ලක්මවට හඬන්නට කඳුළු නැත!

  👤  2138 readers have read this article !
2018-11-19

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සුනාපරන්තයක් වී තිබේ. එහි සිටින්නෝ පිහිකාරයෝ, මිරිස්කුඩුකාරයෝ සහ අතට හසු වූ හසු වූ දෙයින් පහර දෙන මැරවරයෝය. ඔවුන්ගෙන් කිසිවකුට, කිසිවකට, සමාවක් නම් නැත. තත්ත්වය එන්න එන්නම දරුණු වෙමින් තිබේ. විනයක් ගුණයක් නැත. මේ රට මේ නෙළන්නේ වැපුරූ දෙයෙහි ඵලය මිස අන් කිසිවක් නොවේ.

රට කරවන්නට අපම පත් කොට යැවූ මොවුන්ට බණ කියා පලක් නැත. අඟුරු සුදුවන කලෙක් නම් නැත. මොවුන් මේ වනසන්නේ ශ්‍රී ලාංකේය ජාතියේ ධනය, කීර්තිය, මතු නොව වසර දහස් ගණනක් රැකගෙන ආ ආත්ම අභිමානයයි. අහෝ රටකට ගිය කල! මෙයින් මිදෙන මඟක් වේදැයි සිතා ගත නොහැකිය.

ශ්‍රී ලංකාවේ මිනිස්සු දුකින් කල් ගෙවති. පාන් රාත්තලකට වැඩි වන රුපියලත් ඔවුන්ට බරකි. අත මිට හිඟ කම්කරුවාට වැය කරන ශ්‍රමයට සරිලන වැටුපක් ලැබෙන්නේද නැත. සුද්දන් තනා දුන් ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දෙවොල දේශයට සාපයක් වී තිබේ. අපේ දරුවෝ කුසගින්නේ නින්දට යති.

දේශපාලකයන් රට වනසන හැටි සොරාකන හැටි බලා සිටියා මදිවාට දැන් ඔවුන් රූපවාහිනි කැමරා ඉදිරියේ ජනතාවගේ දේපොළ වනසන හැටි බලා සිටින්නටද සිදුව තිබේ. ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට මහජන මුදලින් දිනකට රුපියල් ලක්ෂ 257ක් වියදම් කරන බැව් ගණන් බලා ඇත. ඉකුත් සතියේ අවසන් දින තුන තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යකා නටන්නට ජනතාව වැය කළ මුදල රුපියල් ලක්ෂ 771කි. ඔවුන්ගේ බිහිසුණු නින්දිත සන්දර්ශනය ලෝකයම බලා සිටී. සැකයක් බියක් ලජ්ජාවක් රට කරවන නායකයන්ට නැත.

ජාතියට බණ කියන යා යුතු මඟ පෙන්වන පීතෘවරුන් මේ සියල්ල මුවින් නොබැන බලා සිටීම මේ ඛේදවාචකයේ තවත් පැත්තකි. ඊට හේතුව ඔවුන්ද ගැටුමේ පාර්ශ්වයක් නියෝජනය කිරීම විය හැකිය. විශ්මය අන් කිසිවක් නොවේ. ජනතාව තවමත් මේ සියල්ල ඉවසා දරා සිටීමය.

ජාතියට ශාපයක් වූ දේශපාලකයන්ගේ මේ අසෝබන පැවැත්ම ක්‍ෂණිකව එකවර ඇති වූවක් නොවේ. පසුගිය වසර 30කට වැඩි කාලයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වූවකි. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ සංයුතිය සොරුන්, කුඩුකාරයන් මිනීමරුවන්ගෙන් පිරවූයේ මෙරට ඡන්ද දායකයන් නොවේ.

'නුඹලා ඡන්දයදී ඔවුන් පත්කර එව්වා නම් එහි ප්‍රතිඵල නුඹලාම විඳිය යුතු' යැයි රටේ මිනිසුන්ට ඇඟිල්ල දිගු කරන්නට කිසිවකුට අයිතියක් නැත. දේශපාලන පක්ෂ නායකයන්, නූගතුන්ට, හොරුන්ට, මිනීමරුවන්ට ජාවාරම්කාරයන්ට, පාතාල නායකයන්ට නාම යෝජනා ලබාදී ඡන්ද පොළට එවූ විට ජනතාවට සිදු වන්නේ එක්කෝ පාතාල නායකයාට නැත්නම් හොරාට ඡන්දය දෙන්නටය.

ඡන්දය නොදී එවැන්නන් පරාජය කර ගෙදර යැව්වත් පලක් නැත. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිකම් ලබාදී ඔවුන් ගෙන්වා ඇමැතිකම් පුදන්නට තරම් පක්ෂ නායකයෝ සාහසික වෙති. ඒ ඔවුන්ගේද සදාචාරයේ තරමය. දැනට ඉතිරිව ඇති ප්‍රශ්නය අපේ රටේ දේශපාලන නායකයන්ගේ අවසාන ඉලක්කය කුමක්ද යන්නය. මෙවැනි විනාශකාරී පැවැත්මක් ඉදිරියට ගෙන යෑමෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි අපි නොදනිමු. සමහර විට ලංකාව යේමනයක්, සෝමාලියාවක් කරන්නට ඔවුන් සිතනවා විය හැකිය. එය එසේ වනතුරු රටේ ජනතාව ඉවසා සිටි යැයි කිසිවකු සිතා සිටිනවා නම් ලොකුම වරද ඇත්තේ එතැනය.

දේශපාලනඥයනි, අපේ රටේ මවුවරුන්ට තවත් හඬන්නට ඇස්වල කඳුළු නැත. ඔවුන් ගතවූ සියවසේ ඕනෑවටත් වඩා හඬා තිබේ. වාර ගණනාවක් මවුබිමේ මහ පොළොව තම දරුවන්ගේ ලෙයින් තෙත් වනු ඔවුන් දැක තිබේ. ලේ සහ කඳුළු තවදුරටත්, ලක්මව ඉල්ලා සිටින්නේ නැත. නුඹලා මෙලොවට බිහිකළ මවුවරුන්ගේ නාමයෙන් නීතියට, යුක්තියට හිස නමන ලෙස අපි තවත් එකම එක වරක් නුඹලාගෙන් ඉල්ලා සිටින්නෙමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon