සිදුවන්නේ කුමක්ද?

  👤  3095 readers have read this article !
2018-12-07

ලොව ව්‍යවස්ථාමය අර්බුද පැනනැඟුණු කිසිදු රටක නොවූ තරමට ලංකාවේ අර්බුදය බරපතළය. මේ වෙද්දී ආණ්ඩුවක් නැත. අගමැතිත් ඇමැති මණ්ඩලයත් තිබුණත් ඔවුන්ට ක්‍රියා කරන්නට බලයක් නැත. ජේ.ආර්.ට කෙතරම් බැන වැදුණත් ඔහු සටකපටකමින් අනාගතයේ යම් අර්බුදයක් ඇතිවුවහොත් ඊට මුහුණ දෙන්නට පුළුවන් වන විදියට සැකසූ නිසා ටික කාලයකට හෝ සියලු ඇමැතිවරු නැති වුණත් ටික කාලයකට හෝ රටේ පරිපාලනය ඇදගෙන යෑමට ජනාධිපතිට පුළුවන්ය.

ජේ.ආර්.ට බැනවැදී ඔහු පතුරු ගැසූ වාමාංශිකයන්ටත් ඔවුන්ට පිහිට වන මහින්ද ඇතුළු බලවේගවලටත් රනිල්ගේ පිලටත් මෛත්‍රි ඇතුළු පිරිසටත් යාන්තම් හෝ සරණක් වී ඇත්තේද ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවේ ඉතිරි වූ සුන්බුන් තුළින්මය.

දැන් තිබෙන්නේ, තිබෙන ව්‍යවස්ථාවට අනුකූලව රටේ නායකයා හෝ අනු නායකයා කටයුතු කර තිබේදැයි යන්න ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවෙන් පෙරී විත්, 19 වැනි සංශෝධනයෙන් අර්ථගැන්වී තිබෙන බලතලවලට අනුව වරද සිදුව ඇත්තේ කොතැනද යන්න විග්‍රහ කර ගැනීම පමණය. ඒ තරමටම රටම දැන දැන හෝ නොදැන හෝ ව්‍යවස්ථාව ගැන කතා කරන්නේද ඒ තරමටම එය ඉදිරි අනාගතය හා බැඳී තිබෙන නිසාය.
ඒ අනුව ව්‍යවස්ථාව මුතු මාලයක් වැනි නම් එහි එක් මුතුවක් පමණක් ගෙන එය මෙසේය, එසේය යැයි අර්ථ නිරූපණය කරන්නට මෛත්‍රිට, රනිල්ට හෝ මහින්දට බැරිය. එබැවින් පොදු ජනතාවට දැනෙන දේ රටක නායකයාටත් සෙසු නායකයන්නටත් එක සේම දැනේ නම් මෙහි සැබෑව පසක් වන්නේය.

පෞද්ගලික අමනාපකම්වලට හෝ අභිමතාර්ථයන්ට අනුව රිසි පරිදි ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරගන්නට බැරිය. ඒක පාර්ශ්වික වශයෙන්ද එහිදී කටයුතු කරන්නට බැරිය. එවිට සිදුවනුයේ එවන් තීන්දු තීරණ ගත් රටවල මෙන් බරපතළ තත්ත්වයන්ට, ප්‍රතිවිරුද්ධතාවන්ට මුහුණ දෙන්නට සිදුවීමය.

මේ ගතවන කාලය තුළ ශේ්‍රෂ්ඨාධිකරණය ඉදිරියේ මෛත්‍රි ගත් තීන්දුවක් අභියෝගයකට ලක්වී අතුරු තහනමක් පැනවී ඇති මොහොතක්ය. ඊටත් වඩා ඔහු නීත්‍යනුකූලව පත්කළ බව කියැවෙන අගමැති මහින්දටත් අමාත්‍ය මණ්ඩලයටත් තාවකාලික හෝ තහනමක් වැටී තිබෙන මොහොතක්ය. එහි ප්‍රතිඵල කවරාකාර දැයි ඉදිරි කෙටි කාලය තුළදී වඩාත් පසක් වනු ඇත.

ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කරලනු ලැබීමෙන් පසු එය ඇති කළේ අසවලා නිසා යැයි කිසිවකුටත් කිව නොහැකිය. මෛත්‍රිට රනිල් සමඟ නොපෑහෙන බවක් බැලූ බැල්මට තිබෙන්නට පුළුවන. එහෙත් රාජ්‍ය පාලනයේදී පුද්ගලයා නොව ව්‍යවස්ථාවෙන් නියම කරන තනතුර දරන තනතුරුලාභියා හරහා පමණක් ගනුදෙනු වන්නේය. ඒ අනුව රනිල් සමඟ නොව අගමැති සමඟ ගනුදෙනුව ව්‍යවස්ථාවට අනුකූලව විය යුතුය.

ඒ අර්ථයෙන් බැලූ කල මෛත්‍රිට පමණක් නොව එජාපයේ වැඩි දෙනාටත් රනිල් ඒ හැටි අල්ලන්නේ නැතිවා වුණත් එජාපයේ යාන්ත්‍රණයටද පක්ෂ ව්‍යවස්ථාවට හා සදාචාරාත්මක ව්‍යුහයන්ට පිටුපාමින් දෙවැනි පෙළ හෝ තුන්වැනි පෙළ අනු නායකයන්ට කැරැලි ගසන්නට පුළුවන් වුවද ඊටද ක්‍රමයක් ඇත. පසුගිය කාලය මුල්ලේම රනිල්ට එරෙහිව සජිත්ගේ බලවේගයන් අතර ගැටුම් තිබුණද ඒවා ගහ මරාගෙන ප්‍රසිද්ධියේ බැන අඬාගෙන යන තැනට ගියේ නැත. ඒ අනුව රනිල් රටට ගැළපෙන නායකයකු නොවේ යැයි සත්‍ය වශයෙන්ම සිතුණේ නම් ඔහු ඉවත් කිරීමට නීත්‍යනුකූල හා උපාය, උපක්‍රමික ක්‍රම බොහෝ තිබිණි.

රනිල්ගේ දේශපාලන බලවේගය තුළ ගොනුවී සිටිනා පිරිස් මෙන්ම මහින්දගේ බලවේගය තුළ ගොනුවී සිටින පිරිස්ද දැන් මෙම ක්‍රියාදාමයන් නිසා කෝප ගැන්වී තිබීම ඉතාමත් නරක තත්ත්වයකි. මෛත්‍රි බලයට පත් කරන්නට උර දුන් ඡන්දය දුන් ජනතාවත් ඔහුට විරුද්ධව සිටි ජනතාවත් යන දෙපාර්ශ්වයම මේ ගැන විවිධ මත දරති.

මේ කොයි දේශපාලන දහරාවේ සිටින කවුරු හෝ මේ මොහොතේ සිටිය යුත්තේ රටේ ජනතාව මඳකට අමතක කර නීත්‍යනුකූල මාර්ගයකට ගොස් ප්‍රශ්නය විස¼දා ගන්නා තැනකය. ඒ නිසා ජනතාවගේ අපේක්ෂාවන් වන ඔවුන්ගේ ගැටලු විස¼දන වගකීම් හා ක්‍රියා පටිපාටිය ගැන දැඩි අවධානයක යොමු කළ යුතුව තිබුණි.

එම නිසා මේ මොහොතේ මෛත්‍රි නීතියට අනුවම, ව්‍යවස්ථාවට අනුවම කටයුතු කළ යුතු වන්නේය.

ජනාධිපති හැටියට මෛත්‍රි මන්ත්‍රිවරු 225ම අස්සන් කර රනිල් අගමැති කරන්න යැයි කීවත් ඔහු එය නොකරන බව කීම බරපතළ ප්‍රකාශයකි. එහිදී ජනාධිපතිවරයා මහජන නියෝජිතයත් 225 දෙනාවම නොතකා කටයුතු කරනවා යැයි මතයක් ඇතිවේ නම් එය රටට හිතකර නැත.

රනිල් යනු පුද්ගලයෙකි. එම රනිල් පත් කරන්නේ නෑ යනු මෛත්‍රිගේ පෞද්ගලික අදහසක් විනා රාජ්‍ය නායකයා ලෙස කිවයුත්තක් නොවන බව මධ්‍යස්ථ මතය වී ඇත්තේය.

කෙසේ වෙතත් මෛත්‍රි ශ්‍රී ලනිප විශේෂ සමුළුවේදී කළ කතාව එජාපයේ ඇතැමුන් හොඳින් අසන බවක් පෙනෙන්නට ඇත.

"රනිල් ඩී.එස්.ලා, ඩඩ්ලිලා, සර් ජෝන්ලා, ජේ.ආර්.ලා, ප්‍රේමදාසලා හිටපු දැවැන්ත පක්ෂය විනාශ කළා කියලා කිව්ව කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් ඒ කතාව ශ්‍රී ලනිප විශේෂ රැලියේද එයා කියන්නේ ශ්‍රී ලනිපයේ නායකයා විදියටයි. නමුත් ඔහු රටේ ජනාධිපති. රටේ ජනාධිපතිට පක්ෂ දේශපාලනයේ නායකයා විදියට කතා කරන්නත් බෑ. තවත් පක්ෂයක දියුණුව ගැන මත පළ කරන්නත් බෑ. මෛත්‍රිට මෙහෙම කතා කරන්න උපදෙස් දෙන්නේ මිතුරෝද සතුරෝද කියලා හිතන්න වෙනවා" යැයි ශ්‍රී ලනිපයේ මධ්‍යස්ථ ප්‍රබලයකු කීවේ නිකමට නොවේ. එජාපයේ ප්‍රබලයන් පවා මෛත්‍රිගේ කතාවෙන් රනිල්ට පෞද්ගලිකව දුන්නු කනේ පහර ගැන සතුටු වූ ආකාරයක්ද පෙනෙන්නට තිබිණි. ඒ මෙසේය.

"අපි ඔක්කොම රනිල්ගේ වැරැදි දැකලා කාලයක් තිස්සේ හැප්පිලා කියපු දේම මෛත්‍රි ශ්‍රී ලංකා වේදිකාවේදීම කිව්වා. රනිල් එක්ක අපට බරපතළ ප්‍රශ්න තියෙනවා තමයි. එයා මේ පාරත් තනතුර, පුටුව බේරගෙන ඒකෙ ඉඳගත්තට පස්සේ පිස්සු නටන්න නම් මෙදා ඉඩ දෙන්නේ නෑ. මෛත්‍රිට එරෙහි වුණා වගේ නෙවෙයි එයා පරණ සෙල්ලම් දාන්න ගත්තොත් එයාවත් ගෙදර ඇරලයි අපි මෙදා පස්ස බලන්නේ."

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වෙන කවරදාකවත් නැති තරමට මෙරට තත්ත්වය හකුළුවා දක්වන්නේ විවේචනාත්මකවය. මේ ඉන් බිඳකි.

"ව්‍යවස්ථාවට පිටින් ගිහින් කිසිවකුටවත් කටයුතු කරන්ට බැරි බව බලයෙන් පහ කෙරුණු ශ්‍රී ලංකාවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසා ඇත. ඔහු ජනාධිපති සිරිසේනගේ ක්‍රියාකලාපය පිළිබඳව විදෙස් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ හිට්ලර් වැනි ආඥාදායක පාලකයකු ලෙස ව්‍යවස්ථාවෙන් නීතිමය බලයක් ස්ථාපිත කර ඇති රටක නායකයකුට කටයුතු කළ නොහැකි බවක්ය."
ඊඩඥ ඩ්ඪදඤභ

"ශ්‍රී ලංකාවේ පවතින ව්‍යවස්ථාමය අර්බුදය ඉතා තීව්‍ර තලයකට මේ වනවිට පැමිණ තිබේ. එය කුමකින් කුමක් වේ දැයි සිතාගන්නට බැරිය. මෙය විස¼දා ගන්නාතුරු තත්ත්වය අවිනිශ්චිතය. රටේ ජනතාවට පීඩාකාරී වාතාවරණයක් උද්ගත වුවහොත් තත්ත්වය මීට වඩා දරුණු විය හැකිය."

ඊඩඥ ධ්දඤඪචද ඡ්යනපඥඵඵ
එබැවින් මෛත්‍රි, රනිල්, මහින්ද වශයෙන් නොව රටේ ජනාධිපති වශයෙන් මේ මොහොතේ මෛත්‍රි ගත යුතුව තිබෙන්නේ රට ගැන සිතා බලා නිවැරැදි , නීත්‍යනුකූල, ව්‍යවස්ථානුකූල තීන්දුවකි, තීරණයකි.

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon