මනූෂ එක්ක හොරා පොලිස් කළ ආණ්ඩුවේ මන්ත්‍රීන් කවුද?

  👤  4745 readers have read this article !
2018-11-11

රුචිර දිලාන් මධුසංඛ

මෛත්‍රිගේ ඊළඟ තුරුම්පුව


රට තුළ උද්ගතව ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව මෙරට පුරවැසියන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද දැඩි අවධානයෙන් යුතුව සිටින බව ඉතා පැහැදිලිය. මේ වන විට රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය ඊට හේතුව වී තිබේ.

පවතින තත්ත්වය හමුවේ වැඩිපුරම අපහසුතාවන්ට පත්ව සිටින්නේ රාජ්‍ය නිලධාරීන්ය. සිය ආයතනවල රාජකාරි කිරීම ඔවුන්ට මේ වන විට දැඩි අර්බුදකාරී මට්ටමකට පත්ව තිබේ.

ඊට ප්‍රධානතම හේතුව වූයේ රටේ අගමැතිවරුන් දෙදෙනකු සිටින බවට විපක්ෂයේ දේශපාලන බලවේග විසින් ප්‍රකාශ කිරීමය. ව්‍යවස්ථානුකූලව රටට නව අගමැතිවරයෙක් පත්කර ඇත. එහෙත් වික්‍රමසිංහ මහතා සහ ඔහු වටා සිටින බලය අහිමි වී ගිය පිරිස එය පිළිගන්නට සූදානම් නැත. ආණ්ඩු පක්ෂය කියන්නේ රටේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා පත් කර ඇති බවය. දෙපාර්ශ්වයෙහිම චෝදනා ගැන තීන්දුව කවදා කෙසේ විසඳේ දැයි ජනතාවටද ඇත්තේ දැඩි කුතුහලයකි.

පවතින අර්බුදය තව තවත් තීව්‍ර වූයේ කථානායක කරු ජයසූරිය විසින් පසුගියදා ගත් දේශපාලන තීන්දුවයි.

මන්ත්‍රිවරුන් පිරිසක් ඔහුගෙන් ඉල්ලීමක් කළා යැයි පවසමින් ඔහු ව්‍යවස්ථානුකූලව රටේ අගමැතිවරයෙක් පත්කර ඇති මොහොතක මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කීවේ පවතින දේශපාලන වාතාවරණය අනුව තමන්ට පිළිගැනීමට සිදුවන්නේ පෙර පැවැති ආණ්ඩුව බවය. කරුගේ මෙම නිවේදනයට මාධ්‍යයෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබිණි. රටේ තත්ත්වය සාමාන්‍ය පරිදි පැවැතෙද්දී කරුගේ මෙම නිවේදනයත් සමඟ රටේ දේශපාලන තත්වය සම්පූර්ණයෙන් වෙනස් විය. එජාප හිටපු ඇමැතිවරුන් කරුගේ මෙම නිවේදනය උපුටා ගනිමින් සිය පැරැණි ලිපි ශීර්ෂ යොදා ගනිමින් රාජ්‍ය නිලධාරීන්ට නියෝග දෙන්නට පටන් ගත්තේය.

ඒ අරලියගහ මන්දිරයේ සිටය. තවත් හිටපු ඇමැති පිරිසක් මෙම නිවේදනය උපුටා ගනිමින් සිය වරප්‍රසාද ඉල්ලන්නට පටන් ගත්තේය. තවත් පිරිසක් එම නිවේදනය උපුටා ගනිමින් ආරක්ෂාව ඉල්ලීමට පටන් ගත්තේය. කරු මෙම නිවේදනය නිකුත් කරමින් දේශපාලන අතින් යම් ගැටලුකාරී තත්ත්වයක පැවැති රට එම තත්ත්වය දෙගුණ තෙගුණ වෙන්නට පටන් ගත්තේය. කරුගේ හැසිරීම ගැනද පසුව දේශපාලනඥයන් කතා කරන්නට පටන් ගත්තේය.

'කරු යූ.එන්.පී. එකේ මාධ්‍ය ප්‍රකාශක වෙලා' සිරිකොතේ ඉඳන් ප්‍රකාශ නිකුත් කරනවා' යැයි ඔවුන් පවසමින් ඔවුන් කරුට චෝදනා කරන්නට පටන් ගත්තේය. දේශපාලන වශයෙන් කරු ජයසූරිය රැගෙන ආ කීර්තිනාමය මින් පලුදු වී ගිය බවටද ඔවුන් චෝදනා කළේය.

කථානායකවරයා වශයෙන් ඔහුට ආණ්ඩු වෙනස් කිරීමට ප්‍රකාශ නිකුත් කළ නොහැකිය. සභාව තුළ පාලනය පමණයි ඔහුට කරන්න පුළුවන්' යැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු චෝදනා එල්ල කරන්නට පටන් ගත්හ.
සම්ප්‍රදායන් කඩ කරමින් වාර අවසන් කර ඇති පාර්ලිමේන්තුවක කටයුතු කළ යුතු ආකාරය ගැන අබමල් රේණුවක දැනීමක් නොමැති ආකාරයට කරු හැසිරෙන බවට හිටපු කථානායකවරුද චෝදනා එල්ල කරන්නට පටන් ගත්හ.

එහෙත් කරු තීරණය වෙනස් කිරීමට කැමැති වූයේ නැත.

'කරුව බිත්තියට හේත්තු කරලා රනිල් වැඩකරනවා' ආණ්ඩු පක්ෂ කණ්ඩායම රැස්වීමේදී මැති ඇමැතිවරුන් චෝදනා කළහ.

තත්ත්වය එසේ පැවැසෙද්දී පසුගිය 5 වැනිදා බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේදී ආණ්ඩුවේ 'ජනමහිමය' රැලිය පැවැත්විණි. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

එදින බත්තරමුල්ලට ඇදහැලුණු අධික වර්ෂාවකි. එම වැසිද නොතකා විශාල ජනතාවක් එම රැලියට සහභාගි වී සිටීම කගේත් කතාබහට ලක්විය. ශ්‍රී ලනිපය සහ පොහොට්ටුවේ සියලු මැති ඇමැතිවරුන් වසර 3 1/2කට පසුව එකම වේදිකාවකට පැමිණීමටද විශේෂයකි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මෙම රැලියට ආවේ එකම වේලාවේය. ඒ දෙස කවුරුවත් බලා සිටියේ දැඩි ආඩම්බරයකිනි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය කතාවලදීද ඒ බව රැස්ව සිටි පිරිසට කියූහ.

මෙහිදී අගමැතිවරයා අපූරු කතාවක් කීවේය.

'මම මේ වගේ රැස්වීම්වල ටිකක් කතා කරනවා අඩුයි. ඉස්සරත් එහෙමයි. ඉස්සර මම අපේ මහ ලේකම්තුමාට කතා කරන්න ඉඩදීලා කොහොම හරි වචන දෙකක් තුනක් කතා කරලා ෂේප් වෙනවා. අදත් එහෙමයි. ඒක වෙනස්වෙලා නෑ. ජනාධිපතිතුමා ඉතිරි ටික කියයි. එක දෙයක් මම කියනවා. අවුරුදු 3 1/2ක් විරසක වෙලා හිටිය අපි අද එක වේදිකාවකට ඇවිල්ලා ඉන්නවා. මේ බැඳීම කේලම්වලින් කඩන්න බෑ' මහින්ද කීවේ රැස්ව සිටි පිරිසගේ අත්පොළොසන් නද මධ්‍යයේය.

අනතුරුව ජනාධිපතිවරයාද උත්සවය ආමන්ත්‍රණය කළේය. එහිදී ජනාධිපතිවරයා එක්සත් ජාතික පාක්ෂිකයන්ට මේ දිනවල තමන්ගෙන් විමසන ප්‍රශ්නයකටද පිළිතුරු දුන්නේය.

'මේ වෙනස ඇති වුණාට පස්සෙ එක්සත් ජාතික පක්ෂයෙන් මා හමුවෙන්න ආපු හිටපු ඇමැතිරු මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී මාව එම ධුරයට පත් කරපු හැට දෙලක්ෂයක් වෙච්ච ජනතාවගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මහින්ද ඇරෙන්න වෙන විකල්පයක් නැද්ද කියලා.

මගෙන් ඒ ප්‍රශ්නය අහන අයට මට කියන්න දෙයක් තියෙනවා. මම තීරණය ගන්න මාස 8කට කලින් කරු ජයසූරිය මහත්තයට කතා කරලා මේ ගැන කිව්වා. අවස්ථා කිහිපයකදී මගේ ගෙදරට ගෙනැල්ලා කිව්වා. මට රනිල් එක්ක මේ ගමන යන්න අමාරුයි. අගමැතිකම භාර ගන්න කියලා. මම වැන්දෙ නැති ටික විතරයි කරු ජයසූරිය මහත්තයට. එක දවසක් මට එතුමා කතා කරලා කිව්වා, මම ඔබතුමා කියන දේට කැමැතියි. මම එන්නම් හම්බවෙන්න කියලා. මම එදාම හවස 5ට ගෙදරට එන්න කිව්වා. මෙන්න එදා කරු ජයසූරිය මහත්තය රනිල් එක්ක ඇවිල්ලා තොල් පොට වෙව්ල වෙව්ල කිව්වා නායකතුමා ඉන්නවනෙ මට මේකට කැමැති වෙන්න බෑ කියලා.

මම එතැනින් නතර වුණේ නෑ. මීට මාස 2කට විතර කලින් පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාට කතා කරලා කිව්වා අගමැතිකම භාරගන්න කියලා. සජිත් කිව්වා නායකතුමා එක්ක හැප්පෙන්න බෑ කියලා.

ඊට පස්සේ මාව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් ආවා. ඉන්දියාව එක්ක මාව තරහ කරන්න හිතුවා. ඊට පස්සේ තමයි කරු නායකතුමා ඉන්න නිසා බෑ කියපු, සජිත් නායකතුමා එක්ක හැප්පෙන්න බැරි නිසා බෑ කියපු අගමැතිකම රනිල් එක්ක හැප්පෙන්න නෙවෙයි. පෙරළගෙන හරි යන්න පුළුවන් නායකයකුට කතා කරලා මේ අගමැතිකම දුන්නේ' මෛත්‍රි කීවේය.
රැස්ව සිට පිරිසගෙන් මෛත්‍රිට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි.

'පසුගිය අවුරුදු තුනහමාර ඇතුළේ මම මේ ආණ්ඩුවේ කටයුතු කළේ හරිම වේදනාවෙන්. පසුගිය අවුරුදු 3 ගමන ඇතුළේ වික්‍රමසිංහ මහත්තයා සමනල් යුගයකට ගමන් කළා. ආණ්ඩුවේ තීන්දු ගත්තෙත් ඒ සමනල රැළ එකතු වෙලා. දැන් තානාපති කාර්යාල ළඟ දණින් වැටීගෙන ඉන්නවා' යැයි මෛත්‍රි කීවේය.

රැලිය අවසානයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයට ගියේ එහි සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහය සඳහාය. මෛත්‍රි සමඟ සිය පුත් දහම් ද එහි ගියේය. මහින්ද සමඟ සී.බී., පියංකර සහ ලොහාන්ද එහි ගියේය. තේ කෝප්පයක් රස බලා මඳ වේලාවක් මහින්ද සමඟ කතාබහ කර සිටි මෛත්‍රි සහ මහින්ද ඉන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගියහ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී රැස්වූහ. එහිදීද මෛත්‍රි තමන් ගත් තීන්දුව ගැන සමස්ත ලංකා කාරක සභිකයන්ට දැනුම් දුන්නේය.

'මම ගත්ත තීරණය කිසිම වෙලාවක ආපස්සට හරවන්න මම සූදානම් නෑ. දැන් හැමෝම එක එක කතා කියාගෙන යනවා. මම මේ පාවිච්චි කළේ එක තුරුම්පුවක් විතරයි. තව ඕනෙ නම් ඉතුරු ටිකත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩපිළිවෙළට සහාය දෙන්න කියලා මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කරනවා. එහෙම කරන්නෙ නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් එකඟව කළ හැකි තුරුම්පු මම ළඟ තියෙනවා. මේ වැඩපිළිවෙළට සහාය දෙනව නම් මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුපද බේරාගෙන පාර්ලිමේන්තුවේ ඉතිරි කාලය ගතකරන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කිසිම අවශ්‍යතාවක් නෑ. හැබැයි මෙහෙම වැඩකරන්න ආවොත් ඒකත් සිද්ධ වෙයි. මම ගත්ත හැම තීන්දුවක්ම ගත්තෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එඟකවයි. එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රිවරුන් පිරිසක් මාව හමුවෙන්න ඉල්ලලා තියෙනවා. ඒ අයටත් මම මේ ගැන කියනවා' මෛත්‍රි කීවේය.

මෙහිදී පක්ෂයේ සභාපතිවරයාගේ බලතල වැඩිකිරීම සඳහා පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමටද සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය හිමි විය. ඊට අමතරව මධ්‍යම කාරක සභාවේ 68 දෙනකුගෙන් යුත් සාමාජිකයන් වෙනුවට 16 දෙනකුගේ සාමාජිකත්වයෙන් යුත් නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමටද අනුමැතිය හිමි විය.

ටොප් ටෙන් ගැන
පරීක්ෂණ ඇරැඹේ


ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීම 07 වැනිදා සවස පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එහිදී දේශපාලන කාරණා රැසක් සාකච්ඡාවට ලක්කෙරිණි. දිනේෂ්, රෝහිත, ප්‍රසන්න, කෙහෙලිය ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

"අපිට බහුතරය ගැන ගැටලුවක් නැහැ. ඕනේ තරම් කට්ටිය අපේ පැත්තට එන්න ලැහැස්තියි" රෝහිත පැවැසීය.

"ගිලෙන නැවේ මීයොත් ඉන්නේ නැහැ කියලා කතාවක් තියෙනවානේ. ඒකම තමයි අද එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නෙත්" ප්‍රසන්න පැවැසීය.

"ඒ වුණාට අර මනූෂ අනෙක් පැත්තට ගියානේ" දිනේෂ් පැවැසීය.

"මනූෂගේ දේශපාලන අනාගතය ඉවරයි. මනූෂගේ විතරක් නෙවෙයි රනිල්ට පන්දම් අල්ලන සියලු දෙනාගේ දේශපාලනය ඉවරයි. මොකද රනිල් කියන්නේ මෙ රටේ ජනතාවගෙන් අවලංගු වෙච්ච සාධකයක්" ප්‍රසන්න පැහැදිලි කළේය.

සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම මෙවර පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. රැස්වීම ආරම්භයේ දීම මෛත්‍රි තත්ත්වය පැහැදිලි කළේය.

"එක්සත් ජාතික පක්ෂයේ සමනල් රෑන නොයෙකුත් කටකතා පතුරනවා. ඒවාට අහුවෙන්න එපා. පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා කියන එකත් ඒ අය පතුරපු එකක්. එහෙම කිසිම අදහසක් අපිට නැහැ. අපිට බහුතරය තියෙනවා. ඒක අවශ්‍ය වෙලාවට පෙන්වන්න සූදානම්. ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා හරින්නෙත් නැහැ. නියමිත කාලය දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙයි." මෛත්‍රි පැවැසීය.

"දැන් උත්සාහ කරන්නේ අපිව භේද කරන්යි. ඒවට අහුවෙන්න එපා. අපේ සමඟිය තියෙන තාක්කල් අපිව වට්ටන්න බැහැ. ඒ හින්දා හාමෝම කල්පනාවෙන් වැඩ කරන්න. උගුල්වලට අහුවෙන්න එපා" මහින්ද අවවාද කළේය.

"අපි අද උදේ කථානායකවරයා හමුවුණා. එතුමා උත්සාහ ගන්නේ එදාට ඡන්දයක් තියන්න. හැබැයි එහෙම ප්‍රතිපාදනයක් නැහැ. අපි ඒක තේරුම් කළා. නිලධාරීන් පවා ඒ තත්ත්වය තේරුම් ගත්තා. කථානායකට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්" තිලංග පැවැසීය.

"ඒ මොකක්ද ඒ ප්‍රශ්නය? මෛත්‍රි ඇසුවේය.

"කථානායකතුමා බලන්නේ මේ වෙලාවේ අල්ලගෙන ඉඳලා කොහොම හරි පක්ෂයේ ස්ථාවරයක් හදාගන්න. ඒක එයාගේ හැසිරීමෙන් කතාවෙන් තේරුම් යනවා" තිලංග පැවැසීය.

"එක්සත් ජාතික පක්ෂයට ඕනෑ බාලක් නටා ගන්න කියලා අපි දැන් රට හදන වැඩේට බහින්න ඕනේ. මොකද අපි හැමදාම ජනතාවට කිව්වේ අපිට බලයක් ආවොත් අපි මේ රට ගොඩගන්නවා කියලයි. ඒක කරලා පෙන්වන්න ඕනේ" අනුර යාපා පැවැසීය.

"ඒක ඇත්ත. එක්සත් ජාතික පක්ෂය දැන් ව්‍යස්ථාව පවා වැරැදි විදියට අර්ථකථනය කරමින් හදන්නේ අපේ ගමන අඩාල කරන්නයි. ඒවට ඉඩ තියන්න හොඳ නැහැ" සුසිල් ද පෙන්වාදුන්නේය.

මේ අවස්ථාවේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු 113ක බහුතරයක් ගැන සැවොම විමසන බවට ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානයට ලක් කළේය.

"ඔව්... ඔව්... මටත් උදේ ඉඳලා රෑ වෙනකන් කෝල් එනවා 113 හරිද කියලා ඒ ගැන සැකයක් තියාගන්න එපා. ඒක අපට තියෙනවා. ඒ වුණාට තමුන්නාන්සේලාටත් දැන් ඕක අහලා නිතරම කෝල් එනවා ඇති නේද? මට තේරෙනවා, මට තේරෙනවා. බැරිද රිඟින්ටෝන් එකක් හදල දාගන්න. එතකොට ඔය එන කෝල්වලට ආන්සර් කර කර ඉන්න ඕනෙ නෑනේ. 113 සම්පූර්ණයි 113 සම්පූර්ණයි. ආණ්ඩුව ස්ථාවරයි "කියලා ඒකට දාගන්න" ජනාධිපතිවරයා කීවේ සිනාසෙමිනි.

මේ අවස්ථාවේ අගමැතිවරයාටද හොඳටම හිනා ගියේය.

අනතුරුව නැඟීසිටියේ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝය.

"අපි ජනතාව අතරට යන්න නම් කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍යයි. දැන් ඒක ඉක්මනින් හදාගන්න. එතකොට ප්‍රශ්නයක් නෑ" රතන හිමියෝ කීහ.
"ඔව් ඒක ඇත්ත අපි ඒ වැඩ පිළිවෙළ කඩිනමින් හදමු" සුසිල් කීවේය.

අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා විශේෂ කාරණයක් ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය.

"ජනාධිපතිතුමනි, අපි අල්ලස් කොමිසමට පැමිණිලි 10ක් ඉදිරිපත් කරල තියෙනවා. ඒක ගැන වහාම පරීක්ෂණයක් කළ යුතුයි. ටොප් ටෙන් හිටපු ඇමැතිවරු, එතැන ඉන්නවා රාජිත, තලතා, රනිල් මේ ඔක්කෙම ඉන්නවා. ඒ පරීක්ෂණ කඩිනම් කරමු කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා." මහින්දානන්ද කීවේය.

සෙසු මැති ඇමැතිවරුද ඒ අදහස් දැක්වීම අනුමත කළේය. ඒ අනුව ඉදිරියේදී එම පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතය.

මැදමුලනට යන අතරතුර ගෝඨා අනතුරක

හිටපු නියෝජ්‍ය කථානායක වූ දිවංගත ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ පනස් එක් වැනි ගුණසමරු වැඩසටහන, අගමැති මහින්ද රාජපක්‍ෂ සහ මැති ඇමැතිවරුන් ප්‍රමුඛ රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් තංගල්ල නගර මධ්‍යයේදී සිදුකෙරිණි. මේ අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීරද එක්ව සිටියේය. වසර 3කට පමණ පසු අමරවීර ඇමැතිවරයා රාජපක්‍ෂ පවුලේ උත්සවයකට සහභාගිවීමද විශේෂත්වයකි. දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ සහ පළාත් සභා මන්ත්‍රි කපිල දිසානායක විසින් කුරහන්වලින් තැනූ මාලයක් ඩී.ඒ. රාජපක්‍ෂ පිළිරුවට පැලඳවීමද මෙහිදී සිදුවිය.

මේ අතර ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ 51 වැනි ගුණසමරුව වෙනුවෙන් සහ දන්දිනා සමරසිංහ දිසානායක මහත්මිය වෙනුවෙන් අඟහරුවාදා රාත්‍රියේ මැදමුලන නිවෙසේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් පැවැත්වූ අතර පසුදින සංඝගත දක්‍ෂිණාවක් පැවැත්විය.

මෙම දානමය පින්කමට යන අතරතුර හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිය ගමන්ගත් ජීප් රථය හක්මණදී අනතුරට ලක්විය.

එම ජීප් රිය අත් ට්‍රැක්ටරයක වැදී පාරෙන් ඉවතට පැන ගසක වැදී අනතුරට ලක්විය. පසුව මැදමුලන වලව්වේ සිට වෙනත් වාහනයක් ගෙන්වාගෙන ගෝඨා සහ බිරිය මැදමුලන බලා පිටත්ව ගියේය.

දැන් මිනිස්සු ඉල්ලන්නේ ඡන්දයක් - නාමල්

ආණ්ඩුව විසින් සංවිධානය කළ රැලියේ සංවිධාන කටයුතු කෙරෙන අතරතුර එදින උදෑසන ඒකාබද්ධ විපක්ෂයේ රෝහිත, ප්‍රසන්න, තිලංග, පියල් ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් කතාබහ කරමින් සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි.

"රනිල්ගේ කට්ටිය අරලියගහ මන්දිරයට අරක්ගත් බූතයෝ රැළක් වගෙයි. කොච්චර එළෙව්වත් යන්නේ නැහැ" ප්‍රසන්න පැවැසීය.

"එයාව අගමැතිකමෙන් එළෙව්වට, අමාරුයි වගේ අරලියගහ මන්දිරයෙන් එළවන එක" රෝහිත කීවේය.

"පිරිත් කියලාවත් එළවන්න බැරි බූතයෝ ටිකක් තමයි දැන් එතැන ඉන්නේ. ජනබලයක් නැති තැනක මොකට එල්ලීගෙන ඉන්නවාද මන් දන්නේ නැහැ" තිලංග පැවසීය.

"ඕක ඉතින් රනිල් උන්නැහෙට අලුත් දෙයක් නෙවෙයිනේ. දැන් අවුරුදු විසි ගාණක් පක්ෂ නායකත්වයේ එල්ලිලා ඉන්නේ පක්ෂයේ බහුතරය විරුද්ධ වෙලා තියෙනකොට" ප්‍රසන්න කීවේය.

"එයා හිතන් හිටියේ 19 සංශෝධනය සම්මත කරගත්තම අගමැතිකමෙන් එළවන්න බැරි වෙයි කියලා. දැන් පේනවානේ වෙච්ච දේ. අවුරුදු පහකට බලයට ආපු රනිල් හැසිරුණේ මේ රටේ අයිතිකාරයා වගෙයි. මේ රටේ අයිතිකාරයෝ තමයි ජනතාව. අපි නිකම් මුරකාරයෝ විතරයි. රනිල්ට ඒක දැන්වත් තේරෙනවාද දන්නේ නැහැ." රෝහිත පැවැසීය.

සංවිධාන කමිටුවේ ප්‍රධාන සාමාජිකයකු වූ ප්‍රසන්න දින කිහිපයක්ම වෙහෙසෙමින් සිට රැලිය දින උදෑසන පළාත් සභා ගොඩනැඟිල්ල අසලට ආවේ මිනුවන්ගොඩ ජනතාව පිළිගැනුමටය. ප්‍රසන්න සිය ජනතාවද සමඟින් පෙළපාළියෙන් පාර්ලිමේන්තු වටරවුම අසලට ආවේ වැස්සද නොතකමිනි.

රැලියට ජනතාව සමඟ සහභාගි වුවද ප්‍රසන්න කිසිවිටෙකත් වේදිකාවට නැග්ගේ නැත. මේ අතර මෛත්‍රි සහ මහින්ද රැලියට ආවේ එකම රථ පෙළකිනි. ජනතාවට ආචාර කරමින් වේදිකාවට නැග්ග මහින්ද දුටුවේ ප්‍රසන්න ඇතුළු පිරිස වැස්සේ තෙමෙමින් බිම සිටින අයුරුය.

මහින්ද වහාම උදිත අතේ ප්‍රසන්නට පණිවුඩයක් එව්වේ වේදිකාවට පැමිණෙන ලෙසටය. එහෙත් ප්‍රසන්න ආවේ නැත. දෙවැනි වරටත් පණිවුඩයක් එවූ මහින්ද, මෛත්‍රිට කීවේ "මේ යෝධයා හැමදාම ඔහොම තමයි. වැඩක් කිව්වම ඊට වඩා දෙයක් නැහැ. වැඩේ කරලා මිනිස්සු එක්ක ඉඳලා තමයි මිනිහා සතුටු වෙන්නේ" කියාය.

අන්තිමට මහින්දට ප්‍රසන්න වේදිකාවට ගෙන්වා ගත හැකි වූයේ උදිත අතේ තෙවැනි වරටත් පණිවුඩයක් යැවූ පසුවය. වේදිකාවට ආ ප්‍රසන්න මඳවේලාවක් මහින්ද සමඟ කතාබහ කරමින් සිට යළි ජනතාව අතරට ගියේ මහින්ද මෙන්ම මෛත්‍රිටත් සිනහවක් ගෙන දෙමිනි.

මේ අතර රැලිය අවසන් වී නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඇතුළු තරුණ පිරිසද කතාබහ කරමින් සිටියේ ඉදිරි දේශපාලන කටයුතු ගැනය.

"කට්ටියක් කියනවා බහුතරය පෙන්නන්න කියලා. තව කට්ටියක් කියනවා නෑ එහෙම ඕනෙ නෑ කියලා. කථානායක කියනවා ඕනෙමයි කියලා" චානක කීවේය.

'මහජන මතය උරගාලා බලන එක තමයි හොඳ. එහෙනම් ඉතින් ඒ වැඩපිළිවෙළකට යන්න ඕනේ. දැන් මිනිස්සු ඉල්ලන්නෙ ඡන්දයක්' නාමල් කීය.

මන්ත්‍රිවරු අතුරුදන් වෙති

රනිල් පාර්ශ්වයත් මහින්ද සහ මෛත්‍රි පාර්ශ්වයත් මේ දිනවල සිය සියලු වෙර වීරිය දමමින් කටයුතු කරන්නේ බහුතරය සොයා ගැනීමටය. ඒ සඳහා දෙපාර්ශ්වයම ඕනෑම වරදාන වරප්‍රසාදයක් ලබාදී මන්ත්‍රිවරුන් බිලි බා ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටී. පසුගිය සතිය වනවිට මෙම දේශපාලන අර්බුදය මන්ත්‍රිවරුන්ට විඳදරා ගැනීමට නොහැකි විය.

මීට පෙර 'ආරාධනාවක්' ලෙස පැවැති මෙම කටයුත්ත පසුගිය සතිය වනවිට 'බලපෑමක්' බවට පත්විය. ඇතැම් මන්ත්‍රිවරුන්ට මෙය මහත් හිසරදයක් බවට පත්විය. එම නිසා ඔවුන් කිසිම දේශපාලන කටයුත්තකට නොගොස් සිය නිවාසවලට වී සිටියහ. එසේ සිටියදී ඔවුන්ගේ ජංගම දුරකථනවලට ඉස්පාසුවක් නොමැති විය. ඊට හේතුව දෙපාර්ශ්වයේම පිරිස් එක් එක් උපාය දූතයන් ලවා මෙම මන්ත්‍රිවරුන් බිලි බා ගැනීමට උත්සාහ දැරීමය.

ඇතැම් මන්ත්‍රිවරුන් සිය ආරක්ෂක නිලධාරීන්ටද නොදන්වා නිවාසවලින්ද පිටව ගොස් අතුරුදන් වී සිටීමටද කටයුතු කර ඇත. පසුගිය සතිය වනවිට එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රි එම්.එම්. සීනි ඉස්මයිල් සහ චන්ද්‍රානි බණ්ඩාර මන්ත්‍රිවරියද මෙසේ කිසිදු ආරංචියක් නොමැතිව අතුරුදන් වී සිටින බවටද තොරතුරු සැලවිය.

මේ අතර ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව හකීම් පාර්ශ්වය සහ රිෂාඩ් පාර්ශ්වය මක්කම වන්දනාව බලා පිටත්ව ගියේ පසුගිය බදාදා රාත්‍රියේය. ඔවුන්ද පවතින දේශපාලන අර්බුදය යටතේ මානසික සුවය සඳහා මෙම සංචාරයට එක්ව ඇති බවටද තොරතුරු වාර්තා වේ. කෙසේ හෝ ඔවුන් පිරිස නැවත මෙරටට පැමිණෙන දිනයක් දැනුම් දී නොමැති වීමද විශේෂයකි.

ගාලගෝට්ටියක් වූ පක්ෂ නායක හමුව

පාර්ලිමේන්තුව ආරම්භක දිනයේ න්‍යාය පත්‍රය ගැන සාකච්ඡා කිරීමට සහ පවතින දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා කථානායක කරු ජයසූරිය පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී නිල නොවන පක්ෂ නායක හමුවක් කැඳවා තිබිණි. නිල නොවන පක්ෂනායක හමුවක් නිසා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය නියෝජනය කරමින් වෙනදාට වඩා විශාල මන්ත්‍රින් පිරිසක් ඊට සහභාගි වීමද විශේෂත්වයකි. කථානායක නිල මැදිරිය මෙම මන්ත්‍රි පිරිසගෙන් පිරී තිබිණි.

පාර්ලිමේන්තු නිලධාරීන්ද එහි අසුන් ගෙන සිටියේ ඒ සියලු අසීරුතා මැදය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මෙම හමුව සඳහා දිනේෂ්, නිමල්, මහින්ද සමරසිංහ, අනුර යාපා, චන්දිම, තිලංග, වාසු සහ සොයිසාද විපක්ෂය නියෝජනය කරමින් සම්පන්දන්, කිරිඇල්ල, රාජිත, ගයන්ත, රවි, අජිත් පෙරේරා, චම්පික, අනුර, අලවතුවල, ආශු සහ සුමන්තිරන් එක්ව සිටියහ. එක් අවස්ථාවක මෙම හමුව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. කථානායකවරයාටද එය පාලනය කිරීමට නොහැකි විය. මෙම හමුවේදී කථානායකවරයා පළමුවෙන් අදහස් දැක්වීම සිදුකළ අතර ඒ අවස්ථාවේ මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
'රට අස්ථාවර වෙලා තියෙන වෙලාවක රටත් ලෝකයත් අපි දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා ඉස්සර වෙලාම කරන්න ඕනේ රට ස්ථාවර කිරීම' කරු කීවේය. 'ඔබතුමා වැඩකරන්න ඕනෙ කථානායක හැටියට නැතිව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට නෙවෙයි' දිනේෂ් තරමක් කේන්තියෙන් කීවේය.

'ඔබතුමා හැමදාම ඔහොමයි. මට අපහාස කරනවා' කරු කීවේය.

'නෑ මේ වෙලාවේ රටේ ව්‍යවස්ථාව අනුව නව අගමැති කෙනෙක් පත්වෙලා ඉන්නවා. ඒ තනතුරට අවශ්‍ය වරප්‍රසාද ලබාදෙන්න. මහින්ද සමරසිංහ කීවේය.

'කොහෙද නීත්‍යනුකූල වෙන්නෙ. හොර අගමැති කෙනෙක්නේ පත්වෙලා ඉන්නෙ ඒක නීති විරෝධියි' අපිත් ජී. පෙරේරා තරමක් කේන්තියෙන් කීවේය.

'නෑ නෑ මම ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනය පිළිගන්නවා. ඒ අවශ්‍ය පරිදි අසුන් පැනවීම සිදුවෙයි.' හැබැයි එදාට බහුතරය පෙන්වන්න අවශ්‍යයි.' කරු කීවේය.
'ඔබතුමා කරුණාකරලා ව්‍යවස්ථාවට වැඩකරන්න. ස්ථාවර නියෝග අනුව වැඩකරන්න' චන්දිම කීවේය.

'බහුතරය පෙන්නන්නෙ නැතිව නෙමේද සභානායක පත්කරන්නෙ. ඒවා පාර්ලිමේන්තුවෙන් පත්කරන්න ඕනෙ තනතුරු. මේක මහ විහිළුවක්' කිරිඇල්ල කීවේය.
මේ අවස්ථාවේ සැවොම අදහස් දක්වන්නට පටන් ගැනීම නිසා පක්ෂ නායක හමුව මහා ඝෝෂාවක් විය.

වාසුදේව නානායක්කාර ඇමැතිවරුන්ගේ ඝෝෂාව අස්සේ කථානායකවරයා දෙස බලමින් 'ඕනෑම අභියෝගයකට අපි සූදානම්' යැයි ඉතා දැඩිව කීවේය.
'මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙර සේ' රාජිත වාසු දෙස බලමින් කීවේ මේ ඝෝෂාව මැදය.

'බහුතරයක් නැති නිසා තමයි මේ හොර අගමැති සහ නඩය මේ විදියට වැඩකරන්නෙ' චම්පික කීවේය.

'අපිට බහුතරය තියෙනවා. ඒක ගැටලුවක් නෑ' දිනේෂ් කීවේය.

'14 වැනිදාට එය බලන්න ඕනේ' අපිත් පී. පෙරේරා වාදයකට පැටලීමට උත්සාහ දැරුවේය.

'14 වැනිදා තියෙන්නෙ ජනාධිපතිතුමාගේ රාජාසන කතාව විතරයි' මහින්ද සමරසිංහ කීවේය.

මෙම ඝෝෂාව මැද පක්ෂ නායක හමුව විසඳුමකින් තොරව අවසන් විය.

'බලාගමු මොකද වෙන්නේ කියා' අජිත් පී. පෙරේරා දැඩිව කීවේය.

'ඇයි චණ්ඩිකම්ද? අපිත් ඕන එකකට ඔට්ටුයි' ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් කියාගෙන ගියේය.

හිටපු අගමැති තවමත් අරලියගහ මැඳුරේ

රටේ අගමැතිවරයාගේ නිල නිවෙස ලෙස භාවිත කරන්නේ අරලියගහ මන්දිරයයි. මේ වන විට ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව නව අගමැතිවරයෙක් පත්කර තිබුණද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ තවමත් එහි රැඳී සිටීම විශේෂත්වයකි. එහි ඉදිරිපස පසුගිය 27 වැනිදා සිට අඛණ්ඩව පිරිත් සජ්ඣායනයක් පැවැත්වේ. එය සංවිධානය කළ අශෝක ප්‍රියන්ත මන්ත්‍රිවරයා නම් අද එහි නැත. ඔහු නියෝජ්‍ය ඇමැතිකමක් ලබා මහින්දගේ සහායට පැමිණ තිබේ. නමුත් පිරිත නතර නොකර තව දුරටත් පැවැත්වේ. එහෙත් අරලියගහ මන්දිරයේ ශාලාවල නම් මේ දිනවල සිදුවන්නේ එහි කවදාවත් සිදු නොවූ දේවල්ය.

අඛණ්ඩව එහි දිවා රෑ කාලය ගත කරන එජාප පාක්ෂිකයන් සහ හිටපු මැති ඇමැතිවරුන් පැදුරු සාජ්ජ පවත්වයි. තැන තැන එජාප පාක්ෂිකයන් ඕමි බලයි. අද වන විට අරලියගහ මන්දිරය දැඩි ලෙස ජරා ජීර්ණ වී තිබේ. කැළි කසළවලින් එම පරිශ්‍රය පිරී ගොස් ඇත. ඊටත් අමතරව එහි එක් පසෙක විශාල දුර්ගන්දයක් හමයි. රනිල් වික්‍රමසිංහ මහතාද මේ දිනවල කිසිදු වැඩකටයුත්තකට සහභාගි නොවී අරලියගහ මන්දිරයටම වී සිටීමද විශේෂත්වයකි.

තත්ත්වය, එසේ පැවැතියදී වෙනදා මෙන් මන්ත්‍රිවරු බ්‍රහස්පතින්දා පෙරවරුවේම අරලියගහ මන්දිරයට පැමිණියේ ඇතිවී තිබෙන වාතාවරණය ගැන කතා කිරීමටය.

එහිදී මුලින්ම හඬ අවදි කළේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. "පක්ෂ නායක රැස්වීමේදී බහුතරය තියෙනවා කියලා කෑ ගැහුවට සන්ධානයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ඇවිල්ලා තියෙන්නේ 87 දෙනයි."

"ඔව් ඔව් දැන් බහුතරය හොයාගන්න බැරිව දෙමළ සන්ධානයේ මන්ත්‍රිවරුන්ට ඇමැතිකම් ගන්නැයි සමහර නායකයෝ වැඳ වැටෙනවා." රන්ජන් කීවේය.

"ටීඑන්ඒ එක ගෙන්නලා ඇමතිකම් දෙන්න හදලා විතරක් නෙවෙයි දෙමළ සිරකරුවන් සියලු දෙනා නිදහස් කරන්නත් ජනාධිපතිතුමා පොරොන්දුවෙලා තියෙනවා," කිරිඇල්ල කීවේ බැරෑරුම් ලෙසය.
"අපි උසාවියෙන් බේරාගන්න කියලායි ටීඑන්ඒ එකට කිව්වේ" වජිර කියද්දී රන්ජන් කීවේ බොරු දේශප්‍රේමය දැන් ඉවරයි කියාය.

"රනිල් නැතිව ඕන යූඑන්පී කාරයෙක් ගේන්න මම අගමැති කරන්නම් කියලා ජනාධිපතිතුමා මනෝ ගනේෂන්ලට කියලා තියෙනවා" නවීන් කීවේය. "දැන් හැමෝටම අගමැති වෙන්න පුළුවන් විදියට රෝස්ටරයක් හදමු." මන්ත්‍රිවරු සිනාසෙමින් කියූහ.

"පාර්ලිමේන්තුව 14 වැනිදා කැඳවලා සාම්ප්‍රදායික කටයුතු අවසන් වුණාම ස්ථාවර නියෝග අත්හිටුවලා බහුතරය පෙන්නලා ස්ථාවර රජයක් පත් කරගන්න අවස්ථාව උදා වෙනවා. ඒක නිසා දැන් එයාලා හිර වෙලා ඉන්නේ. මේකට මූණ දෙන්න ඒ අයට බැහැ" කිරිඇල්ල කීවේ සැවොම හිස සලද්දීය.

"අපේ අගමැතිතුමාව අර්බුදයට තල්ලු කරන්න හදපු අයගේ පැත්තට අද අර්බුදය තල්ලුවෙලා. රනිල්ව පෙරළගෙන යන්න පත් කරපු කෙනා දැන් මෛත්‍රිව පෙරළගෙන යයි වගේ නවීන් කීවේ සැවොම සිනා සෙද්දීය.
"මේ සියලු කාරණා එක්ක හිර වෙන්නේ රටේ ආර්ථිකය. අපි ඒක හොඳට හදාගෙන ආවා විතරයි" යනුවෙන් රනිල් ප්‍රකාශ කරද්දී සැවොම එය අනුමත කළෝය. "මිලේනියම් චැලේන්ජ් අරමුදලේ ඩොලර් මිලියන 500ක් ඔවුන් විදෙස් සංචිතවලින් ඉවත් කරගෙන" රන්ජන් කීවේය.

"අයිඑම්එෆ් එකත් ඊළඟ වාරිකය දීලා නැහැ. ජී.එස්.පී. සහනයටත් මෙය බලපානවා. ජාත්‍යන්තර ප්‍රජාව ඉන්නේ කලකිරිලා. ව්‍යාපාරිකයන්ට මේකෙන් ලොකු හානියක් වෙනවා. ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටිලා. ණය ගත්ත මිනිහට ගෙවා ගන්න ක්‍රමයක් නැහැ කියලා පේනවා නම් කවුරුත් ණය දෙන්නේ නැහැ." දයා ගමගේ දීර්ඝ විස්තරයක් කළේය.

"අපි සහන සමඟ ටැබ් එකක් දුන්නා. දැන් ටැබ් එක කපලා සහන දෙන්න හදනවා" අකිල කීවේය.

"එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින රටේ ජනතාව පිළිගත් පක්ෂ. මේවා තානාපති කාර්යාල ඔවුන්ගේ රටවල්වලට දන්වලා තියෙනවා. මේකෙන් හිර වෙන්නේ රට" චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා එතෙක් වෙලා සිටි නිහඬතාව බිඳිමින් කීවේය.

"අපේ මන්ත්‍රිවරුන්ට ඉන්න දෙන්නේ නැහැ. හැම වෙලාවෙම බලපෑම් කරනවා. එන්න එන්න කියලා. ඉල්ලන දෙයක් දෙන්නම් කියලාත් කියනවා. වඳින්නේ නැති ටික විතරයි." යනුවෙන් අජිත් පී. පෙරේරා කියද්දී හරින් ප්‍රනාන්දු කීවේ මේක කරන්න මැදිහත් වී සිටින්නේ 16 දෙනාගේ කණ්ඩායමේ කිහිප දෙනෙක් බවය.

"රංගේ බණ්ඩාර ඇමැතිතුමා ඉදිරිපත් කරපු අල්ලස් හඬ පටය ගැන ප්‍රධාන ටීවී චැනල් වගේම අනෙක් මාධ්‍යවලත් දැම්මේ නැහැ. අජිත් පෙරේරා කියද්දී රන්ජන් කීවේ, දැන් බොහෝ දෙනෙක් බලන්නේ සමාජ මාධ්‍ය කියාය. මේ හඬපටයට හොඳ ප්‍රතිචාරයක් සමාජ මාධ්‍යවල තියෙනවා රන්ජන් තවදුරටත් කීවේය.

මෙහිදී චමින්ද විජේසිරි යළිත් කීවේ "සර් විදේශ මාධ්‍යවලට හොඳ කතාවක් කියලා තිබුණා" කියාය. "ඒ මොකක්ද" රනිල් ඇසුවේය.
"නැහැ සර්ගේ ආරක්ෂාව අඩු කරලා හිරිහැර කළාට එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්ථාවර වුණාට පස්සේ ජනාධිපතිවරයාට කිසිදු හිරිහැරයක් වෙන්න දෙන්නේ නැහැ කියලා කිව්වේ" ඒක හොඳයි. සර්. චමින්ද විජේසිරි කීවේය.

ඊට රනිල් හිස සලද්දී රන්ජන් රාමනායක කීවේ "ආ ඒක මොකක්ද 2014 පොදු අපේක්ෂකයා හැටියට එනකොට අගමැතිතුමානේ ගිහිල්ලා ආරක්ෂාව ගැන හොයා බලලා සියලු පහසුකම් දුන්නේ. එතුමා ආරක්ෂාව නැතිව යද්දි මෛත්‍රිපාල සිරිසේනට එතුමාගේ ආරක්ෂාව ලබාදුන්නා" රන්ජන් යළිත් කීවේය.

"පාර්ලිමේන්තුව විසිරුවන්නත් උත්සාහයක් අරන් තියෙනවා කියලා ආරංචියි" මුජිබර් කීවේය. "ඒක කරන්න බැහැ කියලා නීති අංශ දැනුම් දුන්න නිසා අකුළගත්තා කියලායි ජනාධිපති මන්දිරය පැත්තෙන් කියන්නේ" රනිල්ගේ නීති නිලධාරියකු ඒ කතාවට මැදිහත් වෙමින් කියද්දී තරුණ මන්ත්‍රිවරු කීවේ ව්‍යවස්ථාවට පිටින් අගමැති කෙනෙක් පත් කළා වගේම ව්‍යවස්ථාවට පිටින් පාර්ලිමේන්තුවත් විසුරුවනු ඇති දැයි දන්නේ නැහැ කියාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ පාර්ලිමේන්තුව විසුරුවන්න. රනිල් එහිදී හඬ අවදි කළේය. අපි සියලු දෙනාම එකාවගේ ඉන්න ඕනේ. කටකතාවලට අපේ සමඟියත් බිඳින්න බැහැ කියලා අද කාට කාටත් ඔප්පු වෙනවා යැයි හරින් ප්‍රනාන්දු යළිත් කීවේය. හැමෝම එකා වගේ ඉඳලා 14 දාටත් සමඟිව අභියෝගවලට මුහුණ දෙමු යැයි හරින් කියද්දී සැවොම එය එක හ¾ඩින් අනුමත කළෝය.

මනුෂ ආපසු හැරෙයි

මනුෂ නානායක්කාර මහතා පසුගිය සතියේ සිය නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වී එක්සත් ජාතික පක්ෂයට එක්විය. නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය භාරගත්තද එය සතුටකින් කළ දෙයක් නොවන බව ඔහු පැවැසීය. දිවුරුම් දීමට ප්‍රථම සිය මිතුරන් කිහිප දෙනකු පැමිණ මනුෂට ඇමැතිකම භාරගන්නා ලෙසට ඇවිටිලි කර ඇත.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයාත් සනත් නිශාන්ත මන්ත්‍රිවරයාත් මනුෂ නානායක්කාර මන්ත්‍රිවරයාගේ ආරක්ෂක අංශයේ දුරකථනයකට ඇමැතුමක් දෙමින් ඇසුවේ තවම පදිංචිව සිටියේ ඔවුන් කලින් පැමිණ සිටි පැරැණි නිවෙසේම දැයි කියාය. එම දුරකථන ඇමැතුම අවසන් වන විටම ඔවුන් දෙදෙනා සිටියේ මනුෂගේ නිවෙසේය.

'මනුෂ, හෙට ගිහිල්ලා දිවුරුම් දෙන්න. මහින්ද මහත්තයයි බැසිලුයි දෙන්නම ඔයාට කතා කරන්න ඕන කියලා කියනවා' අරුන්දික කීවේ ඒ වන විටත් මහින්දගේ හා බැසිල්ගේ දුරකථන ඇමැතුම්වලට පිළිතුරු නොදුන් මනුෂටය. අරුන්දික තමන්ගේ දුරකථනයෙන්ම මහින්දට සහ බැසිල්ට දුරකථන ඇමැතුමක් දෙකක් ලබාගෙන මනුෂට කතා කිරීමට දුන්නේය. ඔවුන් දෙදෙනා සමඟ කතා කළත් ඇමැති ධුරයේ දිවුරුම් දීමට මනුෂගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත.

එහෙත් මනුෂ ඇතුළු කණ්ඩායම දිවුරුම් දීමට ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ නියමිත වේලාවත් පසුවූ විටය. කෙසේ වෙතත් දිවුරුම් දී නැවත පැමිණි මනුෂ සිටියේ එතරම් සතුටකින් නොවේ. දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කළ පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේ අපහසුතාව ගැන ඔහු තමන්ගේ දේශපාලන හිතවතුන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

'මේ කරන වැඩේ සාධාරණ නෑ. ජාත්‍යන්තරයෙන් අපි කොන් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් කොහොමද මේ වගේ ආණ්ඩුවක ඇමැතිකමක් දරාගෙන ඉන්නේ' මනුෂගේ හිතවත්තු පැවැසූහ.

මේ අතර කථානායකවරයාද පාර්ලිමේන්තුවේ බහුතරය ඇති අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගනිමින් නිවේදනයක්ද නිකුත් කළේය. ඒ සමඟින් මනුෂ තීන්දුවක් ගත්තේය. ඒ තමන්ගේ නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වීමටය. නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වීමේ ලිපිය ලියූ මනුෂ, රනිල්ට දුරකථන ඇමැතුමක් දුන්නේය. ඒ හැකි ඉක්මනින් හමුවීමට අවශ්‍ය බව කියමිනි. ඒ අනුව අරලියගහ මන්දිරයට ගොස් රනිල් හමුවිය.

රනිල් හමුවීමට යන විට රවි කරුණානායක මන්ත්‍රිවරයාත්, මනෝ ගනේෂන් මන්ත්‍රිවරයාත් එහි විය. තමන්ගේ තීරණය රනිල්ට දැනුම් දුන් මනුෂ තමන්ගේ ආරක්ෂාව පතා ඉදිරි පියවර ගත්තේය. ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර විදේශ ගත විය.

මනුෂ රනිල් සමඟ කතා කරමින් සිටියදී එතැනට පැමිණි මනුෂගේ හිතවතෙක් ඔවුන් සාකච්ඡා කරන අවස්ථාව වීඩියෝ ගත කළේය. ඉන්පසුව ඔහුගේ ජංගම දුරකථනයෙන් තමන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය රූපගත කළේය. ඒ පසුදා එය මාධ්‍යයට නිකුත් කිරීමටය.

මනුෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබෙන විට මනුෂ රටින් පිටව ගොස් තිබිණි.
වමේ පක්ෂ කවදත් කුමන්ත්‍රණවලට විරුද්ධයි...

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ජවිපෙ නායකයන්ද විවිධ අවස්ථාවල හමු වී සාකච්ඡා පවත්වති. ක්‍රියාමාර්ග ගනිති. පසුගිය අඟහරුවාදා දිනයේදීද ජවිපෙ නායකයෝ ජවිපෙ කාර්යාලයේදී හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූහ.

'26 වැනිදා ඇති වුණු බල සූදුව තවමත් ඉවරයක් කරගන්න බැරිවෙලා තිබෙනවා. දවසින් දවස දේශපාලන අර්බුදය උග්‍ර අතට හැරෙමින් තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි පක්ෂයක් විදියට ගන්න ක්‍රියාමාර්ග ඉතාම තීරණාත්මක වෙලා තිබෙනවා. ජනතාව වගේම අනෙක් දේශපාලන පක්ෂත් අපි ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශාල අවධානයකින් ඉන්නේ.' ටිල්වින් සිල්වා කියා සිටියේය. 'අපිට සමීප පිරිස්, මහින්ද විරෝධී පිරිස්, මහින්දට සහාය පළකරන පිරිස් මේ හැමෝම අපි දිහා බලාගෙන ඉන්නවා. ඇතැම් අය කියනවා මේක ඒ අයගේ ප්‍රශ්නයක් අපි පැත්තකට වෙලා ඉන්න ඕනෑ කියලා. රාජපක්ෂවාදීන් අපිට ලොකු ප්‍රහාරයක් දෙන්න උත්සාහ කරනවා.

එජාපයේ පිරිස් අපේ සහාය ගන්න බලාගෙන ඉන්නවා. මෛත්‍රි, මහින්ද, රනිල් බල සූදුව පරාජය කරන්න ඕනෑ. මේ කළු සල්ලි එහාට මෙහාට වීසි කරලා ආණ්ඩු හදන ඒවට අපි සහාය දෙන්න ඕන නැහැ. නමුත් රටේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාමාර්ග පරාජයට පත්කළ යුතුයි.

වමේ ව්‍යාපාර කවදත් කුමන්ත්‍රණවලින් බලය ගැනීම ප්‍රතික්ෂේප කරනවා.' පක්ෂ නායක අනුර දිසානායක කියා සිටියේය. 'මන්ත්‍රිවරු විකිණෙන එක පුදුමයක් නෙවෙයි එක අතකට. ඡන්ද කාලේ ජනතාව තමන්ගෙ ඡන්ද ටකරන් සීට් එකට, සාරියට, දේශපාලන පත්වීමට වික්කා. දැන් මන්ත්‍රිලා, මන්ත්‍රිකම විකුණනවා ඊළඟ ඡන්දෙට සල්ලි හොයාගන්න. ඒ නිසා මේ විකිණෙන අයටත්, ගන්න අයටත්, කුමන්ත්‍රණවලින් බලය අල්ලන අයටත් මීට පස්සේ අපි මන්ත්‍රිතුමා, ඇමැතිතුමා, අගමැතිතුමා, ජනාධිපතිතුමා කියලා නොකියා ඉන්න ඕනෑ. මොකද ඒ තනතුරුවලට තියෙන ගෞරවය දැන් කළු සල්ලිවලට යටවෙලා ඉවරයි.' සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.

'ඒ වගේම මේ කළු සල්ලිවලින් හදන ආණ්ඩු අපි පිළිගත යුතු නැහැ. මහින්දලා කළු සල්ලිවලින් ආණ්ඩු හැදුවත්, රනිල් වික්‍රමසිංහලා කළු සල්ලිවලින් ආණ්ඩු හැදුවත් ඒවා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු නෙවෙයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධීව පත් කරන තනතුරු අපි පිළිගත යුතු නැහැ.' ලාල්කාන්ත පෙන්වා දුන්නේය. 'මේ වෙලාවේ සමහරු අපිට මඩ ගහනවා.

කාගෙවත් මඩවලට බයේ අපි අපේ දේශපාලන තීන්දු වෙනස් කරලා නැහැ කවදත්. අපි හැමදාමත් රටේ තීරණාත්මක අවස්ථාවලදී හරියට කෙළින් හිටගත්තා. ඒ වගේම අපි කාටවත් සහාය දෙන්නේ නැහැ කිව්වාම සමහරු ඒක වැරැදි විදියට අර්ථකථනය කරගෙන. අපි රනිල්ට මහින්දට අගමැතිකම් ගන්න සහාය නොදුන්නාට මේ කුමන්ත්‍රණය පරාජය කළ යුතුයි.

පාර්ලිමේන්තුවේදී මේ කුමන්ත්‍රණය පරාජය කරන්න ගේන යෝජනාවකට, විශ්වාසභංගයකට අපි ඡන්දය දෙන්න ඕනෑ. ඒ වගේම නීති විරෝධීව ආණ්ඩුව හදාගෙන අය වැයක් ගෙනාවොත් අය වැය පරාජය කරන්න ඡන්දය දිය යුතුයි.' විජිත හේරත් යෝජනා කළේය. ඒ විතරක් නෙවෙයි. අපි පාර්ලිමේන්තුවේදී වගේම පාර්ලිමේන්තුවෙන් පිටතදීත් මේ කුමන්ත්‍රණයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කියලා බලපෑමක් කරන්න විරෝධතා උද්ඝෝෂණ සංවිධානය කළ යුතුයි. මොකද ජනතාවත් මේ වෙලාවේ ව්‍යාකූල වෙලා ඉන්නේ. ජනතාව දැනුවත් කිරීමේ අයිතිය තිබෙන්නෙත් අපිට. ඒ වගේම අපි මේ කුමන්ත්‍රණයට විරුද්ධව වැඩ කරන්න කැමැති දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සියල්ල හමුවෙලා සාකච්ඡා කරන්න ඕනෑ.' බිමල් රත්නායක යෝජනා කළේය.

ජවිපෙ-ටීඑන්ඒ හමුවක්...

මේ අතර ජවිපෙ පසුගිය පස්වැනිදා පස්වරුවේ දෙමළ ජාතික සන්ධානය හමුවිය. ජවිපෙ නායක අනුර දිසානායක සහ දේශපාලන මණ්ඩල සභිකයන් වන ලාල්කාන්ත, බිමල් රත්නායක එදින පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයට ගියහ. එහිදී විපක්ෂ නායක ආර්. සම්පන්දන් සහ සුමන්දිරන් මන්ත්‍රිවරයා ජවිපෙ නායකයන් සුහදව පිළිගත්හ. පසුව ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කළහ. 'රටේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්වෙලා තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීමෙන් විශාල ලෙස බැටකෑව පක්ෂයක් තමයි ජවිපෙ. ඒ වගේම උතුරේ ජනතාවත් විශාල පීඩාවකට ලක්වෙලා තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීමෙන්. ඒ නිසා අපිට මේ අවස්ථාවේ එක්ව සටනක් කළ හැකියි.' අනුර දිසානායක කියා සිටියේය. 'සිදුවීම වුණාට පස්සේ අපි අපේ ස්ථාවරය කිව්වා. එනිසා මේ ප්‍රශ්නය විසඳගන්න පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. ඒ වගේම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ග පරාජයට පත්කළ යුතුයි.' විපක්ෂ නායක සම්පන්දන් එක්ව ක්‍රියාමාර්ග ගැනීමට තම සංවිධානය එකඟ බව ප්‍රකාශ කළේය.

වෛද්‍ය නලින්දට ඩිව් කියපු කතාව

පසුගිය හය වැනිදා රාත්‍රියේ විශේෂ රූපවාහිනි සංවාද වැඩසටහනක් සඳහා ජවිපෙ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස සහභාගි විය. එම වැඩසටහනටම කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකරද සහභාගි විය. වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම ජවිපෙ මන්ත්‍රිවරයා සහ ඩිව් ගුණසේකර අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද කතාබහක් ඇතිවිය. 'මේ කරලා තියෙන්නේ ව්‍යවස්ථාවට විරුද්ධ වැඩක්.

මේ වෙලාවේ තමයි අපිට 20 වැනි සංශෝධනයේ වැදගත්කම තේරෙන්නේ. ඔබතුමාලා ගෙනාපු 20 වැනි සංශෝධනය සම්මත කළා නම් මේ අර්බුද ඇතිවෙන්නේ නැහැ. තනි මිනිහෙක් බලය පාවිච්චි කරලා මේ වගේ වැඩ කළාම රටම අර්බුදයට යනවා. මම මේක රට ඉස්සරහ කියනවා.' ඩිව් ගුණසේකර වෛද්‍ය නලින්ද ජයතිස්සට කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතාබහක්...

පසුගිය හත් වැනිදා රාත්‍රිය වනවිට පාර්ලිමේන්තුව විසුරුවීමේ සාකච්ඡාවක් යන බවට තොරතුරු කනින් කොනින් ජවිපෙ නායකයන්ටද වාර්තා විය. ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ට රජයේ මුද්‍රණාලයෙන් ලැබුණා යැයි කියන තොරතුරක් දුරකථනයට වාර්තා විය. එයින් කියැවුණේ එදින රාත්‍රියේ විශේෂ ගැසට් නිවේදනයක් පැමිණීමට නියමිත බැවින් කිහිප දෙනෙක් රාත්‍රි වැඩමුරයේ රැඳී සිටිය යුතු බව ජනාධිපති කාර්යාලයේ නියෝජිතයකු විසින් දන්වා තිබෙන බවයි. 'එක ව්‍යවස්ථා විරෝධී වැඩක් කරලා තවත් එකක් කරන්න යන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවන්න වගේ හදන්නේ.' විජිත හේරත් අසල සිටි ටිල්වින් සිල්වාට කියා සිටියේය. 'පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට මේ මොහොතේ ප්‍රතිපාදන නැහැ. පාර්ලිමේන්තුවේ 2/3ක් ඕනෑ. මේ හදන්නේ මන්ත්‍රිවරු බය කරලා තමන්ගේ පැත්තට බිලීබාගන්න.

අනෙක නීති විරෝධී අගමැති කෙනෙක්, කැබිනට් මණ්ඩලයක් හදාගෙන ඡන්ද කරන්නේ කොහොමද?' ටිල්වින් සිල්වා කියා සිටියේය. 'මේ කරනවා ඇත්තේ ඊළඟ ඡන්දෙන් දිනන්න බැරිවෙයි කියන මන්ත්‍රිවරු ටික තමන්ගෙ පැත්තට බිලීබාගන්න කරන මගඩියක් වෙන්නත් පුළුවන්' විජිත හේරත් කීය.

කොළඹ මහ නගර සභාවේ කාන්තා හිංසනය

කොළඹ මහ නගර සභාවේ කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් හා හිරිහැර සිදුවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිනි ෂර්මිලා ගෝනවල මහත්මිය බස්නාහිර පළාතේ ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාට නගර සභා රැස්වීමකදී කරන ලද පැමිණිල්ල ත්‍රිපුද්ගල කමිටුවක් ඉදිරියේ සාකච්ඡාවට භාජන කර ඇත. මෙම චෝදනාව පිළිබඳ මුල් දිනයේ පැමිණිලිකාරිය වන ෂර්මිලා ගෝනවල මහත්මිය ලිඛිතව සිය පැමිණිල්ල කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියට භාර දුන්නාය. ඒ අනුව බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා එම චෝදනා පැමිණිල්ල පිළිබඳ කමිටුවක් පත් කළේය.

පැමිණිලිකාරිය වන ෂර්මිලා ගෝනවල මහත්මිය ඉකුත් දිනෙක කමිටුව වෙත කැඳවා පැය 03කට ආසන්න කාලයක් තිස්සේ පැමිණිලි ප්‍රකාශය සිදු කර ඇත. කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් විසින් ලබාදී තිබූ ලිපි 06ක්ද මෙහිදී විමර්ශනයට භාජන කළ බවද පැවැසේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිකාර මන්ත්‍රිවරිය වන ෂර්මිලා ගෝනවල මහත්මියගේ සභාවේ සඳහා අනුව සොයා බැලූ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ඒ පිළිබඳව සොයා බැලීම සඳහා 10 දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කෙරිණි. හිටපු මහාධිකරණ විනිසුරු මැක්ස්වල් පරණගම, නීතිඥ ෂාමෙල් මදුරසිංහ හා නීතිඥ භාග්‍යා මනෝරි යන මහත්ම මහත්මීහු මෙම ත්‍රිපුද්ගල කමිටුව නියෝජනය කරති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon