‘මවුබිම’ වෙනුවෙන් සත් වසරක්...

  👤  2392 readers have read this article !
2018-11-16

2011, ඉල් මස 18 වැනි සිකුරාදා දිනපතා 'මව්බිම' පාඨක දෝතට පිරිනැමිණි. මංගල කලාපයේ කතුවැකියේ ලියූ පරිදි බල්ලන්ගේ උඩුබිරුම් මැද තවලම ඉදිරියට ඇදෙන්නාසේ සත්වසරක් පුරා 'මව්බිම' සිය පාඨක සහෘදයන් සමඟ ජයග්‍රාහී ගමනක නිරත විය.


'මව්බිම' සහෝදර පුවත්පත වූ 'ඉරිදා මව්බිම' 2011 ඉල්මස 20 වැනිදා පළවූ අතර එකවර දිනපතා හා සතිපතා පුවත්පත් ඇරැඹීමෙන් ද අප සම්ප්‍රදාය උඩියටිකුරු කළේය. සිංහල පත්තර කලාව වෙනස් කිරීමට 'මව්බිම' ඉන් පළමුවැනි පියවර තැබීය. පුවත්පතේ සියලුම පිටු වර්ණවත් කිරීමටත්, මුල්පිටුව විචිත්‍රවත් කිරීමටත් 'මව්බිම'ට හැකි විය. සිරස්තල යෙදුවේද අලුත් රටාවකටය. වැඩිකල් නොයා සියලු සිංහල ජාතික පුවත්පත්වලට 'මව්බිම' ආකෘතිය වැලඳ ගැනීමට සිදුවිය. ඒ පිළිබඳව අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.


චිත්තාකර්ෂණීය පිටු සැලසුම්වලින් පමණක් දිනපතා ජාතික පුවත්පතකට පාඨක ජනතාව දිනාගත නොහැකිය. පුවත්පත් කියවන පාඨකයනට අවශ්‍ය ඇත්ත යුත්ත සමබරව දැනගැනීමටය. ඇතැම් අවස්ථාවලදී යම් යම් ප්‍රශ්න මතුවුවද ගෙවුණු සත් වසරේදී අප නිරතුරුවම වෙහෙසුණේ ඇත්ත ඇති සැටියෙන් පාඨක සහෘදයන්ට ලබාදීමටය. මෙරට පළවන සිංහල ජාතික පුවත්පත් අතර දිනපතා 'මව්බිම' සහ 'ඉරිදා මව්බිම' සහෝදර පුවත්පත් ඉහළින්ම වැජඹෙන්නේ පාඨක ජනතාවගේ විශ්වාසය කඩනොකළ නිසා බව පිළිගත යුතුය.


'මව්බිම'ට පාඨක ජනතාව අතර ඇති තැන අභිභවා යෑමට මේ සත්වසර තුළ ඇතැමුන් වෙහෙස වූ බව අපි දනිමු. එහෙත් 'මව්බිම' පසුකර යනවා තබා එකපෙළට ගමන් කිරීමටවත් මේ වනතුරු ඔවුන්ට හැකිවී නැත. ආරම්භයේදී 'මව්බිම'ට විවිධ ලේබල් ඇලවිණි. අවලාද එල්ල කෙරිණි. අදත් එවැනි අවලාද බාධකවලින් අඩුවක් නැත.එහෙත් 'මව්බිම' ඒ කිසිවකින් සෙලවිය නොහැකිය.


'මව්බිම' දේශපාලනය පිළිබඳව ඇතැමුන්ට ප්‍රශ්න තිබිය හැකිය. පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පැවැසීමට පුළුවන. එහෙත් ජාතික පුවත්පතකට ඇති සීමා-මායිම් පිළිබඳ අවබෝධයෙන් යුතුව ඇත්ත යුත්ත පහදා දෙමින් වඩාත් නිවැරැදි දේ පාඨක සහෘදයන්ට ලබාදීම 'මව්බිම' අරමුණයි. ගෙවුණු සත් වසරේ 'මව්බිම' තුළින් අපේ පාඨක සහෘදයන්ට මෙන් අන්කිසිවකුට අඩුලුහුඬුකමක් සිදුවූවා නම් ඒ පිළිබඳ අප අවංකව කනගාටු වෙමු. ඒ අන්කිසිවක් නිසා නොව පත්තරයකට 'පාඨකයා' තරම් වටිනා කිසිවකු නැති නිසාය.
ඉකුත් සත් වසරේදී දෙස් - විදෙස් සම්මාන කිහිපයක් දිනාගැනීමට දිනපතා 'මව්බිම' මෙන්ම 'ඉරිදා මව්බිම' ද සමත් විය. අපේ සහෝදර ඉංග්‍රීසි පුවත්පත වූ ඛ්ඥරතධද ඊධඤචර ද එලෙස සම්මානයට පාත්‍ර විය. මෙවර කර්තෘ සංසද සම්මාන උළෙලේදී 2017 වසරේ හොඳම සිංහල කාටූන් ශිල්පියාට හිමිවන සම්මානය හිමිවූයේ ද දිනපතා 'මව්බිම' කාටූන් ශිල්පී එම්.ඩී. වීරරත්නටය. එය දිනපතා 'මව්බිම' ලැබූ සුවිශේෂ ජයග්‍රහණයකි.


පත්තර පිටුවලින් එළියට ගොස් 'මව්බිම' පසුගිය අවුරුදු හත තුළම විවිධ සමාජ සත්කාරවලට 'මව්බිම' දායක වන බව මෙහි සඳහන් කිරීම වටී. හිසට සෙවණක් නැති අසරණ පවුලකට නිවෙසක් පරිත්‍යාග කිරීම 'මව්බිම' සත්වැනි වර්ෂපූර්ණය වෙනුවෙන් කරන උතුම් සමාජ සත්කාරයකි.


'මව්බිම' මේ පාතබන්නේ අටවැනි වසරටය. එදා මෙදා තුර අප සමඟ අත්වැල් බැඳගත් පාඨක සහෘදයන් නොවන්නට මෙතරම් දිගු කාලයක් 'මව්බිම' ට පත්තර තට්ටුවේ ඉහළින් රැඳී සිටීමට නොහැකිවනු ඇත. ඒ නිසා මේ ප්‍රීතිමත් අවස්ථාවේදී පාඨක සහෘදයන්ට අපේ ආදරය සමඟ හෘදයාංගම කෘතවේදය පිරිනමන්නෙමු.
එදා මෙදාතුර 'මව්බිම'ට ශක්තිය හා ධෛර්යය දුන් සියලු සහෘදයන්ටත් නන්අයුරින් දායකත්වය ලබාදෙන සියලු දෙනාටත් ප්‍රණාම කරමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon