ඉදිරියටත් ඔබ සමඟයි

  👤  3057 readers have read this article !
2018-11-18

 

ඉරිදා \'මව්බිම\' අටවැනි වියට පා තැබූ බව අපගේ සහෘද පාඨක සමූහයා වෙත සතුටින් සහ සාඩම්බරයෙන් දැනුම් දෙන්නෙමු. අප පුවත්පත ප්‍රථමයෙන් ජනතාව අතට පත් කරන්නට හැකි වුණේ 2011 නොවැම්බර් මස 20 වැනි දිනය. සාක්‍ෂරතාව ඉහළ මට්ටමක පවතින ලංකාව වැනි රටක ජනතා ආදරය හා විශ්වාසය දිනූ ප්‍රමුඛ ජාතික පුවත්පත බවට ඉරිදා \'මව්බිම\' පත්වූයේ ජනතා හදගැස්ම මැනවින් ස්පර්ශ කළ නවමු පත්තර කලාවක් රටට හඳුන්වාදීමෙනි.


ඉරිදා \'මව්බිම\' ආදරයෙන් වැලඳගත් අපේ ආදරණීය පාඨකයනට හෘදයාංගම ස්තුතිය පළ කරන්නට අපි මෙය මාහැඟි අවස්ථාවක් කර ගන්නෙමු. 21 වැනි සියවසේ දෙවැනි දශකය ආරම්භයේ අප ඉරුදින පත්තර අතරට පිවිසෙන විට මෙරට ඉරිදා පුවත්පත පැවැතියේ වර්තමානයේ පවතින ස්ථානයේ නොවේ. පෙනුමෙන්, හැඩයෙන් මෙන්ම අන්තර්ගත ගුණයෙන්ම ඉරිදා පත්තර වැඩිහිටි පරම්පරාවේ ඥාන මහිමයෙහි බුක්තියට සවි වී තිබිණි. පරම්පරා පරතරය තහවුරු කෙරෙන දූ දරු පරපුර මවුපිය පරපුරෙන් දුරස්ථ කෙරෙන මාධ්‍යයක් ලෙස ඉරිදා පත්තර අතීතයේ නිවෙසට පැමිණියේ ආරම්භයේදී ලංකාවේ ඉරිදා පුවත්පත් ශාස්ත්‍රීය මුහුණුවරකට පත්ව තිබුණේය. අපි එම පත්තර කලාව විප්ලවීය පරිවර්තනයකට ලක් කොට ඉරිදා \'මව්බිම\' පවුලේ සාර සංග්‍රහය බවට පත් කළෙමු.


ශ්‍රී ලංකාවේ නැඟී එන තරුණ පරපුරට මේ දේශය ප්‍රතිරූප දේශයක් බවට පත් කිරීම සඳහා මඟ පෙන්වන පහන් ටැඹක් වන්නට හැකි පත්තරයක හිදැස හා රික්තකය ප්‍රථමයෙන්ම හඳුනා ගත්තේ \'මව්බිම\' විසින් යැයි පැවැසීම අතිශයෝක්තියක් නොවේ. නව ලොව උදාවිය යුත්තේ පැරැණි ලොව නරක, අයහපත් දේ හලා, හොඳ දේ අලුත් දේ ඔසවා තැබීමෙනි. එය කළ හැක්කේ තරුණ ජනයාගේ ආත්මයන් විකසිත කෙරෙන හැඩ, රුව, ගුණ වර්ධනය කෙරෙන පත්තර කලාවක් හඳුන්වාදීමෙනි.


අපි ඉරිදා පත්තර කලාවේ මුහුණුවර උඩුකුරු යටිකුරු කොට විප්ලවීය, ආකර්ෂණීය පිටු සැකසුම් කලාවක් පත්තර ලොවට හඳුන්වා දුන්නෙමු. අලුත් පාඨක සමූහයන් පිරිසක් බිහි කළෙමු. අප ආ මඟ ඉනික්බිතිව තවත් බොහෝ උදවිය වැටි වැටී ගමන් කරන බව අපි දනිමු. ඒ ගැන නිහතමානී සතුටක් අපට ඇත. අපි අපේ පාඨකයන් බිහිකර ගත්තේ සාම්ප්‍රදායික පාඨක පිරිස අතරින් නොව පත්තර ලොවට අලුත්ම අලුත් පාඨකයන් පිරිසක් හඳුන්වා දීමෙනි. අතරමඟ බස් රියේ, දුම්රියේ, කඩ පිළේ සිතා මතා බලන පත්තරය \'මව්බිම\' වූයේය. ඇත්ත ඇති සැටියෙන් පාඨකයන් කරා ගෙන එන පෞරුෂය අප සතුවිය.


\'මව්බිම\' දේශපාලනය ගැන ඇතැමුන්ට විවිධ මත ප්‍රකාශ කළ හැකිය. එහෙත් පුවත්පතකට ඇති සීමාවන් අතික්‍රමණය කළ හැකි හා නොහැකි ප්‍රමාණයන් අවබෝධ කරගත් පාඨකයන් පිරිසක් \'මව්බිම\' වටා සිටිති. විය යුත්තේ ඇත්ත යුත්ත පහදා දෙමින් වඩාත්ම නිවැරැදි දේ පාඨක ජනයා වෙත ළං කිරීම බව අපේ පාඨකයන් තේරුම් ගැනීම \'මව්බිමේ\' භාග්‍යයකි.
ඉරිදා \'මව්බිම\' අටවැනි වසරට පා තබන මේ පී්‍රතිමත් අවස්ථාවේදී ඔබේ පුවත්පත නැවුම් ආකර්ෂණීය සාර සංග්‍රහයක් ලෙස ඉදිරියටත් ගෙන එන්නට අපි ඔබට පිළිණ දෙන්නෙමු. පාඨක සහෘදයනට අපි අපගේ කෘතවේදීත්වය පළ කරමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon