නීලගිරි සෑය අවට අමුතු අබිරහස් කලාපයක්

  👤  3214 readers have read this article !
2018-11-04

ලාහුගල මහ වනය මැදින් හමුවූ නීලගිරි සෑයේ කෑණීම් සිදුකිරීමත්, ඉන් පසු ගවේෂණ තොරතුරු මතුවීමත් සමඟම මෙහි සැබෑ ඉතිහාසයේ සැඟවුණු රහස් සොයා යෑමේ උනන්දුව වැඩි වී ඇත. එය ඒ තරමටම කුහුල දනවන දෙයකි.

"නීලගිරිය හැදුවේ කවුද? ඒ කොයි කාලයේද කියලා හරිහැටි තොරතුරක් නෑ. එහෙම තොරතුරක ලකුණක්වත් නෑ. ඒත් මේ නිර්මාණය හුදකලාව මෙහෙම ඉදිවෙන්න බෑ. මේකෙ මොකක්දෝ අබිරහසක් තියෙනවා."


මේ පිළිබඳව වෙහෙසුණු බොහෝ පර්යේෂකයන්ට හැඟුණු, දැනුණු දෙයකි එය. එනිසාම අප මේ ගැන මඳක් විමසා බැලීම වටින්නේය. මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ අදහසට අනුව නීලගිරි සෑය හුදකලා චෛත්‍යයක් නොව අනුරාධපුර මහමෙවුනා උයන වැනි වනෝද්‍යානයක පිහිටි එක් චෛත්‍යයකි. සෙසු තොරතුරු එන්නේ මුඛ පරම්පරා ගතවය. ඒ අනුව මෙම චෛත්‍යය ක්‍රිස්තුපූර්ව යුගයට අයත් වෙයි. අක්කර 300ක පමණ ප්‍රදේශයක පැතිරී ඇති බැව් කියැවේ. මෙම තොරතුරුවලට අනුව ඉතිහාසයෙන් වසන්වුණු මහා පුවතක් තිබුණු, බෞද්ධාගමික පසුබිමකින් තිබුණු මෙම ප්‍රදේශයේ ජන ජීවිතයට සිදුවූයේ කුමක්ද යන්න අබිරහසකි.

නීලගිරියත් ඒ අවට ප්‍රදේශයත් එකම ශක්ති කලාපයක් බවට අදහස් කළ කිහිපදෙනකුගේම තොරතුරු විස්මය දනවන්නේය. පෘතුගීසි සමයේ ලංකාවට පැමිණි ප්‍රැන්සිස්කෝ නිගරාඕ පියතුමා මෙරට සැඟවුණු ඉතිහාසය සොයාගිය කෙනෙකි. ඒ අනුව පියතුමාගේ විශ්වාසය වූයේ ලංකාවේ අග්නි දිග කලාපය මෙරට ශක්ති කලාපය ලෙසටය. ඒ බව ප්‍රැන්සිස්කෝ නිගරාඕ පියතුමාට මෙහි විසූ පැරැණි මිනිසුන් කියූ බවත් සඳහන් වේ. මාතර මහ දියාපතිව විසූ ජෝන් ඩොයිලිද මේ ඔස්සේ තොරතුරු හඹා ගිය බවත් ඒ අනුව ඔත්තු සෙවූ බවත් කියැවේ.

ජෝන් ඩොයිලිලා තමන්ගේ අධිරාජ්‍යයට තර්ජනයක් විය හැකි මිනිසුන් හා ඔවුන්ගේ ඓතිහාසික පසුබිම වළලා දැමූ බවට සාක්ෂි බොහෝය. ඊට හේතුව වූයේ මොවුහු විද්‍යාත්මකවද සිතා බලා ශක්ති කලාපයක මිනිසුන්ගේ වර්ධනයත්, නැඟී සිටීමත් පිළිබඳව නිරතුරු විමසිල්ලෙන් පසුවූහ. එසේ නම් මේ කියන ශක්ති කලාපය තුළින් මතුවුණු බලවේග මොනවද? ජන නායකන් කවුරුන්ද?

ඒ අනුව විමසිමේදී 1818 කැරැල්ල ඇතිවී තිබෙන්නේ මේ කියන ශක්ති කලාප තුළය. එය ඉංගී්‍රසීන්ට විරුද්ධව කතරගම දේවාල පරිශ්‍රය ආශ්‍රය කර ගනිමින් වෙල්ලස්ස පුරා පැතිරී ගොස් ඇත. මේ තුළ රැඳුණු හෙළයන්ගේ වීරත්වයත්, ජන්මයෙන් ලද ආභාෂයත්, ජාන ගතව නැඟී සිටීමට ලබා දුන් ශක්තියත් සුවිශේෂ බැව් කියැවේ. ඊට එහා අතීතයට පියමනිද්දී මෙම ශක්ති කලාපය තුළින් මතුවූ රජවරුන්ට ඊට ඇවැසි ශක්තිය සලසා දී තිබෙන්නේ නීලගිරියද ඇතුළත් ශක්ති කලාපයය. ඒ අනුව දුටුගැමුණු රජුතුමාට එළාර වනසා හෙළයේ ආධිපත්‍ය රට පුරාම පතුරුවන්නත්, පළමුවැනි විජයබාහු රජුටත්, මහා පරාක්‍රමබාහු රජුටත් ශක්තිය බලය ලබාදී තිබෙන්නේද මෙම ශක්ති කලාපය තුළින් මතුවීම නිසාවෙනි.

ජෝන් ඩොයිලිගේ විශ්වාසයට අනුව මැණික් ගඟත් කුඹුක්කන් ඔයත් අතර කලාපය ශක්ති කලාපයක් බැව් සිතා සිට ඇත. එය තහවුරු කරන්නට හේතුවූ තවත් සාක්ෂියක් වන්නේ 1767 ඇඳි ඕලන්ද සිතියමය. ඒ නිසා ඉංගී්‍රසීන්ට මේ ශක්ති කලාපය ජන ශූන්‍ය එකක් බවට පත් කරවන්නට ඕනෑ වී ඇත. එනිසාම යාල අභය භූමිය නිර්මාණය කෙරුණු අතර එහි විසූ ජනතාව පලවා හරිමින් වනාන්තරයක් ලෙස වනසතුන් එහි මුදා හැර ඇත.
හෙළයේ මිනිසුන් විසූ මේ කලාපය ක්‍රමයෙන් වනාන්තරය විසින්, සතා සිවුපාවන් පිරීගිය එකක් බවට පත් විය. ඉංගී්‍රසීන්ගේ මේ දුරදක්නා නුවණ භාවිත වූයේ හෙළ ඉතිහාසයේ සැබෑ සාක්ෂිකාරයන් පලවා හැර තමන්ට අභියෝගයක් නොවන තැනට එම ජනතාව බෙලහීන කර දැමීමය.

එසේම ඉතිහාසයේ සැඟවුණු කතාවක් මතුකරමින් නීලගිරි චෛත්‍යයේ කෑණීම් තුළින් අලුත් පිටුවක් පෙරළෙන ඉසව්වට පැමිණ ඇත. නීලගිරිය මේ කියන ශක්ති කලාපය තුළ වීම විශේෂය. තවත් හේතුවක් නම් මෙම ශක්ති කලාපය තුළ නීලගිරි සෑය විශාලම චෛත්‍යයක් වන නිසාත් ඒ හා බැඳුණු හෙළයන්ගේ ඉතිහාසයක මතකයක් තිබීමය.

මේ වනවිට සෙල්ලිපි කිහිපයක් මඟින් නීලගිරියෙන් පිබිදෙන ඉතිහාස කතාවට එළියක් වැටෙමින් පවතී. ඉන් එකකින් කියැවෙන්නේ ක්‍රි.ව. 276-302 විසූ මහසෙන් මහ රජු දවස "කුලබරිය" මහා විහාරයේ පැවැති අරියවංශ සූත්‍ර දේශනාවට වැය කිරීමට අවශ්‍යය කහවණු පූජා කිරීමක් ගැනය. එසේම කූටකණ්න තිස්ස රජු පුත් උපරාජ "භාතික තිස්ස" රජුගේ දියණිය මහා රාජිණි චූල සීවලී බිසව උත්තර සීවලී පර්වත විහාරයට බදු පූජාවක් කළ බව හෙළි වී ඇත. දෙවැනි ජෙට්ඨ තිස්ස රජුගේ (ක්‍රි.ව. 300-339) පාලන කාලයේදී භික්ෂූන්ට පූජාවක් කළ බවයි.

මහසෙන් මහ රජුගේ පාලන කාලයේදී "කුලබරිය" කියා හැඳින්වී ඇත්තේද නීලගිරියයි. ඒ අනුව නීලගිරි විහාරය කුලබරිය විහාරය ලෙස නම් කර තිබේ. තවත් කතාවකින් කියැවෙන්නේ රාවණ නිරිඳුන්ගේ පවුර රාජ්‍යයන් මෙහි තිබූ බවයි. ඒ අනුව මහා රාවණ කොටුව, කුඩා රාවණ කොටුව තිබෙනුයේ නීලගිරිය අවට මුහුදු ප්‍රදේශයේ බවට වූ සාධකද සැලකිල්ලට ගනු ලැබ ඇත.

සෙනරත් පරණ විතානයන්ට අනුව ලොව තිබුණු පැරැණිතම නැව් සමාගම් හතරක් ගැන කියැවෙන සෙල්ලිපි නීලගිරිය ආශ්‍රිතව අග්නි දිග ශක්ති කලාපයේ තිබි හමුවීමත් මේ හෙළ ඉතිහාසයේ සැඟවුණු කතා පුවතක සාධක මතු කරවයි. එබැවින් නීලගිරි සෑය සුවිශේෂ සාධකයකි. මින් මතුවටත් හෙළිවන පුරාවිද්‍යාත්මක සාධක නිවැරැදිව අර්ථ නිරූපණය කරගත හැකි වූයේ නම් නීලගිරියත් අග්නි දිග ශක්ති කලාපයත් තුළින් මතුවන හෙළ ඉතිහාස කතාව රටක් මවිතයට පත් කරවනු ඇත.

සුලක්ඛන ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon