ගෝරිය අස්සේ එජාප මන්ත්‍රීවරු පිරිසක් කථානායක නිල නිවසේ

  👤  4372 readers have read this article !
2018-11-18

මැති සබය විසුරුවා හැරීමත් සමඟ උණුසුම් වූ
දේශපාලන කරළිය
මෙරට දේශපාලන කරළියේ සිදු වූ වෙනස්වීම් හමුවේ මහත් ආන්දෝලනයකට ලක්ව තිබූ රටේ දේශපාලන තත්ත්වය පසුගිය සිකුරාදා රාත්‍රියේ උඩුයටිකුරු වී ගියේය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පැවැරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟය. සිකුරාදා රාත්‍රිය වන විට පුරප්පාඩුව පැවැති අමාත්‍යාංශ සියල්ල සඳහාම නව ඇමැතිවරුන් දිවුරුම් දීම සිදුවිය.


ඒ අනුව ජොන්ස්ටන්, මහින්ද යාපා, ගාමිණී ලොකුගේ, සී.බී. රත්නායක, හිස්බුල්ලා ඇතුළු කිහිප දෙනකුම කැබිනට් ඇමැති තනතුරුවල දිවුරුම් දුන්නේය. ඒ වන විටත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙන්නට පටන් ගත්තේය.


මේ පිළිබඳව සැලවීමත් සමඟ එජාප නායකයන්ද අරලියගහ මැඳුරට වී සාකච්ඡා වට කිහිපයක් පැවැත්විය. ඒ අතරවාරයේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දුරකථන ඇමැතුමක් ලැබිණි.


'සර්... ඉක්මනින්ම ඇවිත් ජනාධිපතිතුමා හමුවෙන්න කියලා පණිවුඩයක් දෙන්න කිව්වා'
පණිවුඩය ලැබීමත් සමඟ මහින්ද දේශප්‍රිය මහතා සියලු රාජකාරි අතරමඟ නවතා දමා මහගමසේකර මාවත පිහිටි ජනාධිපති නිල නිවෙසට ගියේය.


සභාපතිවරයා එහි යනවිටත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සහ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වී සිටියහ.
ඔවුන් දුටු විටද සිදුවීමට නියමිතව තිබෙන්නේ කුමක්දැයි මහින්ද දේශප්‍රිය මහතාට ඒ මොහොතේදීත් වැටහුණේ නැත. පසුව ඔහු ජනාධිපතිවරයා හමුවී තමන්ට පැමිණීමට කීවේ කුමකටදැයි කතා කිරීමට මත්තෙන් ආගිය තොරතුරු කතාබහ කළේය. අනතුරුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය පෙන්වීය.
එය දුටු විට මහත් විමතියට පත් වූ මහින්ද දේශප්‍රිය මහතාට දැක ගැනීමට හැකිවූයේ එම ගැසට් නිවේදනයේ මහ මැතිවරණය පැවැත්වීමට අදාළ දින වකවානුද සඳහන්ව තිබිණි.
එම දිනවකවානු පිළිබඳව ගණන් බැලූ දේශප්‍රිය මහතාට වැටහී ගියේ එම දිනවලද ගැටලුවක් නොමැති බවය.


පසුව ගැසට් පත්‍රයේ පිටපත අතට ගත් මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපති නිල නිවෙසින් පිටත්ව ගියේ රාජගිරියේ පිහිටි සිය කාර්යාලයටය. අනතුරුව වහාම මෙම තීරණය මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන්ට දුරකථනයෙන් දැනුම් දීමට සභාපතිවරයා කටයුතු කෙළේය. එම පණිඩුවය දැනුම් දීමෙන් පසුව කොමිසමේ සෙසු සාමාජිකයෝද මේ ගැන මහත් විමතියට පත්වූහ.


අනතුරුව සෙනසුරාදා දිනයේම මැතිවරණ කොමිසම රැස්ව මේ ගැන සාකච්ඡා කළ අතර එහිදී කොමිසමේ සාමාජිකයෙක් වන මහාචාර්ය රත්නජීවන් හූල් මෙම ක්‍රියාදාමයට විරෝධය දක්වන්නට විය. පසුව මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සිදුකරගෙන යෑමට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට භාර කිරීමට කොමිසම බලය පැවැරීමද විශේෂයකි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කළේය. පසුදිනම එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක්ම කියා සිටියේ ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව උසාවි යන බවය.
සඳුදා දිනයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙත්සම් 12ක් ගොනුවිය. ඒ අතරට මැතිවරණ කොමිසම් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්ගේ පෙත්සමක්ද වීම විශේෂත්වයකි.


ශේ‍ර්ෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ එම පෙත්සමේ විභාගය අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ විභාග කෙරිණි.


එහිදී නීතිපතිවරයා කියා සිටියේ 19 වැනි සංශෝධනය අනුව 33 වගන්තිය ප්‍රකාරව පාර්ලිම්න්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට බලයක් පවතින බවය.
මේ නිසා අදාළ විසුරුවා හැරීම නීත්‍යනුකූල බවද නීතිපතිවරයා ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ කීවේය.


කෙසේ වෙතත් දින දෙකක් පුරා මෙම පෙත්සම් සලකා බැලූ ශේ‍ර්ෂ්ඨාධිකරණය අඟහරුවාදා පසුවරුවේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය දෙසැම්බර් 7 තෙක් තාවකාලිකව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.


ඊට අදාළ පෙත්සම් විභාගය දෙසැම්බර් මස 4,5 සහ 6 වැනි දින පැවැත්වීමටද නියෝග කළ අතර ඒ වන තෙක් මැතිවරණ කටයුතු අත්හිටුවීමටද අධිකරණය නියෝග කළේය.
මෙම තීන්දුව දැකබලා ගැනීම සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ශේ‍ර්ෂ්ඨාධිකරණයට පැමිණ සිටියහ.
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරු අධිකරණ භූමියෙන් ඉවතට පැමිණ ප්‍රීති ඝෝෂා කළහ. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කියා සිටියේ ඔවුන් තාවකාලික සතුටක් ලබන බවය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර නව සැසිවාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ 14 වැනිදාය.


මෙම තීරණයට අනුව පාර්ලිමේන්තුව එදිනට රැස්වීමට කථානායක කරු ජයසූරිය තීරණය කළේය.
මේ අතර ශේ‍ර්ෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමත් සමගම නීතිඥ ප්‍රේම්නාත් සී. ‍ෙදාලවත්තට දුරකථන ඇමැතුමක් ලැබිණි. ඒ ජනපති මෛත්‍රිගෙනි.
"මොකද ‍ෙදාලවත්ත වුණේ" මෛත්‍රි විමසීය.


"දෙසැම්බර් 7 වැනිදා වෙනකන් අතුරු තහනමක් පැනෙව්වා සර්... ඡන්දෙ කල් යනවා" ‍ෙදාලවත්ත කීවේය.
"එහෙමද? හරි හරි බලමු" ජනාධිපතිවරයා එසේ කියමින් දුරකථනය විසන්ධි කළේය.


ජනපති හමුවට සහභාගී නොවී ජවිපෙ නායකයා පිටව ගියේ ඇයි?
පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයා අතර පවතින අර්බුදය විස¼දා ගැනීම සඳහා වහා පක්‍ෂ නායක හමුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී බ්‍රහස්පතින්දා පස්වරුවේ පැවැත්විණි.


මේ සඳහා කථානායක කරු ජයසූරිය, විපක්‍ෂ නායක
ආර් සම්පන්දන්, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, ලක්‍ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, කබීර් හෂීම්, තලතා අතුකෝරල, එරාන් වික්‍රමරත්න, පී. දිගම්බරන්, රවී කරුනානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


ජනාධිපතිවරයා එම සාකච්ඡාවට පැමිණීමට මිනිත්තු 10කට පමණ පෙර සියලු දෙනා පැමිණ සිටියහ. මේ සඳහා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැමිණ සිටි අතර ඔහු මඳ වේලාවක් එහි සිට ජනාධිපතිවරයා පැමිණීමට මිනිත්තු කිහිපයකට පෙර ඉන් පිටව යෑමද විශේෂත්වයකි. පක්‍ෂ නායක හමුවට එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරුන් බහුතරයක් සිටීම නිසා දිසානායක මන්ත්‍රිවරයා ඉන් පිටව ගිය බවද දැනගන්නට ඇත.


අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂ නායක හමුව පැවැත්වූ අතර මීට සහභාගි වූ කිසිම මන්ත්‍රිවරයකු ජනාධිපතිවරයා සමඟ සිනාමුසු මුහුණින් කතා නොකිරීමද විශේෂත්වයකි. එහෙත් ජනාධිපතිවරයා පිරිස ඉතා සුහදව පිළිගනිමින් සැහැල්ලුවෙන් ඔවුන් සමඟ මෙම ගැටලුව නිරාකරණය කිරීමට සාකච්ඡා කිරීමද කැපී පෙනිණි.
'පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා නම් එය නියම ආකාරයෙන් මට පෙන්වන්න' මෛත්‍රි කීවේය.


'අපි පාර්ලිමේන්තු ක්‍රමයයි අනුගමනය කළේ. එය සාධාරණව පැවැත්වුණා' කරු කීවේය.
'ඔය සම්මත වුණා කියන විශ්වාසභංග යෝජනාව මම පිළිගන්නේ නෑ. ඒ සඳහා ස්ථාවර නියෝග අනුව නියම ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව ඒක නියම විදියට පෙන්නුවොත් මම ඒ ගැන සලකා බලන්නම්' ජනාධිපතිවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.


'මේ යෝජනාවේ ජනාධිපතිවරයා විසින් සිදුකළ පත් කිරීම් ව්‍යවස්ථා විරෝධී කියල තිබුණා. කිසිම කෙනෙක් කියල නෑ ඒක නීති විරෝධීයි කියලා. ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් කිසිම නිර්දේශයක් දීලත් නෑ. මම මේ සියලු පත්කිරීම් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවයි. ඊට විරුද්ධව මම කිසිම දෙයක් කරල නෑ' මෛත්‍රි කීවේය.
ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමට ඒ අවස්ථාවේ කිසිවකු විරෝධය නොදැක්වීමද විශේෂයකි.

 

'මේක නිසි ලෙස ඉදිරිපත් කරන්න. නිසි ක්‍රමවේදයකට අනුව කරන්න. පක්ෂ නායකයන් එක්ක කතා කරල ඒ ගැන තීන්දුවක් අරන් නිසි ක්‍රමවේදය අනුව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්න.' මෛත්‍රි කීවේය.


ඊටද කිසිවකු විරෝධයක් දැක්වූයේ නැත.
අනතුරුව රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ක්‍රමවේදය නිවැරැදි යැයි හැඟෙන පරිදි අදහස් දක්වන්න විය.
'කොහොම වුණත් මොන විශ්වාසභංග සම්මත වුණත් රනිල් වික්‍රමසිංහව ආයේ අගමැති කරන්න මම සූදානම් නෑ. ඒ සඳහා වෙනත් නම් තියෙනවා නම් බහුතර කැමැත්තක් එක්ක මට යෝජනා කරන්න. ඊට පස්සේ ඒ ගැන සලකා බලන්න පුළුවන්' ජනාධිපතිවරයා දැඩිව කීවේය.


'එහෙම කරන්න එපා. හිටපු අගමැතිතුමා ගැන යළි සලකා බලන්න' විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
මෙහිදී හිටපු අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ විපක්ෂනායකවරයා පමණක් වීමද
විශේෂත්වයකි.


අනතුරුව මෙම මන්ත්‍රි පිරිස සහ කථානායකවරයා ජනාධිපති කාර්යාලයෙන්
නික්ම ගියේ ආණ්ඩුවට සහ අගමැතිවරයාට එරෙහිව භාරදෙන විශ්වාසභංගය නිසි පරිදි ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයාට පොරොන්දු වෙමිනි.
පාර්ලිමේන්තු ජරමර අස්සේ අගමැති-ජනපති හමුවක්


මෙම හමුවෙන් පසු ජනාධිපතිවරයා මහගමසේකර මාවත පිහිටි නිල නිවෙසට පැමිණියේ තවත් හමුවකට සහභාගි වීම සඳහාය. ඒ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟිනි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතරද මිනිත්තු 45කට ආසන්න කාලයක් මෙම හමුව පැවැත්විණි.


එහිදී ඉදිරි දේශපාලන කටයුතු සහ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව දෙදෙනා දීර්ඝ ලෙස කතාබහ කර ඇත.
එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් අතර ඊට සුළු මොහොතකට පෙර පැවැති සාකච්ඡාවේ කතාබහ කළ කරුණු ගැනද ජනාධිපතිවරයා අගමැතිවරයාට පවසා තිබේ.
රාජ්‍ය ආයතනවලට ආරක්‍ෂාවක්


මේ අතර ජනපති මෛත්‍රි සහ ආණ්ඩු පක්‍ෂයේ පක්‍ෂ නායකයන් අතර හමුවක් බදාදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මේ සඳහා දිනේෂ්, වාසු, විමල්, ගම්මන්පිල, තොණ්ඩමාන්, ඩග්ලස්, අසංක නවරත්න හා හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙහිදී වැඩි අවධානයක් යොමු වූයේ එජාප හිටපු අමාත්‍යවරුන් අමාත්‍යාංශවලට කඩා පැන බලහත්කාරයෙන් එහි කටයුතුවලට සම්බන්ධ වීමට උත්සාහ දරන බවයි. "ජනාධිපතිතුමනි, මේ ගැටලුවට අපි කඩිනම් විසඳුමක් ගන්න ඕනේ. මෙහෙම ගියොත් ඒක ලොකු ගැටලුවක් වෙනවා." විමල් කීවේය.


"ඔව්.... ජනාධිපතිතුමනි මටත් දැන් මැසේජ් එකක් ආවා. තරුණ සේවා සභාවට හිටපු සභාපතිතුමා කණ්ඩායමක් එක්ක ඇවිල්ලා බලහත්කාරයෙන් ඇතුළු වෙන්න හදනවා කියලා', ගම්මන්පිල කතාබහට එක්විය.


"මුද්‍රණ සංස්ථාවටත් ඇවිල්ලා ඒකේ බෝඩ් වගයක් ගලවලා දාලලු" ගාමිණී ලොකුගේ කීවේය.
"ඒක මටත් ආරංචි වුණා. මේකට දැන්ම විසඳුමක් දෙන්න වෙයි. ආරක්‍ෂාවක් යොදවන්න වෙනවා." අමරවීරද එම ගැටලුව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය.
"හරි එහෙනම් ඔයාලම කියන්න තියෙන දෙයක් ඉක්මනට කියන්න. මොකද මට ඒ ගැන වහාම ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. පොලිස්පතිතුමාව දැනුවත් කරමු." මෛත්‍රි කීවේය.
අනතුරුව පක්‍ෂ නායක හමුව අවසන් වූ අතර නීතිඥයන් වන මන්ත්‍රිවරුන්ට පමණක් ඉන් අනතුරුව වෙනම හමුවක් පැවැත්විණි.


අගමැති මුස්ලිම්
ජනයා හමුවෙයි
සමස්ත ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සංවිධානය සූදානම් කළ හමුවක් පසුගියදා මරදාන ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාවට ෆයිසර් මුස්තාපා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. එහිදී අගමැතිවරයාට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. එහිදී මුස්ලිම් ජනතාව අගමැතිවරයා සමඟ වත්මන් දේශපාලන තත්ත්වය ගැනද කතාබහ කළහ. ඊට අමතරව පසුගිය කාලයේ මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් බේරුවල ප්‍රදේශයේ සිදුවූ සිදුවීම ගැනද කතා කළේය.


"2005 බේරුවල ප්‍රදේශයේ ඇතිවුණු සිද්ධිය නිසා අපේ ජනතාව අතර ඔබතුමාගේ ආණ්ඩුව ගැන කලකිරීමක් තිබුණා. යළි එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න ඔබතුමා වගබලාගන්න" මුස්ලිම් නියෝජිතයකු විමසීය.


"නෑ මම මේ සිද්ධිය වුණු වෙලාවෙ ලංකාවේ හිටියෙ නෑ. ගෝඨාභය හිටියෙත් නෑ. මම හිටිය නම් එවැනි තත්ත්වයක් ඇතිවෙන්න දෙන්නෙ නෑ" අගමැතිවරයා කීවේය.
ඉදිරි කාලය තුළ මුස්ලිම් ජනතාවට අවශ්‍ය සහයෝගය රජයක් ලෙස ලබාදීමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා කීවේය.
වෙල්ගම - දයාසිරි හැප්පෙති


ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී පාර්ලිමේන්තුවේ දැනට පවතින වාතාවරණය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා සහ දයාසිරි ජයසේකර ඇමැතිවරයා අතර උණුසුම් මත ගැටුමක් ඇති විය. මෙහිදී ජයසේකර ඇමැතිවරයා වෙල්ගම මන්ත්‍රිවරයා මේ දිනවල මාධ්‍යයට සිදුකරන ප්‍රකාශයන් පිළිබඳ විමසමින් ඔහුව අස්වැසීමට උත්සාහ කළේය.
"අනේ පලයන් යන්න, උඹ එනවද මට කියවන්න. උඹ තමයි දෙපැත්තට කේලාම් කියාගෙන ඉන්නේ" වෙල්ගම තරමක් කේන්තියෙන් කීවේය.
පසුව කණ්ඩායම් රැස්වීම තරමක් උණුසුම් විය.


ඒ මොහොතේම එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමද යාබද කමිටු ශාලාවක පැවැත්විණි.
එම රැස්වීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ එන විට ඔහුට ඉදිරියෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැමිණියේය. ඇමැතිවරයා වික්‍රමසිංහ මහතා සමඟ සිනා වූ අතර ඔහු එය නොදැක්කා සේ ඉවත බලාගෙන යෑමද විශේෂත්වයකි.

කණ්ඩායම් රැස්වීම් පැවැත්වෙන අතරතුර මන්ත්‍රි ‍ෙදාරටුව අසල හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම රැඳී සිටියේය. අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි එම ‍ෙදාරටුවෙන් ඇතුළු වන විටම මලික් ගොස් ඔහුව පාර්ලිමේන්තුවේ වෙනත් ස්ථානයට රැගෙන යෑමද විශේෂත්වයකි.


මඳ වේලාවකින් පියසේන ගමගේ ඇමැතිවරයාද පැමිණියේය. මලික් ඔහුටද කණ්ඩායම් රැස්වීමට යෑමට ඉඩ නොදී ෆවුසි සිටි තැනට කැඳවාගෙන ගියේය. පාර්ලිමේන්තුව ආරම්භ වූ පසු ඔවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ අසුන් ගත්තේ මලික්ගේ එම ක්‍රියාදාමයෙන් පසුව වීමද විශේෂත්වයකි.


බහුතරය සෙවීමට ගොස් මන්ත්‍රිවරුන්ගේ ලේ සෙලවීම
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ලෝකයේ තිබුණේ ඉමහත් ගෞරවනීය පිළිගැනීමකි. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස එහි කාර්යභාරය පිළිබඳව විදෙස් ජනතාව අතරද තිබුණේ ප්‍රසාදයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ තිඹිරිගෙය ලෙස සටහන්ව තිබූ එම පාර්ලිමේන්තුවට පසුගිය සතියේ මැති ඇමැතිවරුන්ගේ හැසිරීම නිසා එක්වූයේ කළු පැල්ලමකි.


පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ස්ථාවර නියෝගවලට පරිබාහිරව යමින් කථානායක කරු ජයසූරියගේ හැසිරීම පිළිබඳව බොහෝ දෙනෙක් දැඩි අප්‍රසාදයෙන් කතා කළහ. කථානායකවරයා පසුගිය දින කිහිපය තුළම හැසිරුණු මෙම ක්‍රමවේදය නිසා පාර්ලිමේන්තුව තුළ එකම ගාලගෝට්ටියක් බවට පත්විය. දිලුම්, අරුන්දික, හරින්, මලික්, කබීර් ඇතුළු පිරිසක් තුවාල ලැබූහ. මන්ත්‍රිවරුන්ගේ ලේ හොල්ලමින් පාර්ලිමේන්තුව තුළ හැසිරුණු මෙම හැසිරීම පිළිබඳව මුළු මහත් ලෝකයක් බලා සිටියහ. කථානායකවරයාගේ අත්තනෝමතික හැසිරීම නිසා මෙවැනි වාතාවරණයක් ඇතිවූ බවට දේශපාලන විචාරකයෝද පැවැසූහ.


වත්මන් ආණ්ඩුවට සහ අගමැතිවරයාට විරුද්ධව ගෙනා විශ්වාස භංගයට එහි පිටපත හෝ නොබලා ස්ථාවර නියෝග අත්හිටුවමින් ඡන්ද විමසීමක් ගෙන හඬ අනුව සම්මත වූවා යැයි ප්‍රකාශයක් කළේය. ඊට ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් දැඩි විරෝධය දැක්වූහ. යෝජනාව සම්මත වූවා යැයි කියමින් ඔහු ජනාධිපතිවරයාටද ලිඛිතව දැන්වීය.
ඊට පසුදින අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබා දුන්නේය. එහෙත් ඊට පෙර ඔහු නිවේදනය කළේ ඊට පෙරදින ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සම්මත වූ අතර ආණ්ඩුව විසිරී ඇති බවයි. එබැවින් අගමැතිවරයකු හෝ අමාත්‍ය මණ්ඩලයක් නොමැති බවද කථානායකවරයා නිවේදනය කළේය.
කථානායකවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියට ජනාධිපතිවරයාද පිළිතුරක් එවා තිබූ නමුත් කථානායකවරයා එය සභාවට ඉදිරිපත් කළේ නැත. ඊට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු විරෝධය දක්වන්නට වූහ.


සභාව ආරම්භයේදීම කථානායකවරයා මූලාසනයේ අසුන්ගත් පසුවද ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු කථානායකවරයා විරෝධය දැක්වූහ. අනතුරුව කථානායකවරයා විශේෂ ප්‍රකාශයක්ද කළේ එම විරෝධතා මධ්‍යයේය. එම ප්‍රකාශය දැඩි වේගයෙන් කියාගෙන ගියේය.


'රජයට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ආරම්භ වීමෙන් ඊයේ අමාත්‍ය මණ්ඩලය අහෝසි වූ බැවින් නව අගමැතිවරයකු හෝ අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොමැති බැවින් අද දින කිසිම මන්ත්‍රිවරයකු අගමැතිවරයා හෝ අමාත්‍යවරයකු හෝ රාජ්‍ය අමාත්‍යවරයකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකු හෝ සභානායක හෝ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයකු ලෙස මම පිළිනොගනිමි' යැයි කථානායකවරයා පවසනවාත් සමඟ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් දැඩි විරෝධයක් දැක්වූ අතර කථානායකවරයාගේ ප්‍රකාශයට විරුද්ධ පක්ෂ මන්ත්‍රිවරු අත්පොළොසන් දුන්හ.


එසේම ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවේ සියලු කටයුතු සම්බන්ධයෙන් අවසාන තීරණය කථානායකවරයා සතු වන අතර එවැනි තීරණයකට අභියෝග කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවද අවධාරණය කරමි'යිද කථානායකවරයා කීවේය. කථානායකවරයාගේ එම දැඩි ප්‍රකාශය ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් දැඩි ලෙස විරෝධය දක්වමින් කෑකෝ ගසන්නට වූහ. මේ අවස්ථාවේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා යමක් කීමට නැඟීසිටියත් කථානායක එයට අවසර දුන්නේ නැත. අනතුරුව මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ඔහුගේ ප්‍රකාශය කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය. කථානායකවරයාගේ එම ක්‍රියාවට එකඟ නොවූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා, 'කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා. ඊයේ ඇති වුණු සිද්ධිය ගැන ජනාධිපතිතුමා ඔබට ලිපියක් එව්වා ඔබේ නීතිය ප්‍රතික්ෂේප කරලා. ඔබ දැන් එය සභාවට ඉදිරිපත් කළ යුතුයි' ගුණවර්ධන මන්ත්‍රිවරයා කීවේය.


'ඒක මම බලා ගන්නම්. මටත් තියෙනවා ඒකට උත්තරයක් දෙන්න' දැන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රිතුමා කතා කරන්න. කථානායකවරයා කීවේය. ඔහු මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා යැයි පාර්ලිමේන්තු භාෂාවෙන් කීවේ නැත.


අනතුරුව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ඊට විරෝධය දැක්වූහ. 'හරි දැන් හරි... මහින්ද රාජපක්ෂ මන්ත්‍රිතුමා කතා කරන්න' කථානායකවරයා කීවේය.
'අන්න හරි.. මන්ත්‍රිතුමා කතා කරන්න' යැයි විපක්ෂයේ ඉදිරිපෙළ මන්ත්‍රිවරුන් අගමැතිවරයාට නෝක්කාඩුවක් කළේය.
'මන්ත්‍රි වුණත්, අගමැති වුණත් නිකම් මහින්ද වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි' මම මන්ත්‍රිකම්, අගමැතිකම් කරලා තියෙනවා. ජනාධිපතිකම් කරලා තියෙනවා. ඒක නිසා මේක මට මහ ලොකු කජ්ජක් නෙවෙයි' යැයි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කාටත් ඇහෙන්න දැඩිවම කීවේය.


කථානායකවරයා සඳහන් කළ ප්‍රකාශයට එලෙස අගමැතිවරයා උත්තර දුන්නේය. 'අගමැති, ඇමැතිවරු පත්කරන්නෙ කථානායකතුමා නොවෙයි. ජනාධිපතිතුමා, ඔබතුමා ඒක දන්නවා නොදන්නවා නෙවෙයි. නොදන්නවා වාගේ වැඩ කරනවා. ඔය ස්වාධීන පුටුවෙ ඉඳගෙන පක්ෂග්‍රාහීව වැඩ කරන්න එපා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබට පැවරී ඇති බලතල අභිභවා යන්න පුළුවන්කමක් නැහැ. යැයිද අගමැතිවරයා කීවේය.


කඩිනමින් මහ මැතිවරණයට ගොස් මහජන මතය විමසා බලන්න එක්වන්නැයි දෙපාර්ශවයේ සියලුම මන්ත්‍රිවරුන්ගෙන් අගමැතිවරයා ඉල්ලීමක්ද කළේය.
'පෙන්ෂන් එක ගැන හිතන්න එපා. අපි ඡන්දයකට යමු. පෙන්ෂන් එකට ලොක්කා මොකක් හරි කරයි' යැයිද අගමැතිවරයා කීවේය.
'ස්වාධීන කථානායකවරයෙක් වෙන්න පක්ෂග්‍රාහීව කටයුතු කරන්න එපා. ඔබ අද වැඩ කරන්නෙ ඔබේ පක්ෂය වෙනුවෙන් සහ බටහිර යාළුවෝ වෙනුවෙන්" යැයිද අගමැතිවයා කීවේය.


මේ අවස්ථාවේ රවි කරුණානායක මන්ත්‍රිවරයා දිවගොස් කථානායකවරයාට උපදෙසක් දුන්නේය.
අනතුරුව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා නැඟී සිටියේය.
'කථානායතුමනි, මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයා කළ ප්‍රකාශය ගැන පාර්ලිමේන්තුවේ විශ්වාසයක් නෑ. ඒ සඳහා නාමිකව ඡන්ද විමසීමක් කළ යුතුයි' යැයි කිරිඇල්ල මන්ත්‍රිවරයා කීවේය.


ඒ අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු ඊට විරෝධය දැක්වූහ. විරෝධය හමුවේ ඡන්දයක් විමසීමට කථානායකවරයා ලොකු උත්සාහයක් ගත් බව පෙනෙන්නට තිබිණි. 'ඔබතුමා ඔහොම කරන එක වැරැදියි. ඔබතුමාට අයිතියක් නෑ ඒකට ඡන්ද විමසීමක් කරන්න' හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල කීවේ මූලාසනය අසලටම ගොස්ය. "කරුණාකරලා වාඩිවෙන්න. මම තමුන්නාන්සේව නම් කරනවා. වාඩි වෙන්න. ආසනයට යන්න" යැයි කථානායකවරයා දැඩිව කීවේය.
එහෙත් ආසනයට නොගිය තිලංග සුමතිපාල මහතාට සහායට ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ද පැමිණියේය.


වේත්‍රධාරියා ගොස් වහාම සෙංකෝලය සිය කර මත තබාගෙන පසෙකට වූයේ එය ආරක්ෂා කර ගැනීමටය. "බැහැලා පලයන්. ඔහොම කොහොමද සභාව පාලනය කරන්නේ. මේක සිරිකොත නොවෙයි. කොන්ද පණ නැති යකා" ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් මූලාසනය වටකර ගනිමින් කෑ ගසන්නට වූහ.


ඒ අතර ප්‍රසන්න රණවීර, පද්ම උදයශාන්ත, ඉන්දික අනුරුද්ධ, ආනන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර, ලොහාන් රත්වත්තේ, ඩී.වී. චානක, ප්‍රසන්න රණතුංග, නිමල් ලාන්සා, අනුරාධ ජයරත්න, නිරෝෂන් ප්‍රේමරත්න, ජයන්ත සමරවීර, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු පිරිසක් වූහ.


කථානායකවරයා ආවරණය කරගනිමින් නවීන් දිසානායක, නලීන් බණ්ඩාර, සිඩ්නි ජයරත්න, හෙක්ටර් අප්පුහාමි ඇතුළු පිරිසක්ද වූහ. අනතුරුව එක්වරම කංචන විජේසේකර සහ හරීන් ප්‍රනාන්දු අතර ගුටි කෙළියක් ඇතිවිය.


"ඇයි යකෝ... ගහපන් බලන්න" හරින් කීවේය.
"වරෙන්... වරෙන් ඇයි උඹ හපනවාද චණ්ඩියෙක්ද" කාංචන කීවේය.
"පුළුවන්නම් එළියට වරෙන්" කාංචන එසේ කියමින් සභා ගැබෙන් එළියට යෑමට උත්සාහ දැරුවේය. ඔහුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි පිරිසක් ආපසු ඇදගෙන විත් අසුනක වාඩි කළේය.


හරීන්ද එළියට යෑමට සැරසෙද්දී චන්ද්‍රාණි බණ්ඩාර මන්ත්‍රිවරිය 'හරීන්... හරීන් ඔහොම ඉන්න" යැයි මඟ හරස් කර නවතා ගත්තාය.
ඒ අතරවාරයේ මහින්ද රාජපක්ෂ මහතා වටකරගනිමින් නාමල්, සියඹලාපිටිය, තිලංග, ලොහාන්, දයාසිරි, රමේෂ් ඇතුළු පිරිසක් සිටියහ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පසුපස අසුනකට වී කණ්ණාඩි කුට්ටම දෑතින් තුරුලු කරගනිමින් කිසිවකු නොමැතිව තනියම ගාලගෝට්ටිය දෙස නිසොල්මනේ බලා සිටීමද විශේෂයකි.
"කරුට වඩා.. පබා හොඳයි" යැයි සටන් පාඨ කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු කථානායකට විරෝධය දැක්වූහ.


පවතින තත්ත්වය පාලනය කරගත නොහැකි තැන කථානායකවරයා දැඩි කම්පනයට පත්ව පාර්ලිමේන්තුව කල්තබා සභාවෙන් පිටව ගියේය.
අනතුරුවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු සටන් පාඨ කියූහ.


සිද්ධියෙන් දිලුම් සහ අරුන්දික තුවාල ලැබූ අතර දිලුම්ට සැත්කමක් කිරීමද විශේෂත්වයකි. ඊට අමතරව පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක මන්ත්‍රිවරු අතේ පිහි තිබීම පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් පොලිසියට පැමිණිලි කළහ.


මේ අතර සිකුරාදා දින පාර්ලිමේන්තුවේදී පෙරවරු 11.30ට විශේෂ පක්ෂ නායක හමුවක් පැවැත්විණි. එහිදී දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා සඳහන් කළ පරිදි විධිමත් ලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුගමනය කරමින් යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසය.


මේ අවස්ථාවේ පක්ෂ නායක හමුවෙදී දැඩි උණුසුම් මත ගැටුම් පැවති අතර එකඟතාවකින් තොරව එය අවසන් වීමද විශේෂත්වයකි.
අනතුරුව පාර්ලිමේන්තුව පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව තිබුණද පස්වරු 1.15 සිටම ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු සභා ගැබට පැමිණ විරෝධය දක්වන්නට වූහ.
ඊට පෙරදින පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක මන්ත්‍රිවරු සභා ගැබට 'පිහි' රැගෙන ආ බවත් ඔවුන් අත්අඩංගුවට නොගැනීම ගැනත් පවසමින් ඔවුන් විරෝධය දැක්වූහ. සභාව ආරම්භ කිරීමට පෙර අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා කථානායක අසුනට වී කථානායකවරයා ලෙස හැසිරෙන්නට පටන් ගත්තේය.


ඔහු ආවරණය කිරීමට ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු කථානායක අසුන වට සිටියහ. මෙම විරෝධය නිසා පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට පැමිණීමට කථානායක කරු ජයසූරිය මහතාට නොහැකි විය. සභාව ආරම්භ කිරීමට නියමිත වෙලාවට වඩා මිනිත්තු 45ක් පමණ ප්‍රමාද වූ පසු පස්වරු 2.15ට පමණ කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු පොලිසියේ දැඩි රැකවල් මැද විපක්ෂයේ පළමු ‍ෙදාරටුවෙන් ඇතුළු වී පාර්ලිමේන්තු සහායක නිලධාරීන්ගේ අසුන් පෙළේ අසුනකට වී එෆ්.එම්. මයික්‍රෆෝනයක් උපයෝගි කර ගනිමින් සභාවේ කටයුතු කරගෙන යෑමට උත්සාහ කළේය. මේ අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් පොලිස් නිලධාරීන් සහ කථානායකවරයාට පොත්වලින්, පුටු වලින් සහ වතුර බෝතල්වලින් ප්‍රහාර එල්ල කළේය. පොලිසිය කථානායකවරයා ආවරණය කිරීමට මහත් වෙහෙසක් ගත්හ. මෙම ප්‍රහාරවලින් මන්ත්‍රිවරුන් කිහිප දෙනකු තුවාල ලැබූ අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනකුද තුවාල ලැබූහ.


දැඩි ඝෝෂාව මැද යෝජනා සම්මතයක් සිදුකරගෙන ඇති අතර පාර්ලිමේන්තුව සඳුදා දක්වා කල් තැබිණි.
අගමැති වෙනස්වනතුරු එජාප මන්ත්‍රිවරු අරලියගහ මැඳුරේ රැය පහන් කරති
මේ අතර සිකුරාදා පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වූ පසු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රි කණ්ඩායම අරලියගහ මන්දිරයට පැමිණියේ විශේෂ හමුවකටය. ඊට පෙර එහි පක්‍ෂ නායකයන් කිහිප දෙනකු කථානායක නිල නිවෙසට ගියහ.


සිකුරාදා පාර්ලිමේන්තුවේ ඝෝෂාව අස්සේ සම්මත කරගත් බව පවසන ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගැන මෛත්‍රිට සන්දේශයක් භාරදීම සඳහා එහි කටයුතු සූදානම් විය.


ඒ අතරවාරයේ එම පක්‍ෂයේ පක්‍ෂ නායකයන් කිහිප දෙනෙක් ජනාධිපතිවරයාව හමුවීමට වෙලාවක් ඉල්ලා සිටියහ.
කැබිනට් එක ලිපියේ තොරතුරු ගොනුකර අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් ඔවුන්ට හමුවීමට වෙලාවක් ලබා නොදීමද
විශේෂත්වයකි.


කථානායක නිල නිවෙසේදී සැකසූ සන්දේශය පස්වරු 6.00ට පමණ ජනාධිපති නිල නිවෙස වෙත භාරදීමටද කථානායකවරයාගේ නීතිඥයන් කටයුතු කළේය.
අනතුරුව ජනාධිපතිවරයා ඊට පෙර දින එජාප පක්‍ෂ නායකයන්ට පොරොන්දු වූ පරිදි ආණ්ඩුව වෙනස් කිරීමේ තීරණය එනතුරු සිය පාර්ලිමේන්තු කණ්ඩායම අරලියගහ මන්දිරයට වී බලා සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන කීවේය.
ප්‍රජාතන්ත්‍රවාදය අගයන

සියල්ලගේ ජයග්‍රහණයක්
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ සාමාජිකයන් ස්මරණය කෙරෙන ඉල්මහ විරු සමරුව යෙදී තිබුණේ 13 වැනි දිනය. එදින පස්වරුවේ පක්‍ෂ නායකයන් ඇතුළු පිරිස විහාරමහ දේවි එළිමහන් රංග පීඨයට රැස්වූයේ සමරු උත්සවය සඳහාය. මේ අතර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ජවිපෙ ඇතුළු පාර්ශ්ව ගණනාවක් විසින් ගොනු කළ පෙත්සම් ශේ්‍රෂ්ඨාධිකරණයේ විභාගයට ගත් දෙවැනි දිනය වූයේද 13 වැනිදාය. ජවිපෙ නීති කටයුතු සම්බන්ධීකරණය කළ නීතිඥ සුනිල් වටගල විජිත හේරත්ට දුරකථනයෙන් ඇමැතුවේ සමරු උත්සවය අතරතුරදීය. තීන්දුවක් දෙන්න ළඟයි. උසාවියට කවුරුහරි එන්න ඕනෑ' වටගල කීවේය. ඒ අනුව සමරු උත්සවයේ න්‍යාය පත්‍රයේ පළමුව යෙදී තිබූ විරුවන්ට පුෂ්පෝපහාර සිදුකිරීමෙන් පසුව සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක යන මන්ත්‍රිවරුන් දෙදෙනා අධිකරණය වෙත යෑමට පිටත් විය.


සමරු වැඩසටහනේ ජවිපෙ නායක අනුර දිසානායකගේ සමරු දේශනයෙන් අනතුරුව ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ සමරු දේශනය ආරම්භ විය. දේශනය අතරතුර අධිකරණයේ සිටි බිමල් රත්නායකගෙන් අනුර දිසානායකට දුරකථන ඇමතුමක් ලැබුණේය. එම පණිවුඩය අනුර දිසානායක විසින් ටිල්වින් සිල්වාට දැනුම් දුන්නේ කතාව අතරතුරදීය. 'මේ වෙලාවේ අපිට සුබ ආරංචියක් තියෙනවා' ටිල්වින් සිල්වා පවසන විට සමරු උත්සවයේ සිටි පිරිස ඔල්වරසන් දෙන්නට විය. එම හඬ මැද්දේ ප්‍රධාන ලේකම් අධිකරණ තීන්දුව දැනුම් දුන්නේය. 'ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඉතාම සතුටුදායක ආරංචියක්. අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රකාශ කරලා තිබෙනවා. මෛත්‍රිපාල ගහපු ගැසට් එක අත්හිටුවලා නඩුව අහන්න තීරණය කරලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට අපේ ආචාරය පිරිනමනවා' ටිල්වින් කියා සිටියේය.


ජවිපෙ මන්ත්‍රින් හදිසියේම කථානායක නිල නිවෙසට
සමරු දේශනයෙන් පසුව සමරු ගී ප්‍රසංගය ආරම්භ වූ අතර ජවිපෙ නායකයන් ඒ මොහොතේදීම රැස්වී අධිකරණ තීන්දුවත් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කළේය. 'අධිකරණ තීන්දුව අනුව පාර්ලිමේන්තුව නැවත බලාත්මකයි. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් එකක් තිබෙනවා. 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවන්න කියලා අපි කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරමු. මොකද පළමුව මේ ප්‍රශ්නය විසඳන්න වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ' අනුර දිසානායක කියා සිටියේය. පසුව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කථානායක නිල නිවෙසේදී කථානායක හමුවීමට තීරණය කළ අතර රාත්‍රි 7.30 පමණ වන විට නිල නිවෙසට ළඟා විය. එහිදී පැයකට ආසන්න කාලයක් සාකච්ඡාවක නිරත වූ අතර 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමටත් පක්‍ෂ නායක රැස්වීමක් කැඳවීමටත් කථානායකවරයා තීරණය කළේය. මේ අතර තවත් පක්‍ෂ කිහිපයක නායකයන් එදින රාත්‍රියේ කථානායක නිල නිවෙසට පැමිණියේය. එදින රාත්‍රියේ ජවිපෙ නායකයන් ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක නිතර විය. 'කුමන්ත්‍රණය අධිකරණයේ පරාජය කරලා තියෙන්නේ. ඒක පාර්ලිමේන්තුවේදීත් පරාජය කරන්න ඕනෑ' ලාල්කාන්ත කීය. අධිකරණ තීන්දුවට අනුව දැන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මකයි. ජනාධිපති පත්කළ අගමැති පිළිබඳව විශ්වාසයක් නැහැ කියලා විශ්වාසභංගයක් භාරදෙමු' බිමල් යෝජනා කළේය. 'ඔව්, අපි වෙන කවුරුත් කරන කල් ඉන්න ඕන නෑ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්න ඕනෑ' ටිල්වින් සිල්වා කියා සිටියේය. ඒ අනුව නීති විරෝධීව පත්කළ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් භාරදිය යුතු බව තීරණය කළහ.


රීති අත්හිටුවා විශ්වාසභංගය
ගෙන ඒමට හැකි බව
එජනිසයම පිළිගෙන තිබේ
14 වැනිදා පෙරවරු 8.30ට කථානායකවරයා විසින් කැඳවා තිබූ පක්‍ෂ නායක රැස්වීමට පක්‍ෂ නියෝජිතයෝ සියලු දෙනාම පැමිණ සිටියහ. 'ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනවාදැයි' ජවිපෙ නායකයා විමසීය. ජනාධිපතිවරයා නොඑන බව දිනේෂ් ගුණවර්ධන පැවැසීය. අනතුරුව තම පක්‍ෂය විසින් නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ලෙස පත්කළ අගමැතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් ආණ්ඩුවටත් එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන බවද පක්‍ෂ නායක රැස්වීමේදී අනුර දිසානායක දැනුම් දුන්නේය. එදින සභාවේ න්‍යාය පත්‍රය තීරණය කිරීම මන්ත්‍රිවරුන්ගේ කැමැත්තෙන් සිදුකළ යුතු බවද තීරණය විය. මේ අතර පක්‍ෂ නායක රැස්වීම අවසන්වී එළියට එන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල ඇමැතිවරයෙක් අනුරට කියා සිටියේ 'ඔයාලට පාර්ලිමේන්තුවේ රීති අත්හිටුවලා විශ්වාසභංගය ගේන්න පුළුවන්. එහෙම පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා' ලෙසය.


14 වැනි දින පෙරවරුවේ විජිත හේරත්ගේ සහ අනුර දිසානායකගේ අස්සනින් විශ්වාසභංගය කථානායකවරයාට භාරදෙනු ලැබීය. කෙසේ වෙතත් එදින පාර්ලිමේන්තු සභාව ගාලගෝට්ටියක් වූ අතර පාර්ලිමේන්තුවේ රීති අත්හිටුවීමේ යෝජනාව සම්මත වූ නිසා ජවිපෙ නායකයා විසින් විශ්වාසභංගය කියැවීය. අනතුරුව එය විවාදයට ගත යුතු වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු එයට ඉඩ නොදුන්හ. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පිහිටුවාගත් ආණ්ඩුවට බහුතර මන්ත්‍රින් සංඛ්‍යාවකගේ කැමැත්ත ලබාගත නොහැකි බව හැඟීයන බව කථානායකවරයා ප්‍රකාශයට පත් කළේය. මේ අතර විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රිවරුන් විසින් සම්මත කළ අතර වැඩිදුර කටයුතු සඳහා මන්ත්‍රිවරුන් 122කගේ අස්සන් යොදා විශ්වාසභංගය තහවුරු කළේය. විශේෂත්වය වූයේ මහින්ද රාජපක්‍ෂට සහාය පළ කළ මන්ත්‍රිවරු කිහිප දෙනකුද විශ්වාසභංගයට අස්සන් කිරීමය. මෙයින් රාජපක්‍ෂ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට බහුතරය නැති බව දැන් සනාථ වී හමාරය.


ජනාධිපතිවරයාගෙන්
කථානායක හරහා විජිතට ඇමතුමක්
14 වැනිදා රාත්‍රියේ ජවිපෙ මන්ත්‍රි විජිත හේරත්ට කථානායක කාර්යාලයෙන් දුරකථන ඇමැතුමක් ලැබිණි. ඒ කථානායකවරයාට ජවිපෙ නායකයාට ලබාදිය යුතු පණිවුඩයක් ගැන කීමට ලැබුණු ඇමතුමකි. 'ජනාධිපතිතුමා මට කතා කළා. හරිම සැහැල්ලුවෙන් කතා කළේ. පක්‍ෂ නායක රැස්වීමක් කැඳවන්න ඕනෑ කිව්වා. අනුරටත් කියන්න කියලා ජනාධිපතිතුමා කිව්වා' කථානායකවරයා විජිතට කීය. විජිත හේරත් අනුරට ඇමතුමක් ලබාදුන් අතර අනුර ඒ මොහොතේ සිටියේ විශේෂ රූපවාහිනි වැඩසටහනකය. මේ බව විජිත හේරත් විසින් ටිල්වින් සිල්වාටද දැනුම් දුන්නේය. මේ අතර රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට පිළිතුරු ලිපියක් යොමුකොට තිබිණි. එයින් කියැවුණේ අගමැති පත්කිරීමට කථානායකවරයාගේ අනුමැතිය අවශ්‍ය නොවන බව ඇතුළු තවත් කරුණු කිහිපයක්ය. මෙම ලිපියෙන් අනතුරුව ජවිපෙ නායකයන් ජනාධිපතිවරයාගේ රැස්වීමට සහභාගි නොවීමට තීරණය කළේය. 'දැන් කුමන්ත්‍රණයේ ඉතිරි පියවරත් පටන් අරගෙන තිබෙන්නේ. දැන් රටේ නීති, ව්‍යවස්ථා, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් මෛත්‍රිපාල සිරිසේනට අදාළ නැහැ. එයාගේ කතා අහන්න ගිහින් වැඩක් නැහැ. වුවමනාව හොඳටම පැහැදිලියි' මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජවිපෙ නායකයා කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon