මෛත්‍රි එහෙම කරයිද?

  👤  3962 readers have read this article !
2018-11-08

හෙලෝ
හෙලෝ
ඇමැතිතුමා.....?
ඇමැතිතුමා පොඩි වැඩක ඉන්නේ. ලේකම්තුමා කතා කරන්නේ
ඇමැතිතුමාට කතා කරන්න පුළුවන්ද?
දැන් මේ වෙලාවේ මහත්තයෝ පොඩ්ඩක් මේ එතුමා වැඩක ඉන්නේ. මීටින් එකක ඉන්නේ.
මං එතුමගේ ඡන්ද දායකයෙක්. මේ මගේ සල්ලි වගයක් තියෙනවා එතුමා ළඟ. මේ ඒක බලන්නයි කතා කළේ.
මොන සල්ලිද?
මගේ සල්ලි වගයක් තියෙනවා. දැන් මෙහෙමයිනේ ගිය පාර....
ඇමැතිතුමා කාටවත් සල්ලි දීලත් නෑ. කාගෙන්වත් අරගෙනත් නෑ.
නෑ...නෑ.... එහෙම එකක් නෙවෙයි.
එහෙනම්?
ගියපාර .... ගියපාර අපි ඇමැතිතුමාට අපේ දිස්ත්‍රික්කයෙන් ඔක්කොම එකතු වෙලා 92,809ක් මනාප දුන්නා.
ඔව්.
මමත් ඇමැතිතුමාට මනාපයක් දුන්නා
ඉතින්?
දැන් ඇමැතිතුමා කෝටි 25ක් අරගෙන පැන්නා..
මොන කෝටි 25ක්ද ඕයි?
කෝටි 25ක් අරගෙනනේ ඇමැතිතුමා පැන්නේ. දැන් මට එන්න තියෙනවා 2,693ක්
මේ....මේ....මේ... ඇමැතිතුමා කෝටි 25ක් ගත්තේ නෑ. කරුණාකරලා ෆෝන් එක තියන්න.
ඇමැතිතුමා කෝටි 25ක් ගත්තම මට එන්න ඕන මගේ ගාණ ගන්නයි මං එන්නේ. ඊට පස්සේ ඒක බලලා ගමේම කට්ටිය එනවා කිව්වා.
මේ .... තමුසේ පිස්සු කතා කරන්නැතිව තියනවද?
තමුසේ ෆෝන් එක දෙනවකො ඇමැතිතුමාට.

 

ඇමැතිතුමා වැඩක ඉන්නේ. පිස්සු කතා කරන්නැතිව තියනවා ෆෝන් එක.
දැන් ගමම අරන් එනවා මම බස් එකක පටවගෙන. සල්ලි ටික ලෑස්ති කරලා තියා ගන්න.


මේ පහුගිය දවස්වල ෆේස්බුක් ඔස්සේ රට පුරා පැතිරුණු හඬ පටයකි. කතාවේ ඇත්ත නැත්ත දන්නේ නැත. ඒත් පවතින තත්ත්වය මත රටේ ජනතාවට දේශපාලකයන් ගැන අප්පිරියාවක් ඇති වී ඇත. ජනතාව චෝදනා කරන්නේ මන්ත්‍රිවරුන් සල්ලිවලට, තනතුරුවලට, එහෙට මෙහට පනින ගෙම්බන් ගාණට වැටිලා කියා ය. ජනතාවට මේ අප්පිරියාව එකවර ඇති වූ දෙයක් නොව.

2015 ජනවාරි 8 පෙරළිය සිදු වී වැඩි කලක් යන්නට මත්තෙන් ම යහපාලන ආණ්ඩුව ගැන ජනතාවට අප්පිරියාවක් ඇති වුණේ ය. යහපාලන ආණ්ඩුව බලයට පත් වුණේ, හොරු අල්ලනවා, දූෂණය පිටු දකිනවා, වංචාව නැති කරනවා, ජොබ් දෙනවා, කාර් දෙනවා... වගේ දහසක් දේවල් කියා ය. බලයට ආපු ආණ්ඩුව ඒ සියල්ල පැත්තක දාලා හොරකම, දූෂණය, වංචාවෙන්ම වැඩේ පටන් ගත්තේ ය. 2018 පෙබරවාරි 10 පැවැත් වූ ප්‍රාදේශීය සභා ඡන්දයේ දී ජනතාවගේ අප්පිරියාව යහපාලන ආණ්ඩුව හෝදාපාළු කළේ ය. අන්තිමට, මහ බැංකු මහා හොරකමෙන් පටන් ගත් යහපාලන ආණ්ඩුව ඉවර වුණේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයෙන් ය.


මෛත්‍රි දරුණු තීරණය ගත්තේ ජනතාව, පලයව් කියා ආණ්ඩුවට පයින් ගසා ‍ෙදාට්ට දැමීමට ඔන්න මෙන්න කියා තියලා ය. තමන් ගත් තීරණය මෛත්‍රි සාධාරණීකරණය කළේ මෙසේ ය.


"මේ රටේ අගමැති ධුරය දරපු රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථානුකූලව ඉවත් කරලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ අරමුණ කුමක්ද? මේ පුටුවට මාරු කළේ ශරීර දෙකක් නොවේ. අවයව නැත්නම් මිනිස්සු දෙන්නෙක් නෙවෙයි මේ මාරු වුණේ. මේ රටට අහිතවත්, නොගැළපෙන, දේශීයත්වයේ අගය නොතේරෙන, විදේශීය න්‍යාය පත්‍රවලට කටයුතු කරන ඒ දර්ශනයයි පුටුවෙන් ඉවත් කළේ. මේ පුටුවට මා පත් කළේ අපට, රටට ගැළපෙන සංස්කෘතියයි, දේශීයත්වය හඳුනන, විදේශීය දේශපාලන න්‍යාය පත්‍ර ප්‍රතික්ෂේප කරන නායකත්වයයි. මේක පුද්ගලයන් වෙනස් කිරීමට වඩා පුළුල් දැක්මක්. දේශපාලන ගුණාත්මකතාවක්. නොගැළපෙන දර්ශනය ඉවත් කර ගැළපෙන දර්ශනය පුටුවේ තැබීමක්.


අද මෙතැන ඉන්න ඔබ එජාප පාක්ෂිකයෙක් නෙවෙයි. මේ කතා කරන්නේ එජාපයට පණ මෙන් ආදරය කරන පාක්ෂිකයන්ට. ඔබ මගෙන් ප්‍රශ්නයක් අහනවා ඇයි රනිල් වික්‍රමසිංහ ඉවත් කරලා මහින්ද රාජපක්ෂව අගමැති කළේ කියලා. ඒ ප්‍රශ්නයම මීට දින 4ට කලින් කථානායක කරු ජයසූරිය මහත්තයාත් මගෙන් ඇහුවා. මං එතුමාට පැයක් කතා කරලා කිව්වා මේ වෙනසට හේතුව.

එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ප්‍රබල සහයෝගයෙන් බලයට පත්වූ මා, මහින්ද අගමැති ලෙස පත් කිරීම විනා වෙනත් විකල්පයක් තිබුණේ නැද්ද කියා මිනිසුන් අසනවා ඇති. මා කරු ජයසූරිය සමඟ පැයක් කතා කරලා මතක් කළා මීට මාස 8කට පෙර ඒ විකල්පය ඔබට ඉදිරිපත් කළා කියලා.

රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් පසුව මට රනිල්ගේ ප්‍රතිපත්තිය ගැළපෙන්නේ නෑ, වැඩ කරන්න බෑ කියලා ඔබ අගමැති පුටුව භාර ගන්න කියලා මං කරූගෙන් ඉල්ලීමක් කළා. මං වැන්දේ නැති ටික විතරයි. පස්සේ මං ඔබගේ ඉල්ලීමට එකඟ වෙන්නම් කියලා තනියම එන්නම් කියපු කරු පහුවදා හවස නිල නිවෙසට ආවේ රනිල් වික්‍රමසිංහ එක්ක. වෙව්ලන තොල් පටින් කිව්වා අනේ මට මේ අගමැතිතුමාට විරුද්ධ වෙන්න බෑ කියලා.

කරු ජයසූරිය එදා මාව අමාරුවේ දැම්මා. මගේ ව්‍යායාමය එතැනින් අතහැරියේ නෑ. අදින් මාස 2ක් පසුපසින් එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ගෙදරට එන්න කියලා ඔබේ නායකයා එක්ක වැඩ කරන්න බෑ රටට ගැළපෙන්නේ නෑ රනිල් අයින් කරමු ඔබ අගමැතිකම භාර ගන්න කියලා. සජිතුත් කරු වගේම අනේ නායකතුමා එක්ක මට නම් බෑ හැප්පෙන්න කියලා කිව්වා. ඒ නිසා මං කල්පනා කෙරුවා රටට ගැළපෙන නායකයකු ගැන තීරණයක් ගන්න. මේ රටේ දේශීයත්වය අගය කරන, ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යන්න මට ගැළපෙන මිනිහෙක් හෙව්වා."


මුළු රටම හොල්මන් වෙලා ගිය මෛත්‍රිගේ මේ දරුණු තීරණයෙන් රනිල් සහ සමාගම අහසින් පොළොවට වැටුණේ ය. ලිබරල් රනිල්ලාට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වුණේ එවිට ය. ධනවාදී ලිබරල් ප්‍රතිපත්තිවල විදියට වැඩ කරපු රනිල්ගේ ආණ්ඩුවට ජනතාවගේ දුක තේරුණේ නැත. අත පල්ලෙන් වැටෙන ටිකවත් ජනතාවට ලෙව කන්න රනිල්ලාගේ ලිබරල් සිස්ටම් එක ඉඩ දුන්නේ නැත. කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ කියන්නැහේ කට්ටියගෙම හිස් ගෙඩි ටික ගිනි ගත්තේ ය. කට්ටියටම ප්‍රජාතන්ත්‍රවාදය මතක වුණේ ය. "මේක මහා ව්‍යාවස්ථා විරෝධී වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කළා. වහාම මේක නිවැරදි කරන්න." කියා රනිල්ලා කෑ ගැසුවේ ය. එහෙම කරලා නිකන් හිටියේ නැත. අරලිය ගහ මැඳුරේ කඳවුරු බැන්දේ ය. සියලුම තානාපතිවරුන් අරලියගහ මැඳුරට කැඳවා ගතු කීවේ ය. මෛත්‍රි ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියා ඔවුන්ට කරුණු පැහැදිලි කළේ ය. තානාපති කාර්යාල හරහා ජාත්‍යන්තරයට පණිවුඩ යැව්වේ ය. අරලිය ගහ මැඳුරේ සිට ජාතිය ඇමැතුවේ ය. දවස ගාණේ මාධ්‍ය හමු තියන්නේ ය. රනිල් ඉන්ටර්නැෂනල් ගේමක් ගසමින් සිටින්නේ ය.


ප්‍රශ්නයක් ය. මහින්ද අගමැති කරන මෛත්‍රිගේ තීරණය ව්‍යවස්ථා විරෝධී තීරණයක් නම් කෙළින්ම ශේ්‍රෂ්ඨාධිකරණයට යන්නේ නැතිව රනිල් මෙච්චර දඟලන්නේ ඇයි? ප්‍රජාතන්ත්‍රවාදය මේ තරම්ම උල්ලංඝනය වෙලා නම් මේ වෙලාවේ රනිල් ගත යුතු හොඳම විසඳුම ශේ‍ර්ෂ්ඨාධිකරණයට යෑමයි. රනිල්ලා-සුමන්තිරන්ලා කලින් නම් කීවේ යහපාලන ආණ්ඩුව යටතේ දැන් රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනයි කියලා ය. එහෙම බැලුවාම එතැනත් ගැටලුවක් නැත. මොකද මෛත්‍රි-මහින්ද අලුත් ආණ්ඩුව යටතේ අධිකරණ පද්ධතියේ කිසිදු වෙනසක් මේ වන තෙක් සිදු වී නොමැත. ඒක එහෙම නම් රනිල්ලා-සුමන්තිරන්ලා ශේ‍ර්ෂ්ඨාධිකරණයේ පිහිට නොපතන්නේ ඇයි? පසුගියදා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මේ ප්‍රශ්නය ම සුමන්තිරන්ගෙන් ඇසුවේ ය. සුමන්තිරන් කීවේ ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගියොත් වාසිදායක තීරණයක් එන්නේ නෑ කියලා ය. බළලා මල්ලෙන් පැන්නේ එතකොට ය. දුමක් දැම්මත් ශේ‍ර්ෂ්ඨාධිකරණයට දුවන සුමන්තිරන්ලත් මේ කාරණයෙදි ශේ‍ර්ෂ්ඨාධිකරණයට නොයන්නේ මෛත්‍රිගේ මේ තීරණය ව්‍යවස්ථා විරෝධී නෑ කියා දන්න නිසා ද? කියන්නට දන්නේ නැත.


යූඑන්පීය ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ය. ජවිපෙ ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ය. දෙමළ සන්ධානය ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ය. මේ සියල්ලන්ටම දෙන්න මෛත්‍රි ගාව උත්තරයක් ඇත. මහජනතාවට තම ඡන්දයෙන් තමන් කැමැති නියෝජිතයා පාලන තන්ත්‍රයට තෝරා පත් කර ගැනීමේ අයිතිය ඇත, එය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළින්ම වැජඹෙන ලක්ෂණයයි. එසේ නම් ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම රකින්න මෛත්‍රි මේ වෙලාවේ කළ යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම යි. පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මේ සියල්ලන්ගේම කටවල් වැහෙනු ඇත. සියලුම දේශපාලකයන්ට ජනතා පරමාධිපත්‍යයට හිස නැමීමට සිදු වෙනවා ඇත. එහෙට මෙහෙට පනින, සල්ලිවලට විකිණෙනවාය කියන මන්ත්‍රින්ට ජනතාව කතිරයෙන් උත්තර දෙනවා ඇත. මේ ජරා ජීර්ණ, අස්ථාවර දේශපාලන තත්ත්වය වෙනස් වනවා ඇත. ඒක එහෙම වුණොත් රනිල්ලාට ජාත්‍යන්තරයට කියන්න දෙයකුත් නැත. ජාත්‍යන්තරයටත් ලංකාවට ඇඟිල්ල දික් කරන්න හේතුවක් නැත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මෛත්‍රිගේ ඊළඟ තීරණ විය යුත්තේ ඒක ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon