වෙන දේ මෙන්න

  👤  6647 readers have read this article !
2018-11-09

බල අරගලයේ වඩාත් තීව්‍රම අවස්ථාව උදා වී තිබේ. දෙපාර්ශ්වයේ සියලුම වැර යොදා ඒ ඒ පිලේ ක්‍රියාන්විත දියත් වෙමින් පවතී. රනිල් හා බැඳුණු පිල තනිවමත්, මෛත්‍රි හා මහින්ද එක් වූ බළ ඇණියත් තියුණු රහසිගත සටනකය.

පාර්ලිමේන්තුව 14දා රැස්වෙද්දී එහි අසුන් පැනවීම පවා අර්බුදයකය. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි පවසන්නේ නව අගමැතිවරයාත් කැබිනට් මණ්ඩලයත් ගැසට් කර ඇති නිසා ඒ අනුව ක්‍රියා කිරීම වේත්‍රධාරියාගේ වගකීම බවය. එය කථානායකවරයාගේ උපදෙස් පතමින් ඒ අනුව සිදු කරන බවය. ඊට එරෙහිව සභානායකවරයා වශයෙන් පත්කරනු ලැබ ඇති දිනේෂ් පවසන්නේ ඒ සඳහා කථානායකගෙන් අහන්නට ඕනෑ නැති බවය. ඒ අනුව ආසන පැනවීම පවා අවුලකය.

මේ වෙද්දී රටේ අමාත්‍ය මණ්ඩලය පවා පූර්ණ නැත. ඒ අනුව මේ සටහන තබන මොහොත වන විටත් ප්‍රධානම කැබිනට් අමාත්‍ය තනතුරු කිහිපයක්ම පුරප්පාඩුය. ඒ අතර වෙළෙඳ, කර්මාන්ත, වැවිලි, බුද්ධශාසන, නිවාස හා ඉදිකිරීම්, තැපැල්, බන්ධනාගාරද හිස්ව ඇති නිසා අමාත්‍යවරුන්ගේ මෙහෙයවීමකින් තොරව ඒවා නිලධාරීන් අත පවතිමින් ඉබිගමනේය. තීන්දු තීරණ ගන්නට බැරි අකර්මණ්‍ය වූ තැනකය.

'කොහොමහරි ඉක්මනට මේ පාලන තන්ත්‍රය යථා තත්ත්වයට පත් කරගන්න නම් පාර්ලිමේන්තුව රැස්වෙලා දෙකින් එකක් ඉවර වෙන්නම ඕනෑ. එහෙම වුණත් ඊළඟට අලුත් තත්ත්වය හමුවේ අලුත් ඇමැති මණ්ඩලය පත් කර ඒ ඒ අය වැඩ පටන් ගන්න තවත් කාලයක් යාවි. ඒක රටට බලපානවා. මුළු පරිපාලන යාන්ත්‍රණයම දැන් ගල් ගැහිලා වගෙයි.'

පිළිගත් දේශපාලන විචාරකයන් කිහිප දෙනකුම දැක්වූයේ එවන් අදහසකි. එසේම වාණිජ හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ,
'දේශපාලන පරිවර්තන වෙන්න පුළුවන්. නමුත් ඒ එකකින්වත් සාමාන්‍ය ජනතාවගේ බඩ පිරෙන්නේ නෑ. එය බඩට දැනෙන්නේ ආර්ථිකය කඩා වැටුණොතින්මයි. ඒ නිසා රටේ ආර්ථික තත්ත්වය රැකගන්න පවතින දේශපාලන අස්ථාවරභාවය ඉක්මනින් විසඳගන්නට සියලු පාර්ශ්වයන් කැපවී කටයුතු කළ යුතුයි.'

බහුතරය මෛත්‍රි - මහින්ද පිලටය, රනිල්ගේ පිලටය කියා දෙපාර්ශ්වයෙන්ම ඇහෙන මහා ඝෝෂා මැද දිවුරුම් දුන් සාමාජිකයෝද ආණ්ඩුවෙන් ගැලවෙන තත්ත්වයක සිටින එජාපයේ තවත් පිරිසක්ද අන්තිම මොහොතේ මෛත්‍රිගේ සහායට එන බවට කතා බොහෝය. රනිල්ගේ පාර්ශ්වයේ අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වන ආකාරයට 'දැන් සද්ද නැතිව ඉඳලා මෛත්‍රිගෙ මහින්දගෙ කොටසක් අපේ පැත්තට එනවා' කියන කතාද ඇසෙයි.


මේ සියල්ල මැද ජාත්‍යන්තරයෙන් එන තෙරපුම දැඩිය. මහින්ද මෛත්‍රිටත් වඩා මේ පිළිබඳව සංවේදීය. ඔහු තම සටන පෞද්ගලිකව මෙහෙයවන තැනකට අරන්ය. මෙය කෙසේ හෝ දිනන්නට ඕනෑ බවත් ඉන් පසු ඒ සියල්ල යථා පරිදි කළමනාකරණය කරගත හැකි බවත් ඔහු දැන සිටින බව පෙනෙයි.

'විදෙස් රටවලට පුද්ගලයා වැදගත් නෑ. සිදුවන දෙයත් ක්‍රමයත් විතරයි වැදගත්. ඒ නිසා ජනාධිපති කළ දේ හරි. එය ව්‍යවස්ථානුකූලය යන්න සහතික කරන ගමන්ම පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වලා මහින්ද අගමැති බවට ජාත්‍යන්තරයට පෙන්වන්න ඕනෑ. ඒ නිසා අපට බහුතර ජනමතයක් ලබා ගන්න වෙනවා' යැයි මහින්දට ශක්තියක් වූ ප්‍රබලයකු යම් තීරණාත්මක සාකච්ඡාවකදී පවසා ඇත. මෙය තවදුරටත් ඔද්දල් වීම මහින්දට අවාසි සහගත විය හැකි බවටද අදහස් පළ කළ අය බොහෝ විය.

'සැක හිතෙන අපේ හැම කෙනෙක්වම තනි කරන්න එපා. ඒ අයගෙ නෝනලා හරහා පීඩනයක් දෙන්න පුළුවන්. ඒ නිසා ඒ ඒ අය බෙදාගෙන පරිස්සම් කරගන්න. යන්න දෙන්න නම් එපා' ය කියා මහින්දගේ පිලෙත් මෛත්‍රිගෙ පිලෙත් ප්‍රබලම ක්‍රියාකාරිකයන් වෙනදා නැති උනන්දුවකින් සක්‍රියව සිටින මොහොතකි.

මෛත්‍රි පිලේ හා මහින්ද පිලේ නිසැක විශ්වාස වී තිබෙන්නේ තමන්ගේ ක්‍රියාන්විතයේ සාර්ථකභාවය හා සහතික වීම් සිදු වී ඇති ස්වභාවය අනුව දැනටම තමන් වෙනුවෙන් 113ට වඩා පිරිසක් සැදී පැහැදී සිටින බවක්ය.
'අපට ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් එපා. මේ ටික දවසට මොන ඇමැතිකම්ද අපිත් විපක්ෂයේ ඉඳලා පුරුද්ද ඇති අයනේ. ඒ නිසා බහුතරය පෙන්වලා මේ ගේම ගහගන්න තුරු ඉවසලා ඉන්න අපේ කට්ටිය කැප වෙනවා. අපිට ඕනෑ පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයකට ගිහින් අපේ සැබෑම බලය ජාත්‍යන්තරයටත් පෙන්වලා බහුතර ජනතාවකගේ කැමැත්තෙන් බලසම්පන්න ආණ්ඩුවක් හැටියට දිවුරුම් දෙන්න.'
මෛත්‍රි පිලේ ඉතා විශ්වාසවන්ත සගයෙක් එසේ කීවේ නිකමට නොවේ.

කෙසේ වෙතත් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයන් පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ඇති එහි අභ්‍යන්තර තොරතුරු දන්නා ආර්ථික විශේෂඥයකු පැවැසුවේ,

'කවුරු බලය තහවුරු කරගත්තත් මේ ව්‍යාකූල තත්ත්වය ඉක්මනින් අවසන් කරගන්න වෙනවාමයි. හෙට අනිද්දාට අය - වැයක් සම්මත කර නොගත්තොත් ජනවාරි පළමුවැනිදා ඉඳලා රාජ්‍ය සේවක වැටුප ඇතුළු වියදම් මුදල ලබා ගැනීම ප්‍රශ්නයක් වෙනවා' කියලාය.

තත්ත්වය යහපත් අතට හරවා ගන්නට ඒ අතරතුර අවස්ථා කිහිපයක ක්‍රියාන්විතයන්ද සිදුව ඇත. නිල නොවන ආරංචි මාර්ගයන්ට අනුව ජනාධිපතිවරයා හමුවීමට ගිය එක්සත් ජාතික පෙරමුණේ තිදෙනකුම පවසා ඇත්තේ එය ප්‍රජාතන්ත්‍රවාදීව විස¼දාගත යුතු බවය. රනිල් හා මෛත්‍රි අතර සංවාදයකට කතිකාවක් කෙරුණද එය මෛත්‍රි දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙන බවත් කියැවේ.

යළිත් අර්බුදයක් ඇති නොවන ආකාරයට ජාතික ආණ්ඩුවක් හදා ගන්නා උත්සාහයක්ද මේ අතර දියත් වෙමින් පවතින තොරතුරුද පළවෙමින් පවතී.

කෙසේ වෙතත් දෙපාර්ශ්වයම සටන අත්හරින්නට සූදානම් නැති තැනකය. ලහි ලහියේම මහින්දගේ නායකත්වයෙන් ආර්ථිකය ගැන දන්නා සුපිරි මොළකාරයන් හමු වී ඉදිරි මාස කිහිපයට මුහුණ දෙන්නට ඕනෑ කරන අතුරු සම්මත අය - වැයක් මේ වන විටත් සූදානම් වෙමින් පවතින බවත් වාර්තා වේ. ඊට සමාන්තරව රනිල් පාර්ශ්වයද ජයග්‍රහණයක් අත්පත් කරගතහොත් මහින්ද දුන් සහන එක්වරම නොකපා යම් සහනයක් ජනතාවට පිරිනමන අතුරු සම්මත අය - වැයකට යුහුසුලුය.

මෙය ජනතාවගේ පාර්ශ්වයෙන් යම් සහනයක් සලසන්නකි. එහෙත් ආර්ථික තත්ත්වයේ පවතින අර්බුදය හමුවේ එය කොයියම් දුරට කුමන පාර්ශ්වයකටවත් කරගෙන යෑමට හැකිද යන්න අවිනිශ්චිත බැව් ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය.

රනිල් පමණක් නොව මහින්ද ද ඉන්නේ අගමැති ලෙස රුපියලේ අවප්‍රමාණයට ප්‍රාතිහාර්ය පාන්නට බැරි තැනකය. වත්මන් දේශපාලන අර්බුදය විස¼දාගත්තේ වුවද රනිල්ට හෝ මහින්දට මේ ආර්ථික අර්බුදයෙන් ගැලවී යා නොහැකිය. රුපියල ආරක්ෂා කර ගැනීමට විදෙස් සංචිත මුදා හැරීම කාගේ කාගේත් ජනප්‍රිය ක්‍රියාවලියකි. එහෙත් එය ඒ හැටි හොඳ දෙයක්ද නොවන්නේ අනතුරුදායක විය හැකි තීරණයක් බැවිනි. රනිල්ටත් මහින්දටත් එය පොදුය.

අය - වැයකින් හෝ අතුරු සම්මත ගිණුමකින් වුව ජනප්‍රිය ප්‍රතිපත්ති හා තීරණ ගන්නට යෑම සියලු නායකයන්ගේ සිරිතය. මේ මොහොතේදීද එය එසේ විය හැකිය. එහෙත් යම් ස්ථායිතාවක් ඇති වී රට ස්ථාවර වන තුරු එවැනි ජනප්‍රිය තීරණ වෙත නොයා යුතු බව මේ මොහොතේදීද ආර්ථික විෂයය හොඳින් දත් ප්‍රායෝගික විද්වතුන්ගේ අදහසය. රැකියා නිර්මාණය කිරීම, වැටුප් වැඩි කිරීම සහ සෙසු සහන දීම සමබරව, දුරදිග බලා කළ යුතු වන්නේ එබැවිනි. මේ මොහොතේ අනුවණ අන්දමින් රාජ්‍ය වියදම වැඩි කර ගැනීම ඉදිරියට අර්බුද ඇතිවීම කඩිනම් කිරීමක් වනු බව අදහසය.

මෙවන් දේශපාලන අර්බුද නිසා සිදුවන බරපතළම ප්‍රතිවිපාකය වන්නේ ප්‍රාග්ධන පිටතට ගලා යෑමය. මේ නිසා ගෙවුම් ශේෂය තවදුරටත් පුළුල් වනු ඇත. කොටස් වෙළෙඳපොළ රජයේ සුරැකුම්පත් හා බැඳුම්කර වෙළෙඳපොළෙන් එලෙස පිටතට ගලා යෑමට ඇති ඉඩකඩ වැඩිය.

කවුරු බලයට පත්වුවද ඇමෙරිකාවේ ආකර්ෂණීය පොලී අනුපාත හේතුවෙන් ප්‍රාග්ධන පිටතට ගලායෑම සහ වෙළෙඳ ශේෂය පුළුල් වීම හේතුවෙන් ගෙවුම් ශේෂය එලෙස දුර්වල වෙමින් තිබේ. ඒ නිසා කවුරු කවුරුත් ජනතාව ගැන හිතා මේ දේශපාලන අර්බුදය යහපත් ලෙස සිතා විස¼දා නොගන්නේ නම් මහා විපතක් වනු ඇත.

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon