වල්මත් වී හසරක් නොදැකීම

  👤  3155 readers have read this article !
2018-12-02

මෙරට මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය පිළිබඳව පසුගිය දිනවල මාධ්‍යවල බොහෝ චෝදනා එල්ල විය. වැදි නායක වන්නිල ඇත්තන්ගේ සිට සමාජයේ විවිධ තරාතිරම්වල සත්පුරුෂයෝ සෑහෙන විවේචන එල්ල කර තිබිණි. ඒ විවේචනවලින් හැදෙනවා නම් ඒවා ඕනෑවටත් වැඩිය. නමුත් එවැනි යහපත් ප්‍රතිඵලයක් අපේක්ෂා නොකළ යුතුය. එයට හේතුව මන්ත්‍රිවරුන්ගේ හැසිරීම සාධාරණය කරමින් දේශනා පැවැත්වූ සංඝ පීතෘවරුද ජනමාධ්‍යවල පෙනී සිටීමය. කොටසක් විවේචනය කරන අතර තවත් කොටසක් අගය කරති. මෙරට ප්‍රභූ සමාජයේ හැටි එහෙමය.

එහෙත් සමාජ ජාලා වෙබ් අඩවිවල සහ මුහුණු පොතේ නම් බහුතරයක් තිබුණේ පාර්ලිමේන්තුවේ යකා නටන මන්ත්‍රිවරුන්ගේ මෑණිවරුන්ට පවා සාප කරන කතාය. මෙවර ඡායාරූපයේ සිටින්නේද මල්වට්ටි රැගෙන බුදු පුදට යන දේශපාලකයන් පිරිසකි. එය ගෙන තිබෙන්නේ ජනාධිපති ආර්. ප්‍රේමදාසට විරුද්ධව 1991දී දෝෂාභියෝගය ගෙනා අවස්ථාවේ ඊට දායක වූ පිරිස දළදා පුදට යද්දීය. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, සමරවීර වීරවන්නි, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, කෙහෙලිය රඹුක්වැල්ල ආදීහු මෙහි වෙති. දෝෂාභියෝගය ගෙනා රාජාලියා කණ්ඩායම නමින් එදා හැඳින්වූයේ මේ පිරිසය.

ඔවුන් එවකට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින් සංවිධානය වී සිටියහ. දෝෂාභියෝගය දිනන්නට ඔවුන් දළදා සමිඳුන්ගේ පිහිට පැතුවද ජනාධිපතිවරයා ඉන්දියාවෙන් කට්ට¾ඩියන් ගෙන්වා පාර්ලිමේන්තුවේ පුටුවලට අළු ඉස ජීවම් කළ තෙල් තවරා දෝෂාභියෝගය පරාජය කළ බව සමහරු කියති. මෙවරත් සිදු වූයේ එවැනිම දෙයක් දැයි කෙනකුට සැක කළ හැකිය. නවීන් දිසානායක ඇතුළු එජාපයේ පිරිසක් ආණ්ඩු පක්ෂයේ අයට විරුද්ධව සීනිගම දේවාලයට ගොස් පොල් ගැසුවේය. 23 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ විට ආණ්ඩු පක්ෂයට විනාඩි පහකට වඩා පාර්ලිමේන්තුවේ සිටින්නට බැරි විය. ඔවුන් සියල්ලෝම එළියට ගියෝය.

මෙරට දේශපාලනයට දෙවිවරු මෙන්ම යක්ෂයන්, භූතයන්, පිසාචයන් ඇතුළු අදෘශ්‍යමාන පිල්ලිද එක්ව සිටිති. ජනතාව සමඟ ගනුදෙනු කරනවාට වඩා කපටි දේශපාලකයන් සමඟ ගනුදෙනු කිරීම වාසි බව භූතයෝද තේරුම් ගෙන ඇත. පන්සලට, පූජා භූමියට ගොස් ශාන්තිය ප්‍රාර්ථනා කරන කපටින් එම ගමනේදීම දේවාලයට ගොස් අනෙකාගේ හතර හන්දි කැඩේවා, දුරින් දුරුවේවා, නැති භංගස්ථාන වේවා කියා පොල් ගසති. මිරිස් අඹරති.

මේ දෙකටම දේශපාලකයන් පසු පස යන ඡන්දදායකයන් පිරිසක් ලංකාවේ සිටිති. ප්‍රතිපත්ති දේශපාලනයට වඩා බලය ගැනීම සඳහා වැදගත් වන්නේ සංස්කෘතික දේශපාලනය බව මෙරට බලයට පැමිණි සෑම නායකයෙක්ම දැන සිටියේය. සිංහල මළ පොතේ අකුරක්වත් නොදත් හැන්දෙන් ගෑරුප්පුවෙන් කන නායකයකු පැය 24න් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා යැයි කීවිට මෙරට මිනිස්සු ඔහුට ඡන්දය දී බලයට ගෙනාවේය. රට බෙදන කතාව මාර්කට් කළවිට "මළත් රට බෙදන්න දෙන්නේ නැතැයි" කියා බලයට ආ හැකිය. විදේශවලින් ණයගන්නේ නැති නිෂ්පාදන ආර්ථිකයක් අපි හදනවා කීවට මේ රටේ මිනිස්සු ඡන්දය දෙන්නේ නැත. ජනතාව ඉන්නේ සංස්කෘතික දේශපාලනයෙන් වල්මත් වී හසරක් නොදැකිය හැකි තැනකය.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon