ලෝක දියණියන්ගේ දිනය දා කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ සහ දියණිය එලා

  👤  3892 readers have read this article !
2018-12-16

මේ ඡායාරූපය ලෝක දියණියන්ගේ දිනය යෙදුණු 2018 ඔක්තෝබර් 11 වැනිදා ගන්නා ලද්දකි. ස්ථානය කැනඩා අග්‍රාමාත්‍ය කාර්යාලයයි. කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ බිත්තියට හේත්තු වී ජංගම දුරකථනයේ කිසිවක් විමසිල්ලෙන් කියවමින් සිටී. ඔහු අසල තිබෙන්නේ රතු ඔලිව් කොළයක් සහිත කැනේඩියානු ධජයයි. අගමැතිවරයාගේ දියණිය එලා ගේ‍ර්ස් මාගරට් ටෘෘඩෝ අගමැති අසුනේ සැප පහසුවට දිගාවී දෙපා මේසය මත තබා මහත් සතුටින් සහ සැහැල්ලුවෙන් පියා දෙස බලා සිටින්නීය. ඇගේ පා යුග මිරිවැඩි සඟල රැඳී තිබේ. හිස බැඳුණු දෙඅත් පොඩි අෑ ලද ප්‍රමෝදය ගැන ඉඟියක් දෙයි. ඡායාරූපයෙහි සුදු සහ නිලට හුරු වර්ණ එහි පවතින සාමය අපට කියා පාන්නේය.

දියණියක තාත්තාට රටක් රාජ්‍යයකි. මේ දියණියන්ගේ දිනයයි. තාත්තාට ඇයට දෙන්නට නොහැකි දෙයක් නැත. ටෘෘඩෝ සිය අගමැති කාර්යාලයට පැමිණි දියණිය එලාට අගමැති පුටුව පවරා පසෙකට වී සිටින්නේ ඒ නිසාය. එය කැනඩාවේ මුල් පුටුවය. එය සෙස්සන්ට ලොකු වුණාට නව හැවිරිදි එලාට නම් ලොකු නැත.

එය ඇයට තාත්තාගේ පුටුව පමණි. තඹ පැහැති දිගු කෙස් කලඹක් ඇති ඇය අපට හුරු ගවුම් පොඩිත්තකින් සැරසී සිටින්නීය. ඕ තොමෝ පියකරු මල් කැකුළක් බඳුය.

ඇයට ආරක්ෂාව සෙනෙහස උපරිමයෙන් ලැබෙන ස්ථානය තාත්තාගේ සෙවණය. දෙපා මේසය මතට ගෙන එන්නේ තාත්තා සමීපයේ ඇති මහත් වූ නිදහස මිස මාන්නය නොවේ. ටෘෘඩෝ ඇයට තාත්තා මිස කැනඩාවේ අගමැති නොවේ. ඇයට තාත්තා වටින්නේ කැනඩාවේ අගමැති නිසා නොවේ. ඇගේ තාත්තා නිසාය.

එලාට ක්ෂේවියර් ජේම්ස් නම් අයියා කෙනෙක් සහ හැරිසන් ටෘෘඩෝ නම් මල්ලී කෙනෙක්ද සිටී. ඇගේ මව සොපියා ගේ‍රාගෝරි ටෘෘඩෝ නම් වෙයි. ඔවුන් ලොව වෙසෙන ප්‍රීතිමත්ම පවුල්වලින් එකක් ලෙස සැලසේ. ලොව බොහෝ තැන්හි සංචාරය කර ඇති ටෘෘඩෝ පවුල බොහෝ රාජ්‍ය නායකයන්ගේ මිතුරෝ වෙති.

ලෝකය අයත් වන්නේ අපට නොවේ. එලාගේ වයසේ පසුවන සියලුම දියණියන්ටය. කැනඩාව අයිති එලාගේ පරපුරේ දියණිවරුන්ටය. ටෘෘඩෝ මෙන්ම කැනඩාවේ සියලුම පියවරු එය දනිති. ඒ නිසාම ඔවුහු කැනඩාව තව තවත් ලස්සන රටක් කරන්නට වෙහෙසති. කැනඩාවේ සෑම දියණියකටම ආරක්‍ෂාව සහතිකය. අපි කවදා අපේ රට මේ අලකලංචිවලින් මුදා අපේ දියණිවරුන් වෙනුවෙන් භාර දෙන්නද? එය සැබෑ නොවන සිහිනයක් පමණක්ද?

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon