හිට්ලර්ගේ කෘෘර බව දිනපොතක සටහන් කළ දැරිය අෑන් ෆ්රෑන්ක් යළි උපදී

  👤  3424 readers have read this article !
2018-11-04

අෑන් ෆ්රෑන්ක් පිළිබඳව නොදන්නා කෙනකු නොමැති තරම්ය. 'යුවතියකගේ දිනපොත' නම් වූ ඇගේ දිනපොත ලොව පුරා අලෙවි වාර්තා තැබූ කෘතියකි. වර්ෂ 1929දී ජර්මනියේදී උපත ලද අෑන් වයස අවුරුදු 15දී මරණයට පත් විය. යුදෙව් ජාතිකයන් වූ අෑන්ගේ පවුල නාසින්ගෙන් බේරීම උදෙසා වසර දෙකක් රහසිගත ජීවිතයක් ගත කළහ. මේ කාලය තුළ ඇගේ 13 වැනි උපන් දිනයට පියාගෙන් ඇයට දිනපොතක් තෑගි වශයෙන් ලැබිණි.

ඇය තමා මුහුණ දුන් අමිහිරි අත්දැකීම් එම දිනපොතේ සටහන් කිරීම පුරුද්දක් ලෙස කළාය. නාසින්ගෙන් බේරී වසර දෙකක පමණ කාලයක් රහසිගතව ගත කළද ඔවුන්ගේ සේවකයකු විසින් කරන ලද පාවාදීමක් හේතුවෙන් ඔවුන් සියල්ලන්ම නාසි හමුදාව විසින් අත්අඩංගුවට ගෙන කඳවුරු කරා ගෙන ගියහ. එම කඳවුරේ වසරක පමණ කාලයක් ගත කර අවසානයේ ඇය 1945 වර්ෂයේදී මිය ගියාය. ඔවුන්ගේ පවුලේ ඉතිරි වූ එකම සාමාජිකයා අෑන්ගේ පියා පමණි. කෙසේ හෝ ඔහුගේ අතට අෑන්ගේ දිනපොත ලැබිණි. ඔහු එය ලෝකයාට දැන ගැනීම සඳහා මුද්‍රණය කරවීය. එය ලොව වැඩිම අලෙවියක් සහිත පොතක් බවට පත් විය.

බාබේ‍රා් කාලන් වර්ෂ 1954දී ස්වීඩනයේදී උපත ලැබීය. කුඩා කල සිටම ඇය තමාට වෙනත් ජීවිතයක් තිබූ බවට සිහින දකින්නට විය. ඇය බොහෝ විට නින්දෙන් බිය වී ඇහැරුණාය. ඇයට වයස අවුරුදු 2දී පමණ අපූරු සිදුවීමක් සිදු විය. ඇය සිය මවුපියන්ට ඇගේ නම කාලන් නොව අෑන් බව පවසා සිටියාය. එසේම ඇය මවුපියන්ට පවසා සිටියේ ඔවුන් ඇගේ නියම මවුපියන් නොවන බවයි. ඇය හැමදාම බලා සිටියේ ඇගේ නියම පියා පැමිණ ඇය කැඳවාගෙන යන තුරුය. මේ කාලය වන විට අෑන් ෆ්රෑන්ක්ගේ දිනපොත ස්වීඩන් භාෂාවට හරවා නොතිබුණ අතර වයස අවුරුදු 2ක දරුවකුට එය තේරුම් ගැනීමටද කිසිදු හැකියාවක් නොවීය. කෙසේ නමුත් කාලන්ගේ මවුපියන් ඇයව මනෝ වෛද්‍යවරයකුට පෙන්වන ලදී. එහිදී බියට පත් වූ ඇය වෛද්‍යවරයාට අෑන් පිළිබඳ කිසිවක් නොකීවාය.

වෛද්‍යවරයා මවුපියන්ට පැවැසුවේ ඇය සාමාන්‍ය දරුවකු බවයි. වයසින් වැඩෙත්ම අන් අය සමඟ වැඩිදුර කතාබහ අත්හළ කාලන් තමාගේ අතීත මතකයන් සටහන් කිරීමට පටන් ගත්තාය. මේ අතර ඇය තමාගේම ග්‍රන්ථ කිහිපයක්ද රචනා කළාය. අවුරුදු 12දී ඇය ඇගේ පළමු ග්‍රන්ථය මුද්‍රණය කොට පළ කළාය. එය 'පෘථිවිය මත මිනිසා' නම් විය. මේ අතර ඇය පුනරුප්පත්තිය පිළිබඳ ගවේෂණය කිරීමටද පෙලඹුණාය. මේ කාලය වන විට අෑන් ෆ්රෑන්ක්ගේ කෘතිය ලොව පුරා ජනප්‍රිය වෙමින් පැවැතුණි. මේ මඟින් කුඩා කල තමාගේ මනසේ හොල්මන් කළ අෑන් ෆ්රෑන්ක් යනු සත්‍ය වශයෙන්ම මිහිමත ජීවත් වූ චරිතයක් බව ඇය වටහා ගත්තාය. එසේම අෑන් ෆ්රෑන්ක් මුහුණ දුන් කටුක සිද්ධීන් හා කුඩා කල ඇයට පෙනුණ නපුරු සිහින අතර සමානතාව ඇය දුටුවාය.

කාලන්ට වයස අවුරුදු 10දී පමණ ඇගේ මවුපියන් ඇයව අෑන් ෆ්රෑන්ක් සැඟවී සිටි නිවෙස වෙත ගෙන යෑමට තීරණය කළහ. එහිදී අදාළ නගරයට පැමිණි පසු නිවෙස වෙත යෑමට කැබ් රියක් යොදා ගැනීමට මවුපියන් අදහස් කළත් කාලන් පවසන්නේ එය අවශ්‍ය නොවන බවයි. තමාට නිවෙස වෙත යෑමට මඟ පෙන්විය හැකි බව පවසන කාලන් ඉතා හුරුපුරුදු ලෙස නගරයේ වීථි ඔස්සේ ගොස් නිවැරැදිවම නිවෙස පිහිටන තැනට ළඟා වූවාය. එහිදී ඇය පවසන්නේ නිවෙස ඉදිරිපස ඇති පඩිපෙළ වෙනස් කර ඇති බවයි. නිවෙස තුළට ගිය කාලන්ට කුඩා කල ඇය දුටු සිහින මතක් විය.

ඒ සිහින දැන් අෑ ඉදිරියේ සැබෑවටම මැවී ඇත්තාක් මෙනි. ඇයට හුස්ම ගැනීමේ අපහසුවක්ද පපුව හිරවෙන ගතියක්ද දැනෙති. අෑන් ෆ්රෑන්ක්ගේ කාමරයට ගිය ඇය එතැනම ගල් ගැසිණි. ඇඟ සීතල විය. බියෙන් දෑත් දෙපස වෙව්ලන්නට විය. ඇගේ මව ඇය අසනීපයෙන් යැයි සිතා පිටතට කැඳවාගෙන යෑමට උත්සාහ කළද ඇය එය ප්‍රතික්ෂේප කළාය. කාමරයේ එල්ලා තිබූ පින්තූර එහි නොමැති බව දුටු ඇය ඒ ගැන විමසීමේදී සේවකයන් පැවැසුවේ ඒවා වෙනත් තැනක සුරක්ෂිතව තැන්පත් කර ඇති බවයි.

මේ ගමන කාලන්ගේ ජීවිතයේ නොමැකෙන අත්දැකීමක් බවට පත්ව ඇත. වයසින් මුහුකුරා ගිය පසු කාලන්ට අෑන් ෆ්රෑන්ක්ගේ ඥාති සොහොයුරකු මුණ ගැසීමේ අවස්ථාවක් ලැබේ. බඩී එළියස් නම් ඔහු වෘත්තීයමය නළුවෙකි. එසේම අෑන් ෆ්රෑන්ක්ගේ දැනට ජීවතුන් අතර සිටින එකම ඥාතියාද ඔහුය. මේ හමුව ඉතා සංවේදී වූ අතර ඔවුන් දෙදෙනා බොහෝ දේ කතාබහ කළහ. අවසානයේ මීට ඉහතදී පුනරුප්පත්තිය පිළිනොගත් එළියස් කාලන් යනු අෑන් ෆ්රෑන්ක්ම බව කියා සිටියේය. පුනරුත්පත්තිය විශ්වාස නොකරන පරිසරයක දිගහැරුණු කාලන්ගේ මෙම කතා පුවත පිළිබඳ නිසි ගවේෂණයක් සිදු වූවා නම් මේ පිළිතුරු තවත් බොහෝ තොරතුරු ලෝකයා හමුවට ඒමට ඉඩ තිබිණි.

එල්. ජයසේකර­

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon