නිහඬ මාරයා පැමිණ සිටී

  👤  2759 readers have read this article !
2018-11-09

දකුණේ ධවල භීෂණයෙන් හා උතුරේ ඊළාම් යුද්ධයෙන් ලක්‍ෂයකට අධික මිනිස් ජීවිත සංඛ්‍යාවක් රටට අහිමි විය. යළි එවැනි ව්‍යසනයන්ට මුහුණදීමට සිදුනොවේ යැයි කිව නොහැක්කේ, 70 වසරක් රට ආණ්ඩු කරන්නේ කිසිවකින් පාඩම් ඉගෙන නොගන්නා පාලක පන්තියක් වීම නිසාය.

භීෂණයෙන් හා යුද්ධයෙන් පීඩාවට පත් සමාජය අසීරුවෙන් එයින් මිදුණද තවත් ව්‍යසනයන් රැසක් සමාජය වෙළාගෙන සිටී. රිය අනතුරු ඉන් එකකි. ඊළාම් යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් රිය අනතුරුවලින් මිය යන බව අනාවරණය වීමෙන් මේ ව්‍යසනයේ බරපතළකම අවබෝධ කරගත හැකිය.

දිවිනසා ගැනීම, දියේ ගිලීම් හා ඒ හා සමාන අනතුරුවලින් වාර්ෂිකව මියයන සංඛ්‍යාවද විශාලය. 'ඩෙංගු' තවත් ව්‍යසනයකි. බෝ නොවන රෝග අතර 'දියවැඩියාව' ජීවිත බිලිගන්නා මහා ව්‍යසනයක් වී ඇත.

මෙරට වාර්ෂිකව සිදුවන මරණ අතරින් සියයට 7ක් දියවැඩියාව නිසා සිදුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන හෙළිකර තිබේ. සෑම තරුණයන් 6 දෙනකුගෙන් එක් අයෙක් දියවැඩියාවට ගොදුරුවීමේ අවදානමක් පවතින ඇති අතර සෑම වැඩිහිටියන් 12කගෙන්ම එක් අයකු දියවැඩියාවෙන් පෙළෙයි.

ගර්භණී මවුවරුන්ගෙන් සියයට 14ක් දියවැඩියාවට ගොදුරුව සිටී.

අලුත උපන් දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා පැතිර යමින් පවතින බෝ නොවන රෝගයක් ලෙස දියවැඩියාව නම් කර ඇත. දියවැඩියාව ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට මේ වන විට පත්ව තිබේ. හෘදයාබාධ, අංශභාග සහ වකුගඩු අක්‍රිය වීමට මූලික හේතුවක් ලෙස දියවැඩියාව සැලකේ.

ලබන 14 වැනිදාට යෙදී ඇති 'ජගත් දියවැඩියා දිනයේ' මෙවර තේමාව වී ඇත්තේ 'දියවැඩියාව සහ පවුල'ය. අන්තර්ජාතිකවද බරපතළ ප්‍රශ්නයක් වී ඇති දියවැඩියාව වැලඳුණු පසු නිට්ටාවට සුවකළ නොහැකිය. කළ හැක්කේ පාලනය කිරීම පමණි. එහිදී දියවැඩියාව පාලනයට 'පවුල' වශයෙන් කැපවිය යුතුය. නිසි ආහාර පාන රටාවකට හුරුවීම, ව්‍යායාමය, අධි රුධිර පීඩනය, ස්ථුලතාව, කොලොස්ටරෝල් මට්ටම පාලනය කිරීම, විශේෂයෙන් දුම්පානය නතර කිරීම සහ මත්පැන් පානය සම්පූර්ණයෙන් නතර කිරීම හෝ අවමයකින් පවත්වාගෙන යෑම, මානසික ආතතිය පාලනය කර ගැනීම මෙසේ, දියවැඩියාව වැලඳීම වළක්වා ගැනීමට හා එය පාලනය කර ගැනීමට ඇති එකම මඟය.

ආර්ථික අර්බුදයක කරවටක් ගිලී, සංස්කෘතික ජීවිතයත් අහිමි බහුතරයක් සිටින රටක මානසික ආතතිය පාලනය කර ගැනීමත්, නිසි ආහාර පාන රටාවක් අනුගමනය කිරීමත් පහසු කාරණයක් නොවේ. පාසල් දරුවන් පවා දියවැඩියාවට ගොදුරු වන්නේ ඉහත කී කාරණා දෙක නිසා බව සිතිය හැකිය. පෙරට නොයා එක තැන ලගින ආර්ථික රටාවක් තුළ 'ජීවිත' අර්බුදයට යෑම නියතයකි.

බෝ නොවන රෝග වැලඳීම ඉහළ යෑමෙන් සහ මානසික රෝගීන් වැඩි වීමෙන් ඒ අර්බුදයේ දිග පළල ගැන යම් අවබෝධයක් ලබාගත හැකිය. යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීම මෙන්ම යහපත් මානසිකත්වයක් වර්ධනය වීම 'නිරෝගී' ජීවිතයකට අත්‍යවශ්‍යය. 'රෝගී' වූ රටක නිරෝගීව ජීවත්වීම අසීරුය.

'ආරෝග්‍යා පරමා ලාභා' යැයි බුදුන්වහන්සේ දේශනා කළහ. නිරෝගී සුවය තරම් පරමලාභයක් ලොවේ නැත. එහෙත් ඒ සුවය ලබාගැනීමට මෙරට දෙකෝටියක ජනගහනයෙන් බහුතරයකට දුෂ්කර වී ඇති බව නිහඬ මාරයා ලෙස හඳුන්වන දියවැඩියාව සම්බන්ධ දත්තවලින්ම පැහැදිලිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon