දියවන්නාවේ ගෙම්බෝ

  👤  2261 readers have read this article !
2018-11-14

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත් 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශේ‍ර්ෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් ඊයේ නිකුත් කළේය. ඒ, ජනාධිපතිවරයාගේ තීන්දුව ව්‍යවස්ථා විරෝධී බව පවසමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුව බල රහිත කරන්නැයි ශේ‍ර්ෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 13ක් විභාගයට ගැනීමෙන් අනතුරුවය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය තිබෙන බව පවසමින් පෙත්සම් 5ක් ද ඉදිරිපත් කර තිබිණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මහ මැතිවරණයකට දින නියම කෙරිණි. ඒ අනුව නාම යෝජනා කැඳවීම ලබන 19 වැනිදා ඇරැඹීමට නියමිතව තිබූ අතර ඡන්ද විමසුම පැවැත්වීමට නියමිතව තිබුණේ ජනවාරි 5 වැනිදාය. ශේ‍ර්ෂ්ඨාධිකරණය ඊයේ ලබාදුන් අතුරු තහනම් නියෝගයට අනුව සියලු මැතිවරණ කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුවී ඇත.

ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීමට පෙර කල් තබා තිබූ පාර්ලිමේන්තුව යළි රැස්වීමට තිබුණේ නොවැම්බර් 14 වැනිදා එනම් අදය. අදාළ අතුරු තහනම් නියෝගයට අනුව නියමිත පරිදි පාර්ලිමේන්තුව යළි කැඳවිය හැකිද යන්න ගැන තවමත් පැහැදිලි නැත.
කාරණය අනෙකකි.

ඉකුත් 11 වැනිදා ජාතිය ඇමැතූ ජනාධිපතිවරයා සිය කතාවේදී කියා සිටියේ හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලපෑ එක් ප්‍රධාන හේතුවක් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රුපියල් මිලියන සියයට, එකසිය පනහට පමණක් නොව මිලියන 500 දක්වා මිලකට අලෙවි වීම නිසා බවය. පිල් මාරු වන්නන්ට මෙන්ම පිල් මාරු නොකර සිටින්නන්ටද 'මුදල්' ලැබුණු බව පැවැසිණි.

මීට පෙරද අවස්ථා කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිල් මාරු කළහ. ඒ තනතුරුවලට හා මුදලටය. පිල් මාරු කිරීම කවදත් මෙරට දේශපාලනයේ සිදුවූවකි. එක්සත් ජාතික පක්ෂයේ සිටි එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදීමත් පිල් මාරුවකි. එහෙත් එකල පිල් මාරු සිදු වූයේ බොහෝ විට ප්‍රතිපත්තිමය කාරණා මත මිස මුදල් ඇතුළු වරදානවලට නොවේ. එහෙත් මේ වන විට මෙරට දේශපාලනය සම්පූර්ණයෙන්ම සූදුවක් බවට පත්වී හමාරය. ජනතාව ලබාදුන් මන්ත්‍රි ධුරය ජනතාවට සේවය කිරීමේ නාමයෙන් ප්‍රසිද්ධියේ අලෙවි කිරීමට තරම් මන්ත්‍රිවරු නිර්ලජ්ජිත වී සිටිති. ජාතික ලැයිස්තුවෙන් ධුරය ලබා ගන්නා මන්ත්‍රිවරුන් පවා පිල් මාරු කරන්නන් අතර සිටීම උත්ප්‍රාසජනකය.

තීරුබදු රහිත රථවාහන බලපත්‍රය ලබාදීම, අවුරුදු පහක් ධුරය දැරූවන්ට විශ්‍රාම වැටුප ලබාදීම වැනි වරප්‍රසාද වහාම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අහිමි කළ යුතුය. එපමණක් නොව සෙසු වරප්‍රසාද කප්පාදු කිරීමද අත්‍යවශ්‍යය. දෙකෝටියක ජනගහනයෙන් බහුතරය ජීවන සටනක නිරතව සිටියදී ඊනියා දේශපාලනඥයන් මෙලෙස වරප්‍රසාද භුක්ති විඳිමින් මුදලට, ඇමැති ධුරවලට මන්ත්‍රි ධුර පාවා දීම කුමනාකාරයේ දේශපාලනයක්ද?

ජනාධිපතිවරයා සිය කතාවේදී පැවැසූ පරිදි මන්ත්‍රිවරුන් මුදලට අලෙවි වීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප්‍රබල බලපෑමක් කළා නම් එය බරපතළය. රටම ලජ්ජා විය යුතු කාරණයකි. පිල් මාරු කරන්නන්ගේ මන්ත්‍රි ධුරය අහෝසි නොවන බවට හිටපු අගවිනිසුරු දුන් අධිකරණ තීන්දුව පිළිබඳව පාර්ලිමේන්තුව යළි සලකා බැලිය යුත්තේ මෙවැනි පසුබිමකය. නොඑසේ නම් පාර්ලිමේන්තුව අධිකරණ නියෝගයෙන් විවෘත කළත්, මහ මැතිවරණ පවත්වා අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගත්තත් ඉන් කිසිදු පලක් අත්වන්නේ නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon