සමාජ අර්බුදයේ පැති තුනක්...

  👤  2180 readers have read this article !
2018-12-07

ආර්ථික අර්බුදය මදිවට රට දේශපාලන ගැටුමකට මැදිව සිටී. සියල්ල නූල් බෝලයක් මෙන් පැටලී තිබේ. ආර්ථික, දේශපාලන අර්බුදය අතරේ සමාජ ප්‍රශ්නද උග්‍රවෙමින් පවතී.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය අනාවරණය කරන ආකාරයට දූෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් මෙරට ජනගහනයෙන් වසරකට දෙලක්ෂ තිස් දහසක් මරණයට පත් වෙති. රෝගීන් සංඛ්‍යාව ලක්ෂ ගණනකි. උදරාබාධ හා බෝවන රෝග ඔවුන්ට වැලඳේ.

හානිකර බැක්ටීරියා, වයිරස, පරපෝෂිතයන් හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු අනාරක්ෂිත ආහාර නිසා පාචනයේ සිට පිළිකා දක්වා වූ රෝග තත්ත්ව 200කට වඩා මේ නිසා ඇති වන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් ප්‍රකාශ කර තිබිණි. ආහාර පිළියෙල කිරීමේදී, පිළිගැන්වීමේදී, ආහාර ලබාගැනීමේදී හා පරිභෝජනයේදී ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. මේ තත්ත්වය තුළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් රටට අවශ්‍යය. පාසල් අධ්‍යාපනයේ සිට අදාළ දැනුම ලබාදිය යුතු වන අතර ආහාර නිෂ්පාදනය පිළිබඳව දැඩි අවධානය යොමු කිරීම වැදගත් වේ. මෙරට අඩු සැලකිල්ලක් දක්වන ප්‍රධාන අංශයක් වන්නේ ආහාර පාන නිෂ්පාදනයයි.

ඊළඟ කාරණය මාර්ග අනතුරුය. මෙරට මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයෝ 8 දෙනෙක් මරණයට පත් වෙති. වසරකදී පුද්ගලයන් තුන් දහසක් පමණ මාර්ග අනතුරුවලින් මරණයට පත් වන බව වෛද්‍ය අචල ජයතිලක ප්‍රකාශ කර ඇත. ශ්‍රම බළකායේ වයස අවුරුදු 25ත් 40ත් අතර සිටින පුරුෂ පාර්ශ්වයේ බහුතරයක් රිය අනතුරු හේතුවෙන් මරණයට පත්වන බව මේ වන විට අනාවරණය වී තිබේ. කැපීපෙනෙන කාරණය වන්නේ මෙසේ මරණයට පත් වන්නන්ගෙන් සැලකිය යුතු පිරිසක් වාහනයකට හිමිකම් නොකියන්නන් වීමය.

මේ ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් සොයා ගත යුතුය. දිනකට පුද්ගලයන් 8 දෙනකු මාර්ග අනතුරුවලින් මිය යෑම බරපතළ කාරණයකි. යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් රිය අනතුරුවලින් මිය යෑම ඛේදවාචකයකි. බලධාරීන් මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කළ යුතුය.

මේ වසරේ ගතවූ මාස 11ක කාලය තුළ පමණක් විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 222 දෙනකු මරණයට පත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෙළි කර ඇත. විවිධ හේතුන් මත මේ මරණ සිදුව තිබේ. මිය ගිය 222 දෙනා අතර පිරිමින් 167කි. කාන්තාවෝ 52කි. ඉන් පිරිමි 25 දෙනකු හා කාන්තාවන් 6 දෙනකු සිය දිවි හානි කර ගෙන ඇත.

මාර්ග අනතුරු නිසා මිය ගිය ගණන 21කි. 145 දෙනකු මිය ගොස් ඇත්තේ ස්වාභාවික හේතුන් මතය.

වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ සෞදි, කටාර් හා කුවේට් රටවලදීය. මෙලෙස මරණයට පත්වූවන්ගේ සිරුරු දිවයිනට ගෙන්වා ගැනීමට පමණක් මේ මාස 11 තුළ රුපියල් මිලියන 7කට ආසන්න මුදලක් වැය කිරීමට රජයට සිදුව ඇත.

පිටරටවල, විශේෂයෙන් මැදපෙරදිග රටවල සේවය කරන ලාංකිකයන් සංඛ්‍යාව විශාලය. මැදපෙරදිග රටවල වැඩිදෙනා නිරත වන්නේ ගෘහ සේවයේය. කරදරවලට බහුලව මුහුණ දෙන්නේද ඔවුන්ය. මේ මරණ මැදපෙරදිග රටවල වැඩිවීමෙන් එය පැහැදිලිය. දිවයිනට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලබාදෙන මේ ශ්‍රමික ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට සාධනීය විසඳුම් රැසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියාත්මක කර ඇත. දුර්වලතා ඇතත් එය අගය කළ යුතුය.

විශේෂයෙන් මැද පෙරදිග රටවල ගෘහ සේවයට යන කාන්තාවන්ට නිසි පුහුණුවක් ලබාදීම හා අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීම සඳහා නේවාසික වැඩමුළු කාර්යාංශය විසින් සංවිධානය කර ඇත. එය අතිශය වැදගත් වේ. අවාසනාවන්ත සිද්ධින්වලට, විශේෂයෙන් කාන්තා ශ්‍රමිකයන් ගොදුරු වන්නේ නොදැනුවත්කම නොඑසේ නම් දැනුවත්ව නොසිටීම නිසාය.

මේ සමාජ අර්බුදයේ පැතිකඩ කිහිපයක් පමණි. තවත් රැසක් තිබේ. සෙස්ස පස්සටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon