පාර්ලිමේන්තු පුස්තකාලයේදී මහින්ද - රනිල් කතාකළේ මොනවාද?

  👤  4597 readers have read this article !
2018-12-02

රුචිර දිලාන් මධුසංඛ

දුරදිග යන
ව්‍යවස්ථාදායක - විධායක ගැටුම

පවතින දේශපාලන වියවුල්භාවය මේ වන තෙක් නිරවුල් නොවීම නිසා රටේ විවිධ අර්බුද උද්ගත වෙමින් පවතී. මේ වන විට එය ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර සීතල යුද්ධයක් බවට පත්ව ඇත. ප්‍රථම වතාවට ආණ්ඩුවක් නොමැතිව ව්‍යවස්ථාදායකයේ වැඩකටයුතු අඛණ්ඩව සිදු කරගෙන යෑමට කථානායකවරයා ගෙන ඇති තීන්දුව නිසා මෙම වියවුල් බව නොසිතූ විරූ පරිදි වර්ධනය වීමට පටන් ගෙන ඇත. කථානායකවරයා ආණ්ඩු පක්‍ෂයක් නොමැතිව පාර්ලිමේන්තුව පවත්වාගෙන යන නිසා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් චෝදනා කරනුයේ පාර්ලිමේන්තු රැස්වීම් සිරිකොත ලෙස පවත්වාගෙන යෑමට කථානායකවරයා කටයුතු කරන බවයි.


තත්ත්වය එසේ තිබියදී බ්‍රහස්පතින්දා පෙරවරුවේ ආණ්ඩු පක්‍ෂයේ අසුන් පෙළක විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා තනිවම අසුන්ගෙන සිටින අයුරු දැක ගැනීමට හැකි විය. අමාත්‍යවරයා පමණක් මෙලෙස තනිවම අසුන් ගෙන සිටීම පිළිබඳව විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට මෙන්ම පාර්ලිමේන්තු දසුන් සජීවීව නැරැඹූ සියලු දෙනාටම කුතුහලයක් විය. ම¼ද වේලාවකින් අමාත්‍යවරයා කථානායකගේ අවසරය මැද සභාව ආමන්ත්‍රණය කළේය. එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ පවතින දේශපාලන ආරවුල විස¼දා ගැනීමට නම් සියලු පාර්ශ්වයන් සාකච්ඡා මේසයකට පැමිණීම අනිවාර්යය බවය. එසේ නොමැතිව පෙනෙන තෙක් මානයක මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා විකල්ප මාර්ගයක් නොමැති බවද ඇමැතිවරයා කීවේය. කථානායකවරයා සහ ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ ප්‍රධානීන් බැවින් ඔවුන් දෙදෙනා එක්ව මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බවද විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අවස්ථාවේදී කථානායකවරයාද ඇමැතිවරයාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්විය.


'ඇමැතිතුමා මටයි ජනාධිපතිතුමාටයි කතා කරන්න බැරි ප්‍රශ්නයක් නෑ. මමත් හැමවෙලාවෙම උත්සාහ කරන්නේ මේ ගැටලුව ගැන සාකච්ඡා කරලා විසඳුමක් ගන්න. මම මේ වෙනකන් ඒ සඳහා ගත හැකි හැම පියවරක්ම ගත්තා. මම තවදුරටත් ඒ ගැන බලන්න පැකිළෙන්නේ නෑ. ඔබතුමාගේ ඉල්ලීමත් සලකා බලන්න මට පුළුවන්' යැයි කථානායකවරයා කීවේය.


එදින පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වූයේ අගමැතිවරයාගේ වියදම් කපා හැරීමටය. එයට ඡන්ද විමසීමක් පැවැත්වූ අතර පක්‍ෂව ඡන්ද 123ක් ලැබිණි. විපක්‍ෂව කිසිදු ඡන්දයක් නොලැබුණේ ආණ්ඩු පක්‍ෂය සභාවේ නොසිටි නිසාය. විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයාද ඊට ඡන්දය භාවිත නොකිරීමට කටයුතු කළේය.


පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අවසන් වී පස්වරු 4.20ට පමණ කථානායකවරයා කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය. පැයකට ආසන්න කාලයක් මෙම හමුව පැවැතියේය.


'නඩු තීන්දුව ලැබුණට පස්සේ මේ ගැන මම සලකා බලනවා. එතකන් මොකුත් කරන්න විදියක් නෑ. ඒ තීන්දුව ආවට පස්සේ අපි බලමු' මෛත්‍රි කීවේය.


කථානායකවරයාද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ගැන වෙනත් ප්‍රශ්න නොඇසීමට වගබලා ගත්තේය. අනතුරුව ජනාධිපතිවරයා කථානායකවරයාට කීවේ පාර්ලිමේන්තුවේ කටයුතු ස්ථාවර නියෝගවලට අනුව පවත්වන ලෙසය. කථානායකවරයා එහිදී පවසා ඇත්තේ තමන් පාර්ලිමේන්තුවේ කටයුතු ස්ථාවර නියෝගවලට අනුව ඉතා ස්වාධීනව කටයුතු කරන බවය.


අධිකරණ තීන්දුවෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පිරිසට අගමැති තනතුර ලබාදීම ගැන සලකා බැලීමට හැකියාවක් පැවැතියද රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිකමට පත් නොකරන බවද මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත.


සිකුරාදා දිනයේද ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළ අතර එදින ආණ්ඩුවේ සියලු අමැතිවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාවක් විපක්‍ෂය විසින් සභාවට ඉදිරිපත් කළේය. එම යෝජනාවටද ඡන්ද 122ක් ලැබිණි.


පාර්ලිමේන්තුව ලබන 5 වැනිදා යළි රැස්වන බව කථානායකවරයා මෙහිදී නිවේදනය කළේය.


මධ්‍යම කාරක සභාවෙන් දුමී එළියට - චන්ද්‍රිකා වර්ජනයක


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් මහගමසේකර මාවත පිහිටි නිල නිවෙසේදී පැවැත්විණි. මෙහිදී විශේෂ අවධානය යොමු වූයේ දෙසැම්බර් 4 වැනිදා පක්ෂයේ විශේෂ සමුළුවක් පැවැත්වීමටය.


අපි මේ දිනවල ගත්තු තීන්දු තීරණ ගැන පක්ෂයේ නියෝජිතයන් දැනුවත් කරන්න ඕනෑ. ඒ නිසා සියලු සංවිධායකයන්ට උපදෙස් දෙන්න මේ සඳහා උනන්දුවෙන් කටයුතු කරන්න කියලා.
මෛත්‍රි පක්ෂයේ මහ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.


අනතුරුව පක්ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපතිවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක් පත් කෙරිණි.


'දැන් සර්.. අපි මේක කොහෙදීද පවත්වන්නෙ' කාරක සභිකයකු විමසීය.


'ඒ සඳහත් ඔබතුමාලා යෝජනා කරන්න ස්ථානයක්' මෛත්‍රි කීවේය.


වැඩි දෙනාගේ කැමැත්ත වූයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙය පැවැත්විය යුතු බවය. ඒ අනුව මෙම පක්ෂ සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් 4 වැනිදා පැවැත්වීමට නියමිතය.
අනතුරුව වත්මන් දේශපාලන කරුණු කාරණා ගැනද මධ්‍යම කාරක සභාවේ අවධානය යොමු විය.


පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහ ප්‍රසිද්ධ රැස්වීම් සඳහා සහභාගි නොවීම නිසා විවිධ ආරංචි පැතිර ගිය එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායකද මෙවර මධ්‍යම කාරක සභාව නියෝජනය කිරීම විශේෂයකි. එහෙත් පක්ෂයේ අනුශාසකවරියක් ලෙස කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග එදින මධ්‍යම කාරක සභාව නියෝජනය නොකිරීමද විශේෂත්වයකි.


මෛත්‍රි මොරගහකන්දේ


මොරගහකන්ද ජලාශයේ වාන් ‍ෙදාරටු විවෘත කිරීමේ අවස්ථාව දැක බලා ගැනීම සඳහා යෑමට ජනපති මෛත්‍රි බ්‍රහස්පතින්දා පස්වරුවේ කොළඹින් පිටත්ව ගියේය. ගුවනින් දඹුල්ලට පැමිණි ජනාධිපතිවරයා එදින නවාතැන් ගත්තේ කණ්ඩලම හෝටලයේය. මේ සඳහා ජනාධිපති බිරිය ජයන්ති සිරිසේන සහ පුත් දහම්ද එක්ව සිටියහ.


සිකුරාදා පෙරවරුවේම කණ්ඩලම වැව ආශ්‍රිතව ශරීර ව්‍යායාම්වල නිරත වූ ජනාධිපතිවරයා එහිදී හමුවූ අවට ප්‍රදේශවාසීන් සමඟද සතුටු සාමීචියේ යෙදීමට අමතක නොකළේය. පෙරවරු 6.30ට ජනාධිපතිවරයා එහි පැමිණෙන බවට දැනුම් දුන්නද ජනාධිපතිවරයා එහි යන විටත් මඳක් ප්‍රමාද වුණු අතර ඒ වන විට පෙරවරු 11.00 පමණ වී තිබිණි. අනතුරුව ජනාධිපතිවරයා මොරගහකන්ද ජලාශයේ වාන් ‍ෙදාරටු විවෘත කිරීමෙන් පසු ජල කඳ වැටෙන අයුරු නිරීක්ෂණය කර සිටියේ සැනසුම් සුසුමක් හෙළමිනි.


අනතුරුව කළුගඟ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකටද ජනාධිපතිවරයා එක්වූ අතර එය අවසන් වී යළි කොළඹ බලා පැමිණියේය.


පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථීර පත්වීම් දීමේ උත්සවයද පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාවට අගමැති මහින්ද, ඇමැති විමල් සහ මැති ඇමැතිවරුන් පිරිසක්ද එක්ව සිටියහ.


එය අවසන් කළ මෛත්‍රි ගියේ තවත් සාකච්ඡා දෙකකට එක්වීම සඳහාය. දෙමළ ජාතික සන්ධානයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් මෙසේ ජනාධිපතිවරයා හමු වූ අතර පවතින දේශපාලන වාතාවරණය ගැන එහිදී සාකච්ඡා කෙරිණි.


අලුත් අගමැති කසුකුසුව


නව අගමැතිවරයකු පත් කිරීම ගැන මේ දිනවල දේශපාලනඥයන් අතර යළි කතා බහක් ඇතිවී තිබේ. යම් ලෙසකින් එසේ කරන්නේ නම් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනය ඉවත් කර ගත යුතුව තිබේ.


ඊට හේතුව පසුගිය නොවැම්බර් 9දා සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබීමයි. දැනට ඒ ගැන අධිකරණයේ විභාගයක් පැවැත්වෙන බැවින් අගමැතිවරයකු පත් කිරීමට ඉඩක් නොමැති බව නීති විශාරදයෝ පෙන්වා දෙති.


මහින්ද අනුරාධපුරේ


අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය බදාදා රාත්‍රියේ ගුවන් හමුදාවට අයත් 512 විශේෂ ගුවන් යානයෙන් අනුරාධපුර බලා පිටත්ව ගියේය. ඒ ආගමික වතාවත්වල නිරත වීමටය. ගුවන් යානය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ළඟා වන විට රාත්‍රි 7 පමණ වී තිබිණි.


අගමැතිවරයා පිළිගැනීම සඳහා වැවිලි කර්මාන්ත ඇමැති එස්.එම්. චන්ද්‍රසේන, පාර්ලිමේන්තු මන්ත්‍රි පියංකර ජයරත්න සහ උතුරු මැද හිටපු අමාත්‍ය එස්.එම්. රංජිත් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
මැති ඇමැතිවරුන් පිරිස සමඟ අගමැතිවරයා පළමුව ගියේ අනුරාධපුර නගර මධ්‍යයේ ඇති ඩී.එස්. ගුණසේකර මහතාගේ නිවෙසටය. මඳ වේලාවක් එහි කාලය ගත කර තේ පැන් සංග්‍රහයක් භුක්ති විඳීමෙන් පසු අගමැතිවරයා ඇතුළු පිරිස රුවන්වැලි මහ සෑයේ ආගමික වතාවත්වල නිරත වූහ.


අනතුරුව යළිත් ගුණසේකර නිවෙසට පැමිණි අගමැතිවරයා එහි නවාතැන් ගත්තේය. පසුදින අලුයම 5ට ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ ආශීර්වාදය ලබා ගත් අගමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිස ගුවන් හමුදාවට අයත් 512 ගුවන් යානයේම යළිත් කොළඹ බලා පිටත් වූයේ පාර්ලිමේන්තුවේ පැවැති කණ්ඩායම් රැස්වීමට සහභාගි වීම සඳහාය.


අගමැතිවරයා එදින කොළඹ නව නගර ශාලාවට ගියේය. ඒ දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 51 වැනි ගුණ සමරුවට සහභාගි වීම සඳහාය. මේ සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරු පිරිසක්ද එක්ව සිටියහ.


අගමැති හිරගෙදරට යයි


රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ සැපදුක් බැලීම සඳහා අගමැති මහින්ද බදාදා පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගියේය.
ආරක්‍ෂක හේතූන් මත විජේගුණවර්ධන මහතා මැගසින් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා ඇති අතර ඔහු මේ වන විට එහි විශේෂ ආරක්‍ෂක මැදිරියක රඳවා තැබීමද විශේෂයකි.


මඳ වේලාවක් ඔහුගේ සුවදුක් සොයා බැලූ අගමැතිවරයා ඔහුගේ ආරක්‍ෂාවට අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.


තරුණයන් 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්නට චෝදනා එල්ල වී තිබිණි.


මහින්දත් හඬ අනුව යෝජනා සම්මත කරයි


මෙවර පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු ගැන සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අඟහරුවාදා දහවල් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1හිදී පැවැත්විණි. ඒ අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙනි. මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගි වනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා මැති ඇමැතිවරුන් අතර වාද විවාද පැවැත්විණි.
"මේක සිරිකොතේ රැස්වීමක් නිසා අපි යන්න ඕනෙ නෑ." නාමල් කීවේය.


"ඔව් ඒක හරි, මේ කථානායක සම්ප්‍රදායට විරුද්ධවයි වැඩ කරන්නේ. කථානායක මේ හදන්නේ ව්‍යවස්ථාදායකයයි අධිකරණයයි අතර අනවශ්‍ය ගැටුම් හදන්න. ඒක තමයි කරු දැන් මේ කරන්නේ" එස්.බී.ද කතාබහට එක්විය.


"හඬ අනුව පෙනී යන්නේ සභාවට යන්න ඕනේ නෑ කියලා" මහින්ද කීවේ සිනා සෙමිනි.


මැති ඇමැතිවරුන්ද අගමැතිවරයාගේ මෙම ප්‍රකාශයට මහ හයියෙන් සිනාසුණේය.


"අපි එහෙමනම් සභාව ඇතුළට ගිහිල්ලා විරෝධය පළ කරලා එමු. මොකද මේ රැස්වීම් සජීවීව විකාශය වෙනවා. ඒ නිසා ජනතාවට අපේ මතය කියලා අපි සභාවෙන් එළියට එමු. එහෙම නැත්නම් ජනතාව අපි ගැන වැරැදි මතයකට එනවා" රංජිත් කීවේය.


"ඔව්. ඒකත් ඇත්ත. කථානායකටත් ඕනේ ජනතාව අතර අපි ගැන එවැනි මතයක් හදන්න." දිනේෂ් කීවේය.
මෙහිදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා නැඟී සිටිමින් පොහොට්ටුවේ සාමාජික මන්ත්‍රිවරයකුත් පාර්ලිමේන්තු කාරක සභාවට පත් කළ යුතු යැයි යෝජනාවක් කළේය.


අනතුරුව ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් සභාවට ගොස් කථානායකට විරෝධය දක්වා සභා වාරය වර්ජනය කළේය. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිකුරාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මේ සඳහා මලික් සමරවික්‍රම, දිනේෂ් ගුණවර්ධන සහ ලොහාන් රත්වත්තේ මන්ත්‍රිවරුද එක්වූහ. එහිදී පිරිස සුහද කතාබහක නිරතවීමද විශේෂත්වයකි. "අපි ඉලෙක්ෂන් එකකට යමු නේද?" මහින්ද රනිල් දෙස බලමින් කීවේය. "ඔව් ඔව් අපි යමු හැබැයි මාර්තු අප්‍රේල් වෙනකම් නම් බෑ" රනිල් කීවේය. "ඇයි බැරි මොකද ප්‍රශ්නෙ. අපි ඡන්දෙකට ගිහිල්ලා මේ ප්‍රශ්නෙ ඉවරකරලා දාමු" මහින්ද රනිල්ට කීවේය. "දැම්ම කල් වැඩියි." රනිල් වටපිට බලමින් මහින්දට කීවේය.


"දැන් මාව පත්කරල තියෙන්නෙ මම නම් අයින් වෙන්නෙ නෑ. ඔයාල ඉතින් මොකක් හරි කරල අයින් කරන්න පුළුවන්නම් කරන්න. මම නම් අයින්වෙන්නෙ නෑ" මහින්ද කීවේ සිනා සෙමිනි.
රනිල් ඊට කිසිවක් නොකීමට වගබලා ගත්තේය. "දැන් ඔබතුමාලා මොනවද අර අරලියගහ මන්දිරේට වෙලා කරන්නෙ. අපි ලස්සනට හදල තිබ්බ හෝල් එක දැන් ජරාකරල නේද?" මහින්ද විමසීය.
"ඔව් ඔව් ඒකනම් දැන් ජරාවෙලා තමයි. අලුතින් හදන්න වෙනවා" රනිල් කීවේය.


"අද ජනාධිපතිතුමාගේ රැස්වීමට යනවාද?" මහින්ද විමසීය. "මම නම් යන්නේ නෑ මේ අය තමයි යන්නෙ" රනිල් මහින්දට මලික් පෙන්වමින් කීවේය.
"ඔව් ඉතින් ගියත් වෙනදෙයක් නෑනේ. නිකන් කතාකරල තමයි එන්න වෙන්නෙ" මලික් කීවේ සිනාසෙමිනි.


සජිත්ට සුබ පැතූ හේතුව


කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ සමාරම්භක විදුහල්පති දිවගංත ආර්.අයි.ටී. අලස් මහතාගේ අභාවයෙන් පස් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ 8, කුරුප්පු පටුමඟේ පිහිටි නිවෙසේදී 27දා රාත්‍රියේ සර්ව රාත්‍රික පිරිතක් සහ පසුදින සඟගත දක්ෂිණාවක් පැවැත්විණි. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම දානමය කටයුත්ත සඳහා වැඩම කර සිටියහ. ඊට අමතරව මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස, මැති ඇමැතිවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජිත් ප්‍රේමදාස, අර්ජුන රණතුංග, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, චන්දිම වීරක්කොඩි, හර්ෂණ රාජකරුණා, නාමල් රාජපක්ෂ, කංචන විජේසේකර, තිලංග සුමතිපාල, මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම ඇතුළු මැති ඇමැතිවරු, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක ඇතුළු පිරිසක් පිරිත ශ්‍රවණය කරීමට සහභාගි වී සිටියහ. දිවංගත ආර්.අයි.ටී. අලස් මහතාගේ බිරිය වන රෝහිණී අලස් මාතාව, පුතුන් වන ටිරාන් අලස්, වෛද්‍ය හර්ෂ අලස් සහ එම පවුලේ ඥාතීන් පිරිසක්ද එක්ව සිටියහ.


මෙහිදී නියන්ගොඩ විජිතසිරි හිමියන් විසින් අනුශාසනාවක්ද පැවැත්වූහ.


ඩී.එස්. සේනානායක විදුහල නිර්මාණය කිරීමේදී පැමිණි අභියෝගවලට එතුමා බොහොම නිර්භයව දූරදර්ශීව මුහුණ දුන්නා. එපමණක් නෙවෙයි ඒ සියලු අභියෝග ජයගත්තා. ඒ සඳහා අලස් මැතිනියගේ පූර්ණ සහයෝගය එතුමාට ලැබුණා.


එතුමාගේ දෙටු පුතණුවන් වන ටිරාන් අලස් මහතා අද මේ රටේ සම්භාවනීය පුද්ගලයෙක් හැටියට ව්‍යාපාර ක්ෂේත්‍රයේ කටයුතු කරමින් ඉමහත් මෙහෙවරක් ඉටු කරනවා. එපමණක් නෙවෙයි එතුමා දේශපාලන ක්ෂේත්‍රයටත් සම්බන්ධ වුණා. සිය පියතුමාගෙන් ලැබූ අභාසයට අනුව එතුමාගේ ක්‍රියාකාරකම් තුළ පක්ෂ භේද, ජාති භේද, ආගම් භේද කිසිවක් නෑ. ඒ වගේම හර්ෂ අලස් ‍ෙදාස්තර මහත්මා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිය පියතුමාගේ ඊළඟ පියවර වඩාත් අර්ථවත් වන හැටියට විවිධාංගිකත්වය වන හැටියට බොහොම ප්‍රභාවත්ව පවත්වාගෙන යනවා.


මෙම අවස්ථාව සඳහා එක්වුණු එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට පැමිණ සිටි මැති ඇමැතිවරුන් සුබ පතන්නට වූහ. ඊට හේතු වූයේ ඔහු එජාප නායකත්වයට පැමිණෙන බව පැතිර යන ආරංචිය නිසා වීමද කාගෙත් කතාබහට ලක්වීම නිසා වීමද විශේත්වයකි.


මෛත්‍රි ගැන බලාපොරොත්තුවෙන් රනිල් කිව්ව කතාව


මේ අතර බ්‍රහස්පතින්දා උදේ අරලියගහ මැඳුරට පැමිණි එජාපපේ ප්‍රබලයන් රැසක් එදින කටයුතු ගැන බොහෝ දේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කතාබහ කළහ.
"මේ අර්බුදය ඇති කළේ ජනාධිපතිගේ පෞද්ගලික අවශ්‍යතා මතයි. එජාපෙ ජනපති අපේක්ෂකයා එජාපෙන්ම තෝරන බවට ගත් තීන්දුව ජනපතිට දැනුම් දුන්නට පස්සේ එයා පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගන්නයි මේ අවුල කළේ..... ඒත් අගමැතිකමයි ආණ්ඩුවයි දෙකම රාජපක්ෂලාට දීලාත් ඔවුන් ශ්‍රී ලනිපයට බ¼දවා ගන්න එයාට බැරි වුණා.... පසුදාම ඔවුන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම ජනපතිට එල්ල කළ කනේ පහරක්.... එහෙම එකේ ජනපතිට පොහොට්ටු අපේක්ෂකත්වය දීම දවල් හීනයක්..."
ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


"ගොවීන්ට හා ධීවරයන්ට ආදායම් බදු සහන දෙනවාලු.... ආදායම් බදු ගෙවන ගොවීන් හා ධීවරයන් ඉන්නේ කොහේද දන්නේ නැහැ..." චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.
"ශ්‍රී ලනිපයේ එකෙක් හරි රනිල්ගේ පැත්තට ගියොත් මගෙන් ඇමැතිකම් නම් බලාපොරොත්තු වෙන්න එපා කියලා ජනපති ශ්‍රී ලනිප 23 දෙනාට තර්ජනය කරලාලු... අපට අවශ්‍ය ඇමැතිකම් නොව ප්‍රජාතන්ත්‍රවාදය බව ඉන් බොහෝ දෙනෙක් පිළිතුරු හැටියට කිව්වා කියලා ආරංචියි..." දයා ගමගේ කීවේ එවැන්නකි.


"ව්‍යවස්ථා විරෝධීව ඇති කළ අර්බුදයෙන් මිදෙන්න දැන් මේ අය මහ මැතිවරණයක් ඉල්ලනවා. එහෙම මැතිවරණ දෙන්න කාටවත් අයිතියක් නැහැ. ව්‍යවස්ථාවට අනුව දැන් පැවැත්විය හැකි එකම මැතිවරණය ජනපතිවරණයයි. ජනපතිට ජනමතය බලන්න ඕනෑ නම් ජනවාරි 08න් පස්සේ ජනපතිවරණයක් කැඳවන්න පුළුවන්... පළාත් සභා තිබ්බාය කියලා මධ්‍යම ආණ්ඩුවේ අවුල කිසිසේත් විසඳෙන්නේ නැහැ...." ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ මඳ සිනහවක් පාමිනි.


"දෙසැම්බර් අගින් එහාට වියදම් කරන්න මේ රටට මුදල් අනුමත වෙලා නැහැ. ව්‍යාජ කැබිනට් රැස්වෙලා ව්‍යාජ අතුරු සම්මත ගිණුම් අනුමත කළාට එය පාර්ලිමේන්තුවේදීත් සම්මත වෙන්න ඕනෑ... අපි ආපු ගමන් ඩොලරය රු. 130ට බස්සනවා කියපු බන්දුලලා ඩොලරය 182ට වැඩි කරලා අතින් අල්ලලා ඒක නවත්වන්නදැයි දැන් විකාර කතා අහනවා.... ජනතාව මේ ඇන්දිලි හරි හැටි තේරුම් ගන්න ඕනෑ." රවි ආර්ථික විග්‍රහයක් කරමින් කීවේය.


"මෙතෙක් හිටපු ජනපතිවරු අතින් නොයෙක් අඩුපාඩු වුණා. ඒත් ඒ කිසි කෙනෙක් තමන්ට නැති බලයක් පාවිච්චි කරන්න ගියේ නැහැ. ඒත් මේ ජනපති අගමැති ඉවත් කිරීම හා වසර හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි බව 19 වැනි සංශෝධනයේ තිබියදීත් එය කඩකිරීම භයානක පූර්වාදර්ශයක්. වැරැදිලාවත් අලුත් මහ මැතිවරණයක් තිබ්බට පස්සේ ආණ්ඩුවක් ඇවිත් සතියකින් මේ අගමැති හා ආණ්ඩුවත් හරි නැහැ... මට ගැළපෙන්නේ නැහැ කියලා කිව්වොත් ඒකත් විසුරුවා හරින්න අපි ඉඩ දෙනවාද... ඒ නිසා මේ ප්‍රශ්නයේදී අපි එඩිතරව ඉන්න ඕනෑ." දයා ගමගේ කීවේ එවැන්නකි.


"ජනපති ඇති කරපු අවුල දැන් කථානායක පිටින් තමයි මේ ගොල්ලෝ යවන්න හදන්නේ........ මේ සියලු ප්‍රශ්නවලට මුල කථානායකලු... ඒත් දශක ගණනාවක් පාර්ලිමේන්තු අත්දැකීම් ඇති හිටපු මහ ලේකම් නිහාල් සෙනවිරත්න ඇතුළු පාර්ලිමේන්තු විශේෂඥයන්ගේ මතය වෙන්නේ කථානායකතුමා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් නිසි ලෙස ක්‍රියාත්මක කරන බවයි." නවීන් දිසානායක සිය මාමණ්ඩිය ගැන වාර්තාවක් කළේය.


"මේ අවුලෙන් මේ රටට දැනටත් කෝටි 92,000කට වඩා හානියක්් අපනයන, සංචාරක සහ විවිධ සේවාවන් යටතේ සිදුවී ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ තක්සේරුවයි. රටේ ණය ගෙවා ගන්නත් බැරි මන්දපෝෂණයෙන්, විරැකියාවෙන් සහ සමාජ ප්‍රශ්න රැසකින් පීඩා විඳින මේ රට තවත් අගාධයට දැමීම මහා පාපයක්" රවි කීවේය.


"මහ ලොකුවට ආණ්ඩුවක් ගත්තාලු. ඒත් දැන් පාර්ලිමේන්තු එන්නෙත් නැහැ.. පාර්ලිමේන්තු එන්නේ නැති ලෝකයේ එකම ආණ්ඩු සිර - මරා ආණ්ඩුව කියලායි දැන් සමාජ මාධ්‍යවල යන්නේ... ගතවූ මාසයට එක පනතක් හෝ යෝජනාවක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ඒ ගැන ඔවුන් ලැජ්ජා වෙන්න ඕනේ බහුතරයක් නැතිකම සියල්ලට මුලයි."
චමින්ද විජේසිරි කීය.


"ජාත්‍යන්තරය මේ ප්‍රශ්න ගැන දැඩි ස්ථාවරයක ඉන්නේ අපිට ඉක්මනින් සම්බාධක වැටෙන අනතුරකුත් තියෙනවා.... පොදු රාජ්‍ය මණ්ඩලය වැනි තැන්වලින් ලංකාව නෙරපන අනතුරකුත් අත ළඟලු... ඒ නිසා ඔක්තෝබර් 26ට පෙර තිබුණු ප්‍රකෘති තත්ත්වය යළි ඇති නොකළොත් ජනාධිපති - මහින්ද හා ඒ නඩය රටට කළ හානිය වෙනුවෙන් සමස්ත ජාතියටම වගකියන්න වේවි." නවීන් කීවේය.
"අවුරුදු තුනහමාරක් නිදහසේ හිටපු මාධ්‍යවේදීන්ට මහින්දලා ආපු ගමන් ඊයේ කොටුව උසාවිය ඉදිරිපිටදීම ගුටි කන්න වුණා.... ජනමාධ්‍යවේදීන් මේවා තේරුම් ගන්න ඕනෑ.. දැන් අපේ අගේ තේරෙනවා ඇති..." චමින්ද විජේසිරි කීවේය.


"දැන් අදත් හතර පස්වැනි වතාවටත් ව්‍යාජ ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී පරාද කළාටත් පස්සේ ජනාධිපති සාධාරණ තීන්දුවක් නොගත්තොත් මොකද වෙන්නේ..." කිරිඇල්ල ඍජුවම ප්‍රශ්න කළේ රනිල්ගෙනි.


"මේ රටේ ආණ්ඩුව අපේ බව ජන සම්මතවාදීව හා සාමකාමීව අපි මේ වෙනකොට ඕනවටත් වඩා ජනපතිට විතරක් නෙවෙයි ලෝකය හමුවේම ඔප්පු කරලා අවසන්.... අදින් පස්සේ ජනාධිපතිවරයා නිසි තීන්දුවක් නොගත්තොත් ජනතාව මේක අතට ගන්නා තත්ත්වයක් තියෙනවා. මහනුවරදී හා කළුතරදී වගේම රට පුරාම ජනතාව අපිට බල කරන්නේ අපි වීදි බහිමු කියලායි.... මේ දුප්පත් රට තවත් අරාජික වෙනවාට... ලේ හැලෙනවාට... අපි විරුද්ධයි. ඒ නිසා ජනාධිපතිවරයා නිසි තීන්දුවක් ඉක්මනින් ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා..." රනිල් කීවේ දිගු හුස්මක් හෙළමිනි.


දෛවයේ කැ¼දවීම ගැන කරු කිව්ව කතාව


ගතවූ සතියේ මුලින්ම පාර්ලිමේන්තුව රැස් වූයේ 27 වැනිදා අඟහරුවාදාය. උද්ගත වූ වියවුල් සහගත තත්ත්වය හමුවේ දිගින් දිගටම විවිධ බාධක හා තර්ජන මැද එකම ස්ථාවරයක සිටිමින් බහුතරයේ අනන්‍යතාව හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම ගැන පැය තුනකට ආසන්න කාලයක් ජේ‍යෂ්ඨ, කනිෂ්ඨ සියල්ලන් කථානායක කරු ජයසූරිය අගයමින් කතා කළහ.


මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර්, උදය ගම්මන්පිල ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරන ලද සඳහනක් පිළිබඳව කථානායකවරයාගේ අවධානය යොමු කරන ලද අතර කථානායකවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ 'යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ජම්පරය ඇඳීමට සිදුවුවහොත් තමා ඊට නොපැකිළෙන බව පවසමිනි. සිය ජීවිත කාලය තුළ කිසිම විටෙක කිසිදු කූට ලේඛනයක් සාදා නොමැති බව පැවැසූ කථානායකවරයා එවැනි චෝදනාවක් ඇත්නම් ඕනෑම පරීක්‍ෂණයකට මුහුණ දීමට සූදානම් බවද කීය. කථානායක ධුරයට සුදුසු නොවේ නම් විශ්වාසභංගයක් ගෙන එන ලෙසද නැවතත් අවධාරණය කළ හෙතෙම කීවේ 'තමා ගමේ උපන් පුද්ගලයකු බැවින් තමාගේ පඹයන් සාදා පිලිස්සීමෙන් වස්‍ෙදාස් දුරුවන්නේ යැයි විශ්වාස කරන බවයි.


මෙහිදී කථානායකවරයා අරභයා විවිධ තර්ජනාත්මක ප්‍රකාශ සිදුවෙමින් පවතින තත්ත්වය තුළ ආරක්‍ෂාව තර කර ගන්නැයි මයන්ත දිසානායක මන්ත්‍රිවරයා කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ කරු ජයසූරිය මහතා පැවැසුවේ 'අනවශ්‍ය ආරක්‍ෂාවක් පිළිබඳ තමා සැලකිලිමත් නොවන බවත් දෛවයේ කැඳවීම ලැබෙන මොහොතේ කෙතරම් ආරක්‍ෂකයන් පිරිවරාගෙන සිටියද යා යුතුය' යන යථාර්ථයට තමා අවනත වන බවත්ය.


මේ අතර බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා කථානායකවරයාට උද්ගත වී ඇති තත්ත්වය සමනය කිරීම සඳහා ශක්තිය ඇති බව තමා දැඩිව විශ්වාස කරන බැවින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට සංහිඳියාවකට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා සමඟ කිසිදු පෞද්ගලික මත ගැටුමක් නොමැති බවත් අනේ‍යාන්‍ය ගෞරවයෙන් යුක්තව සාකච්ඡා කර අවශ්‍ය මැදිහත් වීම කිරීමට හැකි බව තමාද තවදුරටත් විශ්වාස කර බවත් පැවැසූ කථානායකවරයා නිදහසට පෙර උපන් පුද්ගලයකු ලෙස තමා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වීමේ අයිතිය නූපන් පරපුරට ලබාදීම වෙනුවෙන් කළ හැකි ඕනෑම කැපවීමකට සූදානම් බව සඳහන් කළේය.


එජාපෙ ආණ්ඩුවේ ඉද්දි කාපු හැටි අශෝක ප්‍රියන්ත කියයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙන්නප්පුව බලමණ්ඩල රැස්වීම පසුගිය සතියේ පැවැත්වුණේ අරුන්දිකගේ දංකොටුව නිවෙසේදීය. ප්‍රසන්න, ඉන්දික, සනත්, පියංකර සමඟ මෑතකදී ආණ්ඩුවට එකතු වූ අශෝක ප්‍රියන්තද එම රැස්වීමට සහභාගි වී සිටියේ අරුන්දිකගේ ඉල්ලීම මතය. වෙන්නප්පුව ආසනයේ ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමෙන් අනතුරුව මන්ත්‍රිවරුන් පිරිස අරුන්දිකගේ නිවෙසේ පැවැති තේ පැන් සංග්‍රහයකට එක්ව සිටියේ දේශපාලන මෙන්ම සුහද කතාබහක් මැදිනි.


"කන්න අශෝක මන්ත්‍රිතුමා කන්න. අපේ පැත්තට ආවම එජාපය වගේ නෙවේ හොඳට කාලා බීලා සන්තෝෂෙන් ඉන්න ඕනේ" ඉන්දික විහිළු කළේය.


"ඒක නම් ඇත්ත. පසුගිය අවුරුදු තුනේ අපේ ආණ්ඩුවක් තිබුණත් මිනිස්සුන්ට තුන්වේල කාල ඉන්න විදියක් නැති වුණා" අශෝක කීවේ සිනාසෙමිනි.


"මහින්ද මහත්තයා රට භාරගත්තු හැමදාම මිනිස්සු කාලාබීලා සන්තෝසෙන් හිටියා" ප්‍රසන්න පැවැසීය.


"ඒක නෙවේ මොකද්ද අර මංගල සමරවීර කියන්නේ රටේ ආර්ථිකය කඩා වැටිලා කියලා" ඉන්දික ඇසුවේ මංගල කිවූ කතාවක් සිහිපත් කරමිනි.


"මේ රටේ ආර්ථිකය කඩා වැටිච්ච හැටි මංගලලට නොපෙනුණාට රටේ මිනිස්සු හොඳට දන්නවා. 2015දී මහින්ද මහත්තයා පරාද වෙනකොට ආර්ථිකය තිබුණු තැනයි 2018 ඔක්තෝබර් මාසේ 26 වැනිදා මහින්ද මහත්තයා නැවත රට භාර ගන්නා විට තිබුණු තැනයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ." ප්‍රසන්න දීර්ඝ විස්තරයක් කළේය.


"ඒ වුණාට හැමෝම කිව්වේ රනිල් ආර්ථික ඔස්තාර් කියලනේ" පියංකර කීවේය.


"අපි දැක්කා ඔස්තාර්ගේ හැටි. අගමැති වෙලා මාස දෙකෙන් මහ බැංකුව සුද්ද කරපු ඔස්තාර් තමයි රනිල්" අරුන්දික කීවේ සිනාසෙමිනි.


"දැන් එක්සත් ජාතික පක්ෂය කරපු හොරකම් එළිවෙමින් තියෙන නිසා මහ මැතිවරණයකට බයේ හැංගෙන්න හදනවා. ජනතාව හමුවට ගියොත් පරදින බව දන්න නිසයි මැතිවරණයට කැමැති වෙලා තියෙන්නෙ" සනත් පැවැසීය.


"අද රටේ අර්බුදයක් මතුවෙලා තියෙන්නේ කථානායකවරයා එක්සත් ජාතික පක්ෂයේ සමිතියක් පාර්ලිමේන්තුව තුළ කරන්න දරන නිර්ලජ්ජිත උත්සාහය නිසයි.
කථානායකවරයාට ජනාධිපතිවරයාට උඩින් යන්න පුළුවන්කමක් නැහැ. මේවා ව්‍යවස්ථා විරෝධී වැඩ ප්‍රසන්න පැහැදිලි කළේය.


අගමැති මුදල් කපාහැරීමෙන් අරලියගහ මන්දිරයේ කටයුතුත් ඇනහිටී


අගමැති කාර්යාලයේ වියදම් කපාහැරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව සඳහා යෝජනාවක් සම්මත කර ගෙන තිබේ. කෙසේ වෙතත් අගමැති ලේකම් එස්. අමරසේකර පවසන ආකාරයට අගමැති කාර්යාලයේ වියදම්වලින් වැඩිම ප්‍රමාණයක් වෙන් වන්නේ අරලියගහ මන්දිරයේ නඩත්තු කිරීම සඳහාය. එහි තවමත් රැඳී සිටින්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. දැන් සිදුව ඇත්තේ අපූරු දෙයකි. අගමැති වියදම් කපාහරින විට අරලියගහ මන්දිරයේ වියදම් සියල්ලද කපාහැරීමට සිදුවෙයි. යම් ලෙසකින් එසේ සිදුවුණ හොත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරුන් මාධ්‍ය හමුව පැවැත්වීම, රැස්වීම් පැවැත්වීමට වැනි දේවලටද අරලියගහ මන්දිරය භාවිත කිරීමට නොහැකි වනු ඇත.


හඳුන්නෙත්තිට රජයේ මුද්‍රණාල කැන්ටිමේදී දිවා ආහාර වේලක්


ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පසුගිය සතියේ දින දෙකක් වෙන් කරගෙන තිබුණේ රටේ ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීම සඳහාය. ඒ අනුව රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය, බැංකු, දුම්රිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් හමුවීමට ජවිපෙ මන්ත්‍රිවරයාට හැකි විය. මෙහි විශේෂත්වය වූයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ හමු සඳහා ජවිපෙ නියෝජනය කරන වෘත්තීය සමිති පමණක් නොව දේශපාලන භේදයකින් තොරව වෘත්තීය සමිති නායකයන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටීමයි. රජයේ මුද්‍රණාලයේ පැවැති සාකච්ඡාව සඳහා ශ්‍රවණාගාරය වෙන් කර තිබිණි.


ඒ අවස්ථාවට වෘත්තීය සමිති නායකයන්, සාමාජිකයන් විශාල ප්‍රමාණයක් සහභාගි වූහ. "මේ දේශපාලන අර්බුදය පැනනැඟුණේ පාර්ලිමේන්තුවේ ක්‍රියාවලියක් ලෙසයි. එම අර්බුදය පාර්ලිමේන්තුවේදී විස¼දාගත යුතු ප්‍රශ්නයක් ලෙස දකින්නත් පුළුවන්. නමුත් මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තොත් රටේ ජනතාව මේ අර්බුදය විසඳීමට බලපෑම් කළ යුතුයි කියලා අපි හිතනවා.

විශේෂයෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරයට ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණය ඉතාම වැදගත්. මේ විදියට ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට ගියොත් වැඩ කරන ජනතාවට මොකද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා මේ වෙලාවේ ඔබතුමාලාට වගකීමක් තියෙනවා පාරට බැහැලා මේ අර්බුදය විසඳන්න බලපෑම් කරන්න. "සුනිල් හඳුන්නෙත්ති පැහැදිලි කළේය. "මේ වෙලාවේ අපිට නායකත්වය දෙන්න කවුරුත් නැහැ. ඔබතුමාලා අපිට නායකත්වය දෙන්න.

 

අපි වැඩ කරන්න සූදානම්. මේ විදියට අපිව දැනුවත් කරන්න ආවෙත් ඔබතුමාලා විතරයි." වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙක් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයාට ස්තූතිය පළකරමින් කියා සිටියේය. සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය සමිති නායකයන් සමඟ මන්ත්‍රිවරයා රජයේ මුද්‍රණාලයේ සේවක භෝජනාගාරයට ගියේ දිවා ආහාරය ලබා ගැනීම සඳහාය. මන්ත්‍රිවරයා වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනෙක් සමඟ දිවා ආහාරය ගනිමින් සිටියහ. එතැනට පැමිණි වෙනත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන වෘත්තීය සමිති නායකයෙක් "මන්ත්‍රිතුමා මම ඔයාගේ ෆොටෝ එකක් ගන්නද? අපේ නායකයෝ නම් අපිත් එක්ක කනවා තියා අපි කන විදිය කොහොමද කියලා දන්නෙත් නැහැ. ඒ අතින් ඔබතුමාලා අපිට ගොඩක් වටිනවා" යැයි කියමින් තම ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ලබා ගත්තේය.


එජාපයට වාසිය හදල දුන්නේ මහින්ද - මෛත්‍රි කණ්ඩායම.


මේ දිනවල ජවිපෙ විසින් ගනු ලබන තීන්දු තීරණවල වාසිය එජාපය ලබාගන්නවා යැයි විශාල වශයෙන් ජවිපෙට චෝදනා එල්ල වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් ජවිපෙ පවත්වන මාධ්‍ය හමුවලදී ද, වෙනත් සාකච්ඡාවලදී ද නිතර දෙවේලේ ප්‍රශ්න කෙරෙමින් තිබේ. ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදියෙක් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සමඟ කතාබහක නිරත වෙමින් සිටියදී ඔහු මේ ගැන විමසා සිටියේය. "ගොඩක් අය තේරුම් නොගන්න දෙයක් තියෙනවා.

ධනපති පක්ෂ දෙකක් දෙපැත්තෙන් ඉන්න වෙලාවක අපි ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයක් එක පැත්තකට වාසි ගේනවා. ඒක අපිට වළක්වන්න බැහැ. මේ කුමන්ත්‍රණය වෙලාවේ අපි පැත්තකට වෙලා හිටියොත් ඒකේ වාසිය රාජපක්ෂ කණ්ඩායමට. අපි කුමන්ත්‍රණය පරාජය කරන්න කටයුතු කරනකොට ඒකේ වාසිය එජාපය ගන්න උත්සාහ කරනවා. නමුත් ඇත්තටම එජාපයට වාසි වෙලා තියෙන්නේ ජවිපෙ ක්‍රියාමාර්ග නෙවෙයි. දැන් අවුරුදු තුනහමාරක් තිස්සේ ජනවාතට එපාවෙලා. පීචං වෙලා බලයෙන් විසිවෙන්න හිටපු එක්සත් ජාතික පක්ෂයට නැවත අවධානයක් හදල දුන්නේ කවුද?

මෛත්‍රිපාල මහත්තයා ඊළඟ මැතිවරණයෙන් අතුගෑවිලා යන්න හිටපු එජාපයට නැති අවධානයක් හදල දුන්නේ මෛත්‍රිපාලගෙ කුමන්ත්‍රණයෙන්. ජවිපෙට එජාපය එක්ක කිසි ගනුදෙනුවක් තිබිලත් නැහැ. ඇති වෙන්නෙත් නැහැ. අපිට නඩු නැහැ. පසුගිය අවුරුදු තුනහමාර තුළ අය - වැය තුනක් ගෙනාවා.

අය - වැය තුනටම ජවිපෙ විරුද්ධව ඡන්දය දුන්නා. මහින්ද ඡන්දෙ දෙන්න ආවේ නැහැ. රනිල්ට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගය වෙලාවේ ජවිපෙ ඡන්දය දුන්නා. නොදුන්නේ මෛත්‍රි කණ්ඩායම. ඒක තමයි ඇත්ත. විමල්ගෙ පාස්පෝර්ට් සිද්ධිය. ශිරන්තිගේ නඩු බේරගත්තේ රනිල්ට කියලා. නමුත් දැන් ජවිපෙ එජාපයට සම්බන්ධ කරන්න හදනවා. එජාපයට ජවිපෙ උදවු කරනවා කියලා මත හදන එකේ වාසිය එජාපයටම තමයි. රාජපක්ෂ කණ්ඩායම තමයි ඒ වාසිය හදන්නේ." ටිල්වින් සිල්වා පැහැදිලි කළේය" ඇත්තනේ ලේකම්තුමා, ඒත් මිනිස්සු මේවා ගැන අවබෝධයක් නැහැ." මාධ්‍යවේදියා කියා සිටියේය. ඇත්තටම මිනිස්සුන්ගෙ වැරදිම නෙවෙයි. මේවා මත හදන පිරිස්වල වැඩ. ඒ ගැන අපි අවධානයෙන් ඉන්නේ" ටිල්වින් සිල්වා කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon