රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ඉදිරිපත් වූයේ සභාව කල් තබන ලද අවස්ථාවේ විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රිවරුන් දැක්වූ අදහස්

  👤  2958 readers have read this article !
2018-12-06

එක එක්කෙනාට හිතෙන දේවල් කිය කියා ඉන්න ඕන නම් අපි යෝජනා ගෙන එන්නෙ මොකටද - අනුර කුමාර දිසානායක

සභාවේ කටයුතු පැත්තකට දාලා එක් එක්කෙනාට හිතෙන දේවල්, හිතට එන දේවල් කිය කියා ඉන්න ඕනෙ නම් අපි යෝජනා ගේන්නේ මොකටද? ඔබතුමා මේ විදියට කරන්න ඉඩ දෙනවා නම් අපි යෝජනා ඉවත් කර ගන්නම්. යැයි පත්කළ මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ (5දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට කීවේය.
රටේ පවතින වත්මන් තත්ත්වය ගැන සභාවේ කල් තැබීමේ යෝජනාවක් විදියට ගැනීමට තිබියදී එජාප මන්ත්‍රින් දිගින් දිගටම ජනාධිපතිවරයාට සහ රජයේ මාධ්‍ය හැසිරීම ගැන අදහස් දක්වමින් සිටියදී රීති ප්‍රශ්නයක් මතුකරමින් අනුර දිසානායක මන්ත්‍රිවරයා මේ බව කීය.
'මන්ත්‍රිතුමා තව තුන් දෙකක් විතර ඉන්නවා. අපි ඒ අයටත් ඉඩ දෙමුද නැත්නම් ඒ අයට අසාධාරණයක් වෙනවා' කථානායකවරයා කීවේය.
'එහෙනම් අපි කල් තැබීමේ යෝජනාව අයින් කරන්නම්. මෙහෙම කරන්න බෑනෙ.' අනුර කුමාර දිසානායක කීවේය.
'ආ.... හොඳයි එහෙනම් අපි යෝජනාව ඉදිරිපත් කරන්න ඉඩ දෙමු' කථානායකවරයා එසේ කියමින් යෝජනාව ඉදිරිපත් කිරීමට ඉඩ දුන්නේය.

ජනපති හා හිටපු ජනපති
මේ රට ඒකාධිපති වියරුවක් කරා ගෙනයන්න හදනවා - කරුණාරත්න පරණවිතාන

"අපි මන්ත්‍රිවරු හැටියට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත යුතුයි. අද ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා මේ රට ඒකාධිපති වියරුවක් කරා ගෙනයන්න හඳනවා" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කරුණාරත්න පරණවිතාන පැවැසීය. අද මේ රට අරාජික වෙලා තිබේ. රටේ ආණ්ඩුවක් නෑ. විශ්වාසභංගයකින් අපි ආණ්ඩුව ගෙදර යවලා ඉවරයි. අධිකරණයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අනුමත කරලා තියෙනවා. ඒකාධිපති වියරුවක් සඳහා රට ආයෙත් ගමන් කරනවා. ඔක්තෝබර් 26 වැනිදා වෙනකොට රටේ ජනමතය තිබුණේ ඡන්දයකට යන්න නොවෙයි. හැබැයි පාර්ලිමේන්තුවේ බහුතරය හොයාගන්න බැරි වුණාම ජනමතය උරගා බලන්න යනවා. අද ජනාධිපතිතුමා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා වැඩ කරගෙන යනවා. ඒක ඉවත දමලා ඒකාධිපති වියරුවට යන්න හදනවා.
මේ ගෙනයන අරගලය වෙනුවෙන් ජනතාව අපි එක්ක එකතුවෙලා තියෙනවා. අපි දැන් ජයග්‍රහණය කරා කෙමෙන් කෙමෙන් ළඟා වෙනවා. අපි දන්නවා ජනතා මතය තියෙන්නේ අපිත් එක්ක අපි මේ සටන කෙසේ හෝ ජයගන්නවා.

ව්‍යවස්ථාව උල්ලංඝනය කළ වරදට ජනපතිගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකියි - විජිත හේරත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් ඊයේ (05දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ද මන්ත්‍රිවරයා කීවේය.
රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.
විජිත හේරත් මන්ත්‍රිවරයා මෙසේ ද පැවැසීය. "මේ ජනාධිපතිවරයා දිගින් දිගටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. මහින්ද අගමැති කිරීම වැරදියි. රනිල් අයින් කළ විදිහ වැරදියි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරැදියි. මේවා ඔක්කෝම ටික ඇති එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න. අපි දෝෂාභියෝගයෙන් නතර වෙන්නේ නෑ."

නිල් බාල්දියකට වැටී රජ වූ නරියාගේ කතාව අදටත් ගැළපෙනවා - නලින්ද ජයතිස්ස

'පංච තන්ත්‍රයේ කියැවෙන නිල් බාල්දියකට වැටී රජ වූ නරියාගේ කතාව අදටත් ගැළපෙනවා. යහපාලන ආණ්ඩුවේ නිල් බාල්දියට වැටුණු නරියා කැලේට එළවපු නරි රැළ කෑගහන කොට ඒක ඉවසන්න බැරුව හූ කියනවා.' යැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.
'අද මුළු රටම ආර්ථික වශයෙන් අස්ථාවර වෙලා. සංචාරක කර්මාන්තය කඩා වැටිලා. පැමිණීමට නියමිත සංචාරකයන් නොඑන තත්ත්වයට පත්වෙලා.' 'මෙතැන සිදුවෙලා තියෙන්නේ කුමන්ත්‍රණයක්. රාජ්‍ය බලය පැහැර ගැනීමක්. මීට පෙර රජය බලය පැහැර ගැනීමක් සිදු වුණේ සේන ගුත්තික නමැති දකුණු ඉන්දියාවේ සිට පැමිණි වෙළෙඳුන් දෙදෙනෙක්.'
'විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නම්, පාර්ලිමේන්තුවට බලය පවරන්නම් කියලා මීට අවුරුදු හතරකට ඉහතදී බලයට පත්වූ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව පැත්තකට දාලා කටයුතු කරනවා.'
'කථානායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු සති පහක් තිස්සේ කටයුතු කළේ මේ කුමන්ත්‍රණය පරාජය කරන්නටයි.'
'මේ කුමන්ත්‍රණය පරාජය කිරීමට ආණ්ඩුවත්, අධිකරණයත් ගනු ලබන උත්සාහයටත් අපි කවුරුත් එකතු වෙලා සහයෝගය දැක්විය යුතුයි.'

මේක විධායකය විසින් ඇති කළ තත්ත්වයක් - ජේ.සී. අලවතුවල

'ජනාධිපතිවරයා මන--කල්පිත ලෝකයක සිට කටයුතු කරන්නේ නැතිව 26 වැනිදාට පෙර තිබූ තත්ත්වයට පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා' යැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි ජේ.සී. අලවතුවල පැවැසීය.
'රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අපේ රට මේ තරම් පහළ වැටී තිබෙන්නේ ඔක්තෝබර් මාසයේ 26 වැනිදා නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ නිසයි.' 'අද රටේ ජනජීවිතයට, රටේ ආර්ථිකයට මේක බලපා තිබෙනවා. මේක ඉබේ ඇති වූ සිද්ධියක් නෙවි. මේක විධායකය විසින් ඇති කළ ප්‍රශ්නයක්.' 'මේ සිද්ධිය රට පුරා දේශපාලන අවුල් ජාලාවක් බවට පත්වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයාගේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේත් පෞද්ගලික කරුණක් නිසයි.'
'අද මේ රටට සංචාරකයන්ගේ පැමිණීම අඩු වී තිබෙනවා. කොටස් වෙළෙඳපොළ පහළ වැටී තිබෙනවා. කොටස් වෙළෙඳපොළෙන් විදේශ සංචිත ඉවත් කරගෙන ගිහින් තිබෙනවා. හැම අංශයකටම මෙය බලපා තිබෙනවා.'

පාර්ලිමේන්තුවේ හැසිරෙන්න මන්ත්‍රිවරු ඉගෙන ගන්න ඕනෑ - ගාමිණී ජයවික්‍රම පෙරේරා

'මට මිරිස් කුඩු ගැහුවා. මම ඊයේත් ඒකට බෙහෙත් ගත්තා. ඒකට කමක් නෑ. හැබැයි මේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ හැසිරෙන්න ඉගෙන ගන්න ඕනෙ' යැයි එජාප මන්ත්‍රි ගාමිණී ජයවික්‍රම පෙරේරා කීවේය.
අද මේ රටේ ආණ්ඩුවක් නෑ. ඉතින් අපි කොහොමද වැඩ කරන්නෙ. අපි ඉතිහාසේ ගෞරවනීය පාර්ලිමේන්තුවක හිටපු මන්ත්‍රිවරු. දැන් ඒ ගෞරවය නෑ.
මම 77දී පාර්ලිමේන්තුවට ආවේ. එදා කොටුවෙ දැන් ජනාධිපතිතුමා ඉන්න තැන තමයි අපේ පාර්ලිමේන්තුව තිබුණේ. එදා හරි ගෞරවයක් තිබුණා. ගාම්භීරත්වයක් තිබුණා. එදා පාර්ලිමේන්තුවට නිලධාරීන් ගෙන්නුවා. ගෙනැල්ලා දඬුවම් කළා. මේක අද විහිළුකරයෝ ඉන්න තැනක් බවට පත්වෙලා. අද මේ මන්ත්‍රිවරුන්ට ආත්මයක් නෑ සභාවට ඇවිල්ලා කතා කරන්න. හැබැයි අත්තනෝමතිකව වැඩ කරනවා කියලා ඔබතුමාටයි බනින්නෙ. ඔබතුමා මේ කාලය තුළ විශිෂ්ට සේවයක් කළා. ඔබතුමා නොබෙල් තෑග්ගටත් සුදුසුයි. ඒ වගේම අපේ කථානායකතුමා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්කමටත් සුදුසුයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon