ජීවිතය පූජා කළත් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් සමාව ඉල්ලන්නේ නැත

  👤  3067 readers have read this article !
2018-12-02

සිය දහස් ගණන් දේශප්‍රේමීහු අකාලයේ මිය ගියෝය. අන්ධ වූහ. අබ්බගාතයෝ වූහ. තව කෙනෙක් මොළය නරක් වීමෙන් ජීවිතාන්තය දක්වා පිස්සන් බවට පත්වූහ. එහි විස්තරය ඒ දිනවල බරණැස සිර කඳවුරක සිට ලක්දිව "නව ජීවනය" නමින් ලියැවුණු සතිපතා පත්‍රයට ලියා යැවීමි. ඒ ලිපිය මෙසේය.

දඹදිව වසන සිංහල භික්ෂුන්ට ඉන්දියා ආණ්ඩුව කරන හිරිහැර - ජාති හිතෛෂී අපරාධ නීතිය අනුව 1832 මාර්තු මස 24දා බෙංගාල ආණ්ඩුව විසින් මම සැක පිට හිර භාරයට ගන්නා ලදිමි. දින 30ක කාලය පොලිසිය භාරේ අන්ධකාර කුණු කාමරවල තබා අන්තිම දවසේ මා හිරභාරයට ගත් චෝදනාවෙන් නිදහස් කර හරින ලදී. මා හිරභාරයට ගනු ලැබුවේ යුක්ති සහගත උතුම් නීති උඩ පිහිටුවා තිබෙන පස්වැනි ජෝර්ජ් මහ රජතුමන්ගේ ආණ්ඩුව විනාශ කිරීමට අවි ආයුධ බෝම්බ සාදන ලද්දේය, එසේම උසස් නිලධාරියකු මැරීමට ආධාර කළේය කියායි. එහෙත් මා ඒ වරදින් නිදහස් කිරීමට එතුමාගේ වැඩකරුවන්ට සිදු විය. මා හිරභාරයට ගෙන පොලිසිය භාරේ තබා සිටි දවස් 30 සම්බන්ධ විස්තරයක් නව ජීවනයේ පළ කිරීම යුතු වේ යැයි සිතන නිසා විස්තර ටිකක් ලියන්නට කල්පනා කළෙමි.

1932 මාර්තු මස 24දා පාන්දර 4ට පමණ මා කල්කටාවේ නැවැතී සිටි ගෙදරට අවි ආයුධවලින් සැරසුණු සුදු කළු දෙපක්ෂයට අයත් පොලිස් සේනාවක් පැමිණ මා නමින් වරෙන්තුවක් තිබෙන බව කියා මගේ කාමරය සෝදිසි කිරීමට සිටියහ. ඊට මම ඉඩ දුනිමි. මගේ කාමරය සහිත මුළු ගෙදර පෑ කීපයක කාලයක් සෝදිසි කර බෝම්බ ආදී කිසිවක් සම්බ නොවී කනගාටුවට පැමිණි පොලිස් නිලධාරීහු මා සහ මා නැවතී සිටි ගෙදර තවත් තරුණයකුත් හිරභාරයට ගත්හ. ඊට පසු පොලිස් පෙළහර මා සිටි තැනින් උදේ අටට පිටත් විය. ගෙදර සිට හැතැප්ම භාගයක අෑත පිහිටි පොලිසියට පයින්ම ගමන් කළෙමු. පාර දෙපක්ෂයේ අපේ ගමන දුටු බොහෝ දෙන පුදුමයට පත්වී බෞද්ධ භික්ෂුන් වහන්සේලාත් ඇල්ලීමට ආණ්ඩුවට අන්තිමේ බැරි තැන කල්පනා වී තිබේ යැයි බොහෝ දෙනා ශබ්ද නඟා කියන්නට වූහ. පොලිසිය පිහිටා තිබෙන්නේ මා ඉගෙනීම් කරන කොලීජිය ඉදිරිපිටය. පළමුවැනි වරට මා පිරිවරාගත් පොලිස් සේනාව දුටු කොලීජියේ ළමයි "වන්දෙ මාතරම්" "බුද්ධ දේවකී ජායි" කියා ප්‍රීති ඝෝෂා පවත්වන්නට වූහ.

මේ දුටු පොලිසිය විසින් වහාම මෝටර් රථයක් ගෙන්වා මම පොලිසියේ ප්‍රධාන බංගලාවට පිටත් කරන ලදිමි. රහස් පොලිසියෙන් මෙදින මුළු කල්කටා නගරයේ මා සමඟ රහස් කුමන්ත්‍රණ කිරීමේ චෝදනාව පිට ඇල්ලූ තරුණයන් සංඛ්‍යාව 27 දෙනෙකි. මෙදින මගෙන් කිසිත් නොඅසන ලදී. රාත්‍රි 8ට පමණ දෙපැත්ත වසන ලද බඩු පටවන ලොරියකට සම මෝටර් රථයකට නංවා මම වෙන පොලිසියකට ගෙන යන ලදිමි.

පොලිසියට ගෙන ගොස් දින දෙකක්ම මට සංග්‍රහ කොට බොරුවෙන් මා රැවටීමට නොහැකි වූ කල යකඩ ගරාදි ‍ෙදාරවල් දැමූ කාමරයකට ඇතුළු කර ‍ෙදාර වසා යතුර දමන ලදී. ටික වේලාවකට පසු තුවක්කු ගත් පොලිස් භටයෝ දෙදෙනෙක් මුර කිරීම ආරම්භ කළහ. මේ කාමරයේ කම්බිලි දෙකක් තිබිණි. දූවිලි පිරී තව කොනක කවුරුන්දෝ වමනය කර තිබුණේය. කම්බිලිය එළා නිදා ගැනීමට බැලූ නමුත් එහි තත්ත්වය ඉතා භයානක අන්දමකට අපිරිසුදුව පැවැති නිසා බිම සිවුර එළාගෙන නිදා ගැනීමට හිතට ගතිමි. නමුත් මුළු රාත්‍රියම දුර්ගන්ධයත්, මදුරුවනුත්, කැරපොත්තනුත්, මකුණනුත් නිසා නිදා ගැනීමට ඉතාම අපහසු විය. මුළු රාත්‍රියම පොලිස් භටයන් දෙදෙනා මුර කළහ. උදේ තේ වතුර ටිකත් මේ ආවාස කාමරයටම ගෙනත් දෙන ලදී. දවල් කෑමත් එහි තුළම විය. කෑම සම්බන්ධ විස්තර ලිවීමට නොයමි. දිනක් බත් සමඟ දුන් ගිතෙල්වල කැරපොත්තකු ස්වර්ගස්ථ වී සිටිනු දැක බත් කෑම දවස් කීපයකටම නැවැත්වූයෙමි. මේ අපායේ මට දවස් 28ක්ම නැවැතීමට සිදුවිය.

මෙහි එක හොඳක් තිබුණේ එනම් රෑ දවල් දෙක සමානව පැවැතීමයි. මේ අතර මට මුදල්, තෑගි බෝග දෙන බව සහ මගේ අනාගත ජීවිතයේ වාසනාවන්ත වීම සම්බන්ධ නොයෙක් දේවල් කියා මගෙන් ඊට උත්තරයක් නොලැබුණාට පසු වර්ෂ 5ක්ම බන්ධනාගාරයට යවන බව කියාද තර්ජනය කරන ලදී. මම ඊට වර්ෂ 5කට බැරි නම් තව 5කට යැව්වත් මගේ අසතුටක් නැති බව ප්‍රකාශ කළෙමි. මීට පසු මම නියම විප්ලව පක්ෂයට අයත් කෙනෙක්ය කියා තේරුම් ගත් බව ප්‍රකාශ කොට බෞද්ධ භික්ෂුන්ට දේශපාලන සම්බන්ධ වැඩ කිරීම යුතු නැති බව කියා අවවාද කළේය. ඊට මා දුන් උත්තරය නම් බෞද්ධ භික්ෂුන්ටත් මාතෘ භූමිය සම්බන්ධ ඉටු කළ යුතු යුතුකම් රාශියක් තිබෙන බවය. මීට පසුත් දෙවතාවක්ම උසාවියට ගෙන ගිය නමුත් නඩුකාර තැන විසින් මගේ කිසි වරදක් නැති බව කියා මා නිදහස් කළේද පොලිසියට තදින් දෝෂාරෝපණය කරමින්ය. ඊට පසු ආණ්ඩුව ජාති හිතෛෂී තරුණයන් මර්දනය කිරීමට පනවා තිබෙන විශේෂ බලය අනුව උසාවියෙන් පිටවෙනවාත් සමඟම නැවතත් මම හිරභාරයට ගෙන බන්ධනාගාරයට ගෙන යන ලදිමි. බන්ධනාගාරයේ ජීවිතය ගත කළ අන්දම සහ අනික් සැකපිට කිසිම නඩු විභාගයක් නැතුව හිරභාරයේ තබා සිටින තරුණයන් සම්බන්ධ විස්තරත් ලබන පත්‍රයට ලියා එවන්නෙමු.

උඩකැන්දවල සරණංකර
1933 ජූලි 20, නවජීවනය
බරණාසියේදීය.
"නවජීවනය" කර්තෘ මහතා වෙතටයි.

මහත්මයාණනි,
පසුගිය ජූලි මස 20දා තමුන්නාන්සේගේ පත් මඟින් පළ වූ "දඹදිව වසන සිංහල භික්ෂුන්ට ඉන්දියා ආණ්ඩුව කරන හිරිහැර" මාතෘකාන්විත ලිපිය සම්බන්ධ තමුන්නාන්සේ හිත යොමු කිරීම ගැන තමුන්නාන්සේට ස්තුති කරමි.
මෙම කරුණ සම්බන්ධ මා බෙංගාල ආණ්ඩුව විසින් බාරාණසියට පිටුවහල් කරපු හැටියේම ලංකාවේ ජාති හිතෛෂීන් වූ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතාටත්, සර් ඩී.බී. ජයතිලක මහතාටත් මා කිසි නඩු විභාගයක් නැතුව මගේ ඉගෙනීමට බාධා කොට වංග දේශයෙන් පිටකර සාමාන්‍ය මුදලක් දී හිරභාරයේ තබා සිටින බව ලියා යැවීමි.

මින් පෙරේරා උන්නැහේ මොකුත් කරන්නට බැරි බව කියමින්ද ජයතිලක උන්නැහේ ඉන්දියාවේ වාසය අපහසු නම් ලංකාවට ආපසු පැමිණීමට අවවාද කර ඉංග්‍රීසි භාෂාවෙන් ලියමනක් ද එවා තිබිණි. මේ සම්බන්ධ ලිපියක් ටික කලකට පෙර මම "ස්වදේශීය මිත්‍රයා" පත්‍රයටද ලිවීමි. නමුත් අප රටවාසීන් තුළ තවම මෙවැනි කාරණයකදී ඉදිරිපත් වී කටයුතු කිරීමට තරම් ස්වජාත්‍යාභිමානයක් ඇතිවී තිබෙන බවක් නොපෙනේ. මේ සම්බන්ධව මම බෙංගාල ආණ්ඩුවට මගේ යම් වරදක් තිබේ නම් ප්‍රසිද්ධ නඩු ශාලාවක් ඉදිරියට පමුණුවා විභාග කොට බන්ධනාගාරයට යැවීමට හෝ එසේ නැති නම් මා නිදහස් කිරීමට ලියා යැවීමි. නමුත් ඉංග්‍රීසි ආණ්ඩුව මා ප්‍රසිද්ධ උසාවියක පමුණුවා නඩු විභාග කිරීමට තරම් නිර්භීත බවක් නොපෙන්වයි.

1930 බෙංගාලයේ අපරාධ නීති සංග්‍රහය අනුව කිසිම නඩු විභාගයක් නැතුව හිරභාරයට ගන්නා වූ කාටත් වුවමනා වියහියදම් දීමට ආණ්ඩුව ඉහත කී නීතිය අනුව බැඳී සිටියත් මට ගෙවනු ලබන්නේ මාස්පතා රුපියල් 15කි. මේ මුදලින් මෙහි කටයුතු කිරීම අපහසු බව ලියා යැවූ නමුත් ආණ්ඩුවට ඒ සම්බන්ධ යමක් කිරීම යුතුකමක් යැයි කල්පනා නොකරයි. එසේම ආණ්ඩුව මා නමින් සැකපිට කර තිබෙන හිරභාරයේ නැවැත්වීම සම්බන්ධ ආඥාව අවලංගු කිරීමටද භය වෙයි. එසේම නිතර සී.අයි.ඩී. කාරයන් ලවා හිරිහැර කරවීමටද ආණ්ඩුව මැළි නොවෙයි.

පසුගිය වර්ෂයේ මම අයි.ඒ. විභාගයට කල්කටාවට ගියෙමි. මේ ගමන සම්බන්ධව සහ විභාගයට ගෙවිය යුතු මුදලුත් සමඟ රුපියල් 95ක් මට ණයට ගැනීමට සිදුවූ නමුත් ආණ්ඩුව විසින් මේ මුදල තවම නොගෙවන ලදී. ඉහත කී නීතිය අනුව ආණ්ඩුව ඒ මුදලද මට ගෙවීමට බැඳී සිටියි. මේ අවස්ථාවේදී ලාංකික මා සම්බන්ධව ලංකාවේ ආණ්ඩුව මඟින් හෝ මහජනයා මඟින් යම් ඝෝෂාවක් කොට මාව නිදහස් කර වංග දේශයට ආපසු යෑමට හෝ මගේ වියහියදම් වුවමනා තරමට ගෙවීමට හෝ බෙංගාල ආණ්ඩුවට බල කිරීමට ලංකාවාසීන්ට බලය තිබේ.

ආණ්ඩුව මට ලංකාවට ආපසු යන්නට කියන නමුත් මා එසේ නොකරන්නේ එසේ ගියහොත් ආණ්ඩුවේ මේ හිතුවක්කාර නීතිය පිළිගැනීමක් වන නිසයි. ඒ ගැන මහත්මයාත් ලංකාවාසී බෞද්ධ ජනයාත් කල්පනා කොට පිළියෙල කරන්නට කල්පනා කළහොත් මැනවි. මම නම් කිසිම ආණ්ඩුවකින් ක්ෂමාව ඉල්ලන්නට සතුටු නොවෙමි. ජාතියේ නිදහස නිසා ජීවිතය වුණත් පිදීමට සැරසී සිටිමි. නමුත් ලෝකයේ ශිෂ්ටාචාරයේ නමින් ඉදිරිපත් වී අපි ප්‍රභූවරු වම්හ යි කියන ආණ්ඩුවක් විසින් අප කෙරෙහි කිසි නඩු විභාගයක් නැතිව කරන මේ හිරිහැර ගැන හිතුවක්කාර ආණ්ඩුවට මොනම ආකාරයකින්වත් සමාව දිය නොහැකි බව මතක් කර සිටිමි.
උඩකැන්වල සරණංකර බාරාණසියේදීය.

ශි්‍රයානි අජන්තා විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon