාන්‍ය හමුදා නිලධාරීන්ට එරෙහිව 'සිපොයි'වරු නැඟී සිටියහ. 'බැරැක්පූර්' හමුදා කඳවුරේ ඇතිවූ කලහකාරී අවස්ථාවකදී එක් 'සිපොයි' භටයෙක් බි්‍රතාන්‍ය හමුදා නිලධාරීන් දෙදෙනකු මරා දැමුවේය. එයට දඬුවම් වශයෙන් එම හමුදා සෙබළා එල්ලා මරා දැමිණි. මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟම කැරලිකාරිත්වය තවත් කඳවුරු ගණනාවක් පුරා පැතිරිණි. මීරුත්, දිල්ලි, ජාන්සි හමුදා කඳවුරුවලදී කැරලි හටගත්තේය.

'මීරුත්' ප්‍රදේශයේ බැරැක්කයක මෙම උණ්ඩ පාවිච්චි කිරීම ප්‍රතික්‍ෂේප කළ 'සිපොයි' භටයන් පිරිසක් හමුදාවෙන් නෙරපා දමන ලදී. ප්‍රසිද්ධියේ හමුදා නිල ඇඳුම් ඉවත්කර අවමන් කිරීම නිසා උරණ වූ 'සිපොයි' භටයෝ මහ ජනතාවද සමඟ දිල්ලිය දක්වා ගමන් ගත්හ. දිල්ලි නගරයේදී බි්‍රතාන්‍ය හමුදා භටයන් මරා දමමින් නගරය කැරලිකරුවන් විසින් යටත් කරගන්නා ලදී. තත්ත්වය කොතරම් බැරෑරුම් වූයේද යත් බි්‍රතාන්‍ය රජයට පක්‍ෂපාතී ශීක් හා පන්ජාබ් සේනාංක කැඳවා කැරලිකාරිත්වය මැඬ පැවැත්වීමට රජයට සිදුවිය. දිල්ලි නගරය නැවත බි්‍රතාන්‍ය පාලනයට නතුකිරීම සඳහා මාස හතරක පමණ කාලයක් ගතවූ බව පැවැසේ.

කැරලිකාරී තත්ත්වය තවදුරටත් කාන්පූර්, ලක්නව් දක්වා පැතිරී ගියේය. බි්‍රතාන්‍ය පාලනයට බරපතළ අර්බුදයකට මුහුණදීමට සිදුවී තිබිණි. සාමාන්‍ය ජනතාවද කැරලිකාරී හමුදා සමඟ එක්ව සටන් කළහ. මෙම කැරලිකාරී රටාවේ විශේෂිතම අවස්ථා මධ්‍ය ඉන්දියානු සටන්වලදී ප්‍රකට විණි. එහි නායකත්වය දැරුවේ 'රාණි ලක්‍ෂ්මී බායි' හා 'කන්තියා තෝපේ'ය. 'ජාන්සිහි' රාණි ලක්‍ෂ්මි බායි පුරුෂයකුගේ වෙස් ගෙන සටනට නායකත්වය දුන්නාය. මේ සටන ජය ගැනීමට සර් 'හියු රෝස්' සෙනෙවියා යටතේ විශාල බි්‍රතාන්‍ය සේනාංකයක සහාය ලබාගැනීමට පාලකයන්ට සිදුවිය. වීරවරියක ලෙස සටන් කළ 'රාණි ලක්‍ෂ්මී බායි' අවසානයේ සටන්බිම ඇද වැටී මිය ගියාය. පසුකලකදී අත්අඩංගුවට පත් 'තන්තියා තෝරපේ' නමැති කැරලි නායකයා බි්‍රතාන්‍ය හමුදා විසින් මරා දමන ලදී.

දිගින් දිගටම ඇදී ගියද මේ අරගලය පරාජය වීමට කරුණු කාරණා රාශියක් බලපෑවේය. සටන තුළ නිශ්චිත අරමුණක් නොවීමද, සමස්ත ජනතාවගේ පිළිගත් කැරලිකාරිත්වයන් මිස පැතිර ගිය ඒකාබද්ධතාවක් නොතිබීමද ඒ අතර ප්‍රමුඛය. කෙසේ වුවද මෙය ඉන්දීය නිදහස් සටනේ ආරම්භක මඟ සලකුණ සනිටුහන් කළේය.

ප්‍රියන්ත සිල්වා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon