පාර බද්දට විරුද්ධ වී සිරබත් කෑ පොකුණුවිට සේදිරිස්

  👤  2492 readers have read this article !
2018-11-11

ශ්‍රී ලංකාවේ නැඟෙනහිර හා බස්නාහිර මුහුදු වෙරළ සම්බන්ධ කරන මහා මාර්ගය ආරම්භ වෙන්නේ පානදුර නගරයෙනි. පානදුර හොරණ ඉංගිරිය රත්නපුර බළන්ගොඩ බදුල්ල හරහා මඩකළපුවට ගොස් නැඟෙනහිර මුහුදු වෙරළෙන් මෙම මාර්ගය අවසන් වේ. මේ මහා මාර්ගය බි්‍රතාන්‍ය යුගයේ ආරම්භ කළේ ආරක්ෂා කටයුතුත් වෙළහෙළ¼දාමත් සඳහාය. විශේෂයෙන් රබර්, මිනිරන්, මුතු මැණික්, ඇත් දත්, කොළඹට නැව් ගත කළේ පානදුර හරහා මෙම මාර්ගයෙනි.

රාජකාරි ක්‍රමයට අනුව ලාංකිකයෝ මෙම මාර්ගයෙහි සේවයට යෙදවූහ. එක් එක් ප්‍රදේශ භාරව රටේ මහත්වරු කෝරල අතු කෝරලවරුන්ට අමතරව සිපයි හමුදාවද යොදවා තිබිණි. උපන් බිමේ ජනතාව හා මේ සිපයි හමුදාකාරයන් අතර නිතර ගැටුම් ගොඩනැඟුණු බව කිවයුතු නොවේ. රදලයෝ බි්‍රතාන්‍ය පාලකයන්ගේ පැත්ත ගනිමින් තමන්ගේ වරප්‍රසාද තාන්න මාන්න ලබාගත්හ. ස්වදේශිකයෝ පාවා දුන්හ.

හොරණ ප්‍රදේශයේ පොකුණුවිට වගවත්ත ඉංගිරිය ප්‍රදේශයන්හි මාර්ග සංවර්ධනයට අදාළව අති දුෂ්කර රැකියාවක යෙදී සිටි අහිංසක මිනිසුන් අතර පොකුණුවිට සේදිරිස් ද විය. සේදිරිස් රාජකාරි ක්‍රමයට මනාප නොවීය. රාජකාරි ක්‍රමයට එරෙහිව බදු නොගෙවා සිර ගෙදර තපින්නට ඔහු සූදානමින් සිටියේය.

ලොර්ඩ් ටොරින්ටන් නම් පාලකයා 1848දී ඉතා අමානුෂික බදු කීපයක්ම ජනතාව මත පැටවීය. මේ බදු අතර ප්‍රධාන තැනක් ගත්තේ පාර බද්ද සහ ඇඟ බද්දය. මෙම නීතිය යටතේ අවුරුදු 18-55 වයසැති හැම පුරුෂයෙක්ම වසරකට වරක් මෙම ඇඟ බද්දට අනිවාර්යයෙන් යටත් කෙරේ. මෙම නීතිය උල්ලංඝනය කළහොත් දින 06ක් ප්‍රසිද්ධ මාර්ගයක නොමිලයේ වැඩ කිරීමට සිදුවේ. කිසියම් අයකු පාරේ වැඩ නොකරන්නේ නම් සිලිං තුනක දඩයකට යටත් කෙරේ. එය හැඳින්වෙනුයේ පාර බද්ද වශයෙනි.

මෙම බදු සෑම වසරකම පෙබරවාරි මාසයේදී ලබාදිය යුතුය. බදු අය කරනු ලබන්නේ ප්‍රදේශය භාර පොලිස් මුලාදෑනියා විසිනි. බදු ගෙවීම පැහැර හැරියහොත් සිර දඬුවම් විඳීමට අනිවාර්යයෙන් සිදුවේ. පානදුර සිට මඩකළපුව දක්වා මහා මාර්ගය ඉක්මනින් අවසන් කිරීමට ටොරින්ටන් ආණ්ඩුකාරයා ආඥාවක් නිකුත් කළේය. රත්නපුර බළන්ගොඩ පෙදෙස්වලින් මිනිරන්, තේ, රබර්, ඇත් දත් පානදුර හරහා කොළඹින් නැව් ගත කිරීමත් කොළඹින් රට ඇතුළට භාණ්ඩ ගෙන යෑමත් සඳහා මෙම මහා මාර්ගය අත්‍යවශ්‍ය තිබිණි.

විශේෂයෙන් ආරක්ෂක කටයුතු විධිමත් කිරීමට මෙබඳු මාර්ගයක අවශ්‍යතාව අනිවාර්ය විය. ඇඟ බද්දත් පාර බද්දත් ගෙවීමට නියම වීම නිසා දරිද්‍රතාවයෙන් පෙළුණු ජනතාව තීරණය කළේ බදු ගෙවනවා වෙනුවට දින 12ක් නොමිලයේ පාරේ වැඩ කිරීම පහසු බවය. ටොරින්ටන්ගේ නීතියට නිහඬව විරෝධය පළ කළ දේශප්‍රේමීහු මෙම ප්‍රදේශයේ කිහිප තැනකම සිටියහ. ඔවුන් සංවිධානය කර ගැනීමට ඇති ඉඩකඩ සීමිත විය. විශේෂයෙන් එබඳු දේශප්‍රේමීන් ගැන කේලාම් කියන්නට මුසාවාද ‍ෙදාඩන්නට කැමැති දේශද්‍රෝහීන්ද සිටියෝය.

රයිගම් කෝරලේ පොකුණුවිට පදිංචිව සිටි සේදිරිස් මෙම විරල ගණයට අයත් එඩිතර මිනිසෙකි. දුෂ්ට ඉංගී්‍රසි මුලාදෑනින් විසින් ගමේ ජනතාවට ඉතා අමානුෂිකව තළා පෙළා පහරදීම ගැන සේදිරිස් බලා සිටියේ දැඩි කලකිරීමෙනි, කෝපයෙනි. පාරේ වැඩට යෑම ප්‍රතික්ෂේප කළ තරුණ සේදිරිස් පාර බද්ද හෝ ඇඟ බද්ද ගෙවීමද ප්‍රතික්ෂේප කළේය. පොලිස් මුලාදෑනියා සේදිරිස්ට තරයේ අවවාද කළේය. බදු ගෙවීමට තමන් අත මුදල් නැතැයි සේදිරිස් මුලාදෑනියාට පැවසුවේ තුට්ටු දෙකකට මායිම් නොකරමිනි. ගම්මුලාදෑනියාගේ අනුදැනුම මත පොලිසියෙන් සේදිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණ නිලධාරියාට ඉදිරිපත් කළේය. තමන්ගේ දුගී භාවයද එතැන්හිදීද සේදිරිස් සැල කළේය.

සේදිරිස්ට මාසයක සිර දඬුවමත් නියම කෙරිණි. බරපතළ වැඩ සභිතව ලුණුයි බතුයි කමින් සේදිරිස් මාසයක සිර දඬුවම වින්දේය.

පාරේ වැඩ කළා නම් සිරබත් කන්නට සිදුවන්නේ නැහැයි සමහර දීන ගැමියෝ පැවැසූහ. අනුකම්පා විරහිත සුද්දන්ගේ අවනීතියට යටත්වීමට වඩා සිරබත් කෑම උතුම් යැයි සේදිරිස් විශ්වාස කළේය. මාසයේ සිර දඬුවමෙන් සේදිරිස් නිදහස් විය. හිරෙන් නිදහස් වී වට පිට බැලූ සේදිරිස් මහත් සතුටට පත් වූයේය.

තමා මෙන් දේශප්‍රේමීත්වයකින් යුත් විශාල පිරිසක් දූෂිත බි්‍රතාන්‍ය ආණ්ඩුවට එරෙහිව පාරේ බද්දත් ඇඟ බද්දත් නොගෙවා සිර දඬුවම් ලබා ඇති දර්ශනයෙන් ඔහු උද්දාමයට පත් වූයේය.

මේ අයෝමය ශක්තියෙන් යුත් සේදිරිස්ලා එක් දහස් අටසිය හැට ගණන්වලදී ආරම්භ වූ රයිගම් කෝරලේ විමුක්ති සටනට පෙරමුණ ගත්හ.

තොරතුරු ලබාදුන් හොරණ තිබ්බොටුගොඩ ප්‍රවීණ ලේඛක සිරිමල් කොතලාවල මහතාට විශේෂ ස්තුතියක් හිමිවේ.

හොරණ - බන්ධුල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon