53 හර්තාලයෙන් පසු ආණ්ඩුවට විරුද්ධව ගෙනා විශ්වාසභංගය පැරදුණු හැටි

  👤  2857 readers have read this article !
2019-01-06

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ විශ්වාසභංග වීම් නිතර සිදුවී තිබේ. එහෙත් ආණ්ඩුවලට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වන්නේ කලාතුරකිනි. එසේ ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාද බොහෝ විට අවසාන වන්නේ පරාජයෙනි. කම්කරුවන් මරා දමා 1953 හර්තාලය මර්දනය කළ එජාප ආණ්ඩුවට එරෙහිවද පාර්ලිමේන්තු විපක්ෂය විසින් 1953 සැප්තැම්බර් 1දා විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේය. විපක්ෂ නායක ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා යෝජනාව ඉදිරිපත් කරමින් කරන ලද කතාව මෙසේය.

1. "මේ රටේ ප්‍රධාන ප්‍රශ්නවලින් කිසිවක් විසඳීමට ආණ්ඩුව අපොහොසත් වූ අතර ඊනියා සාවුරුදු වැඩසටහනේ නිරර්ථක භාවයෙන්ද මුදල් කටයුතු පිළිබඳ අදක්ෂකමින් සහ පරිපාලන අකාර්යක්ෂමතාව සහ දූෂණයෙන්ද එය බංකොලොත් භාවයේ මුව විටට ළං කළ නිසාත්

2. හාල් ආධාරය නැති කිරීම ගැන සහ සිය ජීවන මිම්මට වැදුණු වෙනත් පහරවල් ගැනද සිය විවිධ සංවිධාන සහ පත්කරගත් ආයතන මාර්ගයෙන් ජනතාව එකහෙළා පළකළ විරුද්ධත්වය නොසලකා සිටි නිසාත්
3. මේ කාරණය සම්බන්ධයෙන් අලුත් මහ මැතිවරණයක මාර්ගයෙන් ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් ගැනීමට අවස්ථාව දීම ප්‍රතික්ෂේප කළ නිසාත්
4. සේවකයන් බිය වැද්දවීමට සේව්‍යයන් සහ ඔවුන්ගේ සංවිධාන උසි ගැන්වීමෙනුත්, පොදුවේ ජනතාව බියවැද්දවීමට රාජ්‍ය බලය යෙදීමෙනුත් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට රාජ්‍ය ආරක්ෂක පනත ක්‍රියාවට නැඟීමෙන් සහ ඒ යටතේ ඇඳිරි නීතිය පැනවීම, සමූහ වශයෙන් සිරභාරයට ගැනීම, පුද්ගලයන් සහ ගොඩනැඟිලි සෝදිසි කිරීම, යුද්ධ හමුදාව කැඳවීම යනාදී දරුණු වූත් මර්දනකාරී වූත් විධිවිධාන යෙදීමෙනුත් බොහෝ දෙනකුට මරණය සහ තුවාල සිදුවීමට හේතුවන පරිදි අනවශ්‍ය අගෝචර බලය යෙදීමෙනුත්, මහජන සාමය රැකීම සඳහා නොව බලයේ සිටින පක්ෂයට පාන සෑම විරුද්ධතාවක්ම මැඬලීම සහ ජනතාව බියගැන්වීම ද සඳහා කටයුතු කිරීමෙනුත් ජනතාවගේ අසතුට පළ කිරීම සඳහා 1953 අගෝස්තු මස 12 වැනි දින පවත්වන ලද හර්තාලය මැඬපැවැත්වීමට ක්‍රියා කළ මේ රටේ කටයුතු අවුල් වීමට ක්‍රියාකළ නිසාත් මේ රටේ කටයුතු පරිපාලනය පිළිබඳ වගකීම තවදුරටත් ඉසිලීමට තමන් සම්පූර්ණයෙන්ම අයෝග්‍ය බව රජය පෙන්නුම් කළ බව සහ ඒ කෙරෙහි මේ සභාව තුළ තිබුණු විශ්වාසය නැතිවී ගිය බවත් මේ සභාව ප්‍රකාශ කරයි"

ආහාර ආධාරය ඉවත් කිරීම නිසා පැනනැඟුණු තත්ත්වය ගැන පමණක් නොව ඒ නිසා මහජනයා තුළ ඇතිවූ අප්‍රසන්නතාවද අගෝස්තු මස 12 වැනි දින සහ ඉන් පසුව ඇතිවූ සිද්ධීන් සහ ඒ සිද්ධීන්ගෙන් සමහරකට හේතුභූත වූ දිගුකලක් තුළදී මේ ආණ්ඩුව විසින් කරගෙන යන ලද නොමනා පාලනය අකාර්යක්ෂමතාව සහ අදක්ෂකම සමඟ සිද්ධීන්ගේ සම්බන්ධතාවද විදහා දැක්වෙන මෙය ඉතා විස්තර යෝජනාවක් බව පෙනී යනු ඇත. එය රජයේ මුළු ප්‍රතිපත්ති ප්‍රණාලිය කෙරෙහිම නැතහොත් ප්‍රතිපත්ති විරහිත තත්ත්වය කෙරෙහිම විශ්වාසභංගය පළකිරීමක් බව සහ මෑත සිද්ධිවලින් ප්‍රතිබිම්බිත පරිදි රජයේ ක්‍රියාමාර්ගය නිසා ඇති වූ සමහර ප්‍රතිඵල හෙළා දැකීමක් බවද මේ නිසා පැහැදිලි වනු ඇත.

මේ යෝජනාව ගැන කතා කරන විට, අය වැය විවාදයේදී ද ස්ථාවර නියෝග නැවැත්වීම, ආහාර ආධාරය වත් කිරීම සහ එවැනි වෙනත් අවස්ථාවලදී ද කියන ලද ඇතැම් දෑ නැවතත් කීම නොවැළැක්විය හැකි බව ඔබටම පෙනීයනු ඇත. සභාවේ උභය පක්ෂයම අනවශ්‍ය විස්තරවලින් වැළැකී සිටිනු ඇතැයි බලාපොරාත්තු වන අතරම, කියූ දෙය නැවත නැවත කීමෙන් වුවද මේ යෝජනාව පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් මවාපෑම සඳහා ප්‍රමාණවත් අවකාශයක් දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

මේ යෝජනාව මේ පාර්ලිමේන්තුව රැස්වූවාට පසු ඉදිරිපත් කරන ඉතා වැදගත් යෝජනාවක් විය හැකි වන අතර මෑතක සිට අසනීප ගතියෙන් සිටින මගේ ගරු මිත්‍ර අගමැතිතුමා (ඩඩ්ලි සේනානායක මහතා) මෙහි පැමිණ සිටීම ගැන මම සතුටු වෙමි. ඔහු නොපැමිණ සිටිද්දී මෙවැනි වැදගත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපට සිදුවී නම් එය කනගාටුවට හේතුවකි.

වචනවලින් විජ්ජා කිරීමට නොබැසම මේ ආණ්ඩුවට විරුද්ධ චෝදනා නඟා ඒවා ඔප්පු කිරීම හොඳටම පහසු යැයි මම සිතමි. මා සඳහන් කරන පසුබිම මෙයයි.

එය පරණ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව තෙක් අෑතට යයි. මේ සියලු කරදර පිළිබඳ බීජ වපුරන ලද්දේ ඒ කාලයේදීය. සමූහ ව්‍යාපාරයේ ආරම්භය එදා සිදුවිණි. සමූහ ව්‍යාපාරයක් ගැන කතා කරනවිට මා කතා කරන්නේ ඉතා වැඩි වශයෙන් අනුන් විසින් සහ වෙනත් පක්ෂ මඟින් ආරම්භ කරන ලද මේ රටේ සමූහ ව්‍යාපාර ගැනයි. 1915 කැරලි කෝලාහලවලින් පසුව සමූහ ව්‍යාපාරයක ආරම්භය ඇති වූ නමුත්, ජනතාවගේ නායකයන් සියලු දෙනාම හෝ සියලු දෙනාම පාහේ 1923දී ව්‍යවස්ථාදායක සභාවට ඇතුළත් වූ විට යටත් පිරිසෙයින් එම නායකයන් කට්ටිය සම්බන්ධයෙන්වත් නියම සමූහ උද්ඝෝෂණය නැවැතී ගියේය.

1923න් පසු ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සාමාජිකයෝ තමන් සතු යම්කිසි විශේෂ බලයක් නොමැති හෙයින් සුළු සුළු වැඩ කරවා ගැනීමෙන් සෑහීමට පත්වන්නට වූහ. ඔවුන්ගේ ප්‍රධාන අදහස වන්නට ඇත්තේ අතන පාලමක්, මෙතන ඉස්පිරිතාලයක්, තවත් තැනක තැපැල් කන්තෝරුවක් කරවා ගැනීමයි. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මුදල් කාරක සභාවේදී ඔවුන් දැරූ බොහෝ ප්‍රයත්න මෙවැනි දෑ සඳහා විය. කිසියම් ස්ථීර වැඩසටහනක් මත සකස් කර ගන්නා ලද ජාතික කාර්යප්‍රණාලියක් හෝ එවැනි කාර්යප්‍රණාලියක් පිළිබඳ යථායෝග්‍ය දේශපාලන දර්ශනයක් හෝ ඔවුන්ට තිබුණේ නැත. අතනින් මෙතනින් සුළු වැඩක් කරවා ගැනීමේ අක්‍රමික උත්සාහයකට වැඩි දෙයක් එදා නොවීය. එම අඩුපාඩුව දිගටම පැවැතීමෙන් අප මේ තත්ත්වයට පැමිණි සැටි මම පෙන්නා දෙමි.

නිදහස් වූ හෝ නොවූ හෝ වේවා, යම් රටක ඇති කිසියම් පක්ෂයකට මනාසේ වටහා අවබෝධ කරගන්නා ලද යම් දේශපාලන දර්ශනයක් නොමැතිව රටක් ආණ්ඩු කළ නොහැකිය. අප ප්‍රජාතන්ත්‍රවාදීන් හෝ සමාජවාදීන් හෝ වේවා, සත්‍ය වශයෙන් වැදගත් වන්නා වූත් අනුගමනය කරනු ලැබීමට අදහස් කොට ඒ මත විශ්වාසය රඳවනු ලබන්නා වූත් යම්කිසිවක් තිබිය යුතුය. යථෝචිත ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට පදනම් කර ගනු ලැබිය හැක්කා වූත් එම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම සඳහා වැඩසටහනක් සකස් කර ගැනීමට බරපතළ ප්‍රයත්නයක් දැරීමට හේතුභූත වන්නා වූත් පැහැදිලි දේශපාලන දර්ශනයක් මෙහි කිසි දිනෙක නොතිබුණේය. කඩදාසිවල තීරණයන් තිබුණු බව සැබැවි. එසේම කඩදාසිවල ප්‍රතිපත්ති ප්‍රකාශන තිබුණු බවත් සැබැවි. එහෙත් ක්‍රියා කිරීමට කාලය එළඹුණු විට ඒවායේ වටිනාකම අල්පමාත්‍ර විය.

අදත් ඔවුන්ට ඇති දේශපාලන දර්ශනය කුමක්ද? අද පවා ඔවුන්ට ඇති සැලසුම් ප්‍රතිපත්ති සහ වැඩසටහන් කුමක්ද? සැලසුම් හෝ සැලසුම් යනු කුමක්ද යන්න හෝ ගැන අල්පමාත්‍ර අවබෝධයක් වුවත් ඔවුනට තිබේද? මහත් වියදමක් දරා සර් සිඩ්නි කේන් මෙහි ගෙන්වාගෙන ක්‍රම සම්පාදනය ගැන ඔවුන්ගෙන් ඔවුහු උපදෙස් ගත්තෝය. පුවත්පත් වාර්තාවලට අනුව ඔහු කී දේ මෙයයි. මා මෙය උපුටා දක්වන්නේ ඉරිදා ටයිම්ස් පත්‍රයෙනි. "මුලින් කළ යුතු දේ මුලින් කරනු" මෙය පළවූයේ විශාල අකුරුවලිනි. "ක්‍රම සම්පාදිත මුඛ්‍යතා ක්‍රම අවශ්‍යය"

විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 33කින් පරාජය විය. පක්ෂව ඡන්ද 26ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 59ක් ලැබිණි.

මාලි ලුවිස් ගේබි්‍රයෙල්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon