රටට වින කළ සංස්කෘතික දේශපාලනය

  👤  2431 readers have read this article !
2018-11-25

මෙම ඡායාරූපයේ මල් වට්ටි රැගෙන මහත් බැතියෙන් බුදුන් වඳින්නට යන්නේ ශ්‍රී ලංකාවේ වමේ දේශපාලනයේ ප්‍රමුඛ නායකයන් පිරිසකි. ඉදිරිපසින් සිටින පියකරු පුද්ගලයා ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය. කොල්වින් ආර්. ද සිල්වා, ආතාවුද සෙනෙවිරත්න සහ තවත් පිරිසක් මෙහි වෙති. පිටුපසින් සිටින කළු පැහැති රැවුලින් යුතු තරුණයා අද මහලු වියේ සිටින වාසුදේව නානායක්කාර මහතාය. බුදුන් වහන්සේට මල් පහන් පූජා කිරීම ඉතා හොඳ යහපත් දෙයකි. ඊට වරදක් කියන්නට හදනවා යැයි වරදවා තේරුම් ගතයුතු නැත.

මෙහි සිටින මහත්වරු සියලුම දෙනා මාක්ස්වාදීහුය. ඔවුහු කාල් මාක්ස්ගේ අනුගාමිකයන් ලෙස පෙනී සිටි තැනැත්තන්ය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ලියොන් ට්‍රොට්ස්කිගේ සහ හැරල්ඩ් ලැස්කිගේ ගෝලයෙකි. මේ අය එවකට 4 වැනි ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව වූ ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෝ වෙති. මාක්ස් - ලෙනින් හා එංගලස්ගේද, ට්‍රොස්කිගේද අනුකාරකයන් වූ මේ උදවියගේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ ඔවුන් භෞතිකවාදීන් වීමය. භෞතිකවාදීහු මතු ආත්මභාවය උදෙසා පින් රැස් කරන්නෝ නොවෙති. ඔවුන් විශ්වාස කරන්නේ ලෝකයේ පවතින්නා වූ භෞතික සම්පත් මිනිසුන් අතර සමසේ බෙදී යෑමෙන් සමසමාජයක් බිහි කරගත හැකි බවය. ලෝකෝත්තර ජීවිතයක් ගැන ඔවුන් තුළ විශ්වාසයක් නැත. ඔවුන් පෙනී සිටින්නේ මිනිසුන්ගේ ලෞකික ජීවිතය යහපත් කිරීම උදෙසා බව මේ මහත්වරුන් ප්‍රකාශ කර තිබේ.

එසේ නම් මල්, පහන් රැගෙන මේ යන ගමනේ අරමුණ කුමක්ද? ඔවුන් ඉන් ලැබෙන පිහිටක් ගැන විශ්වාස නොකරන නිසා මේ කරන්නේ මිනිසුන් රැවටීමක් යැයි කිසිවකු සිතතොත් එය වරදක් නොවේ. මේ උදවිය භාරගෙන තිබෙන්නේ මේ ආත්මයේ කටයුතුය. මිනිසුන් වැය කරන ශ්‍රමයේ පංගුවට සරිලන වැටුප් හා ජීවත්වීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් දේ ලැබීම සහතික කිරීම ඔවුන්ගේ දේශපාලනික අරමුණ වේ. ලබන ආත්මයේ ජීවිත සුඛිත මුදිත කිරීම දෑකැති මිටි ලාංඡනය රැගත් මේ අයගේ වගකීම නොවේ. එය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ රාජකාරියකි.

රටක් හැටියට ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රශ්නවල මුල වත්මන් සමාජ ආර්ථික ගැටලු බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් අපි 1948 සිටම ආණ්ඩු මාරු කරන්නේ සංස්කෘතික කාරණා මුල්කොට ගෙනය. ඒ සඳහා ජනතාව මුළා කරන්නේ මල්වට්ටි රැගෙන පෙරහරේ ගමන් කරන දේශපාලකයන්ය. අපි ආර්ථික ප්‍රශ්නවලට මුල්තැන දෙනවා වෙනුවට බුද්ධාගම රාජ්‍ය ආගම කරනු, සිංහලය රාජ්‍ය භාෂාව කරනු, බුද්ධගයාව බේරා ගනිමු ආදී සංස්කෘතික දේශපාලන සටන් පාඨ උදෙසා වසර 70ක් අපතේ හළ ජාතියකි. ඒ සඳහා අපව කැටුව යන්නේ මල් වට්ටි රැගෙන ඉදිරියෙන් ගමන් කරන කපටි දේශපාලකයෝය. ඔවුන් විසින් මෙරට මිනිසුන්ගේ ලෞකික ජීවිතයත් ලෝකෝත්තර ජීවිතයත් දෙකම අපායක් කර තිබේ.

සාදු! සාදු! සාදු!

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon